අද ඔක්තෝබර් 1 වැනිදා ලෝක ළමා දිනය සමරනු ලබන්නේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් තුනක් විතරය. අනෙක් රටවල් දෙක නම් ගෝතමාලාව හා එල් සැල්වදෝර් යන ඒවාය. ශ්‍රී ලංකාවේ අප ලෝක ළමා දිනය ලෙස ඔක්තෝබර් 1 වැනිදා සමරන්නේ වසර දශක අටකට පමණ පෙර සිටය. එය අද ලෝක ළමා දිනය ලෙස සැමරීම සම්පූර්ණයෙන් ම වැරදිය. එය අපේ ජාතික ළමා දිනය කීවාට නම් වරදක් නැත.
එක්සත් ජාතීන්ට අයත් වන ලෝකයේ රටවල් වැඩි හරියක් සමරන ලෝක ළමා දිනය යෙදී ඇත්තේ නොවැම්බර් 20 වැනිදාටය. එක්සත් ජාතීන් විශ්ව ළමා දිනය (Universal Children's Day) ලෙස එක්සත් ජාතීන් විසින් සම්මත කරගෙන ඇත්තේ නොවැම්බර් 20 වැනිදාය. මෙය සම්මත කරගනු ලැබුවේ 1959 නොවැම්බර 20 වැනිදාය. ඒ එක්සත් ජාතීන් විසින් ළමා අයිතිවාසිකම් ප්‍රකාශනය (Declaration of the Rights of the Child) සම්මත කර ගත් දිනයේය. ඊට එවකට ලංකාව ද අත්සන් තැබීය. ඊට පසුව 1989 නොවැම්බර් 20 වැනිදා, විශ්ව ළමා දිනය දා, ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය (Convention on the Rights of the Child) සම්මත කර ගත් දිනයේය. එයට ද ශ්‍රී ලංකාව ද අත්සන් කර තිබේ.
මුලින්ම ළමා දිනයක් පවත්වනු ලැබුවේ මීට වසර 168කට පෙර එක්සත් රාජධානියේය. ඒ 1856 ජූනි මාසයේ 1 වැනිදාය. එදා එය හැඳින්වූයේ රෝස දිනය කියාය. ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික ළමා දිනය යෙදෙන්නේ ජූනි මාසයේ දෙවැනි ඉරිදාටය. ඒ අනුව මීළඟ ළමා දිනය යෙදී තියෙන්නේ 2025 ජූනි 8 වන ඉරිදාටය. මේ ජාතික ළමා දිනය සමරනවා හැරෙන්නට ඇමරිකාවේ පවුලේ එකම ළමයා සිටින පවුල්වල ඒ ළමයා සමරනු පිණිසත් ජාතික ළමා දිනයක් පැවැත්වේ. එය හැඳින්වෙන්නේ එකම ළමයාගේ ජාතික දිනය (National Only Child Day) කියායි.
ලෝකයේ රටවල් ජාතික ළමා දිනය තමන් කැමති ආකාරයට ඒ ඒ දිනවල පවත්වති. සිංගප්පූරුවේ ළමා දිනය යෙදෙන්නේ ඔක්තෝබර් මාසයේ මුල් සිකුරාදාටය. ජපානයේ මේ දිනය සමරන්නේ පස් වැනි මාසයේ පස් වැනිදාය. එනම් මැයි 5 වැනිදාටය. පෝලන්තයේ ළමා දිනය සමරන්නේ ජූනි 1 වැනිදායි. අන්තර් ජාතික ළමා දිනය ලෙස මෙය සම්මත කරගනු ලැබුවේ 1925 දී ස්විට්සර්ලන්තයේ ජීනීවා නුවර පැවති ළමා සුබ සාධනය සඳහා පැවති ලෝක සමුළුවේදියි. 1950 සිට මේ දිනය අන්තර් ජාතික ළමා දිනය ලෙස බ්‍රිතාන්‍යය ඇතුළු ලොව පුරා රටවල් බොහොමයක් පිළිගෙන කටයුතු කරනවා.
ලෝකයේ රටවල් සියල්ල ම ඉලක්ක කර ගෙන එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් ආයතනය විසින් කරන විශේෂ වැඩ සටහන් පවත්වනු ලබන්නේ විශ්ව ළමා දිනය පැවත්වෙන නොවැම්බර් 20 වැනි දාටය. ළමයින් සඳහා අන්තර්ජාතික සහයෝගීතාව, ලෝකය පුරා විසිරී සිටින ළමුන්ගේ අවශ්‍යතා සපුරාලීම, ළමා සුබ සාධනය සඳහා සමාජයෙන් ඉටුවියයුතු යුතුකම් කෙරෙහි අවධානය යොමුකරවීම ආදිය කෙරෙහි මෙදින විශේෂ වැඩ සටහන් ක්‍රියාත්මක වෙයි.
මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් ළමයා තුළ වර්ධනය කළයුතු කුසලතා 12 ක් යුනිසෙෆ් ආයතනය විසින් හඳුන්වා දී ඇත. ඒවා මෙසේ ය:
• විචාරාත්මක චින්තනය (Critical thinking)
• ගැටලු විසඳීම (Problem solving)
• සහයෝගීතාව (Cooperation)
• සාකච්ඡා කිරීම (Negotiation)
• තීරණ ගැනීම (Decision making)
• ස්වයං කළමනාකරණය (Self management)
• ඔරොත්තු දීමේ හැකියාව (Resilience)
• සන්නිවේදනය (Communication)
• විවිධත්වයට ගරු කිරීම (Respect for Diversity)
• සහකම්පනය (Empathy)
• සහභාගිත්වය (Participation)
ලොව සියලු ම රටවල් ඔවුන්ගේ දරු පරපුර වෙනුවෙන් මේ කුසලතා වර්ධනය කිරීම සඳහා විශේෂ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම නොපමාව ආරම්භ කළයුතු යැයි අවධාරණය කර ඇත. ඒ කුසලතා වර්ධනය කිරීමට කළයුතු වැඩසටහන් හා යෙදිය යුතු ක්‍රමෝපායයන් පිළිබඳ උපදෙස් දීමත්, අවශ්‍ය සහය ලබා දීමත්, ලොවපුරා පිහිටුවා ඇති යුනිසෙෆ් කාර්යාල මගින් ඉටු කෙරෙනු ඇත. අපටත් ලෝක ළමා දිනය එක්සත් ජාතීන් හා යුනිසෙෆ් එක්ව නොවැම්බර් 20 වැනිදාට සැමරිය හැකි නම් අපට ඉන් වැඩි ප්‍රයෝජනයක් අත් කර ගත හැකිය යනු අපේ අදහසයි.
0 Comments