වසර දශක හයකටත් අධික කාලයක් පුවත්පත්වලින් පන්හිඳෙන් පින්සලෙන් දස්කම් පෑ තලන්ගම ජයසිංහ පෙරේදා හදිසියේ ම ජීවිතයට සමුදුන්නේ ය. ඔහු මියයන විට අසූ අට වියේ පසු විය. චිත්‍රශිල්පියකු, කවියකු, ලේඛකයකු, උපහාස රචකයකු ලෙස පත්තර කලාවේ සෑම ඉසව්වක ම දස්කම් පෑ ඔහු ජීවිතය අවසානයේ ජනප්‍රියව සිටියේ දේශපාලන කාටූන් ශිල්පියකු ලෙසය. ඒ දිනපතා ලංකාදීප’ය ඔස්සේ පාඨකයන්ට තිළිණ කළ, 'A තුමා’, ‘පලාමල්ල’ යන කාටූන් යුගලයෙනි.
තලන්ගම මට හමුවූයේ 1964 මා ලේක්හවුසියට ගිය මුල් වතාවේ දී මය. මම සරසවියට ගියේ එහි කතුවරයා වූ විමලසිරි පෙරේරා මහතා හමුවන්නට ය. එදා මට අතරමගදී මුලින් ම හමු වූයේ එඩ්වින් ආරියදාස මහතාය. ඒ හමුවීමෙන් පසු මට ඊළඟට අවශ්‍ය වූයේ තලන්ගම හමුවන්නටය. ආධුනික පත්‍ර කලාවේදියකු වුවද ඔහු මා පිළිගත්තේ බොහෝ කලක් සිට දැන සිටි මිතුරකු ලෙසිනි. එදා ඇති කර ගත් මිතුදම වසර 60ක් තිස්සේ ම එක ම අයුරෙන් පවත්වා ගෙන යාමට අප දෙදෙනාට හැකි විය. ලේක්හවුසියේ දී මට මුලින් ම හමු වූ ඒ මිතුරන් තිදෙනා ගෙන් මම මගේ ජීවිතයට එක්කර ගත් දෑ බොහෝ ය. අද ඒ තිදෙනා ම අප අතර නැත. තලන්ගම වියෝවූ බව දැන ගන්නට ලැබුණු මොහොතේ මට තනී වූ බවක් දැනුනත් ඔහු ඉතිරි කර ගිය මතකයන් නිසා මට යම් සැනසීමක් ලද හැකි විය.
සිංහල පුවත්පත්වලට හා පොත් කවරවලට මුල් යුගයේ චිත්‍ර ඇන්දේ ජී. ඇස්. ප්‍රනාන්දු හා ජී. එල්. ගෞතමදාස යන දෙදෙනාය. ඊට අමතරව තවත් ජ්‍යෙෂ්ඨ චිත්‍රශිල්පියකු සිටියේය. ඒ පුරාණ බෞද්ධ ගෙවල්වල බිත්ති සැරසූ බුදු සිරිතේ සිතුවම් ඇන්ද ඇම්. සාර්ලිස් මාස්ටර් ය. තලන්ගම අයත් වූයේ සන්නිදර්ශන චිත්‍රකලාවේ ප්‍රමුඛයන් වූ ඔවුන්ගෙන් පසුපරම්පරාවටය. . කලින් පරම්පරාවේ අයට අපේ බිතුසිතුවම් කලාවේ ආභාසය තදින් බලපෑවත්, තලන්ගමට එසේ වූයේ නැත. .මා දකින විධියට ඔහු, අපේ පුවත් කලාවට උචිත නව ආරකට, පැතලි තලයක, ද්විමාන චිත්‍ර මවන්න හැකියාව ඇති කර ගත් ප්‍රමුඛ චිත්‍රශිල්පියාය. ඔහු එසේ හැඩතල ගත්තේ තමන් අඳින රේඛාව අවශ්‍ය තැන්වල මහත් කිරීමෙන් හා සිහින් කිරීමෙනි. ඒ ක්‍රමයට ඔහු තමන් අඳින රූපයට පණ දෙයි.
