HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ලන්ඩනයේ කීව් උයන සොයා ගත් විස්මිත නව ශාක 10ක්!

එංගලන්තයේ ලන්ඩන් නුවර පිහිටි කීව් (Kew Gardens) රාජකීය උද්භිද උද්‍යානය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කළ තැනකි. ලෝකයේ විශාලතම උද්භිද උද්‍යානය ලෙස හැඳින්විය හැකි මෙහි එන නරඹන්නකුට සජීවී ශාක විශේෂ 50,000කට වැඩි එකතුවක් දැකගත හැකියි. 1759 දී ආරම්භ කළ‍ මේ උද්‍යානය හෙක්ටයාර 132ක් පුරා පැතිර පවතිනවා. හෙක්ටයාර 350ක ආරක්ෂක භූමි ප්‍රදේශයක් ද මෙයට අයත්. මෙහි උද්භිද විද්‍යා පර්යේෂණ සිදු කරන හා අධ්‍යයනය කරන අන්තර්ජාතික අධ්‍යාපන ආයතනයක් ද තියෙනවා. වසරක් පාසා නරඹන්නන් ලක්ෂ පහළොවක් පමණ මෙහි එන අතර මෙය එංගලන්තයේ ලන්ඩන් නුවර පිහිටි වඩාත් ආකර්ෂණීය ස්ථානය ලෙස සැලකෙනවා. 

දුර්ලභ කුරුල්ලකු නිසා රැකුණු ඒ වගේම දුර්ලභ ඕකිඩ් ශාකය.

කීව් විද්‍යාඥයන් විසින් පසුගිය වසරේ පමණක් නව ශාක විශේෂ 74ක් හා නව දිලීර විශේෂ 15ක් සොයා ‍ගෙන තියෙනවා. ඔවුන් කියනවා, 2023 වසරේදී අලුතින් හඳුනා ගත ශාක හා දිලීර අතරින් උසස්ම හා විස්මිතම 10 ඔවුන් විසින් ප්‍රකාශයට පත් කර තියෙනවා. 

මේ සුවිශේෂ 10 අතරට ඇතුළත් වන්නේ ලොව නන්දෙසින් සොයා ගත් ශාක වර්ගයි. නිෂ්ක්‍රිය යමහලකින් සොයා ගත් විස්මිත ඕකිඩ් විශේෂයක් ද භූගතව මල් හා ගෙඩි හට ගන්නා විස්මයජනක තාල වර්ගයේ ශාක විශේෂයක් ද ඊට ඇතුළත් වෙනවා. ඉන්දුනීසියාවේ බෝනියෝ දූපතේ උෂ්ණාධික වනාන්තරවලින් මෙන් ම ඇන්ටාර්ටිකාවේ හිමෙන් වැසුණු මුඩු බිම්වලින් සොයා ගත් සපුෂ්ප ශාක මේවාට අයත් වෙනවා. මේ ශාක අතුරින් අඩු කරමින් එක් විශේෂයක්වත් මේ වන විට වඳ වී ගොස් ඇතැයි යන්න විද්‍යාඥයන්ගේ විශ්වාසයයි. 

ලොව පුරා විද්‍යාඥයන් විසින් වසරක් පාසා අලුත් ශාක හා සත්ව විශේෂ සොයා ගනු ලබනවා. 2023 වසරේ දී පමණක් ලෝකය පුරා විවිධ රටවල විද්‍යාඥයන් විසින් සොයා ගත් අලුත් ශාක හා දිලීර විශේෂ 2,500 ඉක්මවනවා. මේ අතර මෙතෙක් මිනිසා විසින් හඳුනා නොගත් තවත් ශාක ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් හා දිලීර ලක්ෂ විසි පහක් ඇතැයි විද්‍යාඥයන් අනුමාන කරනවා. 

මේ තද රතු ඕකිඩ් විශේෂය හමු වී ඇත්තේ ඉන්දුනීසියාවේ 
නොක් කඳු මුඳුනේ අක්‍රිය යමහල් කටකින්.

