ලෝකයේ රටවල් බොහොමයක් මූණ දී ඇති ප්‍රධාන ප්‍රශ්නයක් වේ නම් ඒ දේශ සීමා අර්බූදය. ඉන්දියාවත් පාකිස්ථානයත් අතර එවැනි අර්බුදයක් තිබේ. ඒ කාශ්මීර දේශ සීමාවෙහි ය. දුපතක් වුවත් අපටත් ඉන්දියාව දේශ සීමා අර්බුදයක් තිබේ. චීනයත් ඉන්දියාවත් අතර පමණක් නොව චීනයත් ජපානයත් අතරත් දේශසීමා අර්බුදයක් තිබේ. අර්බුදයක් නැතිව දේශසීමා එහා මෙහා කර ගන්නා රටවල් දෙකක් යුරෝපයේ ඇත. ඒ යුරෝපයත් ස්විට්සර්ලන්තයත් ය. මේ දේශසීමා අර්බුදය ඇති කර ඇත්තේ ඇල්ප්ස් කඳුකරයට අයත් ග්ලැසියරයකි. ඒ ග්ලැසියරයේ හැසිරීම අනුව ඒ දෙරටෙහි දේශසීමාව වෙනස් වෙයි. ඒ ගැන ඒ දෙරට යුද්ධ කර ගන්නේ නැත. ඒ දෙරට අතර ‘විචල්‍ය දේශ සීමාවක්’ සාදා ගෙන අතර ඒ අනුව සාමකාමීව දේශ සීමාවට වෙනස් වීමට ඉඩ හරියි. මේ ඒ අපූරු දේශ සීමා වෙනස් වීම නිසා විස්මිත ලෙස හෝටලයක් ඉතාලියේ සිට ස්විට්සර්ලන්තයට ගියේය. මේ ඒ විස්මය ජනක කතාවයි.
ඇල්ප්ස් කඳුකරයේ, ඉතාලි ස්විට්සර්ලන්ත දේශසීමාවේ, ඉතාලියට අයත් භූමියේ පිහිටි අවන්හලක් සහ නිවාඩු නිකේතනයකි. ලොව නන්දෙසින් සංචාරකයෝ මෙහි පැමිණෙති. ඒ, හිම ක්‍රීඩා කරමින් විනෝදවීමටය. මෙම අවන්හල සහ නිවාඩු නිකේතනය 'රුෆීජියෝ ගුයිඩේ දෙල් සර්වීනෝ' ය. මෙය ඉතාලි අවන්හලකි. නවාතැන් පහසුකම්, ප්‍රණීත ආහාර සහ සිරුර උණුසුම් කරන බීම වර්ගවලට මෙම අවන්හල කියාපු තැනකි. සැබෑම ඉතාලි අත්දැකීමක් ලබා ගැනීමට නම් ‘රුෆීජියෝ ගුයිඩේ දෙල් සර්වීනෝ’ අවන්හල සහ නිවාඩු නිකේතනයට යා යුතු යැයි කියමනක් ද පවතී. ‘රුෆීජියෝ ගුයිඩේ දෙල් සර්වීනෝ’ අවන්හල සහ නිවාඩු නිකේතනය මුල්කොට ගනිමින් අනපේක්ෂිත සිදුවීමක් සිදුවිය. ‘තියෙඩෝල්’ නමැති ග්ලැසියරය, එසේත් නැතිනම් හිම තට්ටුව පිහිටා ඇත්තේ ‘රුෆීජියෝ ගුයිඩේ දෙල් සර්වීනෝ’ අවන්හල සහ නිවාඩු නිකේතනයට යාබදවය. ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ යෑමේ අහිතකර ප්‍රතිඵලයක් හේතුවෙන්, ‘තියෙඩෝල්’ ග්ලැසියරය දියවීමට පටන්ගෙන ඇත. ග්ලැසියරය දියවී, භූමිය වෙනස් වෙද්දී, ‘රුෆීජියෝ ගුයිඩේ දෙල් සර්වීනෝ’ පුංචි ඉතාලි අවන්හල සහ නිවාඩු නිකේතනය සෙමින් සෙමින්, ස්විට්සර්ලන්තය දෙසට ගමන් කරමින් තිබේ.
