නවසීලන්තයට පැමිණි මිනිසුන් අතර අපූරුම මිනිසෙකි රාමා. ඔහු මට වඩා වයසින් වැඩි නිසා ඇසුරු කරද්දී මම ඔහුට සැලකුවේ මගේ වැඩිමල් සහෝදරයකුට මෙන් ඉතා ගෞරවයෙනි. අපගේ පවුල් දෙකම නවසීලන්තයට පැමිණියේ 1990 මැද භාගයේදී යි. කරුණු කාරණා කිහිපයක් නිසා අප පවුල් අතර කිට්ටු සබඳතාවක් හා ලැදියාවක් ගොඩ නැගුණි. බොහෝ දිනවල කාර්යාල වේලාවෙන් පසු සැන්ඩින්ග්හැම් වල තිබූ අප නිවසට පැමිණ කතා බහ කර යාමේ පුරුද්දක් රාමා තුළ විය. අපි බොහෝ දේ කතා කළෙමු. ඒ අනුව මා බොහෝ දේ රාමාගෙන් ඉගෙන ගතිමි. රාමා තුළ බොහෝ දක්ෂතා හා හැකියාවන් ඇති බව දැන ගතිමි.
රාමා සැබෑ මිනිසෙකු වශයෙන් මට හැඟීගිය සහ පෙනීගිය කරුණු කිහිපයක් ගැන ලිවීම මෙම කෙටි සටහනේ අරමුණයි.
මට අවබෝධ වූ පරිදි විශාල ලෙස සෙසු අයට ඇහුම්කන් දී කරුණු කාරණා මැනවින් සහ ගැඹුරින් අවබෝධ කර ගැනීමේ හැකියාවක් ඔහුට තිබුණි. ඔහු අදහස් ප්‍රකාශ කළේ එසේ කළයුතු යැයි ඔහුට පෙනීගිය අවස්ථාවක දී පමණයි. ඔහු ප්‍රකාශ කළ සැම අදහසක්ම අවස්ථාවට ඉතාම උචිත විය. ඒ අනුව ඒවා ඉතා වටිනා මිණි මුතු මෙන් විය. ඒ අතරම ඔහු මඳ හාස්‍ය රසයකින් (bit of humour) සහ මඳ සිනහවකින් යුක්තව කතා කළේය; අදහස් ප්‍රකාශ කළේය. ඔහු ලෙඩ ඇඳේ සිටියත් වෙනසක් නොවීය. එය ඔහුට උපතින්ම ලද දෙයක් බව මට තේරුම් ගියේය.
විවිධ ආකාරයේ බුදු පිළිම සෑදීමට, බුදු කුටි සෑදීමට, ඉතාමත් හරවත් දර්ශනීය චිත්‍ර ඇඳීමට ඔහු පුරුදු පුහුණු වූයේ කෙසේදැයි මම දවස් කීපයක්ම රාමාගෙන් ඇසුවේ එවැනි කිසිම දෙයකට මට කිසිදු දක්ෂතාවක් හැකියාවක් හෝ උනන්දුවක් නොතිබූ නිසාය. "මට ඒකට හරියට උත්තරයක් දෙන්න බැහැ නමුත් මගේ හිතේ ඒ දේවලට මුල ඉඳන්ම ආසාවක් කැමැත්තක් තිබුණා. අනික් අතට මම කිසිවක් නිර්මාණය (invent) කරන්නේ නෑ. මගේ මනසටත් ඇසටත් හසුවන දේවල් එක්තැන්කර මං ඉදිරිපත් කරනවා. ඒවා ස්වභාවධර්මයේ නැත්නම් අප අවට තිබෙන දේවල්. නමුත් අවශ්‍ය සිත සන්සුන්ව තියාගෙන ඇසින් හොඳින් බලා ගළපාගෙන ඉදිරිපත් කිරීම පමණයි."
සිත සහ ඇස් පිළිබඳව රාමා කියූ දෙයින් මට පෙනුන හා හැඟීයන දෙයට වඩා ගැඹුරක් එහි ඇති බවයි, මගේ විශ්වාසය.
