ඇල්ෆ්‍රඩ් බර්නාඩ් නොබෙල් (Alfred Bernhard Nobel) ස්වීඩනයේ අගනුවර වූ ස්ටොක්හෝම් හිදී උපන්නේ 1833 ඔක්තෝබර් 21 වැනිදාය. ඒ හරියටම මීට අවුරුදු 191 කට පෙර අද වගේ දවසකය. ඔහුගේ පියා ඉමානුවෙල් නොබෙල් (1801-1872) නව නිපැයුම්කරුවෙකි; ඉංජිනේරුවෙකි. ඔහුගේ මව ඇන්ඩ්‍රියේටා නොබෙල් (විවාහයට පෙර ඇල්සෙල්) වූවා ය. ඔවුන් දෙදෙනා 1827 දී විවාහ වූහ. ඇල්ෆ්‍රඩ් ඔවුන්ගේ දරුවන් අට දෙනා ගෙන් තුන්වැනි පිරිමි දරුවාය. ඔවුන් අන්ත දිළිඳු තත්වයට පත්වූ අතර එදිනෙදා ආහාර සපයා ගැනීම පවා දුෂ්කර විය. ඒ පවුලේ දරුවන් අට දෙනාගෙන් ළමා විය ඉක්මවන තෙක් ජීවත් වූයේ ඇල්ෆ්‍රඩ් හා ඔහුගේ සොයුරන් තිදෙනා පමණකි. නොබෙල්ගේ පියා පුපුරන ද්‍රව්‍ය පිළිබඳ අත්හදාබැලීම් කළ අතර, පුංචි සන්ධියේ සිට ම නව නිපැයුම් බිහි කරන්නට ඔහුව යොමු කළේය.
ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ පියා ස්ටොක්හෝම්හී රාජකීය තාක්ෂණ ආයතනයේ ඉගෙන ගෙන ඉංජිනේරුවකු වූ අයෙකි. ඔහු රැකියාව වශයෙන් කළේ නව ගොඩනැගිලි හා පාලම් ඉදිකිරීමය. ඉදිකිරීම්වලට අවශ්‍ය කළු ගල් සපයා ගැනීම සඳහා ඒවා කැඩීමට නොයෙකුත් අත්හදා බැලීම් කළේය. ඔහුට අයත් ගොඩනැගිලි ද්‍රව්‍ය ගෙන යන යාත්‍රා කීපයක් මුහුදු බත් වීම නිසා ඔහු බංකොළොත් විය. එහෙයින් ඔහුට රැකියාවක් සොයා රුසියාවේ සැන්ට් පීටර්ස්බර්ග් නගරයට යාමට සිදු විය. එහිදී යන්ත්‍රවලට අවශ්‍ය උපාංග තැනීමෙන් හා පුපුරන ද්‍රව්‍ය නිපදවීමෙන් ජීවිතය යළි සරි කරගත්තේය. තුනී ලෑලි නිපදවීමට සුදුසු ලේත් යන්ත්‍රයක් ද නිර්මාණය කළේය. එසේ ම නාවික හමුදාව සඳහා මුහුද යට තැන්පත් කිරීමට බෝම්බයක් ද ඒ නිපදවීය. 1842 දී ඔහු බිරිඳ හා දරුවන් එහි ගෙන්වා ගත්තේය. ඒ වන විට ඇල්ෆ්‍රඩ් ස්ටොක්හෝම්හී ජේකොබ්ස් අපොස්තුලුක පාසලේ ඉගෙන ගනිමින් සිටියේ ය. ඔහුට පාසල් යාමට හැකි වූයේ මාස 18ක් පමණය.
රුසියාවේ දී අතමිට සරුවී සිටි නිසා ඇල්ෆ්‍රඩ්ව පුද්ගල ගුරුවරුන් වෙත යැවීමට පියා සමත් විය. ඔහු දක්ෂ ලෙස ඉගෙන ගත්තේය. ඒ විෂයයන් අතර රසායන විද්‍යාව විශේෂ විය. ස්වීඩන් බසට අමතරව ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මන්, රුසියන්, ඉතාලි භාෂා ඉතා සාර්ථකව උගත්තේය. ඔහු ඉංග්‍රීසි බසින් කවි ලිව්වේය. ඇල්ෆ්‍රඩ් විධිමත් පාසල් අධ්‍යාපනයක් ලැබුණේ නැත. එපමණක් නොව ඔහු කිසිදාක විශ්ව විද්‍යාලයකට ගියේ ද නැත. එහෙත් ඔහු ලොවට දායාද කළ නවෝත්පාදන සංඛ්‍යාව 355කි.
