HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මහාවංසයේ ඓතිහාසික හා කාලීන වැදගත්කම

මහාවංසය යනු දැනුදු ලියැවෙමින් පවතින කෘතියකි. එහෙත් යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති ‘මහාවංසය’ට අයත් වන්නේ එහි මුල් කොටසයි. එනම් 1 වන පරිච්ඡේදයේ සිට 37 වන පරිච්ඡේදයේ 50 වන ගාථාව තෙක් වන කොටසයි. කාලාවකවානු අනුව දක්වනවා නම් එහි ආරම්භය සිදුවූ ක්‍රිස්තු පූර්ව 6 වන සියවස පමණ තෙක් සිට මහසෙන් රජු ගේ රාජ්‍ය කාලයේ අවසානය (ක්‍රි.ව. 274- 301) දක්වා වූ කාල පරිච්ඡේදය අළලා රචිත කොටසයි. 

37 වන පරිච්ඡේදයේ 51 වන ගාථාවේ සිට ඉදිරියට ලියැවී ඇති ඉතිහාසය ඇතුළත් කොටස දෙවැනිව ලියැවූ කොටසක් ලෙසයි, හැඳින්වෙන්නේ. එය ‘චූලවංසය’ ලෙස හැඳින්වූයේ විල්හෙල්ම් ගෛගර් නම් ජර්මන් ජාතික පඬිවරයා විසිනි. 

මහාවංසය රචනා කළ කතුවරයා කවුරුන්දැයි හැඳින ගැනීමට ඒ කෘතියෙන් කිසිම පිටිවහලක් නො ලැබෙයි.එහෙත් මහාවංසයට ලියන ලද ටීකාව වන ‘වංසත්ථප්පකාසිනියෙන්' ඊට යම් එළියක් ලැබේ. එහි එක් තැනක, දික්සද සෙනෙවිරදුන් විසින් කරවන ලද මහා පිරිවෙන් වැසි මහාවංස අර්ථසාරයෙහි ප්‍රවීණාචාර්යයන් කෙරෙන් ලද මහානාම යන නම් ඇති තෙරුන් විසින් හෙළ බසින් කරන ලද පැරණි හෙළ අටුවායෙහි භාෂාන්තරය හැර, අර්ථ සාරයම ගෙන හෙළ බසට අනුරූප වන සේ කරන ලද ‘පද්‍යපද මහාවංසය’ ලෙස එහි සඳහන් වෙයි. මහානාම නම් මහා ස්ථවිරයන් වහන්සේ කෙනකු දික්සද සෙනෙවි පිරිවෙන්හී විසූ බවත් ධාතුසේන කුමරු පරසතුරන්ගෙන් ආරක්ෂා වීම සඳහා පැවිදිව සිටියේ උන්වහන්සේ ළඟ බවත් මහාවංසයේ දෙවන කොටස වන චූලවංසයෙහි සඳහන් වෙයි. ඒ අනුව මහා වංසය රචනා කර ඇත්තේ ධාතුසේන රජ සමයේයි. (ක්‍රි.ව. 455-473) 

දික්සඳ සෙනෙවි පිරිවෙනේ විසූ මහානාම හිමියන් විසින් යැයි විද්වතුන් කල්පනා කරන බැවින් මෙම කෘතිය රචිත කාල වකවානුව ක්‍රි. ව 5 වන සියවස ලෙස දැක්විය හැකිය. 

මහාවංසය රචනා කොට ඇත්තේ ඊට පෙර හෙළ බසින් රචනා කොට තිබූ කෘතියක් මූලාශ්‍රය කොට ගෙනයි. මහාවංස ටීකාව වන වංසත්ථප්පකාසිනිය මගින් එකී මුල් කෘතිය හඳුනා ගැනීමට අවකාශ ලැබේ. මහා වංසයෙහි 1 වන පරිච්ඡේදයෙහි දෙවන ගාථාවෙහි වංසත්ථප්පකාසිනී කතුවරයා එය සීහළට්ඨකථා මහා වංසය ලෙස එහි අර්ථ දක්වා ඇති අතර ඒ අනුව මහාවංසයට මුල් වූ කෘතිය සීහලට්ඨකථා මහාවංසය බව පැහැදිලිය. 

මහාවංසය පමණක් නොව දීපවංසය රචනා කොට ඇත්තේද එකී සීහළට්ඨකථා මහාවංසය මූලාශ්‍රය කොට ගෙන බව පැහැදිලි වන්නේ එම ග්‍රන්ථ දෙකම එකම කාල වකවානුවක් අළලා රචනා කොට තිබීමත්, එකම ගාථාව ග්‍රන්ථ දෙකෙහි ඇතැම් තැනක දක්නට ලැබීමත් නිසාය. දීපවංස කතුවරයා එම කෘතියෙන් ලබා ගත් කරුණු සංස්කරණය කිරීමක් නොකොට තම ග්‍රන්ථයට ඇතුළත් කොට තිබීමත්, මහාවංස කතුවරයා එම හෙළ අටුවාවේ කරුණු සංස්කරණය කිරීමට ලක් කොට වාර්තාගත කිරීමත්, එහිදී සිදුවී ඇති කාර්යයයි. මහාවංසය රචනා කිරීමේ අවශ්‍යතාව පැන නගින්නට ඇත්තේද දීපවංසයේ අඩුපාඩු පැවති බැවිනි. එසේ කරන ලද්දේ ක්‍රමවත්ව සංස්කරණය කළ පාලි ග්‍රන්ථයක් රචනා කිරීමේ අවශ්‍යතාව නිසා විය යුතුය.මහාවංසය දීපවංසයට වඩා උසස් සාහිත්‍ය කෘතියක් වනවා පමණක් නොව ව්‍යක්ත පාලි භාෂා භාවිතයක්ද එහි දක්නට ලැබේ. 

මහාවංසයට මුල් වූ කෘතිය සිංහලයෙන් ලියැවුණු බැවින් මහාවංස කර්තෘගේ අභිමතය වූයේ ඒ භාෂාව බැහැර කොට එහි වූ කරුණු පාලි භාෂාවෙන් ඉදිරිපත් කිරීමයි. එය ගද්‍යයෙන් ලියා තිබුණු අතර අට්ඨකථාවලින් උපුටා ගෙන ‍එහි බහා ඇති ඇතැම් ගාථාවලින් පෙනෙන හැටියට එහි අතරින් පතර පාලි ගාථාවලින් ද යුක්ත වන්නට ඇතැයි සිතිය හැකියි. 

මහා වංස ටීකාව මහා වංසය හඳුන්වා ඇත්තේ ‘පජජපදොරුවංස’ යන නමිනි. එහි අරුත ‘පද්‍යපද මහා වංසය’ යන්නයි. මෙසේ හඳුන්වන්නට ඇත්තේ ඊට කලින් ලියැවුණු ගද්‍ය ග්‍රන්ථයෙන් මෙය වෙන් කර දැක්වීම සඳහා විය යුතු යයි විද්වතුන් දක්වන මතයයි. මහාවංස කර්තෘගේ මේ උත්සාහය මුල් කෘතියෙහි හුදු පදගත අර්ථ පරිවර්තනයක් කිරීම නොවේ. ‍

මෙසේ හෙළ බසින් පවත්වා ගෙන ආ ඓතිහාසික තොරතුරු පාලි පද්‍යයට නඟන ලද්දේ කවර හේතුවක් නිසාද යන්න ඊළඟට නැ‍‍ඟ‍ෙන ප්‍රශ්නයයි. එකල පාලි භාෂාව මතක තබා ගැනීමේ හා සජ්ජායනය කිරීමේ පහසුව සඳහා නිර්මාණ කළ භාෂාවක් ලෙස සලකනු ලැබූ නිසා මහා වංස හෙළ අටුවාව පාලියට නැඟුවා විය හැකියි. 

