HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

හඳ ගැන ඔබ මෙතෙක් කිසිදාක නෑසූ පුදුමාකාර රහසක්!

මේ දිනවල කෙරෙන මගේ නවසීලන්ත සංචාරය අතරතුරයි මට මේ අපූරු අදහස ගැන අසන්ට ලැබුණේ. ඒ වගේම තමයි අත්දැකීමක් ගන්නත් පුළුවන් වුණේ. එංගලන්තයේ ඩේලිමේල් පුවත්පත තමයි මේ පාඨකයන් වෙත මේ අදහස මුලින් ම ඉදිරිපත් කළේ. ඔවුන් පාඨකයන්ට ප්‍රශ්නයක් ඉදිරිපත් කළා. ඔබේ පවුලේ උදවිය ලෝකයේ වෙනස් වෙනස් රටවල ඉන්නවා නම් රාත්‍රි කාලයේ දී ඔවුන් දකින්නේ ඔබ දකින හඳ ම ද? පසුගිය දුරුතු පෝදා නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයට පෑයූ හඳ දුටු මටත් ඔය අපූරු අදහස ගැන අත්දකින්න ලැබුණා. එංගලන්තයේ සිටින අපේ නෑයින්ටත්, ශ්‍රී ලංකාවේ ඉන්නා අපේ නෑ හිතවතුන්ටත් හඳ පේන්නේ මේ විධියටද කියලා හිතුණා. 

ලන්ඩනයේ සිට හඳ දකින්නකුට පෙනෙන හැටි (වමේ) ඕස්ට්‍රේලියාවේ 
සිඩ්නි නගරයේ සිටින අයකුට ඒ හඳ ම පෙනෙන හැටි (දකුණේ)

ඒ වෙනස් වෙනස් රටවල ඉන්නා අයට පේන්නේ එකම විදියට නොවෙයි, වෙනස් වෙනස් ආකාරයටයි කීවොත් ඔබට පුදුම හිතේවි. හඳ පිහිටා තියෙන තැන වෙනස් නොවුනත් හඳ පෙනෙන විධිය වෙනස්. නවසීලන්තයේ දී මාහඳ දකින්නේ එංගලන්තයේ සිටින කෙනෙකු දකින ආකාරයට නොව උඩුයටිකුරු කළ ආකාරයටයි. 

මේ ගැන ඩේල් මේල් ‍කියවූ කෝරි නම් අයෙකු ‘ටික් ටොක්’ ඔස්සේ වීඩියෝවක් මගින් ප්‍රතිචාර දැක්වුයේ පාසල් යන කාලෙදිවත් ඔහුට ඒ ගැන කියා දී නැතැයි චෝදනා කරමිනුයි. මහපොළොවේ දකුණු අර්ධගෝලයේ ඉන්නා කෙනෙකු දකින හඳ උතුරු අර්ධගෝලයේ කෙනකු දකින්නේ කණපිටට බව අපට පාසල් යද්දීවත් කියා නුදුන්නේ මන්දැයි ඔහු සිය පෝස්ටුවෙන් මැසිවිලි නැඟුවා පමණක් නොව සමාජ මාධ්‍ය ඔස්සේ දහස් ගණනක් දෙනා හඳ මෙසේ වෙනස් වී පෙනීම ගැන සිය මවිතය පළ කරන්නට පෙලඹුණා. 

දකුණු අර්ධගෝලයේ සිටින අයට හඳ පෙනෙන්නේ 
උතුරු අර්ධගෝලයේ ඉන්නා අයට වඩා වෙනස් විධියකටයි. 
එනම් අනික් අතටයි.

ඒ වීඩියෝව මගින් අදහස් දැක්වූ ඔහු, ‘ඒ විධියට ඔබ බ්‍රසීලයේ සිට දකින හඳ, එංගලන්තයේ ඉන්නවා නම් දකින්නේ වෙනස් විධියකයි. ඒ වගේ ම ඔබ නවසීලන්තයේ සිටිනවා නම් පෙනෙනවාට වෙනස් විධියකටයි ජපානයේ සිටිනවා නම් පෙනෙන්නේ. එහෙම නේද?’ යයි විමසුවා. 

