HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අප හද අරගත් හඳ නැන්දා අපෙන් සමු ගනියි!

“ලොව ගණ’ඳුර දුරු කරන්න 
ගුණ නුවණට මඟ පෙනෙන්න 
පුංචි අපට දැනුම දෙන්න 
හඳමාමට සවන් දෙන්න” 

ජනප්‍රිය ගායක ජේ. ඒ. මිල්ටන් පෙරේරාගේ හඬින් ගැයුණු මේ තේමා ගීතය දසක හයක් තිස්සේ ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූවා අපට මතකය. මේ තේමා ගීතය ඇසෙත් ම මොන සෙල්ලමක් කර කර සිටියත් ඒ සියල්ල අතරමඟ නවතා දමා පොඩිත්තන් ගුවන්විදුලි යන්ත්‍රය වටා රොක් වූ හැටි, ගත වූ හැට වසර තිස්සේ ම අප දුටුවා. මේ ගීතය රචනා කළේ, ‘හඳමාමා’ නමින් යුත් එම ගුවන් විදුලි වැඩ සටහනට මුල සිට ම දායක වූ සුමනා ජයතිලකමයි. ඇය 2024 ජූලි 3 වැනි දා අප අතරින් වියෝ වුණා. ඒ වන විට ඇය 87 වන වියේ පසුවුණා. අප මේ සටහන තබන්නේ ළමා වැඩ සටහන් සැකසී පුරෝගාමිණියක වූ ඇගෙන් වූ ඒ මහ මෙහෙය අගය කරන්නයි. 
සුමනා ජයතිලක හඳ නැන්දාගේ අමතක නොව ඒ සිනහව. 
හඳමාමාට 50 පිරුණු දා නිකුත් කළ චන්දන තිලකරත්න‍ගේ ‍ග්‍රන්ථය.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයෙන් ප්‍රචාරය වූ එකම ළමා වැඩසටහන වූ ‘හඳ මාමා’ ආරම්භ කළේ, පසුව ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා ගුවන්විදුලියේ සේවය කරන කාලයේයි. ඒ නම ඊට දුන්නේද ඔහු යැයි ‘සරසවිය’ පුවත්පත වෙනුවෙන් පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවක දී ඔහු මා සමග කීවා මට මතකය. නිතර ම නවකයන්ට අතහිත දුන් ඔහු ඒ සඳහා මුලින් ම තෝරාගත්තේ ගුවන්විදුලි සංස්ථාවේ සහන නිවේදිකාවක ලෙස සේවයට එක් වුණු සුමනා ජයතිලකයි. එවකට ජ්‍යෙෂ්ඨ වැඩසටහන් ඉදිරිපත් කරන්නකු වූ ආරිසේන මිල්ලවිතානාරච්චි ඒ සමගම එක්කර ගත්තා. ‘හඳමාමා’ මුල් ම‍ වැඩසටහන ප්‍රචාරය වී තිබෙන්නේ 1963 දෙසැම්බර් 13 වෙනිදායි. අද දක්වාත් ප්‍රචාරය වන මේ වැඩසටහන ලෝකයේ දීර්ඝතම කාලයක් අඛණ්ඩව ප්‍රචාරය වන ළමා වැඩසටහන ලෙස වාර්තා අතරට එක්වෙනවා. එහෙත් එය ගිනස් වාර්තා පොතට ඇතුළත් නොවූයේ එහි ආරම්භය පිළිබඳ තහවුරු කරන්නට අවශ්‍ය ලිපි ලේඛන සැපයීමට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව අසමත්වීම නිසයි. වැඩසටහන ‘හඳමාමා’ වූ නිසා එය ඉදිරිපත් කළ සුමනා ජයතිලක ‘හඳ නැන්දා’ වුණා. ඒ නමින් ජ්‍යෙෂ්ඨ ගුවන්විදුලි මාධ්‍යවේදියකු චන්දන තිලකරත්න පොතක් ලියුවේ ඇයට උපහාර පිණිස එම වැඩ සටහනට 50 වසරක් පිරුණු මොහොතෙයි. 

අපේ රටේ කාන්තාවන් අතර සුමනා ජයතිලකට අතිවිශේෂ තැනක් හිමි වන්නේ සැමියාගේ කීර්තියෙන් බැබලෙන කාන්තාවක් නොවීම නිසයි. ඇය ගුවන්විදුලියට එක්වුණේ සුමනා පුෂ්පවතී කුරේ නමින් වුනත්, 1953 දී ඇය අපේ රටේ කීර්තිමත් ලේඛකයකු වූ කේ. ජයතිලක හා විවාහ වී සුමනා ජයතිලක වුනත් සමීපව ඇසුරු කරන්නන් ටික දෙනකු හැර බොහෝ දෙනකු ඒ බව දැන සිටියේ නැහැ. මෙරට වැඩි දෙනකු ඇය ජයතිලක මහතාගේ බිරිඳ යැයි දැන ගත්තේ ජයතිලක මහතාගේ අභාවයේදියි. ඇය සිය අනන්‍යතාව වෙනම ගොඩනඟා ගෙන තිබුණා. 

