HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

නුදුටු මුත්තා නිසා විස්මය මා සොයා ආ හැටි!

විස්මය, මවිතය හා පුදුමය, මගේ ජීවිතයට සුවිශේෂ වූ වචන තුනකි. මගේ ලේඛන ජීවිතයේ දශක හයක් පුරා මගේ ගමන් සගයන් වූයේ ඒ වදන් තුනයි. කුඩා කාලයේ සිට ම ජනතා ළමා පිටුවට, ලංකාදීපයේ ළපටි පෙළට, ගුවන්විදුලියේ ළමා පිටියට, පසුව සරස්වතී මණ්ඩපය කළ පසු එයට, මා ලියූ ලිපි හැම එකක් ම නො වරදවා ම පළ වූයේ නිතර ම විස්මය ඒවායෙහි දවටා තිබූ බැවිණි. ඒ නිසා ම විස්මය සොයා යාම මගේ පුරුද්දක් වුණා. මේ අයුරින් වසර හැටකටත් වැඩි කාලයක් මා සොයා ගිය විස්මය, පසුගියදා මා සොයා ආවේය. 

විශේෂ ආරධිතයකු වූ මහාචාර්ය ජේ. බී. දිසානායක සූරීන්ට පොත පිරිනැමූ අවස්ථාව.

කලින් දුරකථනයෙන් කතා කර වේලාවක් වෙන් කර ගෙන විස්මය ආවේ මවත් සමඟය. “මේ කතා කරන්න‍ෙ ශ්‍රී ලාල් හික්කඩුව ලියනගේ මහත්තයගෙ මී මුණුපුරා. මම අපේ මුත්තා ගැන පොතක් ලියමින් ඉන්නෙ. ඔබතුමාට පුලුවන් ද ඒකට මට උදවු කරන්න.” මම එය කළ හැකි බව කියා මගේ නිවසට එන පාර කීවෙමි. එදා සෙනසුරාදා දවසක් වූ බැවින් උදේ එන්නට කීව ද ඔවුන් ආවේ හවස ය. සවස දෙකට පමණ වාහනයක් ගේට්ටුවෙන් ඇතුළු විය. රියැදුරු අසුනෙන් බැස්සේ තරු ණ කාන්තාවකි. ඒ සමඟ ම කුඩා දරුවෙක් ඉදිරි අසුනෙන් බැස්සේය. මගේ සිත දෙගිඩියාවට පත් විය. 

‘ඒ අය වෙන්න බෑ.‘ මගේ සිත මට කීය. මගේ මුහුණේ වූ වෙනස තේරුම් ගෙන දෝ ඒ දරුවා මා තවත් පුදුමයට පත් කරමින් කතා කළේය. 

“සමාවෙන්න අපට ! අපි ‍පොඩ්ඩක් පමා වුණා. මං තමයි ඔබතුමාට දුර කථනයෙන් කථා ‍කළේ. මම දිල්නුක සිල්වා. මේ මගේ අම්මා.” ඔහු කතා කරන්නට පටන් ගත්තේ ය. මම ඔහුට කතා කරන්නට ඉඩ හැරියෙමි. 

ඔහු චතුර ලෙස කතා කර ගෙන ගියේ ය. සම වයසේ දරුවකුට වඩා ඔහුගේ වාං මාලාව විශාල එකක් බව මට පැහැදිලි විය. ඒත් පරම්පරා හතරකට කලින් ජීවත්වූ අයකු ගැන පොතක් ලියන්නට ඔහුට හැකි වේද යන්න මගේ සිතේ තවමත් නලියමින් තිබේ. මම ඔහුගෙන් එකම එක ප්‍රශ්නයක් ඇසුවෙමි. ‘පුතේ ඔයාගේ නම දැම්මෙ කවුද?’ ඊට පිළිතුරු දුන්නේ අම්මාය. ‘ඒ නම තෝරා ගත්තේ මම 2012 වසරේ ඇසළ මාසයේ, අරීසෙන් අහුබුදු මහතාගේ නම් ලැයිස්තුවෙන්. ඒ නමේ අරුත චක්වා තිබුණේ “බබළන නුවණ බිම” කියලයි’ මව කීවාය. 

මම ඔහුට තවදුරටත් කතා කරන්නට ඉඩ හැරියෙමි. 

