නස්රුදින්ගෙ යාළුවෙක් එයාගෙ ගෙදර නස්රුදින්ට භාර දීලා දුර බැහැර රස්සාවකට ගියා. යාළුවගෙ ගෙදර යාළුවගෙ අම්මත් නෝනත් විතරක් නෙවෙයි බල්ලෙකුත්, පූසෙකුත් හිටියා.
“මොනව හරි වුණොත් මට දන්වපං මචං” යාළුවා යන්න ඉස්සරින් නස්රුදින්ට කිව්වා.
“හරි! හරි! මං ඒවා ගානට කරන්නම් උඹ යන වැඩේ හරියට කර ගනිං” නස්රුදින් කිව්වා.
ටික දවසක් ගත වුණා. යාළුවාගේ පූසා හදිසියේ ම මැරුණා. නස්රුදින් යාළුවාට පණිවිඩේ කෙළින් ම යැව්වා, “මචං උඹේ පූසා මැරුණා” කියලා.
යාළුවා ඒ කතාවෙන් හරියට කලබල වුණා. එයා මෙහෙම උත්තරයක් නස්රුදින්ට ලියලා එව්වා.
“මං ඉන්න පළාතේ අය ඔය වගේ ශෝකජනක පණිවිඩයක් දෙන කොට උඹ ඔය දුන්නා වගේ එක පාරට ම පොල්ලෙන් ගැහුවා වගේ දෙන්නේ නෑ. ඒක ටිකෙන් ටික කලබල නොවෙන විදියට තමයි ඒ ආරංචිය දෙන්නෙ. හරි නම් උඹට මුලින් ම කියන්න තිබුණෙ’, ‘උඹේ පූසා අමුතු විදියට හැසිරෙනවා’ කියලයි. ඊට පස්සෙ කියන්න ඕනෙ, ‘උඹේ පූසා හැම තැන ම පැන පැන යනවා’ කියලයි. තව ටිකක් පහුවෙලා උඹට කියන්න තිබුණෙ, ‘උඹේ පූසා ආ ගිය අතක් නෑ’ කියලයි. අවසානයට තමයි, කියන්න තිබුණෙ ‘උඹේ පූසා මැරුණා’ කියලා. දුක්මුසු ආරංචි දෙන කොට එහෙමයි කරන්න ඕනෑ.” යාළුවා නස්රුදින් කියලා එව්වා.
මාසෙකට විතර පස්සෙ නස්රුදින්ගේ යාළුවාට නස්රුදින්ගෙන් ලිපියක් ලැබුණා. ඒකෙ මෙහෙම වගන්තියක් තමයි ලියලා තිබුණෙ. ‘මචං උඹේ අම්මා මහ අමුතු විදියකට හැසිරෙනවා!”
- පර්සි ජයමාන්නගේ අලුත් ම ‘නස්රුදින්ගේ අමුතු කතා’ කෘතියෙන්. (ගුණසේන ප්‍රකාශනයකි.)
0 Comments