ඔහු මට ඔහුගේ පුංචි කාලෙ විස්තර මුලින් ම කීවේ ඉදුණු පොල් අඹ මල්ලකුත් අරන් මීට වසර පනස්පහකට විතර ඉස්සර සති අන්තයක, එවකට ඔහු පදිංචිව සිටි මහරගම විද්‍යාකර මාවතේ පිහිටි නිවහනට ගිය අවස්ථාවේ දීය. “ අද වාගේ නෙවෙයි ඒ කාලේ ඒ පරිසරයෙ තිබුණු නිස්කලංක කමට මං හරි ආසයි. අපි ඒ කාලේ දියවන්නා ඔයේ ඉවුරු අතර එහා මෙහා පිහිනමින් විනෝදවුණු හැටි කිසිදාක අමතක වෙන්නේ නැහැ. මට හිටියේ සහෝදරයන් දෙන්නයි, සහෝදරියන් තුන් දෙනයි. මං ඉස්කෝල ගමන ඇරඹුවේ අවුරුදු තුනේදියි.” ඔහු තම කුඩා කාලය සිහිපත් කළේ පැලවත්තේ දකුණු තලන්ගම විද්‍යාවර්ධන බෞද්ධ මිශ්‍ර පාසලට ගිය තැන් පටන් ය.
තලන්ගම උපන්නේ තලන්ගමදිය. ඒ 1936 ජූලි 5 වැනි දාය. ඔහුගේ උප්පැන්නයේ නම සඳහන්ව ඇත්තේ ජෝර්ජ් එඩ්මන්ඩ් ජයසිංහ කියාය. ඒ යටත් විජිත යුගයයි. ඔහුගේ තාත්තා, ජෝර්ජ් ඇල්බට් ජයසිංහ, ඔහුට එසේ නම තැබුවේ එකල පැවති සුද්දාගේ පාලන කාලයට ගැළපෙන්නටය. ඒ නමට පුතා පොඩ්ඩක්වත් කැමති වුණේ නැත. ඒත් තාත්තා ආසාවෙන් තැබූ නම ඔහු මිය යනතුරු පාවිචිචි කළේය. 1955 දී සිදුවූ පියාගේ අභාවයෙන් පසු ඔහු ඒ නම හළා ගමේ නම අරන් ‘තලන්ගම ජයසිංහ’ විය.
තලන්ගම පුංචි කාලේ ඉඳලම කවියට දක්ෂය. ඔහු පාසල් යන කාලේ ළමා සඟරාවලට, පත්තරවල ළමා පිටුවලට කවි නිර්මාණ යැව්වේ ඊට අදාළ චිත්‍රයකුත් සමඟය. චිත්‍රයක් යවන හැම විට ම ඊට අදාළ කවි පදයකුත් යටින් ලියලා යැවීම ඔහුගේ සිරිත විය. ඒ හැම එකක් ම කවියත් සමඟ පත්තරවල පළ වූ නිසා ඔහු තවත් අඳින්නත් ලියන්නත් දිරිමත් විය. ඒ කාලේ ඒවා පළ වූයේ ‘තලන්ගම තිලක ජයසිංහ’ කියාය. පසු කලෙක ඒ ‘තිලකය’ත් හැළූ ඔහු, ‘තලන්ගම ජයසිංහ’ විය. අද මුළු ලංකාවමත්, ලෝකය පුරා විසිර සිටින ශ්‍රී ලාංකිකයනුත් ඔහුව හඳුන්වන්නේ ඔහුම ඔහුගේ කාටුනයට යොදා ගන්නා ‘තලන්’ කියන ආදර නාමයෙනි.
පාසල් අධ්‍යාපනයෙන් පසු තලන්ගම ලලිත කලාවන් ඉගෙනීමට එකල තිබුණු එකම තැන වූ හේවුඩ් ආයතනයට ගියේ තමන් සහජයෙන් ලද දස්කම් ඔප මට්ටම් කර ගන්නටය. ඒ 1951 දීය. පස් අවුරුදු පාඨමාලාවකට බැඳුණද ඔහුගේ දක්ෂතා හඳුනා ගත් ගුරුවරු ඔහුට දෙවරක් ම ‘ඩබල් ප්‍රොමෝෂන්’ දුන්හ. ඒ නිසා අනිත් අයට වඩා කෙටි කලෙකින් ඔහු ඒ පාඨමාලාව සම්පූර්ණ කළේය. ඔහු එහිදී ඉගෙන ගත්තේ චිත්‍රවලට අමතරව, මූර්ති, මැටි හා ලාක්ෂා කර්මාන්තයයි. ඒ හැරෙන්නට නිවාස සැලසුම් කිරීම ගැනත් ඉගෙන ගත්තේය. ඒ සමගම ඔහු මරදානේ ‘ටෙක්නිකල් කොලීජීය’ටත් ගියේ ය. ඒ චිත්‍ර කලාවේ තාක්ෂණික පැත්ත හදාරන්නටය.
ඉගෙන ගන්නා අතරම ඔහු වෙළඳ දැන්වීම් ආයතන කීපයකම රැකියාවට ගියේ ඉගෙන ගන්න හා ජීවත් වෙන්න අවශ්‍ය බර පැන සොයන්නටය. “ඒ වෙන කොට මගේ නංගිලා දෙන්නෙක් ඉගෙන ගන්නවා. ඒ අයගේ කටයුතු ගැන බලන්න වුණෙත් මට. මුලින් ම වැඩ කරපු තැන පඩිය රුපියල් 125යි. එතැනින් තව තැනකට ගියා. එතැනින් ලැබුණේ රුපියල් 150යි. මේ විදියට ඉගෙන ගන්න ගමන් මං දැන්වීම් ආයතන පහකට වැඩ කළා.” ඔහු අතීතය මෙනෙහි කළේ එසේ ය.
ඔය කාලේ දවසක ඔහු චිත්‍ර කතාවක් ඇඳ ගෙන දිනමිණ කන්තෝරුවට ගියේය. එවකට දිනමිණ ප්‍රධාන කර්තෘව සිටියේ පියසේන නිශ්ශංක මහතායි. එතුමා ඔහුව ජයවිලාල් විලේගොඩ මහතාට යොමු කළේය. විලේගොඩ මහතා ඔහුගේ නිර්මාණය දෙස බලා, “ෂහ්! මේක නියමයිනේ! පත්තරේ පළ කරමු” කියා බාර ගත්තේ ය. 1954 දී ‘චිත්‍රා’ නමින් දිනමිණ පත්‍රයේ පළ වූ මුල්ම චිත්‍රකතාව එයයි. ඔහු ඒ වන විට 18 හැවිරිදි තරුණයෙකි.
මා ‘සරසවිය’ පත්‍රයේ සේවය කරද්දී තලන්ගම ‘මඩිස්සලේ’ කියා කවි පන්තියක් සතිපතා සැපයීය. අතිශය උපහාසාත්මක වූ ඒ කවි පන්තිය ඔස්සේ ඔහු සමාජයේ දුර්වල තැන්වලට පහර දුන්නා මට අද වගේ මතකය. උපහාසය හා හාස්‍යය මුසු කර කවි ලියන්නට ඔහු දැක්වූයේ අපූරු හපන්කමකි. ඔහු සරසවිය කර්තෘ විමලසිරි පෙරේරා මහතා හමු වී ඒ කවි පෙළ දුන් විට එය මුලින් ම රසවිඳින්නේ එතුමායි. ඒ අවස්ථාවේ එතුමාගේ සිනා හඬ අසන අප එදෙස බැලූ විට අතින් අප කැඳවා ඒ කවිය රහ කර ගායනා කරමින් අපටද එහි රසය බෙදා දීම එතුමාගේ සිරිතය.
චිත්‍රකතා ලෝලයන් අතර තලන්ගම නමක් දිනා ගත්තේ සිළුමිණ පත්තරේට ඔහු නිර්මාණය කළ චිත්‍රකතාවලිනි. ඒ කාලයේ මා සේවය කළේත් ‘සිළුමිණ’ පත්තරේ කර්තෘ මණ්ඩලයේය. එහිදී ඔහුගේ ‘මිනිස් දඩයම’ චිත්‍රකතාව සඳහා කතා රචනයෙන් දායක වීමට ඔහු මටත් අවස්ථාව සලසා දුන්නේ ය.
තලන්ගම ‘සිළුමිණ’ පත්‍රයට බැඳුණේ 1956දි, චිත්‍ර ශිල්පියෙකු ලෙසය. ‘සිළුමිණ’ පත්‍රයේ සේවයෙන් පසු ඔහු ලේක්හවුස් චිත්‍රකතා ප්‍රකාශනය වූ ‘මධුර’ පත්‍රයේ ප්‍රධාන කර්තෘ වශයෙන් පත්ව ගොස් 18 වසරක් එහි සේවය කළේය. 1998දී ඉන් විශ්‍රාම ගත් පසුත් ඔහු නොකඩවා 2005 වනතුරු චිත්‍රකතා ඇන්දේ ය. ඒ වන විට ඔහු විසින් චිත්‍රකතා 72කට වඩා නිර්මාණය කර තිබුණි.