ඔහුට සිය නුදුටු මුත්තා ගැන ලියන්නට සිත් ඇති වුනේ ද පුදුමාකාරයකටය. ඒ දෙක වසරේ ඉගෙන ගනිද්දීය. පාසල් පැවරුම්වලට අනුව ශ්‍රී ලංකාවේ ප්‍රකට ආයතන ගැන දැන ගන්නට සිදු වූ නිසා අම්මා ඔහුට ඊට අදාළ පින්තූර කොළ ගෙනවුත් දුන්නාය. එහි වූ ප්‍රසිද්ධ ගොඩනැඟිලි බොහොමයක් ඔහු ඒ වන විටත් දැන සිටියේ ය. ඒත් එක් ගොඩනැඟිල්ලක් ඔහු තුළ කුතුහලයක් ඇති කළේය. ඔහු ඒ ගැන මවගෙන් ප්‍රශ්න කළේ ය. ඒ ලේක්හවුස් ආයතනය බව කියූ මව ඒ පිළිබඳ වැඩි විස්තර දන්නේ ආච්චි අම්මා බවත් ඇගෙන් ඒ ගැන අසා ගන්නැයි කීවා ය. ආච්චි අම්මා කුඩා දිල්නුකට ඒ ගැන කියා දුන්නාය. අවසානයේ දී ‘මගේ තාත්තත් කර්තෘ කෙනෙක් විදියට ලේක්හවුසියේ වැඩ කළා’. ඇය කීවාය. දිල්නුකට නුදුටු මුත්තා ගැන සොයන්න උනන්දුවක් ඇති වුණේ ඉන්පසුවය. 

දිල්නුක ආච්චි අම්මාට පොත පිළිගැන්වූ අවස්ථාව.

දෙවන ශ්‍රේණියේ දී අම්මා ඔහුට මිහිර පත්තරයක් ගෙනවුත් දුන්නාය. ‘මිහිර පත්තරේ පටන් ගත්තෙත් අපේ තාත්තා’ ආච්චි අම්මා කීය. ‘ඒ විතරක් නෙවෙයි, “නවයුගය” සඟරාවත්, “තරුණි” පත්තරයත් පටන් ගත්තේ අපේ තාත්තා’ ආච්චි අම්මා වැඩි දුරටත් කීවාය. දිල්නුකගේ සෙවුම් යන්ත්‍රය ක්‍රියා කරන්නට පටන් ගත්තේ එතැන් සිටය. ඔහු මා හමුවන විට නුදුටු මුත්තා ගැන බොහෝ කරුණු සොයා ගෙන තිබුණේය. අඩුපාඩු සපුරා ගන්නා අයුරු මම ඔහු හමුවූ අවස්ථාවේදී කියා දුනිමි. 

ඒ ඔහුගේත් මගේත් පළමු හමුවීමය. 

ඉන්පසු අප කතාබහ කළේ දුරකථනයෙන් පමණි. එදා මා හමුවී හරියට ම වසරකට පසු දිල්නුකගේ පොත ‘නුදුටු මුත්තා’ නමින් (2024 ඔක්තෝබර 13 වැනිදා) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී උත්සවාකාරයෙන් ජනගත කරනු ලැබීය. ඒ මා ඔහු හමුවූ දෙවන දවස විය. ඒ පොත දුටු මට ඇස් අදහාගත නොහැකිවිය. මගේ විස්මය දෙගුණ තෙගුණ විය. මා හිතුවාටත් වඩා බරසාරව, සරුසාරව පොත නිමවා තිබේ. 

ඒ පොත සඳහා පෙරවදන ලියමින් එහි ආරම්භයේ දී දිල්නුක මෙසේ සඳහන් කර තිබේ: “සිරිලක දකුණු දිග දොඩන්දූවේ ඉපිද අනේක විධ දුක් කම්ක‍ටොලු මැද ලාංකේය පුවත්පත් කලාවේ මුල් පුටු හොබවන්නට ඔහු තුළ මහඟු වාසනාවක් තිබෙන්නට ඇත. නමුත් ඒ වාසනාව ළඟා කර ගනු ලැබුවේ ද තම අපරිමිත ශක්තිය යොදවමින් ඔහු විසින්මය. නිදහස් සටනේ ප්‍රබල පුරෝගාමියකු වූ එතුමා එකල නිදහස් පුවත්පත් කලාවෙන් උපරිම ඵල නෙළා ගනිමින් තම අදහස් ජනතාව අතරට ගෙන ගියේය. ඒ සඳහා ඩී. ආර්. විජයවර්ධන මහතා ආරම්භ කළ ලේක්හවුස් ආයතනය ඔහුට අපූරු තෝතැන්නක් විය.” (නුදුටු මුත්තා 19 පිටුව) 

