HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

තව මාස හයකින් අපට නොපෙනී යන සෙනසුරුගේ වළලු!

සෙනසුරු හෙවත් ශනි ග්‍රහයාගේ වළලු මාස හයකින් අපට නොපෙනී යනවා! මෙහෙම කියන්නේ ඇමරිකාවේ නාසා ආයතනයයි. අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ඇති දර්ශනීය ග්‍රහයා ලෙස සෙනසුරු සැලකුම් ලබන්නේ මේ අලංකාර වළලු නිසයි. මේ අලංකාර වළලු මෙයාකාරයෙන් පෘථිවියේ ඉන්නා අපට දැක ගත හැකිවන්නේ 2025 වන තෙක් විතරයි. 2025 මාර්තු ‍23 තමා මේ අලංකාර වළලු මේ විදියට තියෙන බවට අපට පේන්නේ. එදාට තුනී රේඛාවක් බව පත්වී නොපෙනී යනවා. ඉතින් මේ මහ පොළොවේ ඉඳන් දුරේක්ෂවලින් බලන අයට පුදුම හිතේවි මේ වළලු නැති බව දැකලා. 
වසර 13ත් 16ත් අතර කාලයකට වරක් සෙනසුරු වළලුවල දාරය අපේ පෘථිවිය හා 
එකෙල්ලව පිහිටනවා. එවිටයි, අපට ඒවා නොපෙනී යන්නේ. 1995 දී එය සිදුවූ අයුරු.

ඒත් බය වෙන්න එපා! ඒ වළලු ආයිත් ඔබට දැක ගන්න ලැ‍බෙනවා. ඒ තව මාස කීපයකින්. හරියට ම කියනවා නම් 2025 නොවැම්බර් මාසයේ දී යළිත් පෙනෙන්න පටන් ගන්නවා. මෙහෙම දෙයක් සිද්ධ වෙන්නෙ කොහොමද කියලා ඔබ හිතනවා ඇති. වසර සියවස් ගානක් තිස්සේ තරකා නිරීක්ෂකයන් මේ සෙනසුරු වළලු අතුරුදන් වෙනවා දකින්න ඇති. ඒ අපූරු සංසිද්ධිය සෑම වසර 13ත් 16ත් කාලයකට වරක් සිදු වෙනවා. 

මේ සෙනසුරු වළලු අන්තිම වතාවට අතුරුදන් වූයේ, අපට නොපෙනී ගියේ 2009 දියි. මේ වතාවෙ ඒ විදියට සෙනසුරු වළලු නොපෙනී යන්නේ 2025 මාර්තුවල කියලයි, ගණනය කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ සංසිද්ධිය යළිත් සිදුවන්නේ 2027 හෝ 2028 දියි. මේ විස්තර අපට කියන්නේ ඕස්ට්‍රේලියාවේ දකුණු ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයයේ තාරකා විද්‍යාඥයන් පිරිසක්. මෙය තාරකා විද්‍යාඥයන්ට විස්මිත දර්ශනීය අත් දැකීමක් වෙනවා පමණක් නොව අධ්‍යයනය කළ යුතු දෙයක් වෙනවා. 
සෙනසුරු අංශක 26.7ක ඇලයකින් සූර්යයා වටා යන්නට වසර 29.4ක් ගත වෙනවා.

ඉතිහාසය පුරාම තාරකා විද්‍යාඥයන් විසින් එහි ඉන්නා චන්ද්‍රයන් 148 අතුරෙන්, ටයිටන්, එන්කැලිඩස්, මිමාස් ඇතුළු චන්ද්‍රයන් 13 දෙනකු ම සොයා ගෙන තියෙන්නේ මේ සෙනසුරු වළලු තලය හරහා යද්දීයි. මේ වළලු තලය හරහා යද්දී 1966 දී තාරකා විද්‍යාඥයන් පළමු වතාවට සොයා ගත්තා, එහි වඩාත් පිටතට වෙන්න පිහිටි අලුත් වළල්ලක්. එය අද නම් කර ඇත්තේ ‘ඊ වළල්ල’ (E ring) කියලයි. මේ වළල්ල එහි අනෙක් වළලු හයට වඩා වෙනස් එකක්. ඒ හය වගේ පැතලි නැති, හැඩයෙනුත් ටිකක් වෙනස් එකක්. 

අපේ පෘථිවිය හිරු වටා යන ගමනේ දී සෙනසුරු වළලු තලය හරහා යන අවස්ථාවක් වසර 13ත් 16ත් කාලයකට වරක් උදා වෙනවා. ඒ අවස්ථාවේ දී තමයි අපට මේ සෙනසුරු වළලු නොපෙනී‍ යන්නේ. ඒ කෝනයේ දී ඒ සෙනසුරු වළලු සූර්යයාගෙන් ලැබෙන ආලෝකය අප දෙසට පරාවර්තනය කරන්නේ නැහැ. ඒ නිසයි, අපට ඒවා නොපෙනී යන්නේ. මේ බව ඇමෙරිකාවේ දකුණු කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ භෞතික හා තාරකා විද්‍යාඥ වාහේ පෙරූමේන් එරට රූපවාහිනී ආයතනයකට පවසා තිබුණා. 

මේ සෙනසුරු වළලු සෑදී ඇත්තේ බිලියන ගණනක් වූ ධූමකේතු හ‍ෙවත් වල්ගා තරු කොටස්, ග්‍රහක කැබලි, චන්ද්‍රයන්ගේ සුන්බුන් හා දූවිලි ආදියෙනුයි. සෙනසුරුගේ ගුරුත්වාකර්ෂණය නිසා එ්වා තව තවත් කැබලි බවට පත් වීමෙන් පසුව තමයි, මේ වළලු සෑදී තියෙන්නේ. සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා සූර්යයා වටා කක්ෂයක එක් වරක් යාමට වසර 29.4ක් ගත වෙනවා. ඒ ග්‍රහයා අංශක 26.7ක ආනතියකට ඇල වීමෙනුයි හිරු වටා යන්නේ. ඒ නිසා වරෙක පෘථිවියෙන් ඈතට යන විට අපට ඒ වළලු පෙනෙන්නේ පහත සිට බලන ආකාරයටයි. ඒ ග්‍රහයා අපට දෙසට එන විට පෙනෙන්නේ ඉහළ සිට බලන ආකාරයටයි. මේ සෙනසුරු වළලු අති දැවැන්තයි. එහි පළල සැතැපුම් 175,000ක් පමණ වෙනවා. එය සැතැපුම් 72,367ක් පළල සෙනසුරු ග්‍රහයා වටේට ම විහිදෙනවා. මේ වළලුවල ඝනකම පාපන්දු පිටියක් තරම් විශාලයි. වසර 13ත් 16ත් අතර කාලයකට වරක් සෙනසුරු වළලුවල දාරය අපේ පෘථිවිය හා එකෙල්ලව පිහිටනවා. ඒ අවස්ථාවේ දී තමයි, අපට ඒ වළලු නොපෙනී යන්නේ. 
2025 මාර්තුවල දී සෙනසුරු අපට පෙනෙන්නේ වළලු නැතිව මේ ආකාරයටයි.

ඒක දෘෂ්ටි මායාවක් විතරයි. ඒවා එහෙමම තිබෙනවා. අපේ පෘථිවියේ පිහිටීම අනුවයි, මාස කීපයකට පමණක් අපට නොපෙනී යන්නේ. ඒත් මේ වළලු ටිකෙන් ටික ඇත්තට ම අතුරුදන් වෙනවා කියා විද්‍යාඥයන් සොයා ගෙන තියෙනවා. මේ වළලු සෑදී ඇති කොටස් හෙමින් හෙමින් ටිකෙන් ටික සෙනසුරු ග්‍රහයා මතට පතිත වන බවයි ඔවුන් දැන් සොයා ගෙන තියෙන්නේ. ඒ වුනාට මෙය සිදුවන වේගය අනුව මෙය සම්පූර්ණයෙන් ම අහෝසි වන්නට තවත් වසර මිලියන 15ත් 400ත් අතර කාලයක් ගත වෙන බවයි, ඔවුන්ගේ අධ්‍යය‍නයෙන් කියවෙන්නේ. 

පර්සි ජයමාන්න 

Post a Comment

0 Comments