‘ඔබ දකුණු අර්ධගෝලයේ ඉන්නවා නම් හඳ පෙනේනේ උතුරෙන්, ඔබ උතුරු අර්ධගෝලයේ ඉන්නවා නම් හඳ පෙනෙන්නේ දකුණෙන්’ ඔහු ඒ වීඩියෝවෙන් තවදුරටත් කියා සිටියා. 

ඒක ඇත්ත. උතුරු අර්ධගෝලයේ සිටින අයට පේන්නේ අඳුරු ලප පෙනෙන්නේ වම්පසට වෙන්නයි. ඒ වගේ ම එළිය වැඩි ප්‍රදේශ දකුණුපසට වෙන්නයිි. 

‘මගේ හිත හොඳටම අවුල් වුණා. ඇයි මට මේක කලින් දැන ගන්න ලැබුණෙ නැත්තෙ? මං දැන් ඉන්නේ ඕස්ට්‍රේලියාවෙයි. මං ප්‍රංශ ජාතිකයෙක්. මං මෙච්චර කල් හිතා ගෙන හිටියෙ වැරදියට ද? හඳ දකින හැම වෙලාවෙම මං හිතාගෙන හිටියෙ එයා මගේ පවුලෙ අය දිහා බලා ඉන්නව නේද කියලයි. දැන් බලාගෙන ගියාම එහා ඉන්නේ ඔළුවෙන් හිටගෙනද!’ එක් කෙනකු ප්‍රතිචාර දැක්වුවා. 

හඳ දළ වශයෙන් සමකය ඔස්සේ යන නිසා සමකය මත සිටින අයකුට පෙනෙන්නේ 
හඳ හිසට ඉහළින් යන ආකාරයටයි.හඳ නඟින විට හා බසින විට උතුරු හා දකුණු අර්ධගෝලවල සිට 
බලන්නකුට පෙනෙන්නේ මෙසේය.

‘මම අවුරුදු 41ක් තිස්සේ ජීවත් වන්නේ ප්‍රංශය හා නවසීලන්තය යන දෙරටේයි. ඒත් හඳ‍ෙහි මේ වගේ වෙනසක් තියෙන බව ඇහු‍වෙ අද තමයි. හරිම පුදමයි!’ තව කෙනකු කීවා. 

‘ටික් ‍ටොක්’ හරහා ප්‍රතිචාර දැක් වූ බොහෝ දෙනකු කීවේ ඔවුන් කොතෙකුත් මේ අර්ධගෝල අතර කොතෙකුත් එහා මෙහා ගියත් මේ හ‍ඳ පිළිබඳ මේ වෙනස නොදැක තිබූ බවයි. 

මෙහෙම වෙන්නේ කොහොමද? මේක ටිකක් අමුතුයි වගේ දැනෙන්නක්. මේ විධිය පෙනෙන්නේ ඒ අපි ජීවත්වන පෘථිවිය ගෝලාකාර එකක් වන නිසයි. ඔබ පෘථිවිගෝලයේ එක අර්ධයක සිට අනෙක් අර්ධයට යන විට හඳ නෙමෙයි, හඳට සාපේක්ෂකව උඩුයටිකුරු වෙන්නේ ඔබයි. 

මේ අදහස දුන්නට පස්සෙ එතැනින් එහාටත් හිතන්න බොහෝ දෙනා පුරුදු වෙලා. ‘ඔය කියන විධියට අපට ඉර පේනව ඇත්තේ උඩුයටිකුරු වෙලා වෙන්න ඇති.’ තවත් ටික්ටොක් පාවිච්චි කරන්නකු ඇසුවා. ‘ඒ වගේ ම ටැප් එකක වතුර වැටෙනව ඇත්තෙත් අනික් පැත්තට වෙන්න ඇති” තව කෙනකු කීවා. ‘එච්චරද! හුඟක් තරු රටා වුනත් පේනව ඇත්තෙ අර්ධගෝලය අනුව අනිත් අතට වෙන්න ඇති’ තවත් කෙනකු කිව්වා. 