කීව් ආයතනයේ සේවය කරන අප්‍රිකානු විද්‍යාඥ පිරිසෙහි ප්‍රධාන පර්යේෂණ නිලධාරි ආචාර්ය මාටින් චීක් කියන්නේ, “අලුත් ශාක වර්ග සොයා ගැනීමට ඇති අවශ්‍යතාව වෙන කවරදාටත් වඩා වැඩියි. අප දැන් වෙනදාටත් වඩා උනන්දුවෙන්, උද්යෝගයෙන් නව ශාක හා දිලීර වර්ග සොයමින් හා ඒවා නම් කරමින් සිටිනවා. ඒවාගේම ඒ ශාක වර්ග පිළිබඳ විද්‍යාත්මක විස්තරයක් සැපයීම ද අපේ අපේක්ෂාවයි. දැන් ලොව බොහෝ ශාක වඳවී යන වේගය අනුව අප ඒවා ඉක්මනින් සොයා ගෙන වර්ගීකරණය කොට ආරක්ෂා කර නොගතහොත් එහෙම ශාක ලෝකයේ තිබුණාද කියාවත් නොදැනම අපට ඒවා අහිමිවී යාම වළක්වන්න බැහැ.” කියායි. 

මේ අනුව ලොව පුරා සිටින විද්‍යාඥයන් විසින් සොයා ගන්නා අලුත් ශාකවල විද්‍යාත්මක විස්තර ගොනු කිරීම, වර්ගීකරණය, නම් තැබීම ඒ ශාකය සොයා ගත් විද්‍යාඥයා ප්‍රමුඛ පිරිසගේ වගකීම වන අතර එය ලෝක උද්භිද විද්‍යා සංගමය විසින් අනුමත කළ යුතු වෙනවා. ඊට පසුවයි, ලෝක ශාක නාමාවලියට එය ඇතුළත් කරනු ලබන්නේ. 

1. දුර්ලභ කුරුල්ලකු නිසා සුරැකුණු විස්මිත ඕකිඩ් ශාකයක්! 

නව ඕකිඩ් හෙවත් උඩවැඩියා ශාක විශේෂයක් උද්භිද විද්‍යාඥ ජොහැන්ස් හර්මන්ස් විසින් මැඩගස්කරයෙන් සොයා ගෙන තියෙනවා. එය ඒරන්තස් බිගිබම් (Aeranthes bigibbum) කියන උද්භිද විද්‍යාත්මක නාමයෙන් තමයි හැඳින්වෙන්නේ. මේ ශාකයේ විශේෂත්වය වන්නේ ගැමියන් පිරිසක් විසින් ආරක්ෂා කර ගෙන පවත්වා ‍ගෙන යන ලද ස්වාභාවික පරිසරයක් තුළින් සොයා ගැනීමයි. කෙසේ වෙතත්, ඔවුන් ඒ කුඩා පරිසරය රක්ෂිිතයක් කර ‍ගෙන පවත්වා ගෙන ගියේ මේ විස්මිත ශාකය ආරක්ෂා කර ගැනීමට නොවෙයි. 

ඒ පරිසරයේ වෙසෙනවා, සුවිශේෂී වූ සිත්කලු නිල් පැහැති හොටක් තියෙන ඉතා දුර්ලභ ගණයේ කුරුල්ලෙක්. ඌ විද්‍යාත්මකව හැඳින්වෙන්නේ හෙල්මට් වන්ගා (Helmet vanga) කියලයි. මේ අපූරු කුරුල්ලා නැරඹීමට මෙහි සංචාරකයන් කරන ගෙවීම් නිසා ඔවුන්ට මේ කුඩා වනාන්තරය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය අරමුදල් සැපයෙනවා. මේ දුර්ලභ කුරුල්ලාගේ ආරක්ෂාව ගැන ඒ ගැමියන් පිරිස උනන්දු නොවූවා නම් මේ අලංකාර මලත්, මේ රක්ෂිත වනයත් මෙලහටත් ලෝකයෙන් අතුරුදන් වෙලා ඉවරයි. 

. ඕස්‍ට්‍රේලියාවෙන් සොයා ගත් නව දුම්කොළ ශාක විශේෂ නවයක්.

2. මළ යමහලක තිබී හමුවූ අති විස්මයජනක මල! 

ඉන්දුනීසියාවේ වයිජියෝ දූපතට උද්භිද විද්‍යාඥයන් පිරිසක් ගියේ ගවේෂණය සඳහා වසර 80ක් තිස්සේ අතුරුදන් ව ඇති නිල් ඕකිඩ් විශේෂයක් සොයා ගෙනයි. ඔවුන්ගේ ඒ ගවේෂණය සාර්ථක වූවා පමණක් නොව කලින් හඳුනා ගෙන නොතිබුණු නව ඕකිඩ් විශේෂයක් ද ඔවුනට සොයා ගත හැකි වුණා. මළ යමහලක් වූ නොක් කන්දේ මුදුන හරියේ මේ මලක් පිපි ඕකිඩ් ශාකයක් හමු වී ඔවුන් විස්මයට පත් වුණා පමණක් නොව තවත් කලින් හඳුනා නොගත් අලුත් ඕකිඩ් ශාකයක් ඒ අසල තිබුණා. ඔවුන්ගේ විස්මය දෙගුණ තෙගුණ වුණා. 

