HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

සංචාරක සාහිත්‍යයට එක් වූ විස්මිත කෘතියක්, ‘චීනයේ සැරිසර වරුණ’

ලෝකයේ විවිධ සාහිත්‍ය ශානර අතරින් සංචාරක සාහිත්‍යය ඉපැරණිතම එකක් සේ සැලකිය හැකිය. මුලින් ම මිනිසා ලොව සෙසු රටවල් ගැන දැන හඳුනා ගත්තේ මේ දේශාටන හෙවත් සංචාරක සාහිත්‍යයෙනි. මේවා අතරින් පැරණිම කෘතින් ලෙස සැලකෙන්නේ ක්‍රි. ව. පළමු වන සියවසෙහි ලියැවුණු ‘එරිත්‍රියානු මුහුදේ පෙරිප්ලස්’ (Periplus of the Erythraean Sea) හා දෙ වන සියවසට අයත් ‘ග්‍රීසිය පිළිබඳ පෝසේනියස්ගේ විස්තරය (Pausanias' Description of Greece) යන ඒවායි. එසේ ම පළමු වන සියවසට අයත් ජනප්‍රිය සංචාරක සාහිත්‍ය කෘති රැසක් ‍චීනයේ සොන් අධිරාජ්‍ය සමයේ (1037–1101) බිහි වූ බව කියැවේ. 

මේ ඉපැරණි සංචාරක සාහිත්‍යය තුළින් ඒ යුගයේ මැකී ගොස් ඇති ඉතිහාසය අපට යළි ගොඩ නගා ගැනීමට හැකි වේ. මීට වසර 1600කට පමණ පෙර, ක්‍රි.ව. 410 දී චීන ජාතික පාහියන් (Fa-Hsien/Faxian) හිමියන් ලක් දිවට පැමිණ මෙහි සංචාරය කර ලියා ඇති චාරිකා කෘතිය චීනයෙන් අපට හමු වන අප පිළිබඳ පැරණි ම ලියැවිල්ල ලෙස සැලකේ. එහි දක්වා ඇති මෙරට පැවති සභ්‍යත්වමය, සංස්කෘතිමය හා ආගමික විස්තරයෙහි වටිනාකම කිව නොහැකි තරම් ය. පාහියන් හිමියන් මෙහ‍ි වැඩම කළ කාලයේ අනුරාධපුරයේ අබයගිරි විහාරයෙහි පමණක් භික්ෂූන් 5000ක් පමණ වැඩහුන් බවත්, ශ්‍රී මහා බෝධිය මෙහි වැඩම වීම, බුදුන් මෙහි වැඩම කොට ශ්‍රී පාදය පිහිටුවීම, ශ්‍රී දළදා උළෙල හා පෙරහර ගැනත්, තොරතුරු අපට අනාවරණය වන්නේ පාහියන් හිමි ලියූ දේශාටන විස්තරයෙනි. සිදුහත් උපත සිදුවූ ස්ථානය වූ ලුම්බිණිය හෙළිදරවු කර ගත හැකි වූයේ ද පාහියන් දේශාටනයෙනි. 

එවැනි දිගු ඉතිහාසයක් ඇති සංචාරක සාහිත්‍යයට අයත් නවතම කෘතිය පසුගිය දා නිකුත් විය. ඒ ලක්ෂ්මන් වික්‍රමසිංහගේ ‘චීනයේ සැරිසර වරුණ’ යි. වසර හයක් චීනයේ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (යුනිසෙෆ්) නියෝජිතයා ලෙස සේවය කළ ලක්ෂ්මන් එහි ගත කළ කාලය තුළ ඔහුට දැක බලාගන්නට ලැබුණු චීනයේ දහස් ගණනක් විසිතුරු ස්ථාන අතුරින් විශේෂයෙන් තෝරා ගත් ස්ථාන 32ක් මේ කෘතියට ඇතුළත් කර ඇත. 

