HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මේ අකුරු කියෙව්වොත් රුපියල් 30 කෝටියක් දිනා ගන්න ඔබට පුලුවන්!

ඉන්දියාවෙන් එන අලුත්ම ආරංචිය මෙයයි. මේ පුවතට අදාළ අකුරු කියවන්නට ඔබ සමත් වුවහොත් ඩොලර් මිලියනයක් දීමට ඉන්දීය රජය දැන් සුදානම් යැයි ඉන්දියාවේ තමිල්නාඩු මහ ඇමති මුතුවේල් කරුණානිධි ස්ටාලින් කියනවා. මේ අකුරු අයිති වන්නේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයටයි. මීට වසර 5000කට ලෝකඩ යුගයට අයත් එකල ලොව ඉතා දියුණු ජන කොට්ඨාසයක් වන පුරාණ ඉන්දුවරුන් විසින් භාවිත කළ භාෂාවක අකුරු කියලයි, ඉන්දියානු පුරාවිද්‍යාඥයන් කියන්නේ. වර්තමාන පාකිස්තානයක්, උතුරු ඉන්දියාවත් එක්ව ගත් කල සෑදෙන භූමි ප්‍රදේශයේ තමයි, මේ පුරාණ ඉන්දුවරුන් ජීවත් වුණේ. 


කියවීමට දුෂ්කරව ඇති ඉන්දු අක්ෂර - කියෙව්වොත් ඩොලර් මිලියනයක්!

මේවා වර්තමාන ලෝකයේ කිසිම හෝඩියකට කිට්ටු නැති නිසා දැනට භාෂාව පිළිබඳ ලෝක විශේෂඥයන්ට මේවා කියවීමට නො හැකි වී තියෙනවා. මේවායේ හැඩතල අනුව මේ අකුරු කිසියම් පැරණි භාෂාවකට, හෝ රූපාක්ෂර භාෂාවකට අයත් යැයි සිතිය හැකි යැයි කියන පුරාවිද්‍යා විශේෂඥයන් මේ ගුප්ත අකුරු විශේෂය ඇතුළත් ගල් පුවරු, ලෝකඩ හා තඹ තහඩු ආදිය 4000ක් පමණ දැනට සොයා ගෙන තියෙනවා. ඒවායෙහි අකුරු යැයි සිතිය හැකි සංකේත අතරට මිනිස් රූප හා සත්ව රූප පවා ඇතුළත් කරලා තියෙනවා. 

පසුගිය අවුරුදු 100ක කාලයක් තිස්සේ විවිධ විශේෂඥයන් මේ අකුරු කියවන්නත්, මේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ හදිසි අතුරුදන් වීමත් විසඳන්න හදනවා. ඒත් තවමත් කිසිවකුටත් මෙය කළ නොහැකිව තියෙනවා. යම්හෙයකින් මේ අකුරු කියවා ගත හැකි වුණොත් තවත් ගොඩක් නොවිසඳුණු රහස් හෙළිදරවු කර ගන්න පුළුවන් වේවි. 


ඉන්දු නිම්නයෙන් හමු වූ අක්ෂර - එක කැබැල්ලක අකුරු පහකට වැඩිය නැහැ.

පුරාවිද්‍යා විශේෂඥයන් සෑහීමකට පත් වන ආකාරයට මේ අකුරු කියවන්නට සමත් වන ඕනැම ආයතනයකට හෝ පුද්ගලයකුට මෙම ත්‍යාග මුදල දීමට සූදානම් බවයි, තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිවරයා කියන්නේ. මේ සා විශාල ත්‍යාග මුදලක් දෙන්න ඇමතිවරයා ඉදිරිපත්වි ඇත්තේ ඉන්දු ජාත්‍යන්තර පර්යේෂණ පදනම (Indus International Research Foundation) වෙනුවෙනුයි. 