කෙසේ වෙතත්, වැඩි දෙනකුට ප්‍රශ්නයක් වුණේ නිරක්ෂය හෙවත් සමකය ආසන්න රටවලට කොහොමද හඳ පෙනෙන්නේ යන්නයි. ඒක තේරුම් ගන්න ඔබ උත්තර ධ්‍රැවයේ සිට සිතෙන් දක්ෂිණ ධ්‍රැවය තෙක් යන්න ඕනෑ. 

හඳ පෘථිවිය වටා යන්නේ දළ වශයෙන් සමකය දිගේයි. ඔබ උත්තර ධ්‍රැවයෙන් ගමන පටන් ගන්න කොට ම චන්ද්‍රයාගේ උත්තර ධ්‍රැවය ඇත්තේ උඩයි. සඳ ඔබට පෙනෙන්නේ ක්ෂිතිජයට ආසන්නවයි. රැය ගෙවී යද්දී ඔබට පෙනෙන්නේ සඳ අග්නිදිග(Southeast) සිට නිරිතදිගට (Southwest) යන ආකාරයයි. ඒ මුළු කාලය තුළ ම එහි උත්තර ධ්‍රැවය පිහිටා තියෙන්නේ උඩ අතටයි. ඒත් ඔබ තව තවත් දකුණට යද්දී හඳ ටිකෙන් ටික ඉහළ ගොස් ඔබ සමකය මතට යන විට එය හිස් මුදුනට එනවා. එසේ යන්නේ දක්ෂිණාවර්තව භ්‍රමණය වන අතරයි. සමකයේ දී ඔබට සඳ පෙනෙන්නේ නැගෙනහිරෙන් පායා විත් හිසට ඉහළින් ගොස් බටහිරෙන් බසින බවයි. 

එහි ඇති අමුතු දෙයක් වන්නේ, ඔබේ දෘෂ්ටිකෝණයෙන් බලන විට, රාත්‍රිය මුළුල්ලේ ම සඳ අංශක 180ක් කැරකෙන බවයි. ඉන් අදහස් වන්නේ සඳ නැඟ යද්දී පැවතුණාට වඩා වෙනස් මුහුණතක් ක්ෂිතිජයේ දී පහළට යොමු වන බවත් බැස යන අවස්ථාව සසඳන විට පෙනෙන බවයි. ඒ නිසා නිරක්ෂයේ දී සඳ මුහුණත කෙබඳුදැයි කියන්න ඒ අවස්ථාවේ වේලාව දැන ගත යුතුවෙයි. 

ඔබ තවදුරටත් දිගට ම දකුණට ගියොත් ඔබට පෙනේවි සඳ දිගට ම භ්‍රමණය වෙලා දක්ෂිණධ්‍රැවය කෙළින් ම උඩු අතට පිහිටලා ක්ෂිජයෙන් ඈත තියෙනවා දැකිය හැකි වේවි. මේ පිහිටීමේ දී යළිත් වරක් ක්ෂිතිජයට පහළින් තියේවි. එය ඊසාන දිග සිට වයඹ දිගට යද්දී ඒ මුළු කාලය තුළ ම එහි දක්ෂිණධ්‍රැවය උඩු අතට ම තියේවි. 

ඔබ සැලකිල්ලට නොගත්තාට, ඔබේ එදිනෙදා ජීවිතයේ දී වාහනයෙන් දකුණට හෝ උතුරට එකක් එහා මෙහා ගියත් සඳත් සුඝු වශයෙන් හෝ වෙනස් වී පෙනෙනවා. 