නොදුටු මුත්තා ඔහුගේ අනන්‍යතාව වෙනස් කර ගත් හැටි දිල්නුක දකින්නේ මෙසේය: “අධිරාජ්‍යවාදීන්ගෙන් සිරිලකට සිදු වන තාඩන පීඩන ඉවසා සිටීමට හෙතෙම අකමැති විය. නිදහස් සටනට දායකත්වය දීමේ ප්‍රථම පියවර ලෙස හික්කඩුව ලියනගේ සයිමන් ද සිල්වා නම් තම නම වෙනස් කරගනු ලැබුවේ ‘පර සුද්දන්ගේ නම් එපා!’ යන සංකල්පය පෙරදැරි කරගෙනය. ඒ අනුව ඔහු මෙතැන් පටන් ‘ශ්‍රීලාල් හික්කඩුව ලියනගේ’ නමින් නිදහස් සටනට උර දෙමින් තම පෑන මෙහෙය වීය.” (නොදුටු මුත්තා - 34 පිටුව.) 

අඩු පහසුකම් ඇති යුගයක අගහිඟකම් මැද කුඩා කාලයේ පවා ඉගෙනීමේ අගය සිය නුදුටු මුත්තා දුටු හැටි දිල්නුක කියන්නේ මෙසේය: 

“පාලි සංස්කෘත හා ලේඛන කලාව ගැන හැදෑරීමට පුංචි සයිමන්ට අතහිත ලැබෙනුයේද පන්සලෙනි. ජෝන් අයියාගෙන් ලද උපදෙස් මත ඉංග්‍රීසි භාෂාව මනා ලෙස උගත් සයිමන් ප්‍රංශ, හා ග්‍රීක, ලතින් සාහිත්‍යය ද උගත්තේය. ඉතාමත් වෙහෙසකාරී ජීවන අරගලයක් සමඟ තම සිත ඉගෙනීමට යොමු කර ගැනීමට සයිමන් සමත් විය. ඔහු තම දැනුම වර්ධනය කර ගැනීම සඳහා බොහෝ පොත පත පරිශීලනය කළේය. ‘කියවීම මිනිසා සම්පූර්ණ කරයි’ යන්නට මේ අපූරු මිනිසාගේ කතා වස්තුව කදිම සාක්ෂියකි. ගුරුවරයකු නොමැතිව පොත පතින් ලද දැනුමෙන් ඔහු විභාග ජය ගත්තේය. 

“එවකට ලංකාවේ තිබුණු ඉහළම ඉංග්‍රීසි භාෂා විභාගය වන ලන්ඩන් මැට්‍රිකියුලේෂන් සඳහා ඔහු සූදානම් විය. පාරේ තිබුණු පහන් කනුවක ආධාරයෙන් පාඩම් කරමින් ඔහු 1933 ලන්ඩන් මැට්‍රිකියුලේෂන් විභාගය ඉහළින් සමත් වෙමින් තම මවගේ බලාපොරොත්තු මල්ඵල ගන්වමින් තම දිවි ගමනේ හැරවුම් ලක්ෂ්‍යය කරා ගමන් කළේය.” (නොදුටු මුත්තා - 32 පිටුව.) 

ලියනගේ මහතාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය ගැන සඳහන් කරන දිල්නුක සිය කෘතියෙහි එය දක්වා ඇත්තේ මෙසේය: 

“මෙකල ලක්දිව තුළ මැලේරියා වසංගතය දරුණුවට පැතිර ගිය අවදියකි. ජීවිතයට ලැබුණු අනේක විධ දුක් කම්කටොලු තවමත් අවසන් වී නැත. මැට්‍රිකියුලේෂන් විභාගයට පෙනී සිටින විට ඔහු අසාධ්‍ය මැලේරියා රෝගියෙකි. විභාගය අතරතුර මැලේරියාව සඳහා වූ ‘ක්වීනින්’ නම් බෙහෙත් පෙත්ත ගෙන්වා ගෙන එය බී ඔහු කෙසේ හෝ විභාගයට මුහුණ දුන්නේ ය. මෙම විභාගයට පෙනී සිටින්නේ සුදු ජාතිකයන් හා ලංකාවේ බොහෝ පොහොසත් පවුල් පසුබිමක සිටින ළමුන් ය. ඔවුන් හා කරට කර විභාගයට වාඩි වී මැලේරියාව ද පරදවමින් දකුණු පළාතෙන් ම පළමුවෙනියා වීමට සයිමන්ට හැකි විය.” (නොදුටු මුත්තා - 33 පිටුව.) 

දිල්නුක වසර දෙකකට වැඩි කාලයක් මේ කෘතිය සඳහා පර්යේෂණයේ යෙදුණේය. රට පුරා විසිර සිටි මුත්තාගේ පරම්පරාවේ ඥාතීන් ගැන සෙව්වේය. තොරතුරු හා ඡායාරූප එක් රැස් කළේය. ලේක්හවුස් පුස්තකාලයට ගියේය. ජාතික ලේඛනාගාරයට ගියේය. එහි එක් රැස්කර ඇති ලේඛන හා පොතපත පරිශීලනය ළමුන්ට තහනම් විය. මව සමග එහි ගිය ඔහු එහි බලධාරීනට තම අවශ්‍යතාව ගැන කරුණු පහදා දී විශේෂ අවසරයක් ලබා ගෙන මුත්තා සිය ජීවිත කාලය තුළ සංස්කරණය කළ පුවත්පත් හා ලිපි ලේඛන පරිශීලනය කළේය. එහිදී ඔහු 1940 දශකය තුළ නිදහස වෙනුවෙන් ලියනගේ මහතා ලියූ දේශමාමක අදහස්වලින් පිරුණු කතු වැකි එකින් එක පීරා බැලුවේය. එයින් තෝරා ගත් එකතුවක් මේ කෘතියට එක්කර ගෙන තිබේ. ඒ පරමාදර්ශී කතුවැකි තුළින් නුදුටු මුත්තාගේ වාග් කෞශල්‍යය හා කෘතහස්තභාවය මොනවට ඉස්මතු වෙයි. ඒ තේරීම කළ මී මුනුපුරාගේ හැකියාව ද ඊට නොදෙවැනි යයි මට සිතේ. 

දිල්නුක මව සමඟ.

දිල්නුක සොයා ගත් එක් සුවිශේෂ ලිපියක ලියනගේ මහතා සිය මව ගැන දැක්වූ ගෞරවාදරය මොනවට හුවා දක්වයි. ඒ ලිපිය සිළුමිණේ පළ වූවකි. ලියනගේ මහතා සමග සාකච්ඡා කොට එම ලියා ඇත්තේ ධර්මසිරි ගමගේ මහතා විසිනි. එහි මෙසේ සඳහන් වෙයි: 

“දැන් අවුරුද්දකට දෙකකට ඉස්සර ගම බලලා එන්න හිතක් ඇතිවුණා. අම්මා ඇවිද ගෙන ආපු බෙරලු පාරේ ඇවිදින්න ඕනෑ කියලා සරමයි කමිසෙයි ඇඳගෙන පයේ සෙර‍ෙප්පුවක්වත් නොදා මම ඇවිද්දා. හැතැප්ම දෙකක් විතර යනකොට මගේ කකුල කැවෙන්න උනා. අම්මා කොහු ලණු තලලා දවස ගානේ අපව ජීවත් කරන්න ඇවිද්ද හැටි මට මතක් වුණා. අම්මගේ සුවඳ දෙවටේ ගස් අස්සෙන්, පොළොවේ බොරලු පස් අස්සෙන් මතු වෙනවා වාගේ දැනුනා. ළඟ තියෙන පොල් ලෙලි වළේ උන්දෑ පොල් ලෙලි තලපු හැටි මට මැවිලා පෙනුනා. මට හිත වාවා ගන්නට බැරිවුනා. මට තවත් ඇවිදින්නට බැරි වුණා. මම බිම ඇණ තියාගෙන ඇඬුවා. ටික වේලාවක් යනකොට අහළ පහළ මිනිස්සුත් ඇවිදින් මහත්තයට අසනීපයක්වත්දැයි විමසුවා. 

