HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මිසර පිරමීඩ තුළ සැඟවුණු විස්මිත අභිරහස්!

පුරාණ ඊජිප්තුව හැඳින්වෙන්නේ මිසරය යන නමිනි. මිසර රජවරුන් හැඳින්වෙන්නේ පාරාවෝ යනුවෙනි. පිරමීඩ ගැන කතා කරද්දී සිහියට නැගෙන්නේ ඊජිප්තුවේ ගීසා නිම්නයේ ඉදි කෙරුණු යෝධ පිරමීඩ ත්‍රිත්වයයි. පැරැණි පුදුම හතටත්, නූතන පුදුම හතටත් අයත් තවමත් අපට දකින්න ලැබෙන ඉදි කිරීමක් ලෙස පිරමීඩ සැලකිය හැකිය. පිරමීඩ යනු පාරාවන් වෙනුවෙන් ඉදි කෙරුණු සොහොන් ගෙවල්ය. පිරමීඩ සම්බන්ධව, නොවිසඳුණු අභිරහස් බොහොමය. 

එක් අබිරහසක් වන්නේ, ඒවා ඉදි කළේ කෙසේදැයි යන්නය. පිරමීඩ ත්‍රිත්වයට අයත් මහා පිරමීඩය ඉදි කිරීමට පමණක්, හුණුගල් ටොන් මිලියන 5.5 ක්, ග්‍රැනයිට් ටොන් 8,000 සහ මෝටාර් ටොන් 500,000 ක් පමණ භාවිතා කර තිබේ. මේ දේවල් ගීසා නිම්නයේ අදාල ඉදි කිරීම් සිදුවුණු ස්ථානයට ප්‍රවාහනය කර ඇත්තේ කිලෝමීටර් 800 ක් දුරිනි. පිරමීඩ ඇති ස්ථානයට කිලෝ මීටරයක් පමණ දුරින් අප්‍රිකාවේ දිගම ගංගාව මෙන්ම ලෝකයේ දිගම ගංගාව ලෙස ද සැලකෙන නයිල් ගඟ එසේත් නැතිනම් නයිල් නදිය ගලා බසී.

14 වන සියවස තෙක් ලොව උසම ගොඩනැගිල්ල වූයේ මේ පිරමීඩයයි.

පිරමීඩ ඉදි කිරීමට අවශ්‍ය ඇතැම් අමුද්‍රව්‍ය, නයිල් නදිය දිගේ දැවැන්ත ඔරු සහ පාරුවලින් රැගෙනවිත්, පසුව ඒවා වහලුන් සහ සේවකයන්, ලී කරත්වවල පටවාගෙන ගීසා නිම්නයට තල්ලු කළ බව පැවැසෙයි. ටොන් ගණනක් බර ගල් කුට්ටි එසේ තල්ලු කිරීම පහසු සහ ඉක්මන් කටයුත්තක් නම් නොවෙයි. මිසර වැසියන් පිරමීඩ තැනීමේ මෙම වික්‍රමය සිදු කළේ කෙසේද යන්න නොවිසඳුනු අබිරහසකි.‍ ඒත් දැන්, එම අබිරහසට විසඳුමක් දීමට විද්‍යාඥයෝ පිරිසක් සමත් වී සිටිති. 

විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට ගීසා නිම්නයේ ගීසා පිරමීඩ ඇති ස්ථානයේ සිට අඩි කීපයක් දුරින් බටහිර කාන්තාර සානුවේ අතීතයේ ගංගාවක් පැවැතිණි. මෙය නයිල් නදියේ අතු ගංගාවකි. අද එය සිඳී වැලි යට සැඟවී ගොසිණි. මේ අතු ගංගාව සොයා ගැනීමට සමත්වූයේ ඇමෙරිකාවේ උතුරු කැරොලිනා විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පර්යේෂකයන් පිරිසකි. ඔවුන්ට එම භූමියේ චන්ද්‍රිකා ඡායාරූප මේ සොයා ගැනීම සඳහා ඉවහල් වූ බව පැවැසෙයි.


පිරමීඩ තුන අහසට පෙනෙන හැටි‍‍.

ඊට අමතරව, පුරාවිද්‍යාඥයන් කණ්ඩායම, එම භූමිය කැණීම් කර, ලබා ගත් අවසාදිත පාෂාණ තට්ටුවලින් ද ගංගාවක් තිබුණු බවට සාක්ෂි හමුවී ඇත. මේ ගංගාව, නයිල් නදියේ අතු ගංගාවක් බවත්, එය කිලෝ මීටර් 64 ක් දිගින් යුක්ත වන්නට ඇති බවත් විද්‍යාඥයෝ පැහැදිලි කරති. අද මෙය සැඟවී ගොස් ඇත්තේ සහරා කාන්තාරයෙන් ආ වැලිවලින් වැසී සහ කෘෂිකාර්මික ඉඩම්වලට පහළිනි. අවුරුදු 4,200 කට පෙර, මිසරය දැඩි නියගයකින් බැට කෑ බවත්, එම නියං සමයේ දී මෙම අතු ගංගාව සිඳී වැලිවලින් වැසී යෑම ආරම්භ වන්නට ඇති බවත් විද්‍යාඥයන්ගේ අදහස වී තිබේ. 

ඊජිප්තුවේ දකින්න ලැබෙන්නේ ගීසා හි යෝධ පිරමීඩ ත්‍රිත්වය පමණක් නොවෙයි. තවත් පිරමීඩ 31 ක් ගීසා නිම්නයට පහළ ප්‍රදේශවලින් හමුවී ඇත. ඒවා ප්‍රරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් වුණු සංචාරක ආකර්ශනය දිනූ ස්ථාන ලෙස සැලකෙයි. අබුසාර් පිරමීඩ, සක්කාරා පිරමීඩ, ඩෂ්සූර් පිරමීඩ සහ ලිස්ට්ස් පිරමීඩ එම සෙසු ප්‍රධාන පිරමීඩ වෙයි. මේ පිරමීඩ සියල්ල අසලින් මෙම අතුගංගාව ගලා ගිය බව පැවැසෙයි. පුරාවිද්‍යාඥයන් අතුගංගාව නම් කර ඇත්තේ අහ්රමාත් යන නමිනි. 

ඉපැරණි සහ නූතන පුදුම 7 ට ඇතුළත් ගීසා පිරමීඩ ත්‍රිත්වය පිරමීඩ ත්‍රිත්වය වසර පන්දහසකට වඩා පැරණිය. මෙම පිරමීඩ අයත් වන්නේ කූෆු, කාෆ්රේ සහ මෙනකුරේ යන රජවරුන් (පාරාවන්) ගේ සිරුරු තැන්පත් කිරීමටය. ක්‍රි.පූ. 26 වැනි සියවස, එනම් මීට අවුරුදු 4600කට පෙර පැවැති සියවස, මිසර සංස්කෘතික දියුණුවේ උච්චම අවස්ථාව ලෙස සැලකෙයි. එම කාලයේ පාරාවන් (ලෙස කටයුතු කළේ කූෆු ඔහුගේ පුතු කාෆ්රේ සහ මුනුපුරු මෙනකුරේ ය. පිරමීඩ නිර්මාණය කරන්නැයි අණ දී ඇත්තේ මොවුන්ය. ඒ, ඔවුන්ගේ සොහොන් ගෙවල් හැටියටය. ගීසා නිම්නය පිහිටා ඇත්තේ ඊජිප්තුවේ කයිරෝ අගනුවර සිට කිලෝ මීටර් 18ක් දුරිනි. ගීසා නිම්නයේ පළමුවෙන්ම සෑදූ පිරමීඩය කූෆු නමැති රජුගේ පිරමීඩයයි. මෙම පිරමීඩය චියොප්ස් පිරමීඩය ලෙස ද හැඳින්වෙයි. ලෝකයේ විශාලතම පිරමීඩය ලෙස ද සැලකෙන මෙය ‘මහා පිරමීඩය’ යනුවෙන් හැඳින්වෙයි. 

14 වන සියවස තෙක්, ලෝකයේ උසම ගොඩනැගිල්ල එසේත් නැතිනම් ඉදි කිරීම වූයේ ද මෙයයි. මෙම පිරමීඩය ඉදිකළ අවධියේ මෙහි උස අඩි 481ක් වුව ද දැන් මෙහි මුදුනත කොටස කැඩී විනාශ වී ගොසිනි. කූෆු රජ්ජුරුවන්ගේ මෙම මහා පිරමීඩයේ පාදම අක්කර 13ක් එනම් හෙක්ටයාර 5.3ක් පුරා විහිදෙයි. එක පැත්තක දිග මීටර 230 (අඩි 756) කි. කාෆ්රේ රජුගේ පිරමීඩය ඉදිකර ඇත්තේ කූෆුගේ පිරමීඩයට වඩා අඩි 10ක් උසින් අඩුවෙනි. කූෆු රජුගේ මුනුපුරු මෙනකුරේගේ පිරමීඩය මේ පිරමීඩ දෙකටම වඩා කුඩාය. එහි උස මීටර 66 කි. කූෆුගේ බිසවුන් වෙනුවෙන් ඔහුගේ පිරමීඩය අසල තවත් කුඩා පිරමීඩ ඉදිකර තිබේ. එපමණක් නොවේ, රජ පවුලේ අනෙක් රාජකීයයන් සහ ඥාතීන් වෙනුවෙනුත් මෙම පිරමීඩ සමූහය අසල කුඩා දේවාල සහ සොහොන් ගෙවල් ඉදිකර තිබේ. 

කූෆු රජ්ජුරුවන්ගේ මහා පිරමීඩය මැද මහා වංකගිරියක් වැනි උමං මාර්ගයක් ඇත. මධ්‍යයේ ඇත්තේ දේහය තැන්පත් කර ඇති මධ්‍යම කුටියයි. මෙම පිරමීඩය තැනීමට එකක් මෙට්‍රික් ටොන් 2.27ක් බර හතරැස් හුනුගල් කුට්ටි 2,300,000ක් භාවිතා කර ඇත. මේවා ආනත තල ක්‍රම මගින් ඉහළ පහළ ගෙන ගොස් ඇතැයි විශ්වාස කරයි. මෙම ගල් දිනකට 300 බැගින් ඔරු සහ පාරු යොදාගෙන නයිල් ගඟ දිගේ ගෙනෙන ලදී. මෙම පිරමීඩය නිම කිරීමට කම්කරුවන් (බොහෝ දෙනා වහලුන්) ලක්ෂයක් අවුරුදු 20ක් පමණ වැඩ කොට ඇතැයි ගණන් බලා ඇත. මෙම පිරමීඩවල යම් යම් කෝණ අහසේ පෙනෙන ඔරායන් හා සිරියස් තාරකා මණ්ඩලවල ඇති විශාල තාරකාවලට එක එල්ලේ යොමු කර ඇත. පුරාණ මිසර වැසියෝ මරණින් මතු ජීවිතයක් ගැන විශ්වාස කළහ. ඒ නිසා ඔවුහු මියගිය පසු සිරුරු සුරැකිව තබා ගැනීමට හුඟක් මහන්සි ගත්හ. පාරාවන්ගේ සිරුරු මමීකරණයට ලක් කළේ එහෙයිනි. 


පිරමීඩ තනන්න ගල් ගෙනාවේ නයිල් නදිය දිගේය.

මේ අතර, කූෆු රජුගේ මහා පිරමීඩයේ ඇතුළත විද්‍යාඥයන් මවිත කිරීමට සමත් අබිරහස් හිඩැසක් පිළිබඳ සොයා ගැනීමට ද මේ වන විට විද්‍යාඥයෝ සමත් වී සිටිති. පිරමීඩවල පමණක් නොව, පිරමීඩ ආශ්‍රිත අබිරහස් රැසක් වන අතර ඒවා විසඳීමට විද්‍යාඥයන්ට හැකියාව ලැබී නැත. චියොෆ් යන නමින් ද කූෆු පාරාවන් වෙනුවෙන් ඉදිකළ මහා පිරමීඩයේ ඇතුළත අබිරහස් හිඩැසක් ඇති බව සොයා ගැනුණේ පිරමීඩය විශේෂ ස්කෑන් පරීක්ෂණයකට ලක් කිරීමෙන් පසුවය. එම පරීක්ෂණය සිදු කළේ ප්‍රංශ සහ ජපාන පුරාවිද්‍යාඥයන් සහ තාක්ෂණවේදීන් එක්වෙමිනි. ස්කෑන් තාක්ෂණය හැඳින්වෙන්නේ ‘මුවෝග්‍රැෆි’ යන නමිනි. මුවෝග්‍රැෆි යනු ජපාන නව තාක්ෂණයකි. මෙහිදී සිදු කෙරෙන්නේ, පෘථිවියට පතිත වන කොස්මික් කිරණ යොදා ගනිමින් ස්කෑන් පරීක්ෂණයක් කිරීමය. කොස්මික් කිරණ වායුගෝලය හරහා එද්දී, දෘහිතෘ අංශු එසේත් නැතිනම් අණුවලට වෙන් වෙයි. මුවොන් අණු ද ඒ අතර වෙයි. මේවා පස්වල ඇති ඛනිජ ද්‍රව්‍ය විසින් උරාගෙන පරාවර්තනය කිරීමක් සිදු කරයි. පරාවර්තනය වීමක් සිදු නොවන්නේ නම් එතැන ඇත්තේ හිස් අවකාශයකි. 

ලුසිත ජයමාන්න 

ඩේලිමේල් ඇසුරිනි 


Post a Comment

0 Comments