HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අන්තර්ජාතික පරිවර්තකයන්ගේ දිනය අදයි!

අන්තර්ජාතික පරිවර්තකයන්ගේ දිනය අදට යෙදී තියෙනවා. මෙවර මේ දිනය යෙදී ඇත්තේ සැප්: 30 වැනි සඳුදාටයි. මේ දිනය මුලින් ම එක්සත් ජාතීන් විසින් නම් කරන ලද්දේ 2017 මැයි 24 වැනිදා පැවැත් වූ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදියි. ලොව පුරා විසිර සිටින වෘත්තීය පරිවර්තකයන්ගේ කාර්යභාරය අගයන්නටයි, මේ දිනය නම් කර ඇත්තේ. 


අතීතයේ බයිබල පරිවර්තකයකු ලෙස ප්‍රසිද්ධව සිටි, පසුව පරිවර්කයන්ගේ සාන්තුවරයා ලෙස නම් කරන ලද ජෙරොමි පියතුමා සිහිකිරීමට නියමිත දිනය ඒ සඳහා එක්සත් ජාතීන් විසින් යොදා ගෙන තියෙනවා. මේ ජෙරොමි පියතුමා ඉතාලියේ විසූ අයෙක්. නව තෙස්තමේන්තුවට අයත් ග්‍රීක අත්පිටත් ලේඛන කියවා ඒවා ලතින් බසට පෙරළීම තමයි, එතුමා ක්‍රිස්තු වර්ෂ 400 දී පමණ සිදු කර ඇත්තේ. ඉලිරියානු ජාතිකයකු වූ මෙතුමා සිය බසට අතරව ග්‍රීක, ලතින්, හිබෲ බස් හැදෑරූ අතර හීබෲ යාච්ඤා පොත ග්‍රීක බසට පෙරළුවා. ජාතීන් අතර සාමය පැතිරවීම අරමුණු කර ගෙන සංචාරයේ යෙදෙමින් විවිධ අධ්‍යයන කරමින් ගිය එතුමා ක්‍රි. ව. 420 සැප්තැම්බර් 30 වැනිදා බෙත්ලෙහෙමේ දී අභාවයට පත් වුණා. 

මෙවර අන්තර්ජාතික පරිවර්තකයන්ගේ දිනයෙහි තේමාව වන්නේ “පරිවර්තන අන්තර්ජාතික පරිවර්තකයන්ගේ දිනය අදට කලාව, දේශීය භාෂාවල හරාත්මක හා සදාචාරත්මක ගුණ ආරක්ෂා කර ගැනීමට යොදා ගත හැකි ප්‍රයෝනවත් මෙවලමකි.” යන්නය. මේ පිළිබඳව ලොව පුරා පවත්වන සම්මන්ත්‍රණවලදී, රටින් රටට පරිවර්තකයන්ට මුහුණ පාන්නට වන විවිධ අභියෝග, ඔවුන්ගේ සුරැකිය යුතු අයිතිවාසිකම්, විවිධ භාෂාවලට කෙරුණු පරිවර්තන කෘතීන් අදාළව සාකච්ඡා කෙරෙනු ඇති. 

පරිවර්තන කාර්යය බසකින් බසකට කරන්නක් පමණක් නොවේ. අපේ ජීවිතයේ හැම තැනකම අපට මේ පරිවර්තන කටයුත්තට මුහුණ දීමට සිදු වෙනවා. අපේ සිත තුළ ඇති වන හැඟීම් මුහුණේ අභිනයන්ට පරිවර්තනය වීමත් එක් කාර්යයක්. ඒවා අපට වචනවලටත් පරිවර්තනය කරන්න පුලුවන්. බසකින් බසකට පරිවර්තනය මගින් අපට ලෝකය හඳුනා ගන්නට පුලුවන්. 

මේ දිනවල කොළඹ පැවැත්වෙන පොත් ප්‍රදර්ශනයෙහි වැඩියෙන් ම අළෙවි වන්නේ පරිවර්තන කෘතීන් වීම අපට පරිවර්තනයෙහි අගය තේරුම් ගැනීමට හොඳටම ප්‍රමාණවත්. 

පරිවර්තනය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි විශාල කාර්යභාරයක් ඉටු කරනවා. නිල වශයෙන් භාෂා 6ක් එහි සැසිවාරවල දී භාවිත වෙනවා. ඒවා නම් අරාබි, චීන, ඉංග්‍රීසි, ප්‍රංශ, රුසියන් හා ස්පාඤ්ඤ යන භාෂායි. එහි රාජකාරි කටයුතු සඳහා භාෂා දෙකක් ප්‍රධාන වශයෙන් භාවිත වෙනවා. ඒවා නම් ප්‍රංශ හා ඉංග්‍රීසියි. ඒ හැරෙන්නට සිය ගණනක් භාෂා පරිවර්තකයන් රැසක් එහි සේවය කරනවා. ඔවුන්ගේ ලිපි ලේඛන හා පොත පත ලොව පුරා සෑම භාෂාවකට ම පාහේ පරිවර්තනය වෙනවා. ලෝක සාමය පවත්වා ගෙන යාමට මේ පරිවර්තකයන් කරන මෙහෙය අති විශිෂ්ටයි. 

දැන් පරිවර්තන කටයුතු සඳහා කෘත්‍රිම බුද්ධික මෙවලම් යොදා ගන්නවා. ඒ පහසුකම විශේෂ යෙදවුම් මගින් ස්මාට් ෆෝන්වලටත් ලබා ගන්න පුලුවන්. තාක්ෂණික දැනුම, එදිනෙදා පොදු සංවාද ආදියට මේ මෙවලම් පහසුවෙන් යොදා ගන්න හැකියාව තියෙනවා. පරිවර්තනය සඳහා භාෂා කීපයක් ඇතුළත් පරිවර්තක මෙවලම් ද තියෙනවා. මෙහි දී තවමත් අපට ජය ගත හැකිවී නැත්තේ සාහිත්‍යගත පරිවර්තනයි. ලෝකයේ රටවල සංස්කෘතීන් විවිධ නිසා සාහිත්‍ය කෘතිවල ද ඒ ඒ රටවල භාෂාවලට ආවේණික අරුත් දෙන වචන අඩංගු වන නිසාත්, ඒ ඒ වචනවලට විවිධ අරුත් ඇති නිසාත්, සාහිත්‍යගත පරිවර්තනය නිවැරදිව කර ගැනීමේ හැකියාවක් තවම අපට උදා වී නැහැ. දැනට භාෂා හැසිරවීමට පරිගණකය යොදා ගැනීම පිළිබඳව පර්යේෂණය කරන්නන් මේ ගැන වෙහෙසනවා. අනාගතයේ දී අපට මේ බාධකය ජය ගත හැකි වේවි.

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments