ඉතාලියේ පීසාහී ඇලවුණු කුලුන ගැන ඔබ දන්නවා නේද? ඒ වගේ තවත් ඇලවුණු කුලුනක් තියෙනවා, කඩා වැටීමේ අවදානමට ලක්වුණු. ඒ ඉතාලියේ බොලොඤ්ඤාවේ ගැරිසෙන්ඩා කුලුනයි. වසර 900ක් පැරණි මේ කුලුන දැනටමත් අංශක හතරක් ඇල වෙලයි තියෙන්නේ. ඒ කියන්නේ පීසා හී ඇලවුණු කුලුනට වඩා අංශකයක් අඩුවෙනුයි.
මෙය ඉතාලියේ වඩාත් ප්‍රසිද්ධ ඇලවුණු කුලුන නොවුනත් මේ ගැරිසෙන්ඩා කුලුනට දැන් මුලු රටේ ම අවධානය යොමු වෙලයි තියෙන්නෙ. බොලොඤ්ඤා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් අති සංවේදී ශ්‍රව්‍ය උපකරණ භාවිත කරමින් ඒ බිමෙහි අවටින් නිකුත් වෙන ශබ්දවලට සවන් දෙමින් සිටිනවා.
මේ කඩා වැටීමේ අවදානම නිසා දැන් මේ කුලුන අවට මාර්ග වසා දමලයි තියෙන්නෙ. මේ ගොඩනැගිල්ලේ පාදමේ අසාමාන්‍ය වෙනස් කීපයක් විද්‍යාඥයන්ට හමු වීමෙන් පසුවයි, ඒ පියවර අරන් තියෙන්නේ.
අඩි 157ක් උස මේ ගිරිසෙන්ඩා කුලුන පාදමෙහි දුර්වල තැන්වලට සවිමත් පිරවුම් ද්‍රව්‍ය නික්ෂේපණ කිරීමෙන් පසු ඇල වීමේ යම් තරමකින් හෝ අවදානම අඩු වේවි කියලයි විද්‍යාඥයන් සිතන්නේ.
බොලොඤ්ඤාවේ සංචාරක මණ්ඩලයේ ප්‍රකාශකයකු කියන්නේ අවට භූමියෙහි අසාමාන්‍ය ශබ්දයන්, යම් දෝලනය වීම්, කම්පන තරංග නිකුත් කිරීම්, කුලුන අවට මිලිමීටර ප්‍රමාණයන්ගෙන් යම් යම් වෙනස් වීම් සිදු වී ඇති බව විද්‍යාඥයන් විසින් හඳුනා ගෙන තියෙන බවයි.
ඒ අවට මාර්ගවල රථවාහන ගමනාගමනය නතර කර දැමීමෙන් පසුව හඳුනා ගැනීමේ උපකරණවලට බාධාවලින් තොරව වඩා නිවැරදි ගණනය කිරීම් කළ හැකි වුණා. ඉන් පසුවයි, තවදුරටත් පරීක්ෂණ කිරීම සඳහා විශේෂඥයන් ඒ කුලුනෙහි ඉහළට යවනු ලැබුවේ. එහි දී වඩා නිවැරදි මිමි හා ගණනය කිරිම් ලබා ගැනීමට විද්‍යාඥයන්ට හැකි වුණා.
“මේ ගැරිසෙන්ඩා කුලුනෙහි ඇති සංස්කෘතික වටිනාකම් අනුව එය රැක ගැනීම ඉතා වටිනවා. එය බොලොඤ්ඤාවේ හා ඉතාලියේත් සංචාරක ආකර්ෂණය අතින් මෙන් ම ඉතිහාසය අතිනුත් ඉතා වැදගත් තැනක් උසුලනවා.” ඒ ප්‍රකාශකයා කියනවා.
“වාසනාවකට වාගේ තාමත් අපට ලැබී සංඥාවලින් කියවෙන්නේ නැහැ, ඒක කඩා වැටෙන බවක්. තත්වය තාමත් හොඳ අතටයි තියෙන්නෙ.” ඔහු වැඩිදුරටත් කියනවා.
ඉතාලියේ සංස්කෘතික කටයුතු පිළිබඳ උප ඇමතිනි ලුසියා ජ කියන්නේ මේ තත්වය ගැන අවධානය යොමු කරන්න තිබුණේ මීට කලින් බවයි. ඇය චෝදනා කරන්නේ නගර සභාවටයි. “දැන් විශේෂඥ කණ්ඩායමක් මේ ගැන අවශ්‍ය පියවර නිසි අයුරින් අර ගනිමින් තියෙනවා. දැන් බය වෙන්න දෙයක් නැහැ” කියලයි ඇය කියන්නේ.
“නගර සභාවේ විද්‍යාත්මක කමිටුව මේ කුලුනේ සංරක්ෂණයේ දී එහි තත්වය අවතක්සේරුවට ලක් කරලා තියෙන්නෙ. ඒ නිසා ම නිසි වෙලාවට සංරක්ෂණ කටයුතු කෙරුණේ නැහැ. ඒ නිසයි රජයට ඒ කටයුතුවලට අත ගහන්න සිද්ධ වුණේ. මේ සංරක්ෂණ කටයුතුවලට රජය දැනටමත් යුරෝපීය සංගමයේ ජාතික ප්‍රතිසංස්කරණ අරමුදලෙන් යුරෝ මිලියන 5ක් වෙන් කරලා තියෙනවා, “ කියා පුවත්පත් සාකච්ඡාවක දී බෝගන්සෝනි මහත්මිය වැඩිදුරටත් කීවා.
ගැරිසෙන්ඩා කුලුන ඉදිකර ඇත්තේ ක්‍රි.ව. 1109 සිට 1119 කාලය තුළයි. බොලොඤ්ඤාවේ එදිරිවාදි පවුල් අතරින් එකක් තමයි, ඒක ඉදිකර ඇත්තේ. මේ කුලුනු ගොඩනැගිලි ඉදි කිරීමේ උන්මාදයක් ඉතාලියේ තිබුණු යුගයෙයි. ඒ කාලේ විවිධ ප්‍රමාණයේ එවැනි ගොඩනැගිලි 200ක් විතර බොලොඤ්ඤාවේ තිබුණා.
කෙසේවෙතත්, 1920 ගණන්වල දී විශාල වශයෙන් කෙරුණු ප්‍රතිසංස්කරණවල දී අනතුරුදායක යැයි සලකා ඒ බොහොමයක් ඉවත් කරනු ලැබුවා. දැන් ඉතිරි ව ඇත්තේ ඉන් කීපයක් විතරයි.
මේ නගරය මැද දැන් ඉතිරිව ඇත්තේ සුප්‍රසිද්ධ කුලුනු දෙකක් පමණයි. ඉන් වඩාත් උස කුලුන වූ අඩි 318ක් වූ ඇසිනෙලි කුලුන නිසා ගැරිසෙන්ඩා කුලුනෙහි උස පෙනෙන්නේ නැහැ. 13 වැනි සියවසේ දී ඉතාලියේ ඩාන්ටේ කවියා සඳහනක් කර තිබෙනවා, මේ කුලුනෙහි කලින් පැවති උසෙන් අඩි 32ක් අඩු කළ බව ඒ අවස්ථාවේ දී කඩා වැටෙතැයි පැවති බිය නිසා.
ඉතාලියේ පීසාහි මෙන්ම, බොලොඤ්ඤාවේත් ඇත්තේ මෘදු පස් සහිත බිමක්. මේ නිසයි, කල් යාමේ දී කුලුනු ගොඩනැගිලි ඇල වෙන්නේ.
- පර්සි ජයමාන්න
0 Comments