“මෙය 1990.01.07 වන දින සිළුමිණ පුවත්පතට ධර්මසිරි ගමගේ මහතා අතින් ශ්‍රී ලාල් පිළිබඳව ලියැවුණු ලිපියක කොටසකි. අප මෙතෙක් දුටු කිසිවකුටත් බිය නොමැති, කෙළින් කතා කරන, සෘජු දැඩි ගති ඇති එම කුඩා මිනිසාගේ හදවත තුළ වූ සංවේදී බව ඉහත ප්‍රකාශනයෙන් හොඳින්ම තහවුරු වෙයි. ඔහු තම මවට දැක් වූ අසීමිත ආදරය මෙතෙකැයි කියා නිම කළ නොහැක. මෙම සිද්ධිය ආවර්ජනය කරන මොහොතේද මේ සොඳුරු මිනිසාගේ නෙතගින් කඳුළු ගලා ආ බව ධර්මසිරි ගමගේ මහතාගේ ලිපියේ තවදුරටත් සඳහන් වේ.” (නුදුටු මුත්තා 122 පිට.) 

ලියනගේ මහතාගේ ජීවිත කතාව, තුළින් නිදහස ලබන්නට පෙර මේ සමාජයේ තත්වයත්, නිදහස ලැබීමෙන් පසු අවදිය ගැනත් හොඳ අවබෝධයක් පාඨකයාට ලබා ගත හැකිවන පරිද්දෙන් ලියා තිබේ. සමාජයට විශාල බලපෑමක් කළ පුවත් පත් වන සිළුමිණ, දිනමිණ වැනි ප්‍රකාශනවලට ලියනගේ මහතා ලබා දුන් දායකත්වය ගැනත් විස්තරාත්මකව සඳහන් කර තිබේ. ලියනගේ මහතා විසින් ඔහුගේ සංකල්ප අනුව ආරම්භ කළ, නවයුගය සඟරාවත්, මිහිර ළමා පුවත්පතත්, කාන්තාවන් වෙනුවෙන් පළ කළ ‘තරුණි’ පුවත්පත ගැනත් තොරතුරු එක් කිරීම ප්‍රශංසනීයය. 

පත්තර කලාවේ පෙරළිකාර නුදුටු මුත්තා

අවසාන වශයෙන් මේ ‘නොදුටු මුත්තා’ ග්‍රන්ථයට පසුවදනක් ලියන සිළුමිණ ප්‍රධාන කතුවරයකු ව සිටි තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් මෙම කෘතිය ගැන සඳහන් කර ඇත්තේ මෙසේය; 

“මේ මී මුණුබුරා දිල්නුක සිල්වා ‘නොදුටු මුත්තා’ යනුවෙන් ලියන්නේ තම මවගේ සීයා ගැනය. එනම් තම මුත්තණුවන් ගැනය. මහරගම මධ්‍ය මහා විද්‍යාලයේ 9 වන ශ්‍රේණියේ ශිල්ප හදාරන දහ හතර වියෙහි පසුවන කුඩා දිල්නුක සිය මුත්තණුවන්ගේ ඇසුර ලබන්නට ඇතැයි සිතූ වියපත් වියතුන් ගෙන් ද, ඔහු වෙතින් පත්‍ර කලාවට අත් පොත් තැබූ වර්තමාන කතුවරුන්ගෙන් ද, ඥාති සම්බන්ධකම් ඔස්සේ ද කාලයාගෙන් වසන් වූ වතගොත සොයා ලියූ ‘නොදුටු මුත්තා’ කෘතිය - ශ්‍රීලාල් හික්කඩුව ලියනගේ ජීවන අන්දරය ප්‍රකාශන රටාවෙන් ද, රචනා කෞශල්‍යයෙන් ද, භාෂා භාවිතයෙන් ද, අප විස්මයට පත් කළේය. මෙය සිංහල භාෂා ප්‍රවීණයන්ගේද සිංහල පත්‍ර කලාවේදීන්ගේද, ලේඛක ලේඛිකාවන්ගේද, විචාරකයන්ගේද, ගුරු භවතුන්ගේද, ජනමාධ්‍ය හදාරන සිසු සිසුවියන්ගේද, අවධානයට ලක්විය යුතු කෘතියකි. 

 - පර්සි ජයමාන්න

දිල්නුක නුදුටු මුත්තා පිළිගන්වමින් ‍මා මවිතයට කළ මොහොත.


 

 

 

Post a Comment

0 Comments