මට මතක විදියට ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ පළමු "සීලය" වැඩ සටහන ආරම්භ කළේ 2002 වසරේදීය. ආරම්භක වසර කෙසේවෙතත් එම "සීලය" වැඩසටහනට සහභාගි වූ ඉතා සුළු පිරිස අතර රාමා එක් අයෙකු විය. එම දාන කටයුතුවලට අප සහභාගි වූ නිසා ඉහත කරුණ මට හොඳින් මතකය. සුදු වතින් සැරසී ඉතා සන්සුන් ලෙස වාඩිවී එකම ඉරියව්වකින් සිටින පිරිසක් එසේ නවසීලන්තයේ දී දැකීම මගේ පළමු අත්දැකීම විය. මේ නිසා ගෞරව සම්ප්‍රයුක්තව කරුණු කීපයක් දැනගැනීම සඳහා මම රාමාට කතා කළෙමි.
"අසෝක, සිල් සමාදන් වෙනවා කියන්නේ ආරක්ෂා කරණු පිණිස සීලය පිළිගැනීමයි. ස්වාමීන් වහන්සේ කෙනෙක් නැතත් බුදු වහන්සේගේ දේශනාව අනුව යමින් සික පද අනුව අපට සිල් සමාදන් වන්න පුළුවන්." කෙසේ සිල් සමාදන් වුනත් එක් ඇසක් ඇති අයෙක් එම ඇස ආරක්ෂා කරගත යුතු ආකාරයට සමාදන් වූ ශීලය ආරක්ෂා කරගත යුතුය. මෙය ශීලයෙහි අමාරුම කාර්යයයි. ඒකට තමා අපි දැන් කැපවී යොමුවී සිටින්නේ." රාමා ඉතාම සන්සුන්ව මගේ කනට ළංකර කීවේය. සුදු ඇඳි වත පිටුපස සිටි මිනිසා තම සුදු ඇඳි වත ආභරණයක් කරගෙන නැති බව මට අවබෝධ වීමට වැඩි වේලාවක් ගියේ නැත.
රාමා සාමාන්‍ය තරමක කෙසඟ සිරුරක් ඇති මිනිසකු විය. ඔහු මේ කුඩා ශරීරය තුළින්, මහා සාගරයටත් වඩා විශාල දෙයක් වූ බුද්ධ ධර්මය පිළිබඳව ඇතැම් කරුණු මට පැහැදිලි කර දුන්නේ මා ඒ ගැන ඔහුගෙන් ඇසූ නිසාය. "අසෝක, ධර්මය කියන්නේ තිත්ත ඇත්ත (bitter truth) එය අප අවට ඇති ස්වභාවධර්මය යි. ඒ තිත්ත ඇත්ත බඹයක් පමණ වූ අපගේ ශරීර තුළින් දැනගන්න ඕනෑ; අවබෝධ කරගන්න ඕනෑ. එම තිත්ත ඇත්ත හැම තැනකම, හැම දෙයකම, හැම මොහොතකම තියෙනවා" රාම මනාව තේරෙන බසින් මට කරුණු කියා දුන්නේය. රාමා විසින් සකස් කරන ලද දර්ශනීය චිත්‍රවල සහ බුදු පිළිමවල රාමා කියන ලද එම තිත්ත ඇත්ත ඇති බව මට පැහැදිලි විය; අවබෝධ විය. ඒවා එකිනෙකට සම්බන්ධය; කෙසේවත් වෙන් කළ නොහැක. ඒ රාමා මට කියා දුන් බුද්ධ ධර්මය යි.
2003 වසරේදී රාමා තදබල ලෙස රෝගාතුර වී ඕක්ලන්ඩ් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය. මින්පෙර කිසිදු දවසක නොතිබුණු කිසියම් දුක්මුසු බවක් කනස්සල්ලක් ඔහුගේ මුහුණේ විය. රාමා සුජිත් පුතාගේ අත අල්ලා ගෙන ‘අක්කලා දෙන්නා හොඳින් බලාගන්න’ යැයි හෙමින් කීවේය. ඒ අවුරුදු 20 කට පෙරය. එය ඇසුණු මගේ සිතත් මඳක් කැළඹුණි. මම අපහසතාවකට පත්වූයෙමි. එවකට නවසීලන්තයේ ඔක්ලන්ඩ්හී ලංකාරාමයේ වැඩ සිටියේ ඇල්ලේ චන්දවිමල ස්වාමීන් වහන්සේයි. මම උන්වහන්සේ රෝහලට වැඩමවාගෙන ගියෙමි. උන්වහන්සේ ඉතා මිත්‍රශීලිව ආදරයෙන් සහ කරුණාවෙන් යුක්තව රාමාට කතා කළේය; පිරිත් දේශනා කළහ. පිරිත් නූලක්ද අතේ ගැට ගැසූහ. චන්දවිමල ස්වාමීන් වහන්සේ මෙසේ ද කීහ. "මහත්තයා කිසිවකට බය වෙන්න එපා. දුක් වෙන්න එපා, මට ස්ථිර වශයෙන්ම විශ්වාසයි මහත්තයා සුවපත් වී ගෙදර යනවා, මහත්තයා බලන්න මම ඊළඟට එන්නේ මහත්තයාගේ ගෙදරට" චන්දවිමල හාමුදුරුවෝ අවශ්‍යයම දේ කීහ. ආපසු පන්සලට එන අතරතුර චන්දවිමල හාමුදුරුවෝ මට මෙසේ කීහ. "අසෝක මහත්තයා රාමචන්ද්‍ර මහත්තයට ඉතාම කෙට්ටු සිරුරක් තිබුණත් එයාගෙ මනස ඉතාම බලවත්, ඒ බලවත් මනස මේ අවස්ථාවේ එයාව ජීවත් කරවනවා. ඒ වගේ මනසක් මිනිසකුට ලැබෙන්නේ බොහොම කලාතුරකින්. ඒ පින්වන්ත මිනිසකුට පමණයි.
එම කෙට්ටු සිරුරක් තිබූ මිනිසා බලවත් මනසකින් යුතුව තවත් අවුරුදු විස්සක් ජීවත් වී මියගියේ 2023 අගෝස්තු 11 වැනිදා යි. මුණුබුරු මිණිබිරියන් දැකීමට ද ඔහු වාසනාවන්ත විය.
සම්පත් (resources) සහ පරිසරය (environment) පිළිබඳව රාමා තුළ තිබූ අවබෝධය සහ බැඳීම ගැන මට කරුණු කිහිපයක් කිව හැකියි. එයින් එක් කරුණක් ගැන පමණක් ලියන්නේ එහි සදාතනික වටිනාකමක්, අගයක් සහ ගැළපීමක් තිබෙන නිසාය. ලංකාව වැනි දියුණු වෙමින් පවත්නා රටක සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගැනීමට මිනිසුන් පුරුදු වී ඇති නමුත් නවසීලන්තය වැනි දියුණු රටක ප්‍රයෝජනයට නොගෙන කර්මාන්ත ශාලා සහ එවැනි වැඩපළවල් ළඟ ඉවත දමන නමුත් නැවත ප්‍රයෝජනයකට ගත හැකි ලී සහ ලෑලි කොටස් ගෙදර ගෙනැවිත් බුදු කුටි ඇතුළු නොයෙක් ආකාරයේ ගෙදර දොර පාවිච්චියට ගත දේ හැකි මැනවින් සාදා හිතවතුන්ට දීමේ පුරුද්දක් රාමාට තිබුණි. එසේ සෑදූ භාණ්ඩ දර්ශනීය විය; ශක්තිමත් විය. මා දන්නා පරිදි මෙවැනි දේ කළ එකම නවසීලන්තවාසියා ඔහු විය හැක. කවුරුත් නොකරන මෙවැනි දෙයක් කරන්නේ කුමක් නිසාදැයි දිනක් මම රාමාගෙන් ඇසුවේ මගේ නොදන්නාකම නිසාය; ඒ පිළිබඳව මට අවබෝධයක් නොතිබුණු නිසාය. "අසෝකා මේ කවිය අහල තියෙනවද?