තලන්ගමගේ පත්‍රකලා ජීවිතයේ ස්වර්ණමය කාලය එළඹුණේ චිත්‍රකතා නිර්මාණය අත් හැර දේශපාලන කාටූන් අඳින්නට පටන් ගත්තාට පසුවයයි මට සිතේ. ඒ සියලු බැඳීම්වලින් මිදී නිදහසේ සිතුවිලි මෙහෙයවමින් ඔහු තමන්ට කියන්න කැමති දේ කැමති විදියට කියන්න ඉන් ඔහුට අවස්ථාව සැලසුණු නිසාය. ඒ අවස්ථාව ඔහු ලබා ගත්තේ ‘ලංකාදීප’ පත්‍රයේ ‘පලාමල්ල’ හා ‘ඒතුමා’ යන කාටූන් ඔස්සේය. ඒ වගේම ඔහුගේ කාව්‍ය උපහාසය ද ‘අනේද කියන්නේ’ සිවුපද හතරෙන් විඳ ගන්න අපට ඉඩහසර ලැබුණි. ඒවා තුළින් දේශපාලනය ගැන ඔහු දරණ දෘෂ්ටියත්, ඔහුගේ උපහාසය තරාතිරම නොබලා එල්ල කරන හැටිත්, අපට දැක ගතහැකි විය. පුවත්පත් නොබලන්නකුට වුවත් ඒවා උදේ පත්තර ගැන කියන රූපවාහිනී නාලිකාවලින් හැමදාම උදේට ඒවා නොවැරදීම දැක ගන්නත්, රස විඳින්නත් හැකියාව සැලසුණි.
තලන්ගම, ‘ජෝර්ජ් එඩ්මන්ඩ් ජයසිංහ’ හැටියට උපන්නා පමණක් නොව මියගියේ ද ‘ජෝර්ජ් එඩ්මන්ඩ් ජයසිංහ’ හැටියටය. හදිසියේ රෝගාතුර වූ විට ඔහු රෝහලට ගෙන ගිය ඔහුගේ සමීපතමයන් ඔහු රෝහලට බාර දුන්නේ ‘තලන්ගම ජයසිංහ’ කියාය. අවසානයේ දී ඔහුගේ දේහය රෝහලෙන් නිදහස් කරවා ගන්නට ඔහු ජෝර්ජ් එඩ්මන්ඩ් ජයසිංහ බවට පෙරළා දිවුරුම් පෙත්සමක් දෙන්නට දරුවන්ට සිදු විය. තලන්ගම ජයසිංහ නාමය අපට ඉතිරි කර ඔහු අවසන් ගමන් ගියේ ජෝර්ජ් එඩ්මන්ඩ් ජයසිංහ හැටියටය.
තලන්ගමගේ තවත් විශේෂයක් වෙයි. ඒ ‘සියල්ලන්ගේ ම දැන ගැනීම පිණිසයි’ කියා සිය අවසන් කටයුතු සිදු කළ යුතු ආකාරය ගැන ලියා තැබීමයි. ඒ මෙසේ ය: “තලන්ගම ජයසිංහ (ජෝර්ජ් එඩ්මන්ඩ් ජයසිංහ - ජා.හැ.ප.අංකය 361871626 v) වන මා අවබෝධයෙන් යුතුව අදහන බෞද්ධ දර්ශනයට අනුව මරණින් මතු උත්පත්තියක් නැත. එබැවින් මා මළ පසු මගේ අවමඟුල් කටයුතු සිදුවිය යුතු ආකාරය පහත සඳහන් කරමි. මියගොස් පැය 24ක් තුළ මගේ අවමඟුල් කටයුතු සිදු කළ යුතුය. මෘත දේහය හැකි ඉක්මනින් මල් ශාලාව වෙත රැගෙන යා යුතුය. (ගෙදර තබා නොගතයුතුය.) මග සැරසිලි කිසිවක් නොකළ යුතුය. අවශ්‍ය නෑදෑ හිතවතුනට පමණක් දැන්විය යුතුය. කිසිම ආගමික කටයුත්තක් නොකළ යුතුය. ගුණ කථන කිසිවකුත් නැත. අනුස්මරණ පිංකම් නොකළ යුතුය. සොහොන් කොත් සිහිවටන ඉදි නොකළ යුතුය. මෙය මට මෙන් ම මගේ බිරිඳට ද අදාළය.” ඔහු එහි සඳහන් කර තිබුණේ ය.
ඔහුගේ උපහාස ගඟුල අද (2024 පෙබරවාරි 9 දා) මෙසේ නැවතුනද ඔහු මෙතෙක් කල් බෙදා දුන් රසය අප තුළ බොහෝ කලක් පවතිනු නිසැකය.
- පර්සි ජයමාන්න
1 Comments
යන්තම් පත්තරයක් කියව්ගන්න පුලුවන් කාලෙ සිට නොවැරදීම දකින්නට ලැබුනු ඔහුගේ චිත්‍රත් ඒ සමගම කෙලවරක දකින්නට ලැබුනු ඒ සුපුරුදු අත්සනත් ආයෙත් දකින්නට නොලැබීම මහත් කනගාටුවක්!
ReplyDelete