මිසොපොටේමියාවත් සමග වෙළඳ ගනුදෙනු පැවති බව කියැවෙන 
මේ ඉන්දු අක්ෂර ඇතුළත් සිලින්ඩර මුද්‍රාව හමුවී ඇත්තේ සුසා (වර්තමාන 
ඉරානය) වලින්. කාල නිර්ණයට අනුව ක්‍රිස්තු පූර්ව 2400-2100 අතරයි.

මේ අකුරු කියවීමට දැනට තියෙන අසීරුව වන්නේ මේවා කුඩා ප්‍රමාණයේ කැබලි වශයෙන් පැවතීමයි. සමහර කැබැල්ලක අකුරු තුන හතරකට වඩා නැහැ. අකුරු යැයි සිතිය හැකි ඒවා අතරට රූපත් ඇතුළත් කර තියෙනවා. එක දිගට එක පෙළට ඇත්නම් කියවීමට පහසුවක් වෙන්න තිබුණා. මේවා එහෙම නැහැ. එකට අතුරු පහක් පමණ ඇතුළත් ඒවා වැඩියි. අකුරු සහිත දිගම තඹ තහඩුවට අක්ෂර 34ක් අතුළත් වෙනවා. සමහර විශේෂඥයන් ප්‍රශ්න කරනවා, මේවා භාෂාවක අකුරුද එහෙමත් නැත්නම් ආගමික හා දේශපාලන කටයුතුවලට අදාළ රූප පෙළක් ද කියා. 

අකුරු 34ක් ඇතුළත් දැනට හමුවි ඇති 
විශාලම ඉන්දු අක්ෂර ඇතුළත් තඹ තහඩුව.

නවදිල්ලි ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර ඇති 
සෙබූ වෘෂභ මුද්‍රාව. මෙහි ඇත්තේත් ඉන්දු අක්ෂරයි.

අපි මේවා මොනවා දැයි හරිහැටි දැන නොගත්තත්, ඉන්දු ශිෂ්ටාචාරය ගැන නම් විස්තර ටිකක් දන්නවා. එයින් ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් හරප්පා විශේෂයි. එය ක්‍රිස්තු පූර්ව 2600ත් 1900ත් අතර කාලයේ දී වර්තමාන පාකිස්තානයත් උතුරු ඉන්දියාවත් අතර භූමි භාගයේ පැවති ජන සමාජයක්. ආරබි මුහුදේ සිට ගංගා නම් ගංගාව තෙක් විහිදුණු ඉන්දු ග‍ංගාව දිගේ පැතිර පැවති දියුණු මානව ශිෂ්ටාචාරයක්. මේ ජනාවාස වත්මන් පකිස්තානය, ඊසානදිග ඉන්දියාව හා නැගෙනහිර ඇෆ්ඝනිස්තානය යන ප්‍රදේශවල පැතිර පැවතුණා. 

මේ හරප්පා ශිෂ්ටාචාරය හදිසියේ ම ගුප්ත විධියට අතුරුදන්වි තියෙනවා. වසර 4000ක් යන තෙක් මේ ශිෂ්ටාචාරය ගැන කිසි දෙයක් දැන ගන්න තිබුණේ නෑ, 1920 දී විතර කැණීම් කළ බ්‍රිතාන්‍ය හා ඉන්දියානු පුරාවිද්‍යාඥයන් විසින් එහි විස්මිත නටබුන් සොයා ගන්නාතුරු. මේ වන විට ඉන්දු ගඟ ආශ්‍රිත ඉපැරණි මොහෙන්ජොදාරෝ හා හරප්පා වැනි ප්‍රධාන නටබුන් හැරුණු විට පාකිස්තානයේ හා ඊසානදිග ඉන්දියාවේ පැවති ඉන්දු ජනාවාස 1000ක් පමණ සොයා ගෙන තියෙනවා. 


