සත්ව ලෝකයේ සද්දන්තයන් දෙදෙනාම එකවර සොබා දහම තුළ දැක හැකි එකම රට ශ්‍රී ලංකාවයි. ඒ මිරිස්ස මුහුදු වෙරළේ දැක ගත හැකි මුහුදේ දැවැන්තයා වූ තල්මහත්, යාල ජාතික වනෝද්‍යානයේ දී දැක ගත හැකි අලියාත් බව අමුතුවෙන් කිවයුතු නොවේ. වනාන්තරයේ සද්දන්තයා අලි ඇතුන්ය. ලෝකයේ සෑම සත්ව උද්‍යානයකම පාහේ අලි ඇතුන් දකින්න ලැබුණත්, සොබාදහම තුළ ඔවුන් දිවි ගෙවන අයුරු දැක ගන්නට ලැබෙන්නේ ආසියාවේ හා අප්‍රිකාවේ රටවල් කීපයක පමණයි. තල්මසුන් නම් ඇමරිකානු කලාපයේ රටවල් ආශ්‍රිත මුහුදේ පහසුවෙන් දැක ගන්න පුලුවන්. ඒත් ඇමරිකාවේ අලි ඇතුන් නම් සොබාදහම තුළ දැක ගන්න ලැබෙන්නේ නෑ. සත්ව උද්‍යානවලදි විතරයි, ඔබට හමුවන්නේ. ඇමරිකාවේ අලි ඇතුන් වාසය කර නැතැයි මතයක් පැවතියේ ඒ නිසයි. ඒත් පසුගියදා හමුවුණු ඇත් සොහොනක් නිසා ඒ මතය බොරු වී ගියා.
පසුගියදා ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයේ, ගේන්ස්විල් අසල, මොන්ට්බෲක් පළාතේ සිදු කළ මේ කැණීමවලදී පුරාවිද්‍යාඥයන්ට යෝධ සත්වයකුගේ අස්ථි පොසිල හමු වුණා. ඈත අතීතයේ මෙය ගඟක් තිබූ ස්ථානයක්. එහි සිදු කළ කැණීම්වලදී අස්ථි කොටස් විශාල ප්‍රමාණයක් හමු වුණා.. ඒවා එකම ගණයකට අයත් සතකුගේ බවත් හෙළිවුණා. ඒ කැණීම් කළ ස්ථානයේ සතුන් රංචුවකගේ අස්ථි කොටස් තිබුණා. ඩයිනසෝරයන්ගේ යැයි මුලින් සිතුවත්, අස්ථිවල ස්වභාවයත්, කාල නිර්ණයත් අනුවත් පැහැදිලි වූයේ එම අස්ථි අලි ඇතුන්ගේ ම බවයි. පුරාවිද්‍යාඥයන්ට හමුවී තිබුණේ එක්තරා ආකාරයක ඇත් සොහොනකි. ඇමෙරිකාවෙන් ඇත් සොහොනක් ගැන අසන්න ලැබුණු පළමු අවස්ථාව මෙයයි.
එහි කැණීම් කරද්දී පුරාවිද්‍යාඥයන්ට හමුවී තිබුණේ අද අප දකින අලි ඇතුන්ගේ අස්ථි නම් නොවෙයි. ඔවුන්ගේ ආදිතම ඥාතියකු ලෙස සත්ව විද්‍යාඥයන් විසින් හදුනාගනු ලැබ ඇති ‘ගොම්ෆෝතේරස්’ නම් දැවැන්තයන්ගේ අස්ථියි. ‘ගොම්ෆෝතේරස්’ ජීවත් වූයේ මීට වසර මිලියන 5.5 කට පමණ පෙර, මයෝසීන යුගයේයි. වසර දස දහස් ගණනක් අතීතයේ ජිවත් වුණු මැමතුන් පෙනුමින් අලි ඇතුන්ට සමානයි. මැමත් පොසිල ගණනාවක් අද වන විට සයිබීරියාවෙන් හමුවී තියෙනවා. පස් තට්ටු යට අයිස් අතරේ මිදුණු ඒ මැමත් සිරුරු බොහොමයක් හොඳ තත්ත්වයේ පවතිනවා. ඒවා සමඟ සසඳන විට අපේ අලි ඇතුන්ට වඩාත් සමීප ඥාතියා මැමතා නොව, