HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

පෘථිවිය හා ගැටීමේ අවදානමක් ඇති‍ විශාල ග්‍රහක 6ක්!

පසුගිය දා ලෝක විද්‍යාඥයන් කලබලයට පත් කළ විස්මය දනවන සිදුවීමක් පිලිපීනයට ඉහළින් අහසේ හදිසියේ ම දැක ගන්නට සිදු වුණා. මීටරයක් (අඩි 3ක්) විතර පළල ග්‍රහකයක් අපේ පෘථිවිය දෙස වේගයෙන් ඇදී ආවා. ඒ ග්‍රහකය පෘථිවිය දෙසට එන බව විද්‍යාඥයන් දුටුවේ පැය අටකට පෙරාතුවයි. ඒ ගැන ඔවුන් විමසිල්ලෙන් පසු වුණා. මුලින් ම එය දැක පැය අටකට පසු පෘථිවි වායු ගෝලයට ඇතුළු වුණු මොහොතේ ගිනි ගැනීමට ලක් වූ ඒ ග්‍රහකය පිලිපීනයට ඉහළින් අහසේ විශාල ගිනිජාලාවක් මවමින් පුපුරා විනාශ වුණා. කෙළින් ම ඇවිත් පෘථිවියේ හැපුනේ නැහැ. අතරමග දී ගිනිගෙන පුපුරා කුඩා කැබලි වශයෙන් ශේෂයන් ටිකක් විතරයි, පොළොවට පතිත වුණේ. 2024 RW1 ලෙස නම් කරනු ලැබූ ඒ ග්‍රහකය කුඩා එකක් වූ නිසා වාසනාවකට වාගේ හානියක් සිදු වුණේ නැහැ. 

මේ සිදුවීම නිසා මීට වඩා ප්‍රමාණයෙන් ලොකු, පෘථිවිය හා ගැටීමේ අවදානමක් ඇති, අපට ආසන්නව සැරිසරණ ග්‍රහක ගැන විද්‍යාඥයන්ගේ අවධානය යොමු වුණා. ඔවුන් සොයා ගෙන තියෙනවා, එවැනි ග්‍රහක 6ක්! සෞර ග්‍රහ මණ්ඩලය තුළ අප දැනට හඳුනාගෙන ඇති ග්‍රහයන්ට හා චන්ද්‍රයන්ට අමතරව හිරුගේ අකර්ෂණයට ලක්ව, විවිධ කක්ෂවල හිරු වටා යමින් ඇති විවිධ ග්‍රහ වස්තූන් අසංඛ්‍යාත ප්‍රමාණයක් තියෙනවා. එසේ යන ග්‍රහකවල කක්ෂයන් කිසියම් අවස්ථාවක දී පෘථිවි කක්ෂය හා සමපාත වුවහොත් ඒ ග්‍රහ වස්තුව පෘථිවියෙහි ගැටෙන්නට පුලුවන්. ඒ වගේ ම පෘථිවියට ආසන්න වීමේ දී එහි ආකර්ෂණය බලවත් වුවහොත් පෘථිවිය දෙසට ඇදී ඇවිත් ගැට‍ෙන්නට ඉඩ තියෙනවා. අඟහරු වැනි ග්‍රහයන්ගේ මෙන් ම ස‍ඳ‍ෙහි ආවාට වශයෙන් අපට පෙනෙන්නේ ඒ ආකාරයට ඒවා මතට කඩා වැටුණු පසු සෑඳ‍ෙන ආවාටයි. 

පෘථිවියෙහි වායු ගෝලයක් ඇති නිසා එසේ ඇතුළු වෙන ග්‍රහ වස්තූන් බොහොමයක් එහි ගැටීමෙන් ගිනි ගන්නවා. පසුගිය දා පිලිපීන‍ අහසේ දී ගිනිගෙන පුපුරා ගියේ එවැන්නක්. එසේ ම පසුගිය දා අප උල්කාපාත වැස්සක් ලෙස දක්කේත් එවැනි උල්කා පතිත වීමක්. එහෙත් කිසියම් අවස්ථාවක පෘථිවිය වෙත ළඟා වීමේ දී අතර මඟ දී ගිනිගෙන විනාශ විය හැකි තරමට වඩා විශාල ග්‍රහ වස්තුවක් යම් අවස්ථාවකදී ගිනිබෝලයක් සේ ඇවිත් පෘථිවියේ ගැටෙන්නට ඉඩ තියෙනවා. එසේ වැටුණු තැන් පෘථිවියේ කීප පොළකම තියෙනවා. 

2013 දී රුසියාවට ඉහළ අහසේ දී පුපුරා ගියා. මීටර 18ක් (අඩි 59ක්) ප ළල ‍ඒ ග්‍රහකය ‍’චෙල්යාබින්ක්ස්’ (Chelyabinsk) නම් වූ ඒ උල්කාපාතය ඩයනොසෝරයන් වඳ වීමට හේතු වූ උල්කාපාතයට වඩා සිය ගුණයක් කුඩා එකක් වුවත් ඒ පිපිරීමෙන් 1500කට පමණ තුවාල සිදු විය. ගොඩනැඟිලි 7,300කට අලාභ හානි සිදු විය. වසර මිලියන 66කට පෙර සිදු වූ, ඩයනොසෝරයන් මිහිමතින් අතුගා දැමූ, කිලෝමීටර් 9.65ක් (සැ. 6ක්) පළල උල්කාපාතය දැවැන්ත එකක්. එයින් ඇති වූ ආවාටය විතරයි, දැන් ඉතිරිව තියෙන්නේ. එහි පළල කිලෝමීටර 185ක් (සැ. 116ක්) විතර වෙනවා. 

ග්‍රහක කඩා වැටීම් හෙවත් උල්කාපතනයන් නිසා සිදුවිය හැකි අවදානම ගැන ඇමරිකාවේ නාසා ආයතනයත්, යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියත් අවදියෙන් තමයි, ඉන්නේ. ඔවුන් වෙනම වැඩ සටහන් ක්‍රියාත්මක කරනවා, පෘථිවියට ආසන්න ආකාශ වස්තූන් හඳුනා ගන්නත්, ඒවායින් පෘථිවියට අවදානම හා අලාභ තක්සේරු කිරීමට. දැනටමත්, පෘථිවියට අනතුරක් විය හැකි, ආසන්නයෙන් ගමන් කරන ආකාශ වස්තූන් 1, 634ක් යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය විසින් හඳුනා ගෙන තියෙනවා. 

අභ්‍යවකාශයෙන් එන වස්තූන්ගෙන් විය හැකි අනතුරු මිනිය හැකි මිම්මක් තියෙනවා. එය නම් කර ඇත්තේ ‘ටොරීනෝ මාපකය’ කියලයි. පෘථිවියට ආසන්න‍ ආකාශ වස්තු පිළිබඳ අන්තර් ජාතික සමුළුවක් ඉතාලියේ ටියුරින් නුවර දී පැවැත්තුවා. එහි දී තමයි මේ දර්ශකය සකස් කළේ. ටියුරින් නුවරට ඉතාලි බසින් කියන්නේ ‘ටොරිනෝ’ කියලයි. ඒ අනුවයි, ඒ සමුළුවේ දී සකස් කර ගත් දර්ශකයට ඒ නම ලැබුණේ. 


1. බෙනූ 

1999 සැප්තැම්බරයේ සොයා ගන්නා ලද මේ ‍බෙනූ ග්‍රහකය තමයි, දැනට අපට ලොකුම තර්ජනය එල්ල කරනු ලබන්නේ. අඩි 1,574 (කි.මී. 0.49) ක විශ්කම්භයක් ඇති ටොන් මිලියන 67ක් බරින් යුත් මේ ග්‍රහකය ඇමරිකාවේ එම්පයර් ස්ටේට් ගොඩනැඟිල්ල මෙන් 200 ගුණයක් විශාලයි. නාසා ආයතනයේ විද්‍යාඥයන් කියන විදියට එය 2182 සැප්තැම්බරයේ දී අපේ පොළොවේ හැපෙන්නට ඇති සම්භාවිතාව 2,700කට එකක් කියලයි කියන්නේ. එය අපේ පෘථිවියේ හැපුණොත් ටීඑන්ටී ටොන් බිලියන 1.4ක ශක්තියක් ජනිත කරනවා. 