ඉන්දු ගඟ දිගේ වර්ග සැතැපුම් මිලියනයක් තරම් ප්‍රමාණයේ භූමි භාගයක ජනාවාස ව්‍යාප්තව තිබු ආකාරය දැක්වෙන සිතියමක්. (වර්තමාන පාකිස්තානය, වයඹදිග ඉන්දියාව හා නැගෙනහිර ඇෆ්ඝනිස්තානය)

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය පිළිබඳ විශේෂඥයකු වූ ඇන්ඩෲ රොබින්සන් 2015 දී නේචර් සඟරාවට ලිපියක් සම්පාදනය කරමින් කියා ඇත්තේ ‘එය ඒ කාලයේ පැවති දියුණු නාගරික සංස්කෘතියක්’ කියායි. ‘එහි ජනගහනය මිලියනයක් විතර ඉන්න ඇති. එහි සිට ගල්ෆ් ප්‍රදේශයට මෙන් ම මිසොපොටේමියාවේ උර් වැනි නගර දක්වා නාවික වෙළඳ බඩු ප්‍රවාහන ක්‍රමයක් පැවති බවට පුරා විද්‍යාත්මක සාක්ෂි හමු වී තියෙනවා, මේ ඉන්දු සංකේත ඒ ප්‍රදේවලින් හමු වූ නටබුන් අතරින් හමු වි තියෙනවා. පුදුමයක් නම් මේ කිසිම පුරාවිද්‍යා සාක්ෂියක හමුදා හා යුද ගැටුම් තිබුණු බවක් හමුවී නැහැ.’ ඔහු ඒ ලිපියෙන් විස්තර කරනවා. 

පාකිස්තානයේ කරච්චියේ කෞතුකාගාරයේ තැන්පත් කර ඇති 
පුරාණ ඉන්දු නගරයක් වූ මොහෙන්දෝජාරෝ වලින් හමු වූ 
පූජකයකුගේ යැයි සැලකෙන ප්‍රතිමාවක්. 

පුරාවිද්‍යා සාක්ෂිවලින් හෙළිවී ඇති පරිදි මිසොපොටේමියාව හා ඉන්දු ප්‍රදේශය අතර සක්‍රිය සම්බන්ධයක් පැවතියේ ක්‍රිස්තු පූර්ව 3 වැනි සහස්‍රයේ සිටයි. මෙහි දී හමුවී ඇති අභිලේඛන වගේම මේ ශිෂ්ටාචාරය හදිසියේ අතුරුදන් වීමත් අභිරහසක්ව බවතිනවා. මෙය අතුරුදන්ව ඇත්තේ ක්‍රිස්තු පූර්ව 1300 දී තරමයි. මේ ශිෂ්ටාචාරයේ අතුරුදන් වීම ගැන මත දෙකක් පළ වී තියෙනවා. එකක් නම්, 2012 දී මතු වූ අදහසක්. ඒ අනුව ඔවුන් අතුරුදන්ව ඇත්තේ මෝසම් වැසි කාලයන් අඩු වී යාම නිසාත්, ප්‍රදේශයේ උෂ්ණත්වය දරුණු ලෙස ඉහළ යාමත් නිසයි. මේ ශිෂ්ටාචාරය යැපුණේ මොසම් වැසිවලින් ජලය ලබා ගැනීමෙන් හා ගොවිතැනින්. අනෙක් හේතුව 2006 දී අධ්‍යයනයකින් හෙළි වූවක්. ඒ හරප්පා නගරවලට දරුණු භූමිකම්පාවලට මුහුණ දීමට සිදු වෙන්න ඇති යන්නය. ඒ වගේම ජල සම්පාදනය කඩා වැටීමත් මුහුදු මට්ටම ඉහළයාමත් ඔවුන්ගේ විනාශයට හේතුවන්නට ඇති. 

කෙසේ වෙතත්, මේ ලෝකයේ කාට හරි කියවීමට හැකිවුවහොත් ඔහුට මුදලට අමතරව විශාල කීර්තියක් ද අත්කරගත හැකිවෙනවා නොඅනුමානයි. 

 - පර්සි ජයමාන්න







අදහසක් පළ කරන්න

0 Comments