ලෝක අලි ඇතුන්ගේ දිනය ඊයේට (අගෝ: 12) යෙදී තිබිණ. ඒ නිමිත්තෙන් ලිපි විශේෂාංග රැසක් අන්තර් ජාලය පුරා දැක ගන්නට ලැබිණ. ඒ අතරින් ඉතා අගනා ලිපියක් බීබීසී සිංහල සේවයේ වෙබ් පිටුවෙහි පළ විය. අලින් ඇතුන් ගැන අපේ රූපවාහිනී වැඩ සටහන් සම්පාදනය කළ සුනෙත් පෙරේරා ලියූ ලිපිය ‘මල් කැකුළු’ පරිශීලකයන්ගේ අවධානයට ලක්විය යුතු යැයි සිතූ නිසා මෙසේ යළි පළ කිරීමට අදහස් කෙළෙමි. කුඩා වියේ සිට අලි ඇතුන්ට ආදරේ කළ අයකුගේ සියත් අත් අත්දැකීම් ඇතුළත් මේ සංවේදී ලිපිය මෙසේ උපුටා දක්වන්නේ ලේඛකයාටත් එය පළ කළ වෙබ් පිටුවටත් එම පිටුව පළ කරන බීබීසී සිංහල සේවයටත් උපහාරයක් වශයෙනි.
'මරණයෙන් පසු ජීවිතයක් ඇත්නම් මැණිකේට
ගෙවිය යුතු ණය මම ගෙවා දමමි'
බීබීසී ලෝක සේවයේ සුනෙත් පෙරේරා විසිනි.
ළමා වියේදී මගේ සුරතලුන් වූයේ, පූසන් හෝ බල්ලන් නොව අලි ඇතුන් ය.
රඩ්යාඩ් කිප්ලිංගේ Jungle Bookහි සුප්‍රසිද්ධ ප්‍රබන්ධ චරිතය වන වෘකයන් විසින් ඇති දැඩි කරන ලද මෞග්ලි මෙන්, මගේ ළමා කාලය තුළ ද සතුන් ආදේශ කළ නොහැකි කාර්ය භාරයක් ඉටු කර තිබේ.
මා හැදී වැඩුණේ, අලින් වැළඳ ගනිමින්, ඔවුන්ගේ පලතුරු බෙදා ගනිමින් සහ මේ දැවැන්ත සතුන්ගෙන් අධ්‍යාපනය පවා ලබමිනි.
හත් හැවිරිදි වියේ සිට, මම හිරු අවරට යද්දී ඔවුන්ගේ දිනපතා ස්නානයෙන් පසු, මෞග්ලි ඔහුගේ සත්ව සගයින් වන බගීරා, කළු පැන්තර් හෝ බාලූ වලසා පිට නැගී යන්නාක් මෙන්, මේ දැවැන්ත ජීවීන් පිට නැගී මා නිවස කරා ගියෙමි, අලි ඇතුන් යනු මට තවත් හුදු සත්ව විශේෂයක් නොවුණු අතර, අප අතර විශේෂ බැඳීමක් විය.
රත්නපුරයේ දිවි ගෙවූ මගේ පවුල, මිලියන 22 ක ජනගහනයක් සිටින මෙරට ගෘහාශ්‍රිත අලි රංචුවක් හිමි කීප දෙනා අතුරින් එකකි.
මගේ සීයා ඇතිදැඩි කළ අලි ඇතුන් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමට ගැහැනු සතුන් දෙදෙනෙකු සහ පිරිමි සතුන් තිදෙනෙකු ඇතුළත් වූ අතර ඉන් රංචුවේ අභිමානය වූයේ, ඒකදන්ත නමැති ඇතා ය. සියලු ම ආසියානු පිරිමි ඇතුන්ට දළ නොමැති හෙයින්, වනජීවී දෙපාර්තමේන්තුවට අනුව ශ්‍රී ලංකාවේ දළ සහිත ඇතුන්ගේ ප්‍රතිශතය 2%ක් පමණ වන අතර, (අප්‍රිකානු පිරිමි සහ ගැහැනු ඇත්තු ද දළ වර්ධනය කරති) දකුණු ආසියාවේ ඇතුන් ඉතා ඉහළ වටිනාකමකින් යුක්ත වන අතර සංස්කෘතික වශයෙන් ද වැදගත් වේ.