ඇමෙරිකාවේ ඇරිසෝනා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඩාන්ටේ ලොරෙටා කියන විදියට මේ බෙනූ පෘථිවියේ හැපුණොත් මෙතෙක් ලෝක ඉතිහාසයේ පුපුරවන ලද න්‍යෂ්ටික බෝම්බ සියල්ල ජනනය කළ ශක්තිය මෙන් තුන් ගුණයක ශක්තියක් ජනනය කරාවි. මෙය පෘථිවි ග්‍රහයා තුළ සිටි ඩයිනොසෝරයන් සම්පූර්ණයෙන් වඳ කළා වාගේ විනාශයක් නොකරාවි. ඒ ඩත් මිලියන ගණනක් මිනිසුන් හා සතුන් මිය යා හැකියි. මෙය සිදු වීමට එනම් අපට සමීපවීමට තවත් අවුරුදු 150ක් විතර යනවා. 

මේ බෙනූ ග්‍රහකය වෙතට 2023 දී නාසා වෙතින් ගිය ඔසයිරිස් රෙක්ස් (OSIRIS REx) අභ්‍යවකාශ යානය එහි පස් සාම්පලයක් පොළොවට එව්වා. ඒවා පරීක්ෂා කළ විද්‍යාඥයන් එහි ජීවය හා ජලය පැවති බවට ලක්ෂණ හඳුනා ගෙන තියෙනවා. 

2. 2023 DW වැලැන්ටයින් දින ග්‍රහකය 

ඔබට 2046 වසරේ වැලන්ටයින් දිනයට, පෙබරවාරි 14 වැනිදාට, ආදරවන්තයින් ගැන, චොකලට් ගැන, රෝස මල් ගැන හිතන්න වෙලාවක් නැති වේවි. විද්‍යාඥයන් විසින් ගණන් බලා ඇති අන්දමට අනුව, එදාට තමයි 2023 DW කියන ග්‍රහකය ඇවිත් පෘථිවියෙහි හැපෙන්නෙ. මීටර 50ක් (අඩි 166ක්) පළල මේ ග්‍රහකය 2013 දී රුසියාවේ චෙල්යාබින්ක්ස්වලට වැටුණු ග්‍රහකයට සමාන එකක්. එය තත්පරයට කි‍.මී. 21.78ක වේගයකින් සූර්ය කක්ෂයක යමින් තියෙනවා. එය පෘථිවිය සමග මේ වේගයෙන් හැපුනොත් මහා නගරයක් පොළොවට සමතලා කරන්න එයට පුලුවන්. මුලින් විද්‍යාඥයන් ගණනය කළ ආකාරයට එය පෘථිවිය හා ගැටෙන සම්භාවේ තාව 607ට එකක්. එය දැනට තියෙන තැනත්, එන වේගයත් දිසාවත් ගැන සලකා බලා තමයි, පෘථිවිය හා ගැටෙන සම්භාවිතාව ගණනය කරන්නේ. යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ අලුත්ම ගණනය කිරීම් අනුව එකට 1,584ක් යයි කියනවා. 

 3. 1950 DA ග්‍රහකය 

පෘථිවියේ හැපීමෙන් අනතුරදායක තත්වයක් ඇති විය හැකි ආකාශ වස්තුවක් ලෙස නාසා ආයතනය නම් කරන්නේ සූර්යයා වටා තමන්ගේම කක්ෂයක යන දිගින් මීටර 140ක් (අඩි 460ක්) තරම්වත් විශාල එකකටයි. ඒවාගේ ම එහි කක්ෂය, පෘථිවිය සූර්යයා වටා යන කක්ෂයට කි.මී. මිලියන 7.5කට (සැතැපුම් මිලියන 4.6කට) ආසන්නයෙන් වැටී තිබිය යුතුයි. 

ඒ අනුව 1950 DA ග්‍රහකය ඒ මිම්මට වඩා 90 ගුණයක් විශාලයි. එහි විෂ්කම්භය කි.මී. 1.3ක් (අඩි 4,265ක්) වෙනවා පමණක් නොව බරින් ටොන් මිලියන 71ක් විතර වෙනවා. ඒ විතරක් නොවෙයි, ඒ ග්‍රහකය අප හා ගැටීමේ සම්භාවිතාව ඇති, මෙතෙක් සොයාගෙන තියෙන විශාලතම එක ද වෙනවා. 

යම් හෙයකින් එය ගැටුණ‍ොත් ඒ අවස්ථාවේ දී ටීඑන්ටී ටොන් බිලියන 75ක ශක්තිය ජනිත කරනු ඇති. එය අතීතයේ දී සිදු වූ ඩයිනොසෝරයන් වඳ වී යාමට හේතු වූ ආකාරයේ ලෝක ව්‍යසනයක් වනු නිසැකයි. 

දැනට එය ස්ථාන ගත වී ඇති ආකාරය අනුව 2880 මාර්තු 16 වැනිදා පෘථිවිය හා ගැටීමට ඇති සම්භාවිතාව එකට 34,500කි. 2032 දී එය පෘථිවියට කි.මී. 112,000,000ක් (සැතැපුම් 6,959,357ක් ආසන්නයට එනු ඇති. මේ අවස්ථාවේ දී මෙම ග්‍රහකය තවදුරටත් නීරීක්ෂණ කටයුතුවලට ලක් කළ හැකියි. 

නාසා (NASA) හා ඉසා (ESA) ආයතන මෙවැනි අනතුරුදායක ආකාශ වස්තූන් අපේ ග්‍රහයාගේ ම‍ඟ‍ෙන් ඉවතට හැරවීමට දැනටමත් අත්හදා බැලීම් කරමින් ඉන්නවා. ඔවුන් අත්හදා බලන එක් ක්‍රමයක් වන්නේ ඒ මතට අධිවේගී චන්ද්‍රිකාවක් යවා එහි ගමන් මග වෙනස් කිරිමයි. 

නාසා ප්‍රකාශකයකු ඩේලි මේල් වෙබ් අඩවියට පසුගිය දා ප්‍රකාශ කළේ මෙවන් අදහසක්: “මෙවැනි ග්‍රහයකු යන මග වෙනස් කළ යුතු යැයි තීරණය කළ පසු, චන්ද්‍රිකාවක් යවා ඒ ග්‍රහකය මතට හුණු හෝ ගල් අඟුරු හෝ සුදු වීදුරු කැබලි ඉසින්න පුලුවන්. එසේ නැත්නම් සූර්ය බල ශක්තියෙන් ක්‍රියා කරන චන්ද්‍රිකාවක් වේගයෙන් යවා ඒ මත ගැටෙන්න සලස්සන්න පුලුවන්. මේ ක්‍රමවලින් හිරු එළිය තමයි උදව් වෙන්නේ, හෙමින් සීරුවේ එය අපේ ගමන් මගින් ඉවත් කරන්න.” 

4. 2023 TL4 ග්‍රහකය 

මහ පොළොවේ මිනිස් වග විනාශ කළ හැකි තවත් අවදානම් ග්‍රහකයක් තමා 2023 TL4 කියන්නේ. මෙය හඳුනා ගත්තේ පසුගිය වසරේදියි. දුටු මුල් වර ම එය පෘථිවියට තර්ජනයක් එල්ල කළ හැකි අකාශ වස්තුවක් ලෙස විද්‍යාඥයන් තීරණය කළා.  ‍

විශාල පාෂාණයක් වූ මෙය මීටර 330ක් (අඩි 1,083ක්) විශ්කම්භයක් ඇති ටොන් මිලියන 43ක් බර එකක්. මෙය අයිපල් කුලුන වගේ 4,500 ගුණයක් බරින් වැඩියි. මෙය පෘථිවියෙහි හැපුණොත් දැනට පුපුරුවා හැර ඇති ප්‍රබලම න්‍යෂ්ටික බෝම්බය වන සා බම්බා (Tsar Bomba) මෙන් 150 ගුණයක පිපුරුමක් ඇති කරාවි. 2119 ඔක්තෝබර‍ 10 පෘථිවියෙහි ගැටීමට ඉඩ ඇති, මෙහි ගැටීමට ඇති සම්භාවිතාව 181,000කට එකකි. 

