මා මේ සටහන ‘මල්කැකුළු’ පාඨකයන් වෙනුවෙන් ලියන්නේ විශේෂ ඉල්ලීමක් කරන්නයි. සිළුමිණ පත්‍රයේ තුන්වැනි කතුවරයා වූ ලියනගේ මහතා ගැන පොතක් ලියන්නට එතුමාගේ මීමුනුපුරකු ඉදිරිපත් වී සිටිනවා. මින් 60 වසරකට පෙර ශ්‍රී ලාල් හික්කඩුවේ ලියනගේ මහතා ආරම්භ කළ ‘නවයුගය’ සඟරාවේ පසු කලෙක අනුප්‍රාප්තික සංස්කාරකවරයකු වශයෙන් කටයුතු කළ නිසා මේ සද්කාර්යයට උපකාර කිරීම මගේ යුතුකමක් ලෙස සලකනවා. ඒ නිසයි, මේ ඉල්ලීම කරන්නේ.
ශ්‍රී ලාල් හික්කඩුවේ ලියනගේ මහතා ජීවමානව ම මට දැක ගත හැකි වූයේ මා එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමෙහි (ලේක්හවුසියේ) අංකුර පත්‍රකලාවේදියකු ලෙස සේවයට එක් වූ පසුවයි. එ් 1964 වසරේ අගභාගයේ දී පමණයි. ඒ අවස්ථාවේ දී එතුමා ‘නවයුගය’ සඟරාවේ හා ‘මිහිර’ ළමා පුවත්පතෙහි කතු පදවි හොබවමින් සිටියා. ඒ වන විට ඔහුට වඩා ජ්‍යේෂ්ඨ සිංහල පත්‍ර කලාවේදියකුට සිටියේ අපේ කවුරුත් ‘ලොකු සර්’ කියා ඇමතූ පියසේන නිශ්ශංක මහතා විතරයි. ඔහු තමා ‘සිළුමිණ’ පුවත්පතේ ආරම්භක කතුවරයා වුණේ. නිශ්ශංක මහතාගෙන් පසු සිළුමිණ කතු පදවියට පත් වූයේ ශ්‍රී ලංකා ලේඛක පරපුරේ සිළුමිණ ලෙස සැලකෙන මාර්ටින් වික්‍රමසිංහ මහතායි. ඔහු දිනමිණ කර්තෘ වශයෙන් පත්ව ගිය පසුව සිළුමිණ පත්‍රයේ කර්තෘ පදවියට පත් වූයේ ශ්‍රී ලාල් හික්කඩුව ලියනගේ මහතායි.
ඒ කාලේ ‘දිනමිණ’ පත්‍රයට කර්තෘ මණ්ඩලයක් සිටිය ද ‘සිළුමිණ’ පත්‍රයට කර්තෘ මණ්ඩලයක් සිටියේ නැත. එදා ‘දිනමිණ’ කර්තෘ මණ්ඩලයට ද අද මෙන් විශාල පිරිසක් සිටියේ ද නැත. ප්‍රධාන වශයෙන් සිටියේ පරිවර්තකයන්, වාර්තාකරුවන්, විශේෂාංග ලේඛකයන් අතළොස්සක් පමණි. ඒ අය ද පුවත්පත් දැන්වීම් පළ කර බඳවා ගත් අය වූහ. ලියනගේ මහතා සිළුමිණ භාර ගන්නා මොහොතේ එහි සිටි පියන් ද මාරුවක් ලබා ගෙන ගිය නිසා ඔහුට තනිවම ‘සිළුමිණ’ බාර ගැනීමට සිදු විය.
ලේක්හවුසියේ විමසීම් කවුන්ටරය ආසන්නයේ කුඩා කාමරයක තබා තිබූ පුංචි මේසයක වාඩි වී ඔහු තනියම එහි වැඩ ඇරඹීය. ඔහු ලියන දෑ ගෙන යන්න දවසට වරක් හෝ දෙවරක් ආවේ කොම්පොසිටර් අංශයේ ජිමෝනිස් බාස් උන්නැහේ පමණය. ඒ ගැන සඳහනක් ‘සිලෝන් ඩේලි නිවුස්’ පත්‍රයේ කතුවරයකු වූ එච්. ඒ. ජේ. හුළුගල්ලේ මහතාගේ සටහනක තිබී කියෙව්වා මට මතකය. එහිදී ඔහු ලියනගේ මහතාව හඳුන්වා දී තිබුණේ සිළුමිණ පුවත්පත සංස්කරණය කළ ‘හුදෙකලා කතුවරයා’ ලෙසයි. මේ අදහස සනාථ කරන ආකාරයේ ප්‍රකාශනයක්, ඒ කාලයේ ලේක්හවුසියේ සේවය කළ ඉංග්‍රීසි පත්‍ර කලාවේදියකු වූ ඊ.සී. බී. විජේසිංහ මහතාගේ ලිපියකටද එක් කර තිබුණා. ඒ ‘සිළුමිණ’ පත්‍රයට අඩ සිය වසක් සපිරුණු අවස්ථාවේ දී, (1980 මාර්තු 30 වැනිදා), ‘සන්ඩේ ඔබ්සර්වර්’ පුවත්පතට ලිපියක් ලියමින්. ඔහු සිය මතක සටහන් යටතේ ලියමින් සිටි ලිපිය එදා වෙන් කොට තිබුණේ ‘සිළුමිණ’ පත්‍රය වෙනුවෙනි.
‘මෙන් ඇන්ඩ් මෙමරීස්’ (Men and Memories) නම් සිරස්තලය යටතේ ඔහු ‘සන්ඩේ ඔබ්සර්වර්’ පුවත්පතට ලියමින් සිටි ලිපි පෙළට ‘සිළුමිණ ස්වර්ණමය යුගය’ නමින් එම ලිපිය එක් කරමින් එදා ඔහු ලියනගේ මහතා පිළිබඳ තැබූ සටහන මෙසේ යි: “මාර්ටින් වික්‍රමසිංහ හා නිශ්ශංක යන දෙදෙනා හැරුණු විට අපට තවත් අමතක නොවන එක් චරිතයක් විය. ඒ, ලොක්කාගේ එකම අභිප්‍රාය වූ සිළුමිණ අනිකුත් තරඟකාරී පුවත්පත්වලට වඩා ඉදිරියෙන් තබා ගැනීමට දුනුදිය දරා සිටි ශ්‍රීලාල් ලියනගේය. ඒ යෝධ කතුවරුන් දෙදෙනාගේ අනුප්‍රාප්තිකයා වශයෙන් ආ ඔහු විශ්‍රාම යනතුරුම ඒ සිළුමිණ කතු අසුන අරා සිටීමට සමත් වූ බව කිවයුතුයි
“මගේ කාලයේ දී සෙනසුරාදා රාත්‍රියේ සිළුමිණ කාර්යාලයේ වැඩ කළ එකම එක තැනැත්තා ඔහු විය. ඔහුගේ කෙසඟ සිරුරත්, අවුල් වූ හිසකේත්, පොඩි වී, රැලි වැටුණු ඇඳුම් ආදියත්, නිසා ඒ අවතාරයක් දෝයි කෙනකු වරදවා වටහා ගන්නට ඉඩ තිබුණේ ය. ඔහු තුළ පැවති එකම නොමැකෙන ලක්ෂණ වූයේ මුහුණ පුරා පැතුරුණු සිනහවත්, දෙපිට කැපෙන සිරස්තල දැමීමේ හැකියාව ඔහුට ලබා දුන් තියුණු මනසත් ය. අද වන විට විශ්‍රාම සුවයෙන් පසුවන ඔහු නුගේගොඩ ඔහුගේ කුඩා ගෙවත්තෙහි වූ නිවසෙහි තවමත් නිරෝගී සුවයෙන් වෙසෙන්නේ ය. ඔහු එහි වවා ඇති දැවැන්ත කොස් ගස්වල ඵලදාව කොළඹ ජනගහනයෙන් අඩකට වුව කන්නට දෙන්නට තරම් ප්‍රමාණවත් ය.
“අද අඩ සියවසක් සපුරන, සිළුමිණ කතු මඬුල්ල කැවුම්, කිරිබත් ආදියෙන් පිරී ඇති මේ මොහොතේ ඊට එක්ව සිටින හැමදෙනාගේම සිතට නැඟෙන සිතුවිල්ලක් තිබේ. එනම් වර්තමාන කතුවරයා වූ එඩ්මන්ඩ් රණසිංහ මහතා කරුණු දෙකක් එකවර සපුරා ගන්නේ කෙසේද යන්නයි.
“පළමුව, වසර 50කට පෙර, ඊට පුරෝගාමී වූ ඩී. ආර්. විජේවර්ධනයන් ආරම්භ කළ ගැම්ම එසේ ම පවත්වාගෙන යමින් දෙවනුව, සිංහල ජනතාවගේ බුද්ධිමත් කොටස් අතර හොඳහිත ඇති කළ, කීර්තිමත් පත්‍රකලාවේදීන් වන මාර්ටින් වික්‍රමසිංහ, පියසේන නිශ්ශංක, ශ්‍රීලාල් ලියනගේ, ඩෙන්සිල් පීරිස්, මීමන ප්‍රේමතිලක, ඇස්. සුබසිංහ, ඩී. ඩී. වෙත්තසිංහ, විමලසිරි පෙරේරා, බෙනඩික්ට් දොඩම්පෙගම ඇතුළු තවත් අය විසින් ඉහළට ගෙන ගිය සිළුමිණෙහි අළෙවිය, තම රුධිර පීඩනය ඉහළ නංවා නොගෙන, අළෙවිය පමණක් ඉහළ නංවා පවත්වා ගෙන යන්නේ කෙසේ ද යන්නයි.” [MEN AND MEMOIERS, Sunday Observer, 30.03.1980]
ඉහත සටහන උපුටා ගත්තේ සිළුමිණට වසර පනහක් පිරුණු අවස්ථාවේ ඔබ්සර්වර් පත්‍රයේ
පළවූ ලිපියකිනි. මේ සමග පළවන අනෙක් ඡායාරූපය සිළුමිණට වසර 93ක් සැපිරූ අවස්ථාවේ දී
ගන්නා ලද්දකි.
- පර්සි ජයමාන්න
ලියනගේ මහතාගේ මීමුනුපුරා වූ දිල්නුක සිල්වා මා වෙත කළ ඉල්ලීම පහත පළ වෙනවා.
ශ්‍රී ලාංකේය පත්‍ර කලාවට අමරණීය සේවයක් ඉටුකළ කෘතහස්ත පත්‍රකලාවේදී ශ්‍රීලාල් හික්කඩුව ලියනගේ මහතාගේ මීමුනුබුරෙකු වන මම එතුමාගේ ජීවිත අන්දරය ග්‍රන්ථාරූඪ කරමින් සිටිමි.
1934දී භාෂා පරිවර්තකයෙකු ලෙසින් ලේක්හවුසියට බැඳුණු ඔහු පළමුව සිය දායකත්වය ලබා දෙන්නේ සිළුමිණ පුවත්පත වෙතටයි. වසර 9 ක් එහි කතුවරයාව සිටි අතරතුරේ දිනමිණ අධීක්ෂක කර්තෘ ධූරයේද නියැළුණේය. ඔහු කර්තෘ ධූරය දරන සමයේදී පත්‍රයේ අලෙවිය විශිෂ්ට වාර්තාවක් තබන්නට සමත් වුණේ ඉතා කෙටි කාලයකිනි.
පරිපාලනයෙන් එල්ලවුණු යම්යම් අසාධාරණකම්වලට විරෝධය පාමින් 1953 දී ඉල්ලා අස්වුවද නැවත පාලන පක්ෂයේම ආරාධනය පිළිගෙන 1956 දී සඟරා ලොව ප්‍රතාපවත් සලකුණ බිහි කෙරුමට අත්තිවාරම සැකසුවේය. ‘නවයුගය’ සඟරාව එළි දකින්නේ ඒ ලෙසිනි.
අනතුරුව 1969 දී ප්‍රථම ළමා පුවත්පත මිහිර හා 1969 දී තරුණී පුවත්පත ද ආරම්භ කරනු ලැබූ එතුමා 1972 දී ලේක්හවුසියෙන් ඉල්ලා අස්වී තම සැදෑ සමය සුවෙන් ගෙවනු ලැබුවේය.
මෙතුමන්ගේ තොරතුරු බොහෝ ප්‍රමාණයක් මේ වන විට ලැබී ඇති අතර ග්‍රන්ථ රචනයද නිම වෙමින් පවතී. එහෙත් එතුමාගේ හිතවතුන් අතර එතුමා පිළිබඳ මතක සටහන්, එතුමාගෙන් ලද ලිපි ආදියත්, එතුමා සමග ගත් ඡායාරූප ආදියත් තිබිය හැකි යැයි අපට සිතේ. එතුමා ඇසුරු කළ ලේඛක ලේඛිකාවන් බොහෝ දෙනකු ජීවතුන් අතර නැතත් ඔවුන් ඉතිරි කර ගිය මතක සටහන් අතර තවත් වැදගත් දේ ඇත්නම් ඒවා ද එතුමා පිළිබඳව කරන මේ ග්‍රන්ථයට එක්කළ හැකිය. ඔබේ පියා හෝ වැඩිහිටි ඥාතියා ළඟ තිබී ඔබට හමුවී ඇත්නම් යම් වැදගත් දෙයක් අප එවන්න තරම් කාරුණික වෙන්න. තවත් ඇත්නම් අපට ඔහු ලියූ පොත පත, නවයුගයේ මුල් කලාපවල පිටපත්, ඔහුගේ අත් අකුරු ආදිය මේ ග්‍රන්ථයට එය අලංකාරයක් එක්කරනු ඇත.
මගේ ඉල්ලීමට කාරුණික වන්න! එය මාහට විශාල රුකුලක් වනු ඇත. දිල්නුක සිල්වා මගේ දුරකථන අංකය 0719396890
1 Comments
දෙනගම සිරිවර්ධන මහත්මයගේ පුතාව මම අදුනනවා...මා ඔහුට පණිවිඩයක් තියන්නම් -MAYYA
ReplyDelete