කෙසේ වෙතත්, මා ඒකදන්තට ආකර්ෂණය වූයේ නැත - මම නිතර ම බාල ම කෙනෙරක වූ සහ අවිවාදිතව මගේ ප්‍රියතම කෙනෙර වූ මැණිකේගේ පිට මත නැගී ගියෙමි. 'මැණිකේ' යන්නෙන් අදහස් කරනුයේ, වටිනා හෝ ගෞරවණීය කාන්තාව යන අර්ථය යි.
සෑම සන්ධ්‍යාවක ම අලි ඇතුන් ස්නානය සඳහා මගේ නිවස ආසන්නයෙන් ගලා ගිය ගඟ වෙත එන අතර එය නැරඹීමට මගේ සීයා මාව රැගෙන යයි. වයසින් වැඩෙත් ම මා එහි ගියේ අලි ඇතුන් නැරඹීමට පමණක් නොව ඇත්ගොව්වන් ලෙස හැඳින්වෙන අලි රකින්නන් ගැන විමසිල්ලෙන් සිටීමට ය. කොක්කක් සහිත තියුණු මෙවලමක් වූ ඔවුන්ගේ හෙණ්ඩුවලින් අලි ඇතුන්ට රිදවන්නේ නැති බව තහවුරු කර ගැනීමට මට අවශ්‍ය විය.
මැණිකේ වැතිර සිටින අතර ඇගේ ඇත්ගොව්වා වන ප්‍රේමරත්න, ජලය ඉසිමින් ඇගේ සිරුර පොල් ලෙල්ලකින් අතුල්ලයි. පළමු ජල පහර ඉසීමට පෙර, ඔහු සතාට ගෞරව කිරීම සඳහා යාච්ඤාවකදී මෙන් දෑත් එකතු කළේ ය. ප්‍රේමරත්න යනු උඩු රැවුලක් සහිත, මැණිකේගේ හදිසි පා පහරක ප්‍රතිඵලයෙන් ඉදිරිපස දතක් අහිමි මිටි, මැදිවියේ මිනිසෙකි.
ප්‍රේමරත්න කිසි දිනෙක තම හෙණ්ඩුව පාවිච්චි කළේ නැත. මැණිකේ ඇවිද්දවීමට හෝ නිදා සිටින ඉරියව්වෙන් නැගිට්ටවීමට ඔහු මෘදු ලෙස "දහා" කියයි. එමෙන් ම, මැණිකේ හිතාමතා ම ඔහු කියන දේ නෑසුණාක් මෙන් සිටින්නී ය. ඇය නැවත නැවතත් ඔහුගේ අධිකාරිය නොසලකා හරින විට ක්‍රමයෙන් ඔහුගේ නියෝග හඬ තීව්‍ර වනු ඇත. එවිට, ඔහු කෝපයට පත් වන බවක් මවාපාමින්, ඇයට පහර දීමට අදහස් කරන බව පෙන්වීමට මුගුරක් සොයන ආකාරය අභිනයෙන් දක්වයි.
"මම මේක ආයෙ කියන්නෙ නෑ. දෙයියනේ කියලා... මේ අලියා බීරි වෙලා ද?" ඔහු ආයාචනා කරනු ඇත.
එහෙත්, ඔහු මා ඉදිරිපිටදී පමණක් නොව, කිසිදා ඇයව රිදවන්නේ නැති බව මම ස්ථිරව ම දැන සිටියෙමි. ගං ඉවුරේ ගල්තලාවක් මත හිඳ දිනපතා මේ ජවනිකාව නැරඹීම මගේ දින චරියාවේ ප්‍රියමනාප අංගයක් බවට පත් විය. මිනිත්තු 10ක් හෝ 15ක් පමණ කෑ ගැසීමෙන් පසු, මැණිකේ අවසානයේ පසුතැවිල්ලෙන් මෙන්, තම දෙපයින් නැඟිට, ආපසු නිවස වෙත පැමිණීමට පෙර සෙල්ලක්කාර ලෙස සිය සිරුර පුරා ජලය ඉසගන්නී ය.