ඇමරිකාවේ කැලිෆෝනියාවේ පසදේනාහී පිහිටි ග්‍රහලෝක සංගමයේ (The Planetary Society) මහජන අධ්‍යාපන විශේෂඥවරියක වු කේට් හොවෙල්ස් බ්ලොග් සටහනක් තබමින් මෙසේ ලියා තිබෙනවා: මේ වෙනස් වීම් සිදුවන්නේ ක්‍රම ක්‍රමයෙනුයි. ඔබ සමකයෙන් කෙටි දුරක් හෝ ඈතට ගියොත්, තවමත් සඳ නැඟ එන්නේ මඳක් නැගෙනහිරෙන්, බහින්නේ මඳක් බස්නාහිරෙන්. ඒත් සමකයට යට සිටියොත් සඳ ගමන් කරන්නේ හරියටම ඔබේ හිසට උඩිනුයි. ඔබ වඩ වඩාත් දකුණට හෝ උතුරට හෝ ගියොත් ඊට සාපේක්ෂව ඈතින් මතුවෙනු දැකිය හැකියි. 

ඔස්ට්‍රේලියාවේ හෝ නවසීලන්තයේ දී සඳ උඩුයටිකුරු වී පෙනෙන්නේ ඇයි? 

ඔබ කොහේ සිටියත් සඳ පෘථිවිය වටා යන්නේ එකම එල්ලයකටයි. ඒ කියන්නේ ස‍ඳ‍ෙහි උත්තර ධ්‍රැවය පිහිටන්නේ උතුරටයි: දක්ෂිණ ධ්‍රැවය පිහිටන්නේ දකුණටයි. නමුත් අපි ජීවත්වන්නේ ගෝලාකාර වස්තුවක නිසා, එක්සත් රාජධානියේ වාසය කරන කෙනකුට පෙනෙනවාට වඩා වෙනස් විධියකට, ඒ කියන්නේ සඳ උඩුයටිකුරු වෙලයි, ඔස්ට්‍රේලියාවේ හෝ නවසීලන්තයේ ඉන්නා කෙනකුට පෙනෙන්නේ. 

උතුරු අර්ධගෝලයේ දී චන්ද්‍රයාගේ උත්තර ධ්‍රැවය උඩ අතටයි, පිහිටන්නේ. දකුණු අර්ධගෝලයේ දී මේ දර්ශනය අනික් අතටයි, එහි සිට බලන අයට පෙනෙන්නේ. 

චන්ද්‍රයාගේ කලාවන් පිහිටන හැටි 

මේ ගමන් චන්ද්‍රයාගේ කලාවන් පිහිටන හැටිත් තේරුම් ගනිමු.


 පෘථිවියට වගේ ම චන්ද්‍රයාගේත් දවල් කාලයක් හා රාත්‍රි කාලයක් තියෙනවා. චන්ද්‍රයා භ්‍රමණය වන විට දිවා රාත්‍රි කාලයන් මාරු වෙනවා. සූර්යයා හැම විට ම චන්ද්‍රයාගේ එක පැත්තක් ආලෝකමත් කරනවා. ඒත් සඳ අපේ පෘථිවිය වටා ඊට අයත් කක්ෂයෙහි යන නිසා අපට ඒ ආලෝකමත් පැත්ත හැම විට ම සම්පූර්ණයෙන් ම අපට පෙනෙන්නේ නැහැ. 

අප අයත් වන උතුරු අර්ධගෝලයට සඳ‍ෙහි කලාවන් පෙනෙන හැටි 

1. නව සඳ (New Moon) 

මේ අපට නොපෙනෙන සඳයි. එනම් අමාවක සඳයි. මෙහි දී සඳ‍ෙහි ආලෝකමත් පැත්ත සම්පූර්ණයෙන් ම සූර්යයා දෙසට හැරී තිබේ. පෘථිවිය දෙසට හැරී ඇත්තේ අඳුරු පැත්තයි. මෙය සිංහල ක්‍රමයට හඳුන්වන්නේ පුර පෑලවිය කියායි. 

2. පුර වක සඳ (Waxing crescent) 

මෙහිදී අපට පෙනෙන්නේ හිරුගෙන් ආලෝකමත් වූ පුංචි චන්ද්‍රවංකයක් පමණයි. හිරුගේ එළියෙන් ආලෝකමත් වූ වැඩි කොටස අපට පෙනෙන්නේ නැත. මෙහිදී අප දකින්නේ මෝරණ සඳයි. 