සුමනා ජයතිලක අපේ ප්‍රවීණ ලේඛක කේ. ජයතිලක සූරින් සමග.

ගුවන්විදුලි නිවේදිකාවක, වැඩසටහන් නිෂ්පාදකවරියක ලෙස කටයුතු කළ ඇය එකල සුප්‍රකට වේදිකා නාට්‍යවලටත් රංගනයෙන් දායක වුණා. ඒ අතර ‘රත්නාවලී’, ‘හස්තිකාන්ත මන්තරේ’, ‘පබාවතී’, ‘මඟුල් පරස්තාව’, ‘මැටි කරත්තය’, ‘මූදු පුත්තු’ වැනි නාට්‍ය ඉන් ප්‍රධානයි. 

මාධ්‍ය ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කරද්දී මට නොයෙක් විට ඇය හමු වී තියෙනවා. ඒ හැම විට ම මා දුටු ඒ දයාවෙන් පිරුණු සිනහව මට කිසිදාක අමතක වන්නේ නැහැ. අද ජාතික උත්සවයක් බවට පත් වී ඇති කොළඹ පොත් ප්‍රදර්ශනයේ මංගල උත්සවයේ දී එහි සැරිසරණ ලේඛකයන්ගෙන් අදහස් විමසමින් ඒවා පටිගත කරමින් සිටිය දී ඇය මට හමුවුණා මතකයි. එදා මා ගැන හැඳින්වීමක් කළ ඇය පොතපත කියවීම ගැන යමක් කියන්නැයි ඉල්ලීමක් කළා. “මා පත්‍රකලාවේදියකු වූයේ කියවීම නිසයි. ඔබ කුමන රැකියාවක් කළත්, කරන්න බලාපොරොත්තු වුනත්, පොතපත කියවීම අත් අරින්න එපා! අතට අහුවෙන ඕනෑම දෙයක් කියවීමට පුරුදු වෙන්න. හැම විෂයකටම අයත් පොත කියවන්න. ඔබට ඉබේ ම හොඳ අනාගතයක් උදා කරගත හැකි හොඳම මග එයයි. හතරේ පන්තියට විතරක් ගිය මාර්ටින් වික්‍රමසිංහ අපේ ලේඛකයන් අතර සිළුමිණ වූයේ කියවීම නිසයි.” මා එදා කී දේ ගැන ඇය මට මුව නොසෑහෙන්න ස්තුති කළ හැටි මට තවමත් මතකයි. 

1963 වසරේදී ගුවන්විදුලියේ සහන නිවේදිකාවක ලෙස සේවයට බැඳුණු ඇය ඉන් වසර විසි එකකට පසුව 1984 දී විශ්‍රාම ලැබුවේ වැඩසටහන් අතිරේක අධ්‍යක්ෂ ජනරාල් වරියක ලෙසයි. ගුවන් විදුලියෙන් විශ්‍රාම ලැබුවත් ඇය මිය යන තෙක් හඳමාමා වැඩසටහනට දායක වුණා. ඇය ඒ වැඩසටහනට නිබඳව එක්වූ අපේ මිත්‍ර ලැම්බට් පෙම්මාවඩු කවියාත් තවත් නිර්මාණ ශිල්පීන් ගණනාවක්ද සමග ඒ වැඩසටහන මෙහෙය වූ අන්දම අපේ මතකයෙන් ලේසියෙන් මැකී යන්නේ නැහැ. 

කේ. ජයතිලක මහතාගේ ලේඛන කටයුතුවලට උදව් කරමින් දියණියන් දෙදෙනකු සහ පුතණුවන් දෙදෙනකු හදාවඩා ගනිමින් ඔවුනට ඉහළම අධ්‍යාපනයක් ලබා දෙමින්, ගුවන්විදුලි රාජකාරියද අකුරට ම ඉටු කළ ඇය සැබැවින්ම අපේ කාලයේ විසූ දිරිය ගැහැනියක් බව නො කියා ම බැහැ. අපි ඇයට නිවන් සුව පතමු! 

- පර්සි ජයමාන්න 





 

Post a Comment

0 Comments