මට එය කටපාඩම් කරගැනීමට අවශ්‍ය බවට කළ ඉල්ලීම නිසා රාමා එය තුන් වරක්ම කීවේය. මම ඔහුට ඇහුම්කන් දෙන අතර එහි අදහස හොඳින් දිරවා ගැනීමට උත්සාහ කළෙමි. මෙම කවියේ අදහස නවසීලන්තයටත් ලංකාවටත් අනිකුත් ලෝක ජනතාවටත් අදාළ වේ. වර්තමානයේ සම්පත් නිසි අයුරින් ප්‍රයෝජනයට ගැනීම සහ ඒවා මතු පරම්පරාව සඳහා ආරක්ෂා කර තැබීම පිළිබඳව තිරසර සංවර්ධනය (Sustainable Development) ගැන ගෝලීය වශයෙන් දක්වන උනන්දුව සහ එසේ කැපවීමෙන් කටයුතු කිරීම සඳහා තේමාව වශයෙන් රාමාගේ කවිය යොදා ගත හැකි බව මට මනාව පැහැදිලි විය. වෙනත් විදියකින් කිවහොත් රාමා මිනිසෙකු වශයෙන් සම්පත් උපරිම වශයෙන් උපයෝගී කරගැනීමට කැපවී කටයුතු කළේය. රාමා සම්පත්කාමී සහ පරිසරකාමී පුද්ගලයෙකු වශයෙන් ශ්‍රී ලාංකික අපට නියත වශයෙන්ම ආඩම්බරයට හේතු වන කරුණකි.
අපි බුද්ධ ධර්මය ගැනද කතා කළෙමු. "අසෝකා බුදුන් වදාළ ධර්මය අවබෝධ කර ගැනීමට ත්‍රිපිටකය, අභිධර්මය සහ සූත්‍ර ආදිය ඉතාම වැදගත්. ඒවා කියවා තේරුම් ගැනීම හොඳයි. මං දන්න ඉතාම සුළු දෙයක් කියන්නම්." රාමා ඉතා ගැඹුරු දෙයක් පැහැදිලි ලෙස මට කියා දුන්නේය.
"අසෝක දන්නවානේ හෘදසාක්ෂිය කියන එක, ඒකට ආදේශකයක් නැත. එය ඇත්තේ ඔබ ළඟයි. මගේ හෘදසාක්ෂිය ඇත්තේ මා ළඟයි. එහි විනිශ්චයකරුවා මමයි. එය ඔබට විනිශ්චය කරන්නත් බෑ. ඔබගේ හෘදසාක්ෂිය මට විනිශ්චය කරන්නත් බෑ. බුද්ධ ධර්මය කියන එක ගැඹුරින් බැලූවිට එය අපගේ හෘදසාක්ෂියයි. එය අපගේ මනසත් ශරීරයත් එක්තැන් කර තිබෙන දෙයක්. ඒක තිත්ත ඇත්ත. එය තමා ධර්මය. බලන්න දුක කියන එක. එය අප විසින් අපගේ මනසින් සහ ශරීරයෙන් අවබෝධ කරගත යුතු දෙයක්. වෙනත් විදියකින් කිවහොත් එය ජීවිතයේ යථාර්ථයයි. යථාර්ථය දැනගත් පසු අපි දුක ගැන වාද විවාද කළ යුතු නෑ. මිනිසුන් නිහඬ වී බුදුන් වදාළ දේශනා අනුව දුක අවබෝධ කරගන්නට බලනවා. උත්සාහ කරනවා." රාමා පැහැදිලි කළේය.
"රාමාත් එක්තරා විදියක ත්‍රිපිටකයක් වගේ?" මම පැවසුවෙමි. රාමා ම සිනහවක් දල්වා "අසෝක මම කියූ දෙවල් ගැන නිවී සැනසිල්ලේ හිතන්නකෝ" රාමගේ කෙටි පිළිතුර විය.