ලෝක උරුමයක් වූ මහාවංසය

පස් වන සියවස වන විට පාලි භාෂාව ථේරවාදී බෞද්ධ ලෝකයේ ශාස්ත්‍රීය හා ජාත්‍යන්තර භාෂාව වශයෙන් වර්ධනය වෙමින් පැවති අවධියකි. ඒ නිසා ත්‍රිපිටක පාලිය සඳහා හෙළ බසින් හෙවත් සිංහල භාෂාවෙන් ලිඛිත හෙළ අටුවා නැවත පාලි බසට පෙරළා ගැනීමේ අවශ්‍යතාවක් පැවතුණා විය හැකියි. ඒ වගේ ම ඒ අවධිය, ආසියාවේ ථේරවාදී භික්ෂූන් අධ්‍යාපනය ලැබීමට හා ග්‍රන්ථ රැස් කිරීම සඳහා ඉන්දියාව, ලංකාව ඇතුළු රටවල සංචාරය කළ සමයක් ද විය. ක්‍රි.ව. පස් වන සියවසේ දී සිදු වූ චීනයේ පාහියන් භික්ෂුවගේ ලංකාගමනයත්, හෙළ අටුවා පාලියට නඟන්නට බුද්ධඝෝෂ හිමියන්ගේ පැමිණීමෙනුත් මෙය පසක් කර ගත හැකියි. 

හෙළ අටුවා පාලි භාෂාවට පෙරළන ලද්දේ මහානාම රජ සමයේ(ක්‍රි.ව. 406-428)දියි. පාලි මහා වංසය රචනා කරන ලද්දේ ඊට පසුවයි. එහි අරමුණ වන්නට ඇත්තේ මෙරට බෞද්ධ ආගමික ඉතිහාසය හා බැඳුණු දේශපාලන සංස්ථාව පිළිබඳ ඉතිහාසය ලොව බුද්ධිමතුන් අතර හා දේශාන්තරවල ප්‍රචලිත කිරීමය. 

මීට අමතරව සීහලට්ඨකථා මහාවංසය පාලි පද්‍යයට නැඟීමේ තවත් හේතුවක්ද උපකල්පනය කළ හැකිය. මෙරට ව්‍යවහාර වූ හෙළ බස හෙවත් සිංහල භාෂාව තුන් වැනි සිය වසෙහි සිට යම් යම් වෙනස්කම්වලට භාජනය වෙමින් පැවතුණේය. මේ වර්ධනය සෙල් ලිපි ආශ්‍රයෙන් හඳුනාගත හැකිය. ව්‍යවහාර භාෂාවේ ඇති වෙමින් පැවති වෙනස්කම් සැලකිල්ලට ගනිමින් එසේ නොවන පරිද්දෙන් මහා වංසය පවත්වා ගෙන යාමට පාලි බසින් පද්‍යයට නැඟුවා විය හැකිය. 

දීප වංසය, මහා වංසය යන වංසකථාවල ඇති ඓතිහාසික අගය හා නිවැරදි බව පිළිබඳව පෙර’පර දෙදිග විශේෂ ඇගයීමටද ලක් වී ඇත. ජෝර්ජ් ටර්නර්, ජේම්ස් ප්‍රින්සෙප්, හර්මන් ඔල්ඩන්බර්ග්, විල්හෙල්ම් ගයිගර් ආදී අග්‍රගණ්‍ය උගත්තු ඒ අතර ප්‍රමුඛ වෙති. එහෙත් එහි මිථ්‍යා කථා හා මහා විහාරිකයන්ගේ ප්‍රලාප බහුල යයි කියන පඬිවරුද සිටියහ. මහාවංසයේ ඇතුළත් ආශ්චර්යජනක අද්භූත සිද්ධි, ආදි යුගයේ දින වකවානු, සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූ වර්ෂය යන කරුණු අළලා මේ විවේචන ඉදිරිපත් කර ඇත. 

භාරත ඉතිහාසය ගොඩනැංවීමෙහිලා මහාවංසයෙන් ලැබුණු පිටිවහල ඉමහත්ය. ඉන්දියා ඉතිහාසයෙහි අතිශයින් ම වැදගත් වූ මගධ රාජ්‍ය යුගයේ හර්යංක, ශිශුනාග, නන්ද හා මෞර්ය වංශ ආදියට අදාළ ක්‍රි. පූ. 5 වන සියවස සිට ක්‍රි. පූ. 3 වන සියවස තෙක් පැවති දින වකවානු රැසක් නිරාකරණය කර ගැනීමට හැකි වූයේ මහා වංසය ඇතුළු ලාංකීය වංස කතාවලිනි. මහා වාංසයෙහි දැක්වුනු දින වකවානු ඉන්දියානු පුරාණ ග්‍රන්ථවල හා ජෛන මූලාශ්‍රවල එන දින වකවානුවලට බොහෝ සෙයාන් නිවැරදි බව ඉන්දීය ඉතිහාසඥයන්ගේ පිළිගැනීමයි. අජාසත්ත රජුගේ සිට චන්ද්‍රගුප්ත මෞර්ය රජු දක්වා මගධයෙහි රජ කළ රාජ වංශයන්ගේ අනුපිළිවෙළ නිරාකරණය කර ගත හැකි වූයේ මහා වංසය මගිනි. එසේම එමගින් දේවානම් පියදසි යනු අශෝක රජු බවට තහවුරු කර ගැනීමට හැකි විය. 

3 වන ධර්ම සංඝායනාව පිළිබඳව මහාවංසයේ එන තොරතුරු කිසිදු සැකයකින් තොරව ඔප්පු කළ හැකි පුරාවිද්‍යාත්මක සාධකද ලැබී ඇත. එම සංඝායනාවේ ප්‍රධානත්වය ඉසිලූ මොග්ගලීපුත්ත තිස්ස මහ තෙරුන්ගේ ශාරීරික ධාතු අඩංගු කරඬුවක් සාංචි අංක 2 දරන ස්තූපයේ කැණීම්වලින් ලැබුණි. ‍එහි කොටා තිබූ අකුරුවලින් ඒවා හඳුනා ගත හැකි විය. 3 වන ධර්ම සංඝායනාවෙන් අනතුරුව ගත් වැදගත්ම තීරණය වූ රටවල් 9 කට ධර්ම දූතයන් වහන්සේලා යැවීමත් ඒ සඳහා යැවුණු මහ රහතන් වහන්සේලාගේ ඓතිහාසිකත්වයත් නිසැක ලෙසම තහවුරු වී ඇත. ලංකාවේ වංසකතාවල සඳහන් පරිදි හිමාල ප්‍රදේශයේ බුදු සසුන පිහිටුවීමෙහිලා වගකීම පැවරුණු මජ්ජිම, කෝටිපුත්ත, කස්සපගොත්ත හා දුන්දුභිස්සර මහ රහතන් වහන්සේලාගේ නම් එම ලිපිවල සඳහන් වේ. 

මහාවංසයේ 11 වන පරිච්ජේදයේ සිට 37 වන පරිච්ජේදයේ 50 වන ගාථාව තෙක් ඇති කොටසේ ඓතිහාසික අගය පිළිබඳව ප්‍රාමාණික උගතුන් අතර එකඟතාවක් ඇත. දේවානම්පියතිස්ස රජුගේ යැයි සැලකිය හැකි සෙල් ලිපි කිසිවක් සොයා ගෙන නැතත් ඒ රජුගේ මලණුවන් වූ උත්තිය රජුගේ නම සඳහන් වන ශිලා ලිපි ගණනාවක්ම සොයා ගෙන ඇත. එළාර, පඤ්ච දමිළයන් මා චෝරනාග, අනුලා, සීවලී වැනි පාලකයන් කිහිපදෙනකු‍ගේ හැර අන් හැම රජ කෙනෙකුගේම නම් සඳහන් වන ශිලා ලිපි ලැබී තිබේ. ඒ අනුව අනුරාධපුර රාජ්‍යයේ රාජ නාමාවලිය සකස් කර ගත හැකි විය. 

එළාර දුටුගැමුණු සංග්‍රාමය සැබෑ ඓතිහාසික සංග්‍රමයක් බව තහවුරු කෙරෙන්නේ දුටුගැමුණු රජුගේ මහ සෙනෙවිවරුන්ගෙන් නන්දිමිත්‍ර, ඵුස්සදේව, වේලුසුමන, ගොඨයිම්බර යන අයගේ නම් සඳහන් ශිලාලිපි ලැබී තිබීම නිසාය. 

මහාවංසය නොතිබුණා නම් පුරාණ ලංකාවේ ශිලා ලේඛනයන්හී දැක්වෙන කරුණුවල සත්‍යාසත්‍යතාව නිශ්චය කර ගැනීම පවා අපහසු වන්නට ඉඩ තිබිණි. රජවරුන් හඳුනා ගැනීමත්, ශිලාලිපිවල කාලය නිර්ණය කිරීමත් වංසකථාවේ අනුපිළිවෙළින් ලියවුණු රාජ නාමාවලිය නොතිබුණා නම් අසීරු වනු ඇත.

Post a Comment

0 Comments