තහනම් නගරය - රාජ්‍යත්වයේ දිව්‍යමය සංකේතය, උතුරු වැව උයන - ශවේත දාගැබ හා චීන උයන් පෙත්, ආක්‍රමණික ප්‍රහාර අබිමුව - නිරුපද්‍රිතව වැඩ හුන් දළදා වහන්සේ, අහස් දෙවි දෙවොල, සිල්ක් මාර්කට් නොහොත් බෙයිජින් සේද වීදිය, පීකිං මානවයා ජීවත්වූ ලෝකය, මුහුණු හතරක් ඇති චීන මහා ප්‍රාකාරය, මහා ප්‍රාකාරයෙහි සමාතයි අභියෝගය, චීන උද්‍යාන කලාවේ මිණි කැටය - ගිම්හාන මාළිගය, ලෝකයේ විශාලතම මෛත්‍රී බුදු පිළිම වහන්සේ, දෙදහස් වසරකට පෙර සටන් කළ යුද හමුදාවක් අදත් සීරුවෙන්, චීනයේ පළමුවන අගනුවර හා කැලෑ පාත්තයා පැගෝඩා යුගල, මා ඕ සේතුං මහගෙදරට ගියෙමි, නගරයක සිහිනයක් සැබෑ කළ ‘නන්පු’ පාලම, දිවංගත බණ්ඩාරනායක අගමැති තුමාට පින් දීම පිණිස විශේෂ පින්කමක් පැවැත් වූ ‘ජේඩ්’ බුදුපිළිම විහාරය, ආසියාවේ පස්වන මාවත, සාම හෝටලය - පැරණි බවේ නවතාවය, යුන්නාන් - පාෂාණ වනාන්තරයෙහි ගස් ගල් අතරින් ගිය ගමනක් සහ විවිධත්වයේ ඒකීයත්වය, පාරම්පරික චීන චිත්‍ර කලාව හැදෑරීම, සිඟිත්තෙකුගේ බැඳීම සහ ‘කටුරොද ගමේ’ සිතුවිලි, සහ චීනයේ සිහින නදිය යන එහි පරිච්‍ඡේද සිරස්තලවලින් ම තෝරා ගත් ස්ථානවල ඇති වැදගත්කම හොඳින් ම පිළිබිඹු වේ. 

පාෂාණ වනාන්තරයෙහි ගස් ගල් අතරින් ගිය ගමන අසිරිමත් එකකි. අතීතයේදී ‘ලෝකයේ පළමුවන පුදුමය’ ලෙසින් හඳුන්වනු ලැබූ මෙය හුණුගල්වලින් සැදි වනාන්තරයකි. යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ද මෙය නම් කර ඇත. මෙහි ඇති පුදුමය නම් මේ හුණුගල්, වෘක්ෂලතා අදියෙහි වෙස් ගෙන ගස්වැල් සේ දර්ශනය වීමයි. මෙහි බිම් මට්ටමේ සිට අඩි සිය ගණනක් උසට ඒවා විහිදෙන්නේ යෝධ තුරු පෙළක් ලෙසයි. ඒවා අතරින් පතර ඇති හරිත පැහැති සැබෑ ගසුත් සමග සංකලනය වීමෙන් එහි දර්ශනීයත්වය තීව්‍ර කරතැයි කතුවරයා කියයි. 

මේ ‘චීනයේ සැරසර වරුණ’ ග්‍රන්ථය ප්‍රස්තුතය ඉක්මවා ගිය කෘතියකි. ලොව පැරණිම ශිෂ්ටාචාර හතරෙන් එකක් ලෙස සැලකෙන චීනයේ මහා උරුමය වූ චීන ප්‍රෟඪත්වය කියාපාන ඒ විශිෂ්ට නිර්මාණය වූ චීන මහා ප්‍රාකාරය ගැන විස්තර කරද්දී ලක්ෂ්මන් එහි මුහුණු හතරක් ගැන කියයි. ඊට සමගාමිව වසර 2200කට පෙර අපේ රජදරුවන් කළ එවැනි දැවැන්ත නිර්මාණ වූ රුවන්වැලි මහා සෑය, අභයගිරිය, ලෝවා මහාපාය වැනි ඒවා සමග සසඳයි. සංචාරක ස්ථානවල අලංකාරය හුදු සංචාරක ඇසින් දකිනවාට වඩා ඔබ්බට යමින් එහි සැඟවුණු අතීත තොරතුරු මතුකරයි. ඒවා සංක්ෂිප්තවද, රසවත්වද ඉදිරිපත් කරයි. 

