දෙදහස් දහසයේ නොවැම්බර් දෙවැනිදා නින්දට ගිය අමරදේවයන් පුදුම ඉල්ලීමක් කළේ හරියටම රෑ දොළහටය. වෙනදා නම් නින්ද අතරමැදදී අවදි නොවන ඔහු නොවැම්බර් දෙවැනිදා හරියටම රෑ දොළහට සිටියේ අවදිවය. එසේ අවදිවූ අමරදේවයන් සිය දයාබර බිරිඳ විමලාවන් ද අවදි කර වූවේය. මහ රෑ අවදි කළ විමලාගෙන් අමරදේවයන් ඉල්ලුවේ සුදු මල් තුනකි.
“මහ රෑ දොළහට තාත්තා සුදු මල් තුනක් ඉල්ලුවාම අම්මා තරමක් තිගැස්සිලා තිබුණා. ඒත් අම්මා ඒ බව තාත්තාට පෙන්නලා නැහැ. ‘මහ රෑ මල් මොකටද මහත්තයෝ’ කියලා අහපුවාම තාත්තා කියලා තිබුණා, මට බුදුන්, දහම්, සඟුන් වඳින්න මල් තුනක් ඕනෑ කියලා. එතකොට අම්මා කියලා තිබුණා, චූටි උදේට මල් කඩලා ගෙනත් දෙයි කියලා. අපේ ගෙදර උදේට බුදුන් වඳින්න මල් කඩන්නෙ අක්කා. තාත්තා උදේට ශරීර සුවතාවට ඇවිදින්න ගියාම තාත්තත් මල් කඩලා ගෙනත් දෙනවා අක්කා අතට. මෙන්න මේ මල් ටිකත් බුදුන්ට පූජා කරන්න චූටි කියල තමයි තාත්තා කඩා ගෙන ආපු මල් ටික අක්කා අතට දෙන්නේ. අක්කා උදේට මල් කඩලා දෙයි කියලා අම්මා කිව්වාට පස්සෙ තාත්තා ආපහු නිදාගෙන තිබුණා.”
නොවැම්බර් තුන් වැනිදා උදෑසන අවදි වූ ප්‍රියංවදා දියණිය වෙනදා වගේ ම මල් කඩන්න ගියේ මිදුල කෙළවර වූ පිච්ච මල් වැල අසලටය. එ නොවැම්බර් දෙවැනිදා විට දුටු දෙයින් ප්‍රියංවදා පුදුමයට පත් වූවාය. මුළු වැලටම තිබුණේ මල් තුනක් බැවිනි. පිච්ච කියන්නේ සාමාන්‍යයෙන් මල් පිරී ඇති වැලකි. එහෙත් එදා පිපී තිබුණේ මල් තුනක් පමණි. ප්‍රියංවදා ඒ මල් තුන කඩා ගෙනැවිත් අමරදේවයන් අතට දුන් විට ඔහු එය ගත්තේ දෝතින්මය. සුභානි එදා අවදිවූවේද කිසිදා නොදුටු සිහිනයක් දකිමිනි.
“කවදාවත් නැතුව එදා සුදු කොඩි දෙකක් මගේ මුහුණේ වදිනවා මම හීනෙන් දැක්කා. ඔය හීනය දකිමින් තමයි, මම උදේ ඇහැරුණේ. ඒ වෙලාවෙ මගේ හිතට සෑහෙන බයක් ඇති වුණා. ඒත් තාත්තාට කරදරයක් වෙයි කියලා කීයටවත් හිතුණෙ නැහැ. මොකද සුළු උණ තත්වයක් තිබුණට තාත්තා බොහොම නිරෝගීව හිටියේ. තාත්තයි අම්මයි ඔය වෙනකොට නිදා ගත්තේ ගෙදර බිම් මහලේ කාමරයක. අක්කයි මමයි හිටියෙ උඩු මහලේ. උදේ නැගිටලා මම පහළට එන කොට දැක්කා තාත්තා උදේ වාඩිවෙලා දෑත් එක් කරලා වැඳ ගෙන ඉන්න හැටි.
“එහෙම වැඳ ගෙන ඉන්න ගමන් බුදු සරණ වේවා, දම් සරණ වේවා, සඟ සරණ වේවා මෙ තුන් සරණින් ජයම වේවා. කිය කියා හිටියේ. තාත්තා වෙනදාට බුදු පහන ළඟට ගිහින් බුදුන් වැන්දට ඇඳෙහි ඉඳන් ඔය විදියට කියනවා අපි කවදාවත් දැකලා නැහැ. මල් තුනක් අතේ තියාගෙන තමයි තාත්තා ඔහොම කිය කියා හිටියේ. ඒ වෙලාවෙ මගේ හිතේ යම් චකිතයක් ඇති වුණා. හැසුරුණු විදියට නෙමෙයි තාත්තා ඇඳටම වෙලා හිටිය නිසා. තාත්තා සාමාන්‍යයෙන් උදේ අවදිවුණාට පස්සේ ඇඳ වෙලා ඉන්න කෙනෙක් නෙවෙයි. ඇඳෙන් බැහැලා ඇවිත් ඇවිදින කෙනෙක්. ඊට ටික වෙලාවකට පස්සේ තමයි මම දැක්කෙ තාත්තා ඉක්මනින් හුස්ම ගන්නවා.”
විමලා ඒ මොහොතේ සිටියේ අමරදේවයන්ගේ හිස අතගාමිනි. රංජන වහා පැමිණ තාත්තා රෝහල ගෙන යන්නට තීරණය කළේය. ඒ අනුව ඔහු අමරදේවයන් රැගෙන ගියේ ජයවර්ධනපුර රෝහලටය. අමරදේවයන් රෝහලට පිටත්ව ගොස් තිබුණේ තම සුරතේ තිබුණු පිච්ච මල් තුන නිදා ගත් කොට්ටය උඩ තබාය. රෝහල ගෙන ගිය පසු වෛද්‍යවරුන්ගේ තීරණය වූයේ අමරදේවයන් ශල්‍යකර්මයකට බඳුන් කරන්නටය. ඔහු මෙලොවින් සමුගෙන ගියේ ඒ ශල්‍යකර්මය කරන අතරේදීය. එවිට අමරදේවයන්ගේ වයස අවුරුදු අසූ නවයකි.
ජීවිතයේ අවසන් දිනයෙහි දෑත් තබාගෙන සිටි පිච්ච මල් තුන සුරක්ෂිත කර ඇත්තේ දිගු කලක් තබා ගත හැකි තාක්ෂණය මගිනි. එය අනාගතයේ දී අමරදේව අසපුවෙහි තැන්පත් කරනු ඇත්තේ එය නරඹන්නට එන අයට දැක ගත හැකි වන ලෙසය.
(‘සති අග අරුණ’ පුවත්පතට අමරදේවයන්ගේ සුභානි දියණිය සමග සාකච්ඡා කර හසිත කුරුප්පු ලියූ ලිපියක් ඇසුරෙනි.)
2 Comments
මරනයට ලං වෙනකොට ඒක දැනෙනවා වෙන්න පුලුවන් - Mayya - https://maiyyagelokaya.blogspot.com/
ReplyDeleteමරණයට පෙර ඔය වගේ අත්දැකීම් ඕන තරම් තියෙනවා.
ReplyDelete