වඳ වී ගොස් ඇතැයි සිතූ ඕකිඩ් ශාකය අසලින් ම හමු වූ නව දීප්තිමත් රතු පැහැ‍යෙන් යුත් ඕකිඩ් මල ඩෙන්ඩ්‍රෝබියම් ලැන්සිලබියම් (Dendrobium lancilabium) ශාකයේ උප විශේෂයක්. එය ඔවුන් විසින් නම් කර ඇත්තේ වුර්යේ (wuryae) කියායි. ඔවුන් ඒ නව ප්‍රභේදය නම් කර ඇත්තේ ඉන්දුනීසියානු උප ජනාධිපතිගේ බිරිඳ වුරිගේ නම අනුව යමින්. 

මේ මැඩගස්කරයෙන් සොයා ගත් කෘමි භක්ෂක මලක්!

3. ඕස්‍ට්‍රේලියානු නව දුම්කොළ ප්‍රභේද නවයක්! 

ඕස්‍ට්‍රේලියා මහාද්වීපය තුළ මේ මහ පොළොව මත ඇති වඩාත් වියළි ශුෂ්ක ප්‍රදේශ හමුවෙනවා. ඒත් ඒ ප්‍රදේශවල පවා පර්යේෂකයන් මල් පිපෙන ශාක වැවෙනු දැක තිබෙනවා. නිකොටියානා (Nicotiana) නම් දුම්කොළ පවුලට අයත් දැනට හඳුනාගෙන ඇති ශාක විශේෂ 90ක් ලොව පුරා විසිරව වැඩෙතත්, එයින් හරි අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් මේ ඕස්ට්‍රේලියාව මහා ද්වීපය තුළ දැක ගන්න පුලුවන්. 

කීව් උද්භිද විද්‍යාඥයන් වන මාක් චේස් හා මාටෙන් ක්‍රිස්ටෙන්හුස් වසර ගණනාවක් තිස්සේ මේ දුම්කොළ පවුලේ ඩීඑන්ඒ ගැන අධ්‍යයනය කරනවා. මේ තරම් සිනිඳු, තුනී පත්‍ර ඇති දුම්කොළ ශාකය මේ ආකාරයේ කර්කශක පරිසරයක දිවි රැක ගන්නේ කෙසේදැයි යන්න තේරුම් ගන්නට, ඔවුන්ගේ මේ පර්යේෂණ අධ්‍යයනයන් විද්‍යාඥයන්ට ප්‍රයෝජනවත් වුණා. 

2023 වසරේ දී මේ දුම්කොළ අයත් වන නිකොටියානා පවුලට අයත් නිකොටියානා ඕලෙන්ස් (Nicotiana olens) ඇතුළු නව ශාක විශේෂ නවයක් හඳුන්වා දීමට විද්‍යාඥයන් සමත් වුණා. මේ ශාකයට ඕලෙන්ස් නම තැබුවේ එහි මලෙන් නිකුත් වූ ප්‍රසන්න සුවඳ නිසයි. 

ඇන්ගෝලාවේ මේ ශාකය පොළොව තුළට වැඩෙන්නක්!

4. සතුන් අල්ලා කන අබිරහස් ශාකයක්! 

පසුගිය වසරේ මැඩගස්කරයෙන් සොයා ගනු ලැබූ ඇලෙනසුලු මලක් සහිත අමුතු ශාකය උද්භිද විද්‍යාඥයන් මවිතයට පත් කළා. එය සොයා ගනු ලැබුවේ බාට් වූර්ස්ටන් නම් ක්ෂේත්‍ර උද්භිද විද්‍යාඥයා විසිනුයි. මේ ශාකයෙහි මල සිහින් කෙඳිවලින් වැසී තිබුණා. ඒ කෙඳි අග පිනි බිඳු වන් ඇලෙනසුලු ද්‍රව්‍යයක් දැක ගත හැකි වුණා. ඒවා හරියට කඳුලැස්ස වැනි ශාකවල කෙඳි හා සමාන වුණා. 

ඒ කෙඳි අග වූ ඇලෙනසුලු ද්‍රව්‍යයට සමාන වූ නිසා මෙය කෘමි සතුන් අල්ලා කන ශාක විශේෂයක් ලෙස ඔවුන් තේරුම් ගත්තා. ඔවුන් මෙය නම් කළේ ක්‍රෙපිඩෝරෝපාලන් ඩ්‍රෝසිරොයිඩස් (Crepidorhopalon droseroides) කියායි. එහි අරුත ‘කඳුලැස්සට සමාන ශාකය’ යන්නයි. මිංචි පවුලට අයත් ශකයක් වන මෙය ඇත්තට ම කෘමි සතුන් අල්ලා ගෙන කනවාද යන්න ඉදිරියේ දී කෙරෙන නිරීක්ෂණවලින් හෙළි වනු ඇති බවයි. 

5. ‍පොළොවේ යටට වැඩෙන විස්මිත ශාක යුගලක්! 

ගසක් පොළොව යටට වැඩෙනවා යැයි කීම එක අතකට පුදුම සහගත දෙයක්. ඒත් ඇංගෝලාවේ තියෙනවා පොළොව යටට වැඩෙන ගස් ජාති දෙකක් ම. උද්භිද විද්‍යාඥයන් මේ අපූරු සොයා ගැනීම කර ඇත්තේ කලහාරි කාන්තාරයෙනුයි. වතුර වාගේ දූවිලි ගලා යන කලහාරි කාන්තාරයේ ශාකයෙන් සියයට 90ක් පොළොව යටට වැඩෙන ශාක පවුල් කීපයක් ම උද්භිද විද්‍යාඥයන් විසින් සොයා ‍ගෙන තියෙනවා. 

‘වැල්ලේ වැඩෙන’ යන අරුත් දෙන බාපියා ඇරිනිකෝලා (Baphia arenicola) ඒ එක් වර්ගයක්. ඒ ශාකයේ පත්‍රවල හා මල්වල කොන් විතරයි, පොළොවෙන් උඩට මතු වන්නේ. ශාකයේ අනෙක් කොටස් සියල්ල වැලි යට සැඟවිලයි තියෙන්නේ. මෙහි දෙවැනි ශාක විශේෂයෙහි මල් කහ පැහැතියි. එය නම් කර ඇත්තේ ඇජේනිස් කොක්ලොස්පර්මම් (Adjanys Cochlospermum) කියායි. විද්‍යාඥයන් මේ නම තබා ඇත්තේ 2019 එක්සත් ජාතීන්ගේ පරිසර වැඩ සටහන යටතේ ‘අර්ත් ඇෆ්රිකා’ සම්මානය දිනූ ඇජේනි කොස්තා නම් යොවුන් දැරියට ගෞරවයක් වශයෙනුයි. 

. දකුණු කොරියාවේ ඉවත ලන සෝයා අපද්‍රව්‍යවලින් සොයා ගත් දිලීරයක්!

6. බියජනක නව රෝගකාරක දිලීර විශේෂයක්! 

මීළඟ සොයා ගැනීම විස්මය දනවන එකක් නොවෙයි, බියජනක එකක්! ලොව පුරා උෂ්ණත්වය අධික කලාපවල දක්නට ලැබෙන දිලීර වි‍‍‍‍ශේෂ හයක් ඇතුළත් ලිච්තීමියා (Lichtheimia) නම් දිලිර කාණ්ඩය ගැනයි, කියන්න හදන්නේ. සාමාන්‍යයෙන්, දිරායන කොළරොඩු ගොඩවල්වල, පසෙහි, ආහාර නිෂ්පාදනවල, අපෘෂ්ඨවංශිකයන් තුළ, පමණක් නොව මලපහවලත් මේ දිලීර අපට දකින්නට පුලුවන්. 

කෙසේ වෙතත්, මේ දිලීර පවුලට අයත් ඒවා හැඳින්වෙන්නේ මානව රෝගකාරක දිලීර හැටියටයි. එයින් අදහස් කෙරෙන්නේ ඒවා මිනිසාට රෝග බෝකරන බවයි. මේ වර්ගයෙන් සොයා ගෙන ඇති එක් දිලීර විශේෂයක් වන්නේ ලිච්තීමියා කොරියානා (Lichtheimia koreana) යන්න සොයා ගැනීම ගැන ගෞරවය හිමිවන්නේ ආචාර්ය පෝල් කර්ක්ට වන අතර ඒවා සොයා ගෙන ඇත්තේ ඉවත දමන සෝයා අපද්‍රව්‍ය වලිනුයි. වාසනාවකට වාගේ අපට සැනසීමකට ඇත්තේ, දැනට මිනිසාට රෝග බෝකරන දිලීරවලට මෙ නව දිලීරය සමීප නෑකමක් දක්වන්නේ නැති බව ආචාර්ය කර්ක් පැවසීමයි. 