“චීනයෙහි කුමන ප්‍රාන්තයට ගමන් කළත් අවම වශයෙන් සභ්‍යත්වමය, සංස්කෘතික හෝ සොබා සිරියෙන් රමණීය ස්ථාන ගණනාවක් ම දැක බලා ගත හැකිය. උදාරණයක් වශයෙන් බෙයිජින් නගරය අවට එවැනි ස්ථාන දහසයක් පමණ ඇත. යුනාන් ප්‍රාන්තයෙහි අටක් පමණ ඇත. ශාන්ෂි ප්‍රානත්යෙහි දහයකි. මෙවැනි ආකර්ශනීය ස්ථාන සියල්ලම ගැන එක පොතක ලිවීම ප්‍රායෝගිකව කළ නොහැක්කකි. චීනයේ දර්ශනීය ස්ථාන ගැන විස්තර වර්ණනා ලිවීමේ දී මම එක් රීතියක් අනුගමනය කළෙමි. එනම් මා එතැනට ගොස් කල්වේලා ගෙන නැරඹූ ස්ථාන පමණක් මෙහි ලේඛන ගත කිරීමයි.” ලක්ෂ්මන් මෙහි හැඳින්වීමෙහිලා සඳහන් කරයි. 

බෙයිජින් නගරයේ සිට සැතැපුම් දහස් ගණනක් ඈතින් පිහිටි, ලොව උසින් වැඩි ම වූ, විශාලතම මෛත්‍රී බුදු පිළිමය බලන්නට ගිය ගමනත්. බෙයිජින් නගරය ආසන්නයෙහි පිහිටි, ගිම්හාන මාළිගයෙහි කළ සංචාරයත් අතිශයින් සිත්ගන්නාසුලු ය. අඩි 233ක් උස හිඳි පිළිමයක් වන මෙම ලෙෂාන් බුදු පිළිම වහන්සේ ඉදිකර ඇත්තේ මහා ගංගා තුනක දිය කඳන් එක් වන තැනට නෙත් හෙළා සිටින ආකාරයටයි. ඒ ගංගා තුන හරහා යන්නන්ට බුද්ධානුභාවයෙන් ආරක්ෂාව ලබා දීම පිණිස ඉදිකරවූ බව සඳහන් වෙයි. මේ පිළිම වහන්සේ දැක බලා ගැනීම සඳහා කඳු මුදුනේ සිට ගං ඉවුර දක්වා පහළට බැසිය යුතු වෙයි. පටු මඟක් ඔස්සේ වැටුණු පඩිළෙක් දිගේ බසින අතර පිළිමයෙහි විවිධ ශරීරාංග ද හොඳින් දැක බලා ගත හැකිය. අනතුරුව ජල මට්ටමට අඩි ගණනාවක් ඉහළින් ඉදිකර ඇති දැවැන්ත වේදිකාවට පිවිස එහි සිට පිළිමය වන්දනාමාන කළ හැකිය. එසේ ම ගඟසිරි ද නැරඹිය හැකිය. 

ලක්ෂ්මන්ගේ විස්තරයට අනුව, ගිම්හාන මාළිගය චීනයෙහි පමණක් නොව මුළු ලෝකයේ ම තිබෙන විශාලතම රාජකීය උද්‍යානය යි. එහි භූමි ප්‍රමාණය අක්කර 740කි. ඉන් හතරෙන් තුනක් ජල ප්‍රදේශයන් ය. කුන්මින් වැව පමණක් අක්කර 550කි. ගිම්හාන මාළිගය යනු කුන්මින් වැව, ඇළවේලි, පොකුණු, කඳු ගැට, තුරුලතා හා නානා ශෛලීන් නිරූපණය කරන ගෘහ නිර්මාණයන්හි රමණීය. මනස්කාන්ත සංකලනයකි. 

මේ ගිම්හාන මාළිගය නැරඹීමට අව ම වශයෙන් දින දෙකක කාලයක් අවශ්‍ය යැයි කියන ලක්ෂ්මන් එහිදී හමුවන අපූරු කොරිඩෝවක් ගැන විස්තර කරයි. එය ලෝකයේ ඇති දිගම පියැස්සක් සහිත පදික පථය ලෙස වාර්තා පොත්වලට එක් වී තිබේ. අඩි දෙදහස් හාර සීයක් දිග මේ කොරිඩෝව සුවිශේෂ කලා භවනක් ලෙස ද හැඳින්වෙයි. පදික පථයේ සිවිලිමෙහිද, යටලී මතද, පියැස්ස දෙපැත්තෙන් කොරිඩෝව තුළට සවි වී ඇති පටු දැව ලෑලි මතද, සිතුවම් දෙදහස් හත් සියයක් පමණ මෙහි චිත්‍රණය කර ඇත. මේ සිතුවම් සඳහා විෂයය වී ඇත්තේ චීන ඉතිහාසයෙහි වැදගත් සිදුවීම් මෙන්ම, කුරුල්ලන්, මල්, තුරුලතා, කඳු, ගංගා, වැනි ස්වභාව ධර්මයට සම්බන්ධ දෑ සහ මිනිස් රූ ආදියයි. 

ලක්ෂ්මන් වික්‍රමසිංහ සිය සංචාරය අතරතුර...

පත්‍රකලාවේදියකු වශයෙන් ‘සරසවිය’ පුවත්පතෙන් වෘත්තීය ජීවිතය ඇරඹූ ලක්ෂ්මන් ලොවපුරා රටවල් ගණනාවක සැරිසරමින් විවිධ අත්දැකීම් ලබා අනතුරුව විශ්‍රාම ගියේ චීනයේ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ නියෝජිතයා ලෙසයි. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලට බැඳී ලෝකයේ රටවල් කීපයක ම වෙසෙමින් ළමයින්ට හා කාන්තාවන්ට විශාල මෙහෙයක් කළ ලක්ෂ්මන්, තමා සේවය කළ රටවල් අතරින් වැඩිම කාලයක් ජීවත් වූ රට වූ චීනය ගැන මෙවන් කෘතියක් කරන්නට සිතුවේ ඒ කාලය තුළ ඒ රට ගැන අර්ථවත් අත්දැකීමක් ලබන්නට හැකි වූ නිසා යයි කියයි. 

එදා පාහියන් හිමියන් වසර 17ක් පුරා ආසියාවේ බෞද්ධ රාජ්‍යවල දෙපයින් කළ සංචාරය කාලයේ මෙන් නොව දැන් සංචාරය දුෂ්කර නොවේ. විශේෂයෙන් චීන රජයේ අමුත්තකු වශයෙන් එහි ගිය ඔහුට ඔහු එහි ජීවත් වූ සමයේ නිදහසේ ඒවා නරඹා රසවිඳින්නටත්, විවේකී මනසකින් ඒවා ගැන ලියන්නටත් අවකාශ සැලසුණි. 

පත්‍රකලාවේදියකු වශයෙන් ඔහු ලත් පන්නරය නිසා ඒ ස්ථාන නරඹා උකහා ගත් දැනුම ඒ අයුරින් ම පාඨකයාට සමීප කරවීමට හැකි වී තිබීම මෙම කෘතියෙන් කතුවරයා ලද ජයග්‍රහණයක් සේ සලකමි. අනෙක් අතට මේ චිත්තාකර්ෂණීය කෘතිය පළ වීම විශාල වියදමක් දරා විඳිය යුතු අත්දැකීමක් ඉතා අඩු පිරි වැයකින් සපුරා ගැනීමට සිංහල පාඨකයා ලත් සුවිශේෂ ජයග්‍රහණයක් ද වෙයි. 

මෙය පළ වී ඇත්තේ සරසවි ප්‍රකාශනයක් ලෙස ය.

- පර්සි ජයමාන්න 

(ලංකාදීප පත්‍රයේ වීමංසා අතිරේකයේ පළ වූවකි.) 

 

Post a Comment

1 Comments