1950 DA ග්‍රහකය වගේ ම මෙයත් හැපෙන්නට කලින් වෙනත් අතකට යොමු කරන්න අවශ්‍ය පිළියම් යොදන්න අපේ අභ්‍යවකාශ පරිපාලන ආයතනවලට කාලය තියෙනවා. 

5. 2007 FT3 ග්‍රහකය 

මේ අවදානම් ග්‍රහ වස්තූන් අතරින් ඉතා ඉක්මනින් ම ගැටෙන්නට ඉඩ ඇත්තේ මේ ග්‍රහකයයි. මෙය මේ වසරේ ඔක්තෝබර් 5 වැනිදා පෘථිවිය හා ගැටෙන්නට ඉඩ තියෙනවා කියලයි විද්‍යාඥයන් කියන්නේ. 

මෙය මීටර 340ක් (අඩි 2,165ක්) දිගින් යුත් දැනට පවතින තැන අනුව පෘථිවිය හා ගැටෙන්නට ඇති සම්භාවිතාව මිලියන 11.5කට වඑකකි. මේ වතාවේ මග හැරුණොත් නැවතත්, 2030 මාර්තු 3 වැනිදා එය හැපෙන්න ඉඩ තියෙනවා. එහි ගැටීමේ සම්භාවිතාව මිලියන 10කට එකක්. මෙය ඉතාමත් පහළ මට්ටමක තිබුණත්, ලොතරැයියක ජයග්‍රාහකයකු වීමට ඇති සමභාවිතාව මිලියන 45ක් තිබුණත් මිනිසුන් ඒ ලොතරැයි මිල දී ගන්නවා නම් මේ ගැන ඊට වැඩි විශ්වාසයක් තැබිය හැකියි. 

6. 1979 XB ග්‍රහකය 

පෘථිවියේ හැපීමේ අවදානමක් ඇති අවසන් ග්‍රහකය මෙයයි. 1979 XB නම් මේ ග්‍රහකයේ විශ්කම්භය මීටර 340ක් වන අතර බර ටොන් මිලියන 49ක්. පෘථිවියේ විශාල නගරයක් සහමුලින් ම විනාශ කිරීමට තරම් ශක්තියක් ගැටීමේ දී ජනනය කරනු ඇති. 

මෙය නම් කර ඇති අංකය අනුව එය 1979 දී සොයා ගත් එකක් බව දැනටමත් ඔබට පැහැදිලි ඇති. එය පළමු වරට හඳුනා ගත් ස්ථානය අනුව පෘථිවියෙහි හැපීමට ඇති සම්භාවිතාව මිලියන 1.8කට එකකි. එහෙත් මෙහි ඇඟ හිරිගඩු පිපෙන හේතුවක් තියෙනවා. ඒ එදා මුලින් ම හමු වූ දාට පසු කිසිවකු මෙය නොදැක තිබීමයි. එය සූර්යයා වටා යන කක්ෂය නිවැරදිව නිශ්චය කර ගැනීමට හැකිවී නැත. 

මේ අවස්ථාව වන විට මේ ග්‍රහකය ඇත්තේ කොතැනද යන්න ලොව පුරා තාරකා විද්‍යාඥයන්ට විශාල ගැටළුවක් ව පවතිනවා. කොයි මොහොතේ හෝ මෙය රහසේ ඇවිත් පෘථිවියෙහි හැපෙන්නට ඉඩ තියෙනවා.

මෙවැනි තර්ජන පෘථිවියට එල්ල වී තිබුණත් එය දැනට නම් ආරක්ෂිත බවයි, විද්‍යාඥයන් කියන්නේ. එංගලන්තයේ ග්‍රීන්විච් රාජකීය ග්‍රහ නිරීක්ෂණාගාරයෙහි ප්‍රධාන තාරකා විද්‍යාඥ ආචාර්ය ග්‍රෙග් බ්‍රවුන් කියන්නේ පෘථිවියට විශාල වශයෙන් හානි සිදු කළ හැකි ප්‍රමාණයේ ග්‍රහකයක් තවමත් හමු වී නැති බවයි. ඒත් සූර්යයා වටා කක්ෂවල යන ග්‍රහක අතුරින් එකක් කොයි මොහොතේ හරි පෘථිවියේ හැපීමේ අවදානම එසේ ම තියෙනවා. 

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments