අවසන් ගමන් යන්න දැන් අලුත් ක්‍රම හතක් තියෙනවා. ඔබට කැමති එක්ක තෝරා ගන්න පුළුවන්. අතීතයේ දී අවසාන කෘත්‍යය සඳහා අපට තිබුණේ ප්‍රධාන ක්‍රම තුනක් විතරයි. ඒ කැලේ ගැහීම (කැලේට ගිහින් දැමීම), වැළලීම, පිළිස්සීම යන ක්‍රම තුනයි. මුහුදේ මිය ගියොත් මුහුදට දෑමීමත් සිදු කෙරුණා. ඒ හැරෙන්න ලෝකයේ ඇතැම් ගෝත්‍ර අතර මියගිය පාර්ශ්වයෙන් බැහැර පිරිසකට ආහාරය පිණිස දීමත් සිදුවුණා. මමීකරණයත් අවසාන කෘත්‍යයට යොදා ගත් ක්‍රමවේදයක් ලෙස මිසරයේ පිරමීඩවලින් අප සොයා ගත්තා.
දැන් අලුතින් ලෝකයට ඇවිත් තියෙන අවසාන කෘත්‍යය, සිරුර ජලයෙන් හා ක්ෂාරීය රසායනික දියර මගින් දිය කර හැරීමයි. මිහිදන් කිරීම, ආදාහනය කිරීම දැනට බහුලව භාවිත වන ක්‍රම දෙකයි. ළඟදීම බහුලව භාවිතයට එනු ඇත්තේ මේ දිය කර හැරීමයි. එය විද්‍යාත්මකව හැඳින්වෙන්නේ ‘ක්ෂාරීය ජලවිච්ඡේදනය’ (alkaline hydrolysis) කියලයි. මේ ක්‍රමයේ දී සිදුවෙන්නේ මෘත ශරීරය විශේෂ ලවණ මිශ්‍ර ජල පහරකට ලක්කර වේගයෙන් සෝදා හැරීමයි. අවසනායේ දී ඉතිරි වන්නේ අස්ථි කොටස් විතරයි. මෙහිදී අපවාහී ජලය අපවහන පද්ධතියට එකතු කරන්න පුළුවන්. අස්ථි කොටස් පුළුස්සා ඒ අළු මියගිය ප්‍රාණකාරයාගේ නෑයන්ට අවසන් කටයුතු දෙනු ලබනවා. ආදාහනය හා මිහිදන් කිරීම යන ක්‍රමවලට විකල්පයක් ලෙස එක්සත් රාජධානියේ දැන් හඳුන්වා දීලා තියෙනවා. මේ හැරෙන්නට ලොව පුරා නව ක්‍රම ගණනාවක් අවසන් කටයුතු සඳහා දැන් අලුත් සොයා ගෙන තියෙනවා. ඔබේ අළුවලින් තැනෙන කොරල්පර ආකාරයේ පටන් අභ්‍යවකාශයේ ‘මිහිදන් කිරීම’ (විසුරුවා හැරීම) දක්වා මේ ක්‍රම විවිධ වෙනවා.
1. හීමායනකරණය (cryomation)
මේ ක්‍රමය චිත්‍රපටයක එන දෙයක් වගෙයි. හිමායනකරණය කියන්නේ සැබෑ ලෝකයේ දී සිදුකරන අධිශීතකරණයට ලක්කිරීමක්. මේ අධිශීතකරණය සඳහා යොදා ගන්නේ දියර නයිට්රජන්. ෆැරන්හයිට් අංශක -313 (සෙල්සියස් අංශක -192) කක මට්ටමට අධිශීතකරණය කිරීමට භාවිත කරන්නේ මේ දියර නයිට්රජන් තමයි. එවිට මළ සිරුර බිඳෙනසුලු මට්ටමට පත් වෙනවා. ඒ අවස්ථාවේ දී කම්පනය කළ හැකි පැදුරක ඔතා කම්පනයට ලක් කිරීමෙන් ඇසිල්ලකින් එය ‘අළු ධූලි’ බවට පත් කළ හැකියි. ඉන්පසු චුම්බකයක් යොදා ගෙන ඒ සිරුරට බාහිරව එක්කර ඇති, අළු බවට පත් නොවූ ලෝහමය පිරවීම්, කෘත්‍රිම අස්ථි කොටස් ආදිය ඉවත් කෙරෙනවා.
දැන් ඉතිරි වන්නේ සාමාන්‍ය ආදාහනයකදී ලැබෙන ‘අළු’ විතරයි. බීජාණුහරණය කර ඇති මේ අළු බඳුන දමා කොහේ හෝ තැන්පත් කිරීමට හෝ ඇළක දොළක ගඟක එහෙමත් නැත්නම් ගුවනේ විසුරුවා හැරීමට ඔබට පුළුුවන්. එසේ නොකරනවා නම්, අවසාන කෘත්‍යයේ අවසාන පියවර වූ ‘කම්පන පැදුර’ ක්‍රියාත්මක නොකර අවශ්‍ය නම් සිරුර අධිශීත තත්වයේ තබා ගන්නත් පුළුවන්. සමහරුන් යෝජනා කරන්නේ මේ ක්‍රමය අවසාන කටයුතුවලට වඩාත් සුදුසු ක්‍රමය ලෙසයි. ඒ අනුව සිරුර අධිශීත තත්වයේ තබා ගැනීමෙන් විද්‍යාවේ දි යුණුව අනුව ඒ මළ සිරුරු කලකට පසුව වුව යළි පිරික්සුමට ලක් කළ හැකියි. 2023 වන විට මේ ක්‍රමයට මළ සිරුරු 500ක් පමණ හීමායනකරණයට ලක් කෙරුණා. මෙයින් වැඩි කොටසක් ඇමරිකා එක්සත් ජනපදයේ තමයි, සිදුවුණේ.
ඒත් මේ හීමායනකරණය අධික වියදමක් යන එකක්. විශාල ධනස්කන්ධයක් රැස් කර ගත් ලොකු ධනවතුන්ට සුදුසු ක්‍රමයක්. මේ ක්‍රමය සඳහා එක් මළ සිරුරකට ඩොලර් ලක්ෂ දෙකක් විතර එනම් රුපියල් කෝටි හයක් විතර වැය වෙනවා. එයට අමතර ගබඩා කර තබන්නේ නම් ඒ සඳහා වෙනම ගාස්තුවක් ගෙවන්න ඕනෑ.
ඔබට මේ ක්‍රමයට ‘මිහිදන් කිරීම’, දියර නයිට්රජන් යොදාගෙන සිරුර ගල් කිරීම, කොයි වගේ දෙයක් දැයි දැක ගැනීමට අවශ්‍ය නම් 1995 දී තනන ලද ‘ගෝල්ඩන් අයි’ (GoldenEye) නම් ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයේ අවසානය බලන්න. එහි ‘නපුරා’ බොරිස් ග්‍රිෂෙන්කෝ (රංගනයෙන් දායක වන්නේ ඇලන් කමින්) මිය යනවා. ඔහුගේ මළ සිරුර සුරැකිව තැන්පත් කර ඇති අතර, එහි වූ නයිට්‍රජන් දියර පිරවූ සිලින්ඩර පුපුරා ඒවා මළ සිරුර මත පතිත වෙනවා.
2. ප්ලාස්ටීකරණය (plastination)
ඉතාමත් පිළිකුල දනවන ක්‍රමයක් ලෙස මෙය හැඳින්විය හැකියි. සිරුරේ පටක හා ඉන්ද්‍රියයන් ආරක්ෂා කරන ක්‍රමයකි. මෙසේ සිරුරේ අවසන් කටයුතු කළ විට වෛද්‍ය කටයුතුවල දී මළ සිරුර ප්‍රයෝජනයට ගත හැකියි. ජර්මන් ජාතික කායික විද්‍යාඥයකු වූ ගන්තර් වොන් හේජන්ස් (Gunther von Hagens) විසින් 1977 දී පළමුවරට හඳුන්වා දෙන ලද ක්‍රමයක්. වෛද්‍ය ශිෂ්‍යයන්ට උගන්වද්දී ඔහු ඔවුන් බොහෝ ඉක්මනින් නරක් වන මිනී සමඟ කාලයත් සමග ගෙන යන සටන දුටු ඔහු මේ ක්‍රමය බිහි කළේ වෛද්‍ය සිසුනට සහනයක් ගෙන දෙන අටියෙන්.
මෙහිදී මුලින් ම සිදුවන්නේ ෆෝමැල්ඩිහයිඩ් ද්‍රාවණයක් යොදා සිරුර දෝවනය කිරීමයි. එයින් සිරුරේ කුණු වීම සිදු කරන බැක්ටීරීයා වර්ග විනාශ වී යනවා. ඉන්පසු සිරුරේ වතුර ඇත්නම් ඉවත් කිරීම පිණිස ඇසිටෝන් සාන්ද්‍රනයක ගිල්වනවා. එයින් පසුවයි, සිලිකෝන් හෝ රෙසින් පොලිමර් දියරයක ගිල්වන්නේ.
අවසාන වශයෙන් තාපය මගින් හෝ පරාජම්බුල කිරණ මගින් සිරුර වේළීමට ලක් කරනවා. එයින් සිරුරේ තැවරී ඇති පොලිමර් ඝනීභවනය වී එය කල්තබා ගත හැකි තත්වයට පත් වෙනවා.
වෛද්‍ය වොන් හේගන්ස් මේ ප්ලාස්ටීකරණය භාවිත කළා ඔහුගේ මහත් ආන්දෝලනයක් ඇති කළ ‘ලෝක සිරුරු’ නම් විස්මිත ප්‍රදර්ශනය සඳහා ආකෘති නිර්මාණය කරන්න. ඔහුට චෝදනාවක් නැඟුණා මිනිස් මළ සිරුරු අනවසරයෙන් ඒ කටයුත්ත සඳහා යොදා ගත්තාය කියා.
මේ වෛද්‍යවරයාත් පාකින්සන්ස් රෝගයෙන් පෙළෙනවා. ඔහුත් මියගියාට පසු මේ ක්‍රමයට මිහිදන් වීමට බලාගෙනයි, ඉන්නේ. ඒ කටයුත්ත ඔහු දැනමත් බිරිඳට පවරලයි තියෙන්නෙ. දැන් ජර්මනියේ හයිඩ්ල්බර්ග්හී මේ සඳහා වෙනම ආයතනයක් (Institute for Plastination) පිහිටුවා තියෙනවා. ඒ ආයතනයේ වෙබ් පිටුවට අනුව දැනටමත් 20,000කට වැඩි ප්‍රමාණයක් ලියාපදිංචිව ඉන්නවා. ඉන් වැඩි හරියක් ජර්මන් ජාතිකයන්.
“මේ වෙනකම් කායික වෛද්‍යවරුනුයි ශල්‍ය වෛද්‍යවරුනුයි විතරයි මිනිස් සිරුරේ පේශීන්, නහර, තන්තූන්, අවයව, ග්‍රන්ථීන් හැම දෙයක්ම දැන තිබුණේ. දැන් සාමාන්‍ය අපි වගේ අයටත් මිනිස් සිරුරේ ඇතුළත සවිස්තරව දැක ගන්න පුළුවන් වෙලා තියෙනවා, මිනිස් සිරුර අති සංකීර්ණ යන්ත්‍රයක් බව අපට සැබැවින්ම දැක ගන්නට ලැබුණේ මේ ප්ලාස්ටීකරණය නිසයි. මිනිස් සිරුර ඇතුළේ ඇති සංකීර්ණ ස්වභාවය මේ තරම් යැයි අපට හිතා ගන්නවත් බැහැ මෙසේ ප්ලාස්ටීකරණය කළ මිනිස් සිරුරක් මේ විදියට දැක්කේ නැත්නම්’ ඊට දායක වූ අයෙක් ඩේලිමේල් පුවත්පතට කියා තිබුණා.
3. අහසේ මිහිදන් කිරීම
මේ ක්‍රමය කලින් ටිබෙට් බෞද්ධයන් අතර පැවති දෙයක්. ‘ජාතා’ (Jhator) කියා හැඳින්වෙන මෙම අවසාන කෘත්‍යය වසර 10,000කට පෙර ඇරැඹී මේ දක්වා ඔවුන් විසින් මෙසේ පවත්වා ගෙන යනවා. මියගිය ප්‍රාණකරුගේ දේහය කඳු මුදුනකට ගෙන ගොස් අහසට නිරාවණය කර දිරාපත් වීමට සලස්වනවා. මුලින් ම ඒ වෙත ඇදී එන්නේ කුසගින්නේ පෙළන, කාකයන්, ගිජුගිහිණියන් වැනි මළ කුණු බුදින්නට පුරුදු වූ සතුන්. සිරුරේ අස්ථි කුරුල්ලන් විසින් ඉවතට ගෙන යාම වළක්වන්නට දිරා පත් වීමට හරින සිරුර මත දැලක් වැනි දෙයක් එළනවා.
එහි පොළොව තද වැඩි නිසා වළවල් හෑරීම ඉතා අපහසුයි. ඒ නිසා පොළොව හාරා මිහිදන් කිරීම කළ නොහැකියි. මේ විදියට කඳු මුදුන් මත රඳවන්නේ ඒ නිසයි. ටිබෙට් දේශයේ පොළොව පාෂණ පිරි තද පසින් යුක්ත නිසා වැලලීමක් සිදුවන්නේ නැහැ. ටිබෙට් රට ආශ්‍රිතව ඇති චීන ප්‍රදේශවලත්, මොන්ගෝලියාවේත් මේ ආකාරයේ මිහිදන් කිරීම සිදුවෙනවා.
මේ විදියට මිහිදන් කිරීම මළගිය ප්‍රාණකාරයාට අගෞරවයක් යැයි ටිබෙට්හි සාම්ප්‍රදායික බෞද්ධයන් සිතන්නේ කෙනකු මියගිය පසු එහි ආත්මය සිරුරෙන් වෙන්වී යන නිසා මළ සිරුරට එහි කිසිම සම්බන්ධයක් නැති බවයි. එහෙත් මෙසේ ගෙනවුත් දමන මළ සිරුරු සහිත ප්‍රාදේශයට යන්නේ ගෞරව සම්ප්‍රයුක්තවයි. ඒ සිරුරුවල ආත්මකාරකයන් දෙව්ලොව යන නිසා ඊට බාධා වන කිසිවක් නොකරන්නට ඔවුන් වග බලා ගන්නවා. අහසේ මිහිදන් කිරීම සඳහා යොදා ගන්නා තැන් ඡායාරූප ගැනීමත් සම්පූර්ණයෙන් ම තහනම්. ඒ වගේ ම බටහිර රටවල නම් මේ ආකාරයට මිහිදන් කිරීමත් තහනම්! එක්සත් රාජධානිය විසින් සම්මත කර ගෙන ඇති 2004 මිනිස් පටක පනතට අනුව මළ සිරුරු සතුන්ට කන්ට දැමීම තහනම් කර තියෙනවා.
4. මළ සිරුරු දිරාපත් කරන ගොවි පොළවල්
සිරුරු ගොවිපොළවල් (body farms) යනුවෙන් හැඳින්වෙන මේ ස්ථානවල සිදුවන්නේ මානව පොසිල කරණ පහසුකම (human taphonomy facility) සැපයීමයි. මේ ගොවිපොළවල දී මළ සිරුරු ස්වාභාවිකව දිරාපත් වෙන අතර මෙය සිදුවන්නේ පොසිල බවට පත්වෙන ආකාරයටයි. මෙහි පාලනය වෝහාරික විද්‍යාඥයන්ගේ අධීක්ෂණය යටතේව සිදුවෙනවා. නාඳුනන අයට එහි ඇතුළුවීම සපුරා තහනම්! එහි දිරාපත්වීමට ඉඩ හැර ඇති මළ සිරුරුවලින් ඒ අවට වගාවට සිදුවන බලපෑම විද්‍යාඥයන් විමසුමට ලක් කරනවා. මළ සිරුරක් දිරා යන විට ඒ අවට ශාකවලට ඒවායින් ඇති වන බලපෑම හෙළිකර ගැනීමෙන් මිනීමැරුම්වල දී ඉතා වැදගත් සාක්ෂි හඳුනා ගැනීමට උදවු වෙනවා.
මේ වන විට මෙවැනි සිරුරු ගොවිපොළවල් 10ක් පමණ ලොව පුරා රටවල් 4ක තියෙනවා. ඒ අතර කැනඩාව, ඕස්ට්‍රේලියාව හා නෙදර්ලන්තය යන රටවල එක බැගින් ද ඉතිරිය පිහිටුවා ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේයි. මේ රටවල මහජනතාවට මරණයෙන් පසු කැමති නම් පර්යේෂණ කටයුත්තකට සිරුර භාර දීමෙන් සහය වෙන්න ඒ සඳහා කළ යුත්තේ ශ්‍රී ලංකාවේ ඇස් දන් දෙන ආකාරයට ලියාපදිංචි වී පරිත්‍යාගශීලී කාඩ්පතක් ලබා ගැනීම පමණයි.
තාම එක්සත් රාජධානිය මේ ක්‍රමය නීතියෙන් අනුමත කර නැති නිසා සිරුරු ගොවිපොළ වල් දැනට එහේ නැහැ. එය පිළිකුල් සහගත ක්‍රමයක් ලෙසයි, එරට විද්වතුන් හා බලධාරීන් පිළිගෙන ඇත්තේ. එය එසේ වුනත් දැනට මේ සිරුරු ගොවිපොළවලින් ලත් දැනුම නිසා දරුණු මිනීමරුවන් රැසක් කොටු කර ගැනීමට අධිකරණ විද්‍යාව සමත් වී තියෙනවා.
5. කොරල් බෝල මිහිදන
මේ ක්‍රමය මිහිදන් කිරීමේ දී සිරුරකට භාවිත කරන අමුතුම ප්‍රතිකාරයක් ලෙස හැඳින්විය හැකියි. එහි දී සිදුවන්නේ මළ සිරුර කොන්ක්‍රීට් භාවිත කොට කෘත්‍රිම කොරල්පරයක් බවට පත් කිරීමයි. මළ සිරුර අඩි දෙකක් උස අඩි තුනක් පළල කොන්ක්‍රීට් කොරල් බෝලයක් තුළට රුවා සයුර පත්ලෙහි තැන්පත් කිරීමයි එහි දී මේ කොන්ක්‍රීට් කොරල් බෝලය තුළ ලොකු සිදුරු තියෙනවා. ඒ සිදුරු තුළින් මාළුන් පිහිනා යනවා. එහි ගොරෝසු තැන් තියෙනවා. ඒවා මත අලුතින් කුඩා කොරල් බුහුබාවන් රැස් වී වැඩෙන්න පටන් ගන්නවා.
මේ මානව කොරල් බෝල සාගර විද්‍යාඥයන්ගේ, කිමිදෙන්නන්ගේ, මුහුදට හා මුහුදු ජීවීන්ට ආසා කරන ඕනෑම කෙනකුගේ සිත ඇද ගන්නා දෙයක්. සාමාන්‍යයෙන් කොරල්පර විනාශ වෙමින් පවතින තැන්වලට යොදන කෘත්‍රිම කොරල්පර ලෙස ගිළුණු නැව්, වෙනත් ව්‍යුහයන් වෙනුවට මේ මානව කොරල් බෝල යොදන්න පුළුවන්. වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති කොරල්පර ඇති තැන්වලට මේවා යෙදවීමෙන් ඒ කොරල්පර විනාශ වීමෙන් ගලවා ගන්න පුළුවන් වෙනවා.
එවැනි තැන්වල තැන්පත් කෙරෙන මරණකරුගේ ඥාති මිත්‍රාදීන්ට මේවා තැන්පත් කෙරෙන තැන්වල විස්තර ලබා දෙනවා, සාමාන්‍යයෙන් කනත්තකට ගිහින් ගරුබුහුමන් දක්වනවා වාගේ ගරුබුහුමන් දක්වන්නත් පුළුවන් වෙන විදියට. මේ වගේ මානව කොරල් බෝල තැන්පතුවක් ෆ්‍ලෝරිඩාවේ තියෙනවා ඉටර්නල් රීෆ්ස් කියලා. ඒ පුණ්‍යායතනයක්. එක් මිහිදනකට ඩොලර් 4,500ක් අය කරනවා.
මෙය සාගරය හා ජීවීන් ඇතුළත් පරිසරය සංරක්ෂණය කරන පියවරක් හැටියටයි, මෙහි දියත් කර තියෙන්නේ. ඔබටත් ඔබේ ඥාතියාගේ සිරුර මේ සඳහා ඊට අමරණීය මතකයන් එක් කරන්න පුළුවන්.
මේ සඳහා මුලින් ම මළ සිරුර අදාහනය කරන්න ඕනෑ. ඉන්පසුව ඒ භෂ්මාශේෂ සිමෙන්ති සමග මුසු කොට කොන්ක්‍රීට් බෝල සකසනවා. ඒ සඳහා තමයි ඉහත සඳහන් මුදල ගෙවන්න සිදුවෙන්නේ.
6. අභ්‍යවකාශ මිහිදන
ඔබ අභ්‍යවකාශ විද්‍යා ප්‍රබන්ධවලට කැමති අයෙකු නම් මේ ක්‍රමයේ මිහිදනක් කර ගන්න ඔබත් කැමති වෙනවා සිකුරුයි. එක මිහිදනකට ඩොලර් 12,000ක් පමණ වැය කරන්න සිදුවෙනවා. මෙහි දී සිදුවන්නේ භෂ්මාවශේෂ බඳුනකින් උඩු ගුවනේ දී මුදා හැරීමයි. මෙය බොහෝ විට සිදු කෙරෙන්නේ මෑත උඩු ගුවනේ දී වන නිසා ඒ භෂ්මාවශේෂ කක්ෂයක රැඳෙන්නේ නැහැ. ආපසු පොළොවට වැටෙනවා. උඩු ගුවනට යවන ප්‍රදේශයෙන් බොහෝ ඈතට සුළඟ නිසා ගසා ගෙන ගොස් වැස්සත් සමග වැටෙනවා.
සෙලෙස්ටිස් කියන ඇමරිකන් සමාගමක් අභ්‍යවකාශ යානා වර්ග හතරක් උඩු ගුවනට මේ කටයුත්ත සඳහා යවනවා. ඒවායේ මිල ගණන් ඩොලර් 2495 සිට ඩොලර් 12,500ක් දක්වා වෙනස් වෙනවා.
1992 තමයි, පළමු වන අභ්‍යවකාශ මිහිදන සිදු වුණේ. ඒ නාසා ආයතනයේ කොලොම්බියා අභ්‍යවකාශ ෂටලය රැගෙන ගිය ස්ටාර් ට්‍රෙක් ටෙලිවිෂන් මාලා නාටකයේ නිර්මාතෘ වූ ජීන් රොඩන්බෙරිගේ භෂ්මාවශේෂ උඩු ගුවනේදී මුදා හැරියා. අභ්‍යවකාශයේ මිහිදන් කෙරැණු අනෙක් කැපී පෙනෙන පුද්ගලයන් වන්නේ ඇමරිකන් ලේඛක තිමති ලියරි, රොකට් විද්‍යාඥයකු වූ ක්‍රාෆ්ට් එරික් යන දෙදෙනායි. 1998 දී සඳ වෙත යැවූ ලූනා ප්‍රොස්පෙක්ටර් මෙහෙයුමෙන් ඇමරිකන් භූ විද්‍යාඥ ඉයුජින් මේරී ෂූමාකර්ගේ අළු බඳුනක් සඳ මත මිහිදන් කරවීමට යැව්වා.
7. මුහුදේ අවසාන කෘත්‍යය
මුහුදේ දී සිදු කෙරෙන විට මළ සිරුර එහෙම පිටින්ම ගිල්වා දැමීමයි සිදුවන්නේ. මෙය බොහෝ විට රාජකීය නාවුක හමුදාවේ සාමාජිකයන්ට සාම්ප්‍රදායානුකූලව වෙන්වුනු දෙයක්. එහෙත් යමකුට මුහුදේ මිහිදනක් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා සමුද්‍ර කළමනාකරණ සංවිධානයේ (Maritime Management Organisation) අවසර පත්‍රයක් ගන්න ඕනෑ. ඒ සඳහා මළ සිරුර ආසාදිත බවින් තොර එකක් යැයි වෛද්‍ය සහතිකයක් ද එක්සත් රාජධානියෙන් පිටතට ගෙන යාමට මරණ පරීක්ෂකගෙන් අවසර පතක්ද ඉදිරිපත් කළයුතු වෙනවා.
මළ සිරුර එම්බාම් නොකර ඉක්මනින් දිරා යා හැකි කපු හෝ වූල් ඇඳුමකින් සැරසිය යුතු වෙනවා. මේ මිහිදන සිදු කළයුතු තැන් තුනක් ද නම් කර තියෙනවා. අබිවසාන කෘත්‍යය සඳහා අඩුම පිරි වැයක් යන්නේ මේ මුහුදේ මිහිදනටයි. ඒ සඳහා MMO අවසර පත්‍රයට අය කරන්නේ පවුම් 50ක් පමණයි. බෝට්ටුවේ ගාස්තුව අවමඟුලට සහභාගිවන්නන් තෝරා ගන්නා බෝට්ටුව අනුව වෙනස් වෙනවා.
- පර්සි ජයමාන්න
0 Comments