3. පුර අටවක සඳ (First Quarter) 

මෙහි දී සඳ‍ෙහි ආලෝකමත් කොටසෙන් අඩක් අපට දැක ගන්න පුළුවන්. එය සිංහලෙන් සාමාන්‍යයෙන් හඳුන්වන්නේ අටවක කියායි.  

4. පුර නවවක සිට පුර තුදුස්වක තෙක් සඳ (Waxing Gibbous) 

දැන් සඳ‍ෙහි ආලෝකමත් කොටසෙන් වැඩි හරියක් අපට දැක ගන්න පුළුවන්. අහසේ වැඩි දීප්තියකින් හඳ බැබළෙනු පෙනේ. මෙය වඩාත් මෝරා එන සඳක් ලෙස අපට පෙනේ. 

5. පුර පසළොස්වක සඳ හෙවත් පුන් සඳ (Full Moon) 

මේ අවස්ථාවේ දී අපට හිරුගෙන් ආලෝකමත් වන සඳ‍ෙහි පූර්ණ කොටස හෙවත් මුළුමනින් ම එහි දවල් කාලය දැක ගන්න පුළුවන්. ‍මෝරා සම්පූර්ණ වූ සඳ අපට පෙනේ. 

6. අව පෑලවිය සිට අව සතවක තෙක් සඳ (Waning Gibbous) 

දැන් සිදුවන්නේ සඳ‍ෙහි අව පක්ෂයයි; වියැකී යන කාලයයි. හඳ යළිත් හිරු සිටින පැත්තට යන්නට පටන් ගනියි. දැන් හඳ පරාවර්තනය කරන්නේ එහි විරුද්ධ පැත්තට වැටෙන සූර්යාලෝකයයි. 

7. අව අටවක සඳ (Last Quarter) 

පොළොවේ සිට බලන විට අපට පෙනෙන්නේ සඳ‍ෙහි ආලෝකමත් කොටසින් අඩකි. මෙයට අව අටවක කියා කියන්නේ වියැකී යන කාලයට අයත් නිසාය. 

8. අව නවවක සිට අව තුදුස්වක ‍තෙක් සඳ (Waning Crescent) 

දැන් සඳ යළිත් ආ පසු ආරම්භ කළ තැනට ළං වෙමින් සිටියි. එහි දී එහි දවල් කාලය ලෙස සැලකෙන කොටස හිරු දෙසට මුහුණ පා සිටියි. යළිත් වරක් අපට සඳ නොපෙනී යයි. 

පසු සටහන: අපේ සිංහල ක්‍රමයට සඳ‍ෙහි කලාව පහළොවකට බෙදා තියෙනවා. චන්ද්‍ර මාසය හැදෙන්නේ ඒ අනුවයි. එය එක් අමාවක සිට, එනම් පුර පෑල විය සිට පුර පසළොස්වක දක්වා කාලයත්, පසළොස්වකින් පසුව එන අව පෑල විය සිට ඊළඟ අමාවක දක්වා කාලය චන්ද්‍රමාසය ලෙස ගණන් ගැනේ. අපේ පැරණි ලේඛනවල දින වකවානු දක්වා තිබෙනු දැක්ක හැකිය. (නිද: පුර තෙළෙස්වක - දහතුන්වැනි දින) මේ අනුව පුර පක්ෂයට, පුර පෑල විය, පුර දියවක, පුර කියවක, පුර ජලවක, පුර විසේනිය, පුර සැටවක, පුර සතවක, පුර අටවක, පුර නවවක, පුර දසවක, පුර එකොළොස්වක, පුර දොළොස්වක, පුර තෙඝෙස්වක, පුර තුදුස්වක, පුර පසළොස්වක වශයෙන් ද අව පක්ෂයට, අව පෑලවිය, අව දියවක, අව තියවක, අව ජලවක, අව විසේනිය, අව සැටවක, අව සතවක, අව අටවක, අව නවවක, අව දසවක, අව එකොළොස්වක, අව දොළොස්වක, අව තෙළ‍ෙස්වක, අව තුදුස්වක, අවසානයේ දී යළිත් අමාවක එළඹෙයි. 

    - පර්සි ජයමාන්න 

Post a Comment

0 Comments