රාමා කොයි ගෙදරක ජීවත් වුවත් ඉතාම සාර්ථක ගෙවත්තක් සාදාගැනීමේ පුරුද්දක් තිබූ කෙනෙකි. හැම බිම් අඟලකම, මල් පෝච්චිවලට දමා නොයෙක් වර්ගයේ එළවළු සහ මල් වගා කළේය. ඒ අතර එළවළු සහ මල් සහ එළවළු ඇට වර්ග සහ එළවළු පැලද තම නිවසට පැමිණි සියලුම දෙනාට බෙදා දීමත් නැත්නම් ගෙදරකට යනවිට ගෙන ගොස් දීමත් රාමාට තිබූ පුරුද්දකි. අප නිවසට රණවරා පැල, නිවිති, ගොටු කොළ, මුකුණුවැන්න ආදී බොහෝ දේ ලැබුණේ රාමාගෙන්ය. ඒ අනුව ගෙවත්තේ වගා කොට කෑමේ පුරුද්ද මමත් රාමාගෙන් ඉගෙන ගතිමි. එම පුරුදු වැඩි දියුණු කරගැනීමට උත්සාහ කළෙමි. පැල කරන, හදන සෑම දෙයක්ම ඉතාම සරු සාරව වැඩීමටත් එසේ ම අවශ්‍ය අස්වැන්න ලබා ගැනීමටත් පාවිච්චි කරන පොහොර මොනවා දැයි මම දවසක් රාමාගෙන් ඇසුවේ මාගේ එළවළු සහ මල් කේඩාරි වී තිබූ නිසාය. "අසෝකා ඒකේ රහස අවශ්‍ය පොහොර තෙල් වර්ග සහ වතුර දමනවා පමණක් නොවේ. වඩා වැදගත් වන්නේ එම පැලවලට සහ ගස් ආදරයෙන් සහ කැපවීමෙන් රැක බලා ගැනීමයි. එය අපගේ මුලු ශරීරයෙන්ම කළ යුතු දෙයක්. මේ පැල සහ ගස් අපේ දරුවෝ වගෙයි. අපි දරුවන්ට කන්න බොන්න දුන්නා කියා ඔවුන් ගුණගරුක යහපත් දරුවෝ වන්නේ නෑ. ඒ අයට අපගේ නොමඳ ආදරය සැලකිල්ල සහ ඇල්ම අවශ්‍යයි. රැකවරණ අවශ්‍යයි.”
රාමා ඉතා සරුවට වැවෙන පැල සහ ගස් පිටු පස ඇති රහස හෙළිකළේය. සාරවත් ගෙවතු වගාවක් ගැන මට තිබුණේ ඉතා අල්ප දැනුමක් බව මට අවබෝධ විය. වෙනත් විදියකින් කීවොත් ඔහු ගලක් උඩ ඇටයක් හෝ පැලයක් දැම්මත් ඒවා සරුසාරව වැඩී අවශ්‍ය ඵල ලබා දෙන්නේය. ඒ රාමාගේ දෑත්වල තිබූ ආදරය සැලකිල්ල හා කැපවීම නිසයි. රාමාගෙන් ඉගෙන ගත යුතු දේ බොහෝ විය. රාමා කිසි ම දිනක හෝ කිසි ම ස්ථානයක දී හෝ තමා විසින් ලාංකික සමාජයට සහ නවසීලන්තයට කළ කී දෙයින් කිසිම සමාජ තත්ත්වයක් හෝ පිළිගැනීමක් කිසිදු විදියකින් අපේක්ෂා කළේ නැත. රාමා වෙනුවෙන් පොඩි හෝ උපහාර උළෙලක් සූදානම් කළයුතු යැයි දිනක් මා කී විට "මැරුණයින් පස්සෙ අවශ්‍ය නම් ඒවා අදාළ වේවි, මං දැන් රාමා වශයෙන් ජීවත් වෙනවා." ඔහුගේ ක්ෂණික පිළිතුර විය. රාමා යනු මිනිසකු වශයෙන් ඉපිද, මිනිසකු වශයෙන් ජීවත් වී මිනිසෙකු වශයෙන් මියගිය අප හැමට කලාතුරකින් ලැබෙන ආදර්ශයක් දුන් මිනිසෙකි. ඔහුට නිවන් සුව පතමින් මෙම කෙටි සටහන අවසන් කරමි.
මහාචාර්ය අසෝක සෙනෙවිරත්න,
ලේඛකයා ගැන: නවසීලන්තයේ විසූ විශිෂ්ට ශ්‍රී ලාංකිකයකු ගැන මේ ඇගයීම කරන්නේ නවසීලන්තයේ වෙසෙන තවත් එවැනිම විශිෂ්ටයෙකි. ඔහු විදේශ විශ්ව විද්‍යාල රැසක මහාචාර්යවරයකු, ආර්ථික උපදේශයකු කටයුතු කළ අයෙකි. ඔහු නැමීබියාවේ ජනාධිපතිවරයාගේ විශේෂ උපදේශයකු වශයෙන් ද (2008-2012 අතර කාලයේ දී) ක්‍රියා කර ඇත.
2 Comments
ඉතා හොද ලිපියක් - Mayya
ReplyDeleteබොහොම සුන්දර ඉතාම ආදර්ශවත් චරිත කතාවක්.ඉගෙන ගන්න බොහොම දේවල් අන්තර්ගත මෙවන් කතාවක් පල කලාට ස්තුතියි.
ReplyDelete