දක්ෂිණ ධ්‍රැවයෙන් සොයා ගත් ලයිකන විශේෂයක්.

7. දක්ෂිණ ද්‍රැවයෙන් සොයා ගත් නව දිලීර විශේෂ තුනක්! 

ඇන්ටාක්ටිකාවේ හෙවත් දක්ෂිණ ද්‍රැවයේ මුඩු බිම් ප්‍රදේශවල එක් රැස්වී ඇති අපද්‍රව්‍ය දෙස බැලූ විට මේ හිමෙන් වැසුණු ප්‍රදේශය මුළුමනින් ම ජීවයෙන් තොර යැයි බැලූ බැල්මට ම කිව හැකියි. එහෙත් ඇන්ටාක්ටිකාව මල් හට ගන්නා ශාකවලින් තොර වුවත්, විද්‍යාඥයන් සමත්වී තියෙනවා, සිය ගණනක් ලයිකන විශේෂ ඒ ප්‍රදේශයේ ජීවත්වන බව. 

මේ ලයිකන සෑදී ඇත්තේ දිලීර, බැක්ටීරියා හා ඇල්ගී එකතුවීමෙනුයි. ඒවා එක් රැස්වී ජීවත්වන්නේ ඇන්ටාක්ටිකාවෙන් සියයට දෙකක් වූ ගල් පර්වත ප්‍රදේශයකයි. මේ වන විටත් ඇන්ටාක්ටික් ලයිකන විශේෂ 400කටත් වැඩි ප්‍රමාණයක් හඳුනා ‍ගෙන ඇතත් ඒවා මත දිවි රැක ගෙන ජීවත්වන දිලීර ගැන අප එතරම් දැනුවත්ව සිටියේ නැහැ. 

විද්‍යාව විසින් මෙතෙක් හඳුනා ‍‍ගෙන ඇති ලයිකන මත වැඩෙන 100ක් වූ දිලීර විශේෂ අතර මේ දැන් හඳුනාගෙන ඇති නව දිලීර විශේෂ තුනට විශේෂ තැනක් හිමි වෙනවා. 

පොළොව තුළට වැඩෙන ලොව එකම තල්ගහ!

8. පොළොව යටට වැඩෙන විස්මයජනක තල්ගහක්! 

මේ අමුතුම තල් ගසක්! මේ ගහ වැඩෙන්නේ පොළොව ඇතුළටයි. ගිය වසරේ මේ ගස සොයා ගත් විට විද්‍යාඥයන් විස්මයෙන් ගල් ගැහුණා. මෙය උද්භිද විද්‍යාත්මකව නම් කර ඇත්තේ පිනංගා සබ්ට‍ෙරේනියා (Pinanga subterranea) කියලයි. මෙය පොළොව යටට වැඩෙන, පස් යට මල් හට ගන්නා මේ තාල වර්ගයේ එකම ගස කියලයි, කියන්නේ. මේ ආකාරයට වැඩෙන තවත් එකම ශාකයක් විතරයි ලොව තවමත් හඳුනාගෙන ඇත‍්තේ. ඒ ඕකිඩ් විශේෂයක්. 

කෙසේ වෙතත්, නව සොයා ගැනීමක් ලෙස, විද්‍යාඥයන් මේ අපූරු ගස දැක මවිතයට පත් වුණාට, ඒ බෝනියෝ දූපතේ වැසියන්ට නම් මෙය අරුමයක් නොවෙයි. මේ ගසත් පොළොව යටට වැඩෙන ඒ තද රතු පැහැති පලතුරත් ඔවුනට හුරුපුරුදු ආහාරයක්. එපමණක් නොව මේ ශාකය බෝනියෝ දූපත් වැසියන් විවිධ නම්වලින් හඳුන්වනවා. 

මේ ශාකය ගැන හැදෑරූ විද්‍යාඥයන් කියන්නේ අනාගත පර්යේෂණවලට දේශීය දැනුම යොදා ගැනීම අවශ්‍ය බව දැක්වීමට මෙය එක් සාධකයක් බවයි. 