ඉතාලියත් ස්විට්සර්ලන්තයත් අසල්වැසියන්ය. දෙරටේ භූමි දේශසීමාව දිව යන්නේ, ඇල්ප්ස් කඳුකරයේ උසින් වැඩිම කඳු මුදුන් දිගේය. එය ඉතාලියත් ස්විට්සර්ලන්තයත් අතරේ නිර්මාණය වුණු ස්වාභාවික දේශසීමාවකි. දේශසීමාව සලකුණු කළ කුඩා ගල් කනු 8,000 ක් තැනින් තැන දකින්න ලැබේ. ඇතැම් දේශසීමා ගල් කනු ස්ථානගත කර ඇත්තේ 16 වැනි සියවස තරම් ඈත කාලයක සිටය. ඒත් කඳු මුදුන්වල මෙවැනි සලකුණු දකින්න ලැබෙන්නේ නැත. ගෝලීය උණුසුම ඉහළ ගොස් ග්ලැසියර දිය වෙද්දී, ඇල්ප්ස් කඳුකරයේ කඳු වැටි දිගේ ඇති දේශසීමා මායිම් වෙනස් වී ඇති බැවින්, එම මායිම් යළි නිර්ණය කිරීමට සිදුවී ඇතැයි ඉතාලි මෙන්ම ස්විට්සර්ලන්ත බලධාරීහු ද පවසති.
ඇල්ස් කඳුකරයට අයත් විශාලතම කඳු වැටිය ලෙස සැලකෙන්නේ 'මැටර්හෝන්' කඳුවැටියයි. මේ වන විට එම කඳු වැටියේ ග්ලැසියර හිම තට්ටු ද ‘තියෙඩෝල්’ ග්ලැසියරය මෙන්ම, වේගයෙන් දියවීමට පටන් ගෙන ඇත. මෙසේ ග්ලැසියර දියවීම ආරම්භ වී ඇත්තේ අද ඊයේ නොවන බවත්, එය ආරම්භ වී ඇත්තේ, 1920 දශකයේ පමණ බවත් ඉතාලි මෙන්ම ස්විට්සර්ලන්ත මිනිදෝරු දෙපාර්තමේන්තු බලධාරීන් විසින් පැහැදිලි කර ඇත. ග්ලැසියර දියවීම ඉතා මන්දගාමීව ආරම්භ වූ බවත් කාලයාගේ ඇවෑමෙන්, මිනිස් ක්‍රියාකාරකම් නිසා ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ යෑමේ ප්‍රතිඵලයක් ලෙස ග්ලැසියර දියවීම වේගවත් වූ බව පැවැසෙයි. 2018 වසර වෙද්දී මෙම තත්ත්වය දරුණු විය. මේ වන විට ග්ලැසියර දියවී, භූමිය වෙනස් වෙද්දී, දේශසීමාව මීටර් 150 කින් පමණ වෙනස් වී ඇතැයි ද සඳහන්ය.
දේශසීමාව මෙසේ මීටර් 150 කින් වෙනස් වෙද්දී, ‘රුෆීජියෝ ගුයිඩේ දෙල් සර්වීනෝ’ අවන්හල සහ නිවාඩු නිකේතනය අයත් වන්නේ ඉතාලියට නොව, ස්විට්සර්ලන්තයටය. රටවල් දෙකකට අයත් ස්වාභාවික දේශසීමා, මේ අයුරින් ස්වාභාවිකව වෙනස් වෙද්දී, එම රටවල් එකිනෙකා සමඟ සාකච්ඡා පවත්වා දේශසීමා නිර්ණය කර ගැනීම සිදු කරයි. ඒ, කාටවත් අවාසියක් නොවන ආකාරයටය. කෙසේ නමුත් ඉතාලිය සහ ස්විට්සර්ලන්තය එකිනෙකා සමඟ විශේෂ එකඟතාවකට 2009 වසරේදී අත්සන් කර ඇත. ඒ අනුව ඉතාලි ස්විට්සර්ලන්ත ඇල්ප්ස් කඳුකරයේ දේශසීමාව සැලකෙන්නේ ‘චලනය වන දේශසීමාවක්’ වශයෙනි.
වෙනස් වන දේශසීමාවේ පිහිටි ජනතාව පදිංචි සහ ජනතාව ගැවසෙන එකම ස්ථානය වන්නේ ‘රුෆීජියෝ ගුයිඩේ දෙල් සර්වීනෝ’ අවන්හල සහ නිවාඩු නිකේතනයයි. දේශසීමා වෙනස් වී, අවන්හල සහ නිවාඩු නිකේතනය ස්විට්සර්ලන්ත භූමියට අයත් වුවහොත්, එය ස්විට්සර්ලන්ත නීතියට යට වෙයි. ස්විට්සර්ලන්ත නීතියට අනුව ඔවුන්ට බදු ගෙවීමට සිදුවෙයි. ඒත් ඉතාලි රජය හෝ ස්විට්සර්ලන්ත රජය හෝ මේ ගැන වැඩි තැකීමක් කරන්නේ නැත.
මේ අයුරින් ග්ලැසියර් දියවීම ඇල්ප්ස් කඳුකරයේ පමණක් නොව, හිමාල කඳුකරයේත්, අන්දීස් කඳුකරයේත් සිදුවෙයි. එසේ වුවත් මේ අයුරින් දේශසීමා වෙනස්වීමක් සිදුවන්නේ ඇල්ප්ස් කඳුකරයේ ග්ලැසියර දියවෙද්දී පමණි. ඇල්ප්ස් කඳුකරයේ ග්ලැසියර් දියවීම සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තයේ ග්ලැසියර් නිරීක්ෂණ පද්ධතිය නිරන්තරයෙන් විමසිල්ලෙන් පසුවෙයි. මෙම පද්ධතිය හැඳින්වෙන්නේ ‘ග්ලැමොස්’ යන නමිනි. චන්ද්‍රිකා තාක්ෂණය මේ සඳහා භාවිතයට ගැනෙයි. ඇල්ප්ස් කඳුකරයේ ඇති ග්ලැසියර පමණක් නොව, ස්විට්සර්ලන්තයට අයත් සෙසු ග්ලැසියරවල ඝනකම ද 2022 දී සියයට 4 කින් ද 2023 දී සියයට 6 කින් ද ක්ෂය වී ඇත.
ග්ලැසියරයක් යනු විශාල භූමි ප්‍රදේශයක් පුරා පැතිරුණු ඝන අයිස් තට්ටුවකි. සාමාන්‍යයෙන් මෙහි පහත් බිම්වලට ජලය ලැබෙන්නේ ග්ලැසියර නිසාය. මිහිමත පැවැත්මට ග්ලැසියරවල ඇති වැදගත්කම වචනයෙන් විස්තර කිරීම අසීරුය. වසර දහස් ගණනකට පෙර අතීතයේ පෘථිවියෙන් වැඩි ප්‍රමාණයක් ග්ලැසියර්වලින් ආවරණය වී තිබුණු බව භූ විද්‍යාඥයෝ පැහැදිලි කරති. සාමාන්‍යයෙන් ග්ලැසියර දකින්න ලැබෙන්නේ ධ්‍රැවාසන්න ප්‍රදේශවලය. අයිස්ලන්තයේ, ග්‍රීන්ලන්තයේ සහ ඇන්ටාක්ටිකාවට අයත් ප්‍රදේශවල විශාල ග්ලැසියර දකින්න ලැබේ. යුරෝපයේ ඇල්ප්ස් කඳුකරයේ පමණක් නොව, උතුරු ඇමෙරිකාවේ රොකී කඳු වැටියේ සහ දකුණු ඇමෙරිකාවේ අන්දීස් කඳුකරයේද දකින්න ලැබෙන්නේ ප්‍රමාණයෙන් කුඩා ග්ලැසියරය.
මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ගෝලීය උණුසුම ඉහළ ගොස් අයිස්ලන්තයට අහිමි වුණු පළමු ග්ලැසියරය ලෙස සැලකෙන්නේ ඔකියෝකුල්ය. 2019 දී, මෙම ග්ලැසියරය වෙනුවෙන් අවමංගල උත්සවයක් ද පැවැත්විණි. ඒ, ග්ලැසියරය පිහිටි ස්ථානයට රැස්වුණු සියයකට වැඩි අයිස්ලන්ත වැසියන් පිරිසකගේ සහභාගීත්වයෙනි. අයිස්ලන්ත බලධාරීන් සහ පරිසර සුරැකීමේ සංවිධාන නියෝජනය කරන ක්‍රියාකාරීහු ඒ අතර සිටියහ.
එදා අයිස්ලන්ත අගමැති කාටින් ජැකොබ්ස්රින් සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මේරි රොබින්සන් ද අවමංගල්‍යයට එක් වූහ. “ගෝලීය උණුසුමේ අනිසි ප්‍රතිඵලයක් හැටියට ‘ඔකියෝකුල්’ ග්ලැසියරය අපට අහිමි වෙලා. මේක සුළුවෙන් තකන්න බැහැ. ගෝලීය උණුසුම ඉහළ යන්නේ මිනිස් අපේ ක්‍රියාකාරකම් නිසා. දැන්වත් අපි කවුරුත් එක්වෙලා පරිසරය ආරක්ෂා නොකළොත් අපේ වළ අපි විසින් කපා ගත්තා වේවි” යැයි මේරි රොබින්සන් එම අවස්ථාවේදී මාධ්‍ය හමුවේ පෙන්වා දුන්නාය.
ලුසිත ජයමාන්න
මේ සිද්ධිය දැක ගන්න! පහත වීඩියෝව බලන්න !
0 Comments