1850 දී පැරීසියට ගියේ පිපුරුම් ද්‍රව්‍ය ගැන වැඩිදුරටත් හදාරනු පිණිසය. එහි දී ඔහුට නයිට්‍රොග්ලිසරීන් නම් රසායනිකය සොයා ගත් ඇස්කානියෝ සොබෙරේරෝ හමුවිය. ඔහු ළඟ ඉගෙන ගත් නොබෙල් නයිට්‍රොග්ලිසරීන් භාවිතයට ගන්නා ආකාරය ගැන විමසිලිමත් වූ විට සොබෙරේරෝ කියා සිටියේ විවිධ උෂ්ණත්වයන් හා පීඩනයන් යටතේ නයිට්‍රොග්ලිසරීන් අනපේක්ෂිතව පුපුරා යා හැකි මහා අනතුරුදායක භයානක දෙයක් නිසා එය පුපුරන ද්‍රව්‍යයක් ලෙස භාවිත කරන්න එපා කියාය. එහෙත් වෙඩි බෙහෙත්වලට වඩා බොහෝ සේ බලවත් වූ නයිට්‍රොග්ලිසරීන් මෙල්ල කර ගන්නා විධියක් ගැන නොබෙල් කල්පනා කරමින් සිටියේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් පාලනය කළ හැකි ක්‍රමයක් ඔහු සොයා ගත්තේය. එය පුපුරන දුව්‍යයක් ලෙස ලියාපදිංචි කළේ අනතුරුවය.
ඔහු ප්‍රථම වරට නව නිපැයුමක් ලියාපදිංචි කළේ 24 හැවිරිදි වියේ දීය. ඔහු තරුණ වියේදීම ව්‍යාපාරවලට අත ගැසුවේය. බොෆෝස් නමින් ඔහු යකඩ හා වානේ යොදා කාලතුවක්කු හා අවි ආයුධ නිෂ්පාදනය කළ සමාගමක් සාර්ථකව පවත්වා ගෙන ගියේය. ඔහු ලෝකය පුරා වඩාත් ප්‍රසිද්ධ වූයේ ඩයිනමයිට් සොයා ගැනීම වෙනුවෙනි. එතෙක් පැවති පිපුරුම් ද්‍රව්‍යවලට වඩා අවශ්‍ය ආකාරයට පාලනය කර හැකියාවක් එයින් අවස්ථාව සැලසුණි. ඒ සඳහා යොදා ගත් නයිට්‍රොග්ලිසරින් ඔහු ලියාපදිංචි කළේ 1867 දීය. ඉන්පසුව 1875 දී ජෙලග්නයිට් ද 1887 දී බැලිස්ටයිට් ද ලියාපදිංචි කළේය.
1884 දී ඔහුට ස්වීඩන රාජකීය විද්‍යා ඇකඩමියේ සාමාජිකත්වය පිරිනැමිණ. දැන් නොබෙල් ත්‍යාගවලින් දෙකක් සඳහා සම්මානලාභීන් තෝරන්නේ ඒ ආයතනයයි. 1893 දී ස්වීඩනයේ උප්සලා විශ්වවිද්‍යාලයෙන් ගෞරව කිරීම පිණිස ආචාර්ය පදවියක් ද පිරිනමනු ලැබීය. ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ සොහොයුරන් දෙදෙනා වූ ලුඩ්විග් හා රොබට් තෙල් සමාගම් අරඹමින් ඒ වන විට විශාල ධනවත්තු වී සිටියහ. ඇල්ෆ්‍රඩ් ද ඒ සමාගම්වලට ආයෝජනය කළේය.
ඇල්ෆ්‍රඩ් නොබෙල් මිය යන විට ඔහුගේ වත්කම්වලින් ලැබුණු ආදායම දළ වශයෙන් රුපියල් කෝටි 600 කි. ඔහු ඒ මුදලින් නොබෙල් ත්‍යාග හා සම්මාන පිරිනමන්නට අරමුදලක් ඇති කරන්නට අන්තිම කැමැත්තේ සඳහන් කර තිබුණි. ඔහුගේ ජීවන දර්ශනය වූයේ ලෝකය මිනිසාට ජීවත්වීමට පහසු තැනක් කිරීමයි. ඒ සඳහා වෙහෙසෙන අය ජීවත්ව සිටිය දී අගය කිරීම ඔහුගේ අභිලාෂය විය. සිය දැනුමෙන්, ශක්තියෙන් සමාජය යහපත් තැනකට ඔසවා තබන්නට තැත් කරන, නව සොයා ගැනීම්, නව නිපැයුම් කරන, මිනිසුන් අගය කරන්නට භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව, කායික විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව, සාහිත්‍යය යන ක්ෂේත්‍ර සඳහා සම්මාන හා මුදල් තෑගි පිරිනමන්නට තීරණය කළේ ඒ නිසාය.
නොබෙල් සම්මානය සඳහා පිරිනැමෙන මේ සුවිශේෂ පදක්කම කැරට් 14-18 අතර ප්‍රමාණයක රන් හා රිදී හෝ රිදී සමග කැඩ්මියම් හෝ තුත්තනාගම් (සින්ක්) මිශ්‍ර ලෝහයකින් තනා ගන්නා අතර එය ඒ අවස්ථාවේ දී හරිත රන් පැහැ (green gold) ගනියි. ඉන්පසු ඒ පදක්කම කැරට් 24 රන් ආලේප කොට ගනු ලබයි. ඒ සමග සම්මානය පිරිනැමීමට අදාළ හේතූ පාඨයක් සටහන් කළ ඩිප්ලෝමා සහතිකයක් ද, 2023 දී ස්වීඩන් ක්‍රෝනා මිලියන 11ක (දළ වශයෙන් රුපියල් 310,500,000ක්) මුල්‍ය ත්‍යාගයක් ද මේ සම්මානයට අයත් විය.
ඇල්ෆ්‍රඩ් බර්නාඩ් නොබෙල් ද මිනිස් වර්ගයාගේ දියුණුව අපේක්ෂා කළ අයෙකි. ඒ වෙනුවෙන් නව නිපැයුම් රාශියක් ලොවට දායාද කළේය. ඔහුගේ ජීවිත කාලය තුළ නව නිපැයුම් 355ක් සඳහා හිමිකම් බලපත්‍ර ඔහු නමින් ලියාපදිංචිව තිබුණි. එහෙත් ඔහුගේ මෙම නිපැයුම් අතරින් වැඩි දෙනකුට එක්වරම සිහිපත් වන්නේ මීට වසර 150කට පෙර නයිට්‍රොග්ලිසරීන් යොදා නිපදවූ ඩයිනමයිට්ය. ඒ නිපැයුමෙන් ඔහුගේ බලාපොරොත්තුව වූයේ ගොඩනැගිලි හා පාලම් ඉදිකිරීම්වලට මෙන්ම පතල් ආකර ආදියට ඒ පහසුකම යොදා ගැනීමටය. ඔහු සාමයට කැමති පුද්ගලයකු වුවත් යුද අවි නිපදවීමට පෙලඹුණේ නව නිපැයුම්වලට ඇති ආසාව නිසාය. ඔහුගේ නිපැයුම වෙනත් කටයුතුවලට, එනම් බෝම්බ තැනීමට, සතුරන්ගේ ගොඩනැගිලි පුපුරුවා හැරීමට, යුද්ධවලදී ප්‍රහාරක රොකට්වලට යොදා ගැනීම ගැන ඔහු තුළ කැමැත්තක් තිබුණේ නැත. ඔහු මිනිස්වර්ගයාගේ යහපත උදෙසා කරන නව නිපයුම්වලට සම්මාන තෑගි මුදල් දෙන්නට සිය මුළු බූදලය ම වෙන් කළේ ඒ නිසාය.
1895 දී ඔහු හෘදයාබාධයක් වැළඳුණේය. ඒ අවුරුද්දේ ම නොවැම්බරයේ ඔහු සිය අන්තිම කැමැත්තේ කටයුතු අවසන් කළේය. ඔහු නොබෙල් ත්‍යාග පිරිනැමීම සඳහා සිය ධනය වෙන් කිරීම ගැන ඔහුගේ සොහොයුරන් පවා දැන සිටියේ නැත. ඔහුට වැළඳී තිබුණු උරස් සම්බාධයට ප්‍රතිකර්මයක් ලෙස වෛද්‍යවරුන් නයිට්‍රොග්ලිසරීන් රසායනිකය ගැනීමට නියම කළත් ඔහු එය ප්‍රතික්ෂේප කළේය. 1896 දෙසැම්බර් 10 වැනිදා හෘදයාබාධය නිසා 63 හැවිරිදි වියේ දී මියගියේය. 1998 දී රොබට් එෆ්. ෆූර්ක්ගොට්, ලුවිස් ජේ. ඉග්නාරෝ හා ෆෙරිඩ් මුරාඩ් යන තිදෙනාට ‘කන්තුකවාහිනී පද්ධතියට පාවිච්චි කරන්නට නයිට්රික් ඔක්සයිඩ යොදා ගැනීම ගැන කළ පර්යේෂණ සඳහා’ වෛද්‍ය විද්‍යාවට හිමි නොබෙල් ත්‍යාගය ඒකාබද්ධව හිමිවනු දකින්නට නොබෙල් ජීවත්ව සිටියා නම් පුදුමයෙන් පුදුමයට පත් වනු නොඅනුමානය.
0 Comments