"මැණිකේ මට අත දෙන්න," මම කාරුණිකව ඉල්ලමි. ඇයගේ පිට මත නැගීම සඳහා එවිට ඇය ඇගේ වම් ඉදිරි පාදය මෘදු ලෙස ඔසවයි.
ඇගේ සිරුර තෙත් වී තිබුණ ද, නිවස කරා ළඟා වෙද්දී ඇඳුම් වියළෙන බව දන්නා මම ඇයගේ පිට මත නැගී යමි. එහෙත්, ඇතැම් විට අලි කෙස් ඉඳිකටු තුඩු මෙන් මගේ කලිසමේ පසුපස ඇනෙයි.
මේ ගමනේදී අප පසුකරගෙන යන මිනිසුන් නිතර ම අප දෙස බැලුවේ, අලියෙකුගේ පිටේ යන ළමයෙක්? යන විමතියෙනි. නිවසට පැමිණි පසු මගේ ඉල්ලීමකින් තොරව ම මැණිකේ යළිත් ඉදිරි පාදය ඔසවා මා හට බිමට බැසීමට ඉඩ සලසයි.
අලි ඇතුන් ශ්‍රී ලංකාවේ ධනවත් ප්‍රභූ පැලැන්තියේ සමාජ ස්ථාවරය ඉතා පැහැදිලිව පෙන්වන ලකුණක් විය. එහෙත්, මෙම කීර්තිය මෙන් ම විවිධ කාර්යයන් සඳහාත් බෞද්ධ පෙරහැරවලට සහභාගි කරවීමට ත් පෞද්ගලික අයිතිකරුවන් විසින් අලි ඇත්තු තමන් සන්තකයේ තබා ගනු ලැබූහ.
1970 වසරේදී දේශීය අලි ඇතුන් පිළිබඳව පැවති ජාතික සංගණනයේදී හිමිකරුවන් 378කට අයත් හීලෑ අලි ඇතුන් 532 දෙනෙකු වාර්තා විය. එහෙත්, වර්තමානයේ ශ්‍රී ලංකාවේ සිටිනුයේ හිමිකරුවන් 47 දෙනෙකුට අයත් හීලෑ අලි ඇතුන් 97 දෙනෙකු පමණක් බව හීලෑ අලි ඇතුන් හිමියන්ගේ සංගමයේ ලේකම්වරයා පවසයි.
ශ්‍රී ලංකාවේ බොහෝ දරුවන් මෙන් මම ද මගේ ප්‍රියතම මාසය වන අප්‍රේල් මාසය පැමිණෙන තෙක් නොඉවසිල්ලෙන් බලා සිටියෙමි. සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරන විට, පාසල්වලට දිගු නිවාඩු ලැබේ.
මගේ වයසේ බොහෝ දෙනෙකු අලුත් ඇඳුම් සහ තෑගි වෙනුවෙන් අප්‍රේල් මාසය එනතුරු බලා සිටිය ද, සැබවින් ම මා උද්දාමයට පත් කළේ, බර ගස් කඳන් එහා මෙහා ගෙන යාමට සහ එසවීමට යොදාගත් දැව කපන ස්ථානවලින් අපේ ආදරණීය අලි ඇතුන් ආපසු එනු දැකීම ය.
මෙම උත්සව කාලය තුළ, ගස් කපන ස්ථාන තාවකාලිකව වසා දමන අතර, අලි ඇතුන් ආපසු නිවෙස් බලා රැගෙන යාමේ පුරුද්දක් විය. ඇතැම් විට දුර බැහැර ප්‍රදේශවල සිට අලි ඇතුන්ට ආපසු පැමිණීමට සති කිහිපයක් ගත වේ. අලින්ගේ පැමිණීම ප්‍රකාශ කළේ, ඔවුන්ගේ වළලුකර වටා ඇති දම්වැල් සහ බෙල්ලේ එල්ලා ඇති සීනු හඬවල් ය.
ඔවුන් නිවසට ළං වන විට, ඔවුන්ගේ වේගය වැඩි වූ අතර දම්වැල් සහ සීනු හඬ ද වැඩි විය. ආපසු එන අලි ඇත්තු ප්‍රධාන දොර අසල කෙසෙල්, උක් දඬු, ලුණු හෝ සියඹලා තබමින් පිළිගනු ලබති.
ඔවුහු තම හොඬය නිවස තුළට දමා අපව ආඝ්‍රාණය කරමින් හොඬයේ අග පිහිටි ඇඟිල්ලක් වැනි අංගය දිගු කරමින් තවත් කෑම සොයති.
කුඩා ද්‍රව්‍ය අල්ලා ගැනීම සඳහා ආසියානු අලින්ට එක් 'ඇඟිල්ලක්' ඇති අතර අප්‍රිකානු අලින්ට දෙකක් තිබේ.
මැණිකේ හැමවිට ම මට සමීප වූවා ය. සංග්‍රහයක් දෙන විට සෙමෙන් කන් ගසමින් ඇය සෙනෙහස පෙන්වයි. අලි බෙටි සහ මුත්‍රා සුවඳ මගේ නිවාඩුවේ ආරම්භය සලකුණු කළේ ය.
අලි ඇතුන් සති කිහිපයක් ගෙවත්තේ ගාලේ ගිමන් හරිමින් සිට ආපසු ගස් කපන ස්ථානවලට රැගෙන යයි.
ඔවුන්ට නිවසේ ආරක්ෂිත බවක් දැනුණු අතර, පැය ගණනක් ගොරවමින් නිදාගෙන සිටිති. බොහෝවිට ඔවුන්ගේ විශාල කන්වල සියුම් කම්පනයත් සමග එන මෙම ගැඹුරු, රිද්මයානුකූල ශබ්දය මම හඳුනා ගනිමි.
තව ද, ගෘහාශ්‍රිත අලි ඇත්තු තම ආහාර එහාමෙහා කරන විට ඉඳහිට මෘදු ඝෝෂාකාරී ශබ්දයක් නිකුත් කරති. අන් සැම දෙයකට ම වඩා, මේ සංධ්වනි, විශේෂයෙන් ම අඳුරේදී ඇසීමෙන් මම සතුටක් ලැබුවෙමි. සඳ පායන රාත්‍රියේදී, ඈත සිට අලියාගේ හිසෙහි ඇති උස් පහත් ස්ථාන පවා මට දැකගත හැකි විය. මා තනිවී නැතැයි මම දැන සිටියෙමි.
ශ්‍රී ලංකාවේ අලි ඇතුන් පූර්ව ආත්මයන්හි මිනිසුන් ලෙස ඉපිද සිටි බවත් අලි හිමියන්ට ණය වී ඇති බවත්, අලි හිමියන් වෙනුවෙන් වැඩ කිරීමෙන් එම ණය ආපසු ගෙවිය යුතු බවත් මිථ්‍යා විශ්වාසයක් පවතී.
අනූව දශකයේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ මහා පරිමාණ දැව කර්මාන්තය අවසන් වීමත් සමග හීලෑ අලි ඇතුන්ගෙන් ලැබෙන ආදායම නතර වූ නමුත් අපට අයත්ව සිටි අලි ඇතුන් තුන් දෙනෙකුට ඔවුන්ගේ "ණය" ගෙවීමට ඊට පෙර හැකි විය.
එවකට මා යන්තමින් පස් හැවිරිදි වියේ පසුවුව ද, ඒකදන්ත ඇතා මිය ගිය දිනට මට තවමත් මතක තිබේ. රෝගී ඇතාට මාස කිහිපයක් තිස්සේ ප්‍රතිකාර කළ ද, බේරා ගත නොහැකි විය. ඔහු අපගේ මිදුලේ පසුපස භූමදානය කරන ලදී.
දැව අංගණවල වෙහෙස මහන්සි වී වැඩ කිරීම වෙනුවට විදෙස් සංචාරකයින් පිට මත රැගෙන යන අලි සෆාරි 90 දශකයේ අග භාගය වන විට වේගයෙන් වර්ධනය වෙමින් අලි ඇතුන් සඳහා ඉක්මනින් නව රැකියාවක් ආදේශ විය. මගේ නිවසේ සිට කිලෝමීටර් 200ක් පමණ දුරින් පිහිටි සංචාරක ලැගුම්හල් සහිත ප්‍රදේශයක් වන හබරණ ප්‍රදේශයට මැණිකේ රැගෙන යන විට මා ඉගෙනුම ලැබුවේ, 8 වන ශ්‍රේණියේ ය.
එතෙක්, ඇය සිය ජීවිත කාලය පුරාවට ලොරියකට නැග තිබුණේ නැත. සාමාන්‍ය පරිදි, ඇයට ලොරියට ගොඩ වන ලෙස ප්‍රේමරත්න කෑගසා කීවේ ය. එහෙත්, අතිශයින් බියට පත්ව සිටි ඇය, මෙවර ඔහු කී දේ නෑසුණා සේ ඇඟවීමක් කළේ නැත. යම් මානසික පීඩනයක් පෙන්වමින් ඇයට එක දිගට මළ සහ මුත්‍රා පිටවන්නට විය.
පළමුව, ඇය සිය ඉදිරි පාද ලොරි බඳ තැබුවා ය. එහෙත්, ඇය මුරණ්ඩු ලෙස සිය පසුපස පාද බිම තබාගෙන ලොරිය මතට නැගීම දැඩිව ප්‍රතික්ෂේප කළා ය.
සාමාන්‍ය පරිදි, ඇයට ලොරියට ගොඩ වන ලෙස ප්‍රේමරත්න කෑගසා කීවේ ය. එහෙත්, අතිශයින් බියට පත්ව සිටි ඇය, මෙවර ඔහු කී දේ නෑසුණා සේ ඇඟවීමක් කළේ නැත. යම් මානසික පීඩනයක් පෙන්වමින් ඇයට එක දිගට මළ සහ මුත්‍රා පිටවන්නට විය.
පළමුව, ඇය සිය ඉදිරි පාද ලොරි බඳ තැබුවා ය. එහෙත්, ඇය මුරණ්ඩු ලෙස සිය පසුපස පාද බිම තබාගෙන ලොරිය මතට නැගීම දැඩිව ප්‍රතික්ෂේප කළා ය. පැය ගණනාවක් අදිමදි කරමින් අවසානයේ ඇය ලොරියට ගොඩ වූ අතර ඒ වන විටත් විශාල පිරිසක් මාර්ගය අසල මෙම දර්ශනය නැරඹීමට රැස්ව සිටියහ.
ඇය ලොරිය මත නැගී පිටත්ව යද්දී, සම්පූර්ණයෙන් ම නොපෙනී යන තෙක් මම ඇය දෙස දුර සිට බලා සිටියෙමි. ඇය ඉතා ඈතට රැගෙන යමින් සිටි හෙයින් මම කලබල වීමි.
"ඉක්මනින් ම බලන්න එන්නම්, මැණිකේ," මම මට ම පමණක් ඇසෙන සේ මිමිණුවෙමි.
වසරකට වරක් හෝ දෙවරක් අප මැණිකේගේ සුවදුක් බැලීමට ගිය අතර, සෑම අප්‍රේල් මාසයේ ම ඇය ආපසු නිවසට පැමිණියා ය. ඇය පසුව ලොරියේ ගමන් කිරීමට පුරුදු විය.
ඇයගේ වයස අවුරුදු හැටකට ආසන්න වූ නමුත්, සාමාන්‍යයෙන් අලියෙකුට විශ්‍රාම ගැනීමක් නැත. සාමාන්‍යයෙන් ඔවුන්ට මිය යන දිනය දක්වා වැඩ කිරීමටත්, සංස්කෘතික ක්‍රියාකාර කම්වලට සහභාගි වීමටත් සිදු වේ.
එහෙත්, මගේ පියා මැණිකේ ආපසු නිවස කරා රැගෙන ඒමට අවසානයේ තීරණය කළේ ය. ඇයව රැකබලා ගැනීම වියදම් අධික කාර්යයක් වුව ද, අපි ඇයව යළිත් වැඩ කිරීමට නො යැවීමු.
2006 වසරේ අග භාගයේදී ඇය අපගේ නිවසේ සිට කිලෝමීටර් 30ක් පමණ දුරින් පිහිටි පොල් වත්තකට යැවූ අතර, එහි ඇයට අවශ්‍ය තරම් පොල් කොළ සහ වෙනත් ආහාර තිබිණි. එය ඇගේ අවසන් ගමන බව ඇය මෙන් ම මම ද දැන නොසිටියෙමි.
දින කිහිපයකට පසු මැණිකේ රෝගී වූ අතර, ඇයට ප්‍රතිකාර කිරීමට කටයුතු සූදානම් කරමින් අපි වහා ම ඇය බැලීමට ගියෙමු. ඇය විශාල පොල් රුප්පාවක වැතිර සිටියා ය.
නැගිටීමට තරම් මැණිකේ සතුව ශක්තියක් නොතිබුණ ද, ඇය සංග්‍රහයක් සොයන විට වෙන දා කරන්නාක් මෙන් හොඬයේ ඇති 'ඇඟිල්ල' වැනි කොටක අප දෙසට දිගු කරමින් අපව ඉව කරන්නට වූවා ය. ඇයව සනසන අටියෙන්, මම ඇගේ නළල අත ගෑවෙමි. අඳුර වැටුණු පසු අපි නිවසට පැමිණියේ, ඇයට ඉක්මනින් සුවය ලැබෙනු ඇතැයි අපේක්ෂාවෙනි.
පසු දා උදෑසන අපට ලැබුණු දුරකතන ඇමතුමකින් දැන ගන්නට ලැබුණේ, මැණිකේ අපට ණය ගෙවා අවසන් ය යන දුක්බර ආරංචිය යි. මම ඇගේ අවමඟුලට තනිව ම සහභාගී වී අවසන් ගෞරව දැක්වූවෙමි.
සුදු රෙද්දකින් මුහුණ වසාගෙන මැණිකේ පොල් වත්ත මැද තනියම වැතිර සිටියදී ඇය වෙනුවෙන් අවසන් කටයුතු සිදු කිරීමට භික්ෂූන් වහන්සේලාට ආරාධනා කළෙමි.
මැණිකේ මගේ ජීවිත කාලය පුරා මිතුරියක වී සිටියා ය. මගේ දෙමාපියන් මා හදාවඩාගෙන මගේ අධ්‍යාපනය වෙනුවෙන් වියපැහැදම් කළ ද, ඒ වෙනුවෙන් දහදිය හෙළුවේ ඇය යි. මට අලියෙකුගේ රුධිරය නොතිබෙන්නට පුළුවන. එහෙත්, එක් අර්ථයකින් ගත් කල මා ඇතිදැඩි කරන ලද්දේ අලියෙකු විසිනි.
මැණිකේ මට මේ මිහිමත නැවත කිසි දා මුණ නොගැසෙනු ඇත. එහෙත්, මා කාර්ය බහුල ලන්ඩන් වීදිය දිගේ බීබීසී කාර්යාලය කරා පියමනින විට, මගේ ගම්බද ළමා කාලය පිළිබඳ මතකයන් බොහෝවිට සිතට ගලා එයි.
මැණිකේගේ මුහුණ මගේ යටි සිතේ සිට මගේ මනැස පුරවා ගැනීමට ප්‍රතිරෝධී ලෙස බලපෑම් කරන අතර, මගේ හදවත විස්තර කළ නොහැකි වරදකින් සහ දුකකින් පිරී යයි. මම ඇයට අතිශයින් ආදරය කළෙමි. එසේ නම් මම ඇයව දම්වැලක ගැට ගසා තැබුවේ ඇයි?
මැණිකේ සමග අවුරුදු 20ක් ගත කළත් ඇය සමග කිසි දිනෙක ඡායාරූපයක් නොගැනීම ගැන මා තුළ ඇත්තේ දැඩි කම්පනයකි. ඇයව මට අහිමි වනු ඇතැයි මම කිසි දිනෙක නොසිතුවෙමි. මට ඇයව නැවත දැකිය හැකි නම්, මා ඡායාරූපයක් ගන්නේ නැත - ඇයව දම්වැලෙන් නිදහස් කර නිදහසේ ජීවත් වීමට ඉඩ සලසමි.
අවසාන වතාවට, මම ඇගේ දෑස් දෙස බලා ස්තූතියි කියන්නෙමි. සැබවින් ම මරණයෙන් පසු ජීවිතයක් තිබේ නම්, ඇයට මා ගෙවිය යුතු විශාල ණය ගෙවීම ආරම්භ කරමි.
සුබ ගමන්, මැණිකේ.
0 Comments