ලෝකයේ දුර්ලභ වයලට් ශාකයක්

9. වඳ වී යාමේ තර්ජනයට ගක් වූ වයලට් ශාකයක්! 

මයික්‍රොචිරිටා (Microchirita) ශාක කාණ්ඩයට අයත් ශාක විශේෂ 47ක් දැනටමත් හඳුනා ගෙන තියෙනවා. එයින් ශාක විශේෂ 37ක් ම ඇත්තේ තායිලන්තයේ හුනුගල් පර්වතවලයි. 

දැන් සොයා ගෙන ඇති නව ශාක විශේෂය හැඳින්වෙන්නේ යැට් නෙරමිට් (Yat neramit) කියායි. එහි උද්භිද විද්‍යා නාමය මයික්‍රොචිරිටා ෆුසිෆොසියා (Microchirita fuscifaucia) වේ. මෙහි පිපෙන මල කහ පැති කුඩා එකකි. දුර්ලභ ගණයේ ශාකයක් ලෙස හැඳින්වෙන මෙය දැනට හමුවී ඇත්තේ තායිලන්තයේ තැන් දෙකක පමණයි. ඒ ස්ථාන දෙක දැනටමත් අනාරක්ෂිත ප්‍රදේශ වන නිසා මේ ශාකයේ අනාගත පැවත්ම විශේෂයෙන් ම අවිනිශ්චිත එකකැයි විද්‍යාඥයන් කියනවා. මේ ශාකය වඳ වී යා නොදී රැක ගන්න නම් නීතිමය ආරක්ෂාව ඒ පරිසරයට ලබා දී අත්‍යවශ්‍යයි. 

දකුණු අප්‍රිකාවෙන් සොයා ගත් නිල් අවරිය විශේෂය.

10. නිල් පාට ලබා දෙන පඳුරු ශාකයක්! 

ඉන්ඩිගෝෆෙරා හෙවත් නිල් අවරිය ශාක පවුලට අයත් ශාක පත්‍රවලින් නිල් පැහැය ලබා ගන්නා බව රහසක් නොවෙයි. නිල් පැහැය නිපදවා ගන්නා නිල් අවරිය ශාක විශේෂ 750ක් ඇති බව දකුණු ඇමරිකානු රටවල සිට කැරිබියානු දූපත් දක්වාත්, ඉන් ඔබ්බට ඉන්දුනීසියාව දක්වාත් ජනතාව හඳුනන්නේ ඔවුන් නිල් පාට නිපදවන්නට ඒවා භාවිත කරන නිසයි. අප්‍රිකාවෙන් හමු වන නිල් අවරිය ශාක එක්කෝ උග්‍ර ලෙස විෂ සහිතයි, නැතිනම් සත්ව ආහාරයට ඉතාමත් සුදුසුයි. එහෙත් විද්‍යාඥයන්ට තවමත් ‍උග්‍ර විෂ සහිත ඒවා මොනවාදැයි හෝ විෂ නැති ඒවා මොනවාදැයි බේරුම් කර ගැනීමට හැකි වී නැහැ. 

පහත වීඩියෝවෙන් ඔබට වසර 177ක් කීව් හී සැඟවී තිබී හමු වූ යෝධ ලිලී මල බලන්න!

දකුණු අප්‍රිකාවෙන් සොයා ගෙන ඇති මේ නව නිල් අවරිය ශාකය විද්‍යාත්මකව නම් කර ඇත්තේ ඉන්ඩිගෝෆෙරා ඇබොටි (Indigofera abbottii) කියායි. මෙය ඇබොටි කියා නම් කර ඇත්තේ බ්‍රිතාන්‍යයෙන් දකුණු අප්‍රිකාවට පැමිණ එහි වගා කටයුතුවල යෙදුණු පරිසර හා ශාක සංරක්ෂණය පිළිබඳ පුරෝගාමියකු වූ ඇන්තනි ඩික්සන් ඇබට්ට ගරු කිරීමක් ලෙසයි. 

කෙසේ වෙතත්, පසුගිය වසරේ අලුතින් සොයා ගත් ශාක බොහොමයක්, මේ නව ශාකය ඇතුළු, වඳ වී යාමේ තර්ජනයට ලක් වූ ඒවායි. 

- පර්සි ජයමාන්න 

ඩේල් මේල් ඇසුරෙනි

 

 

 

 

6.  

 

 

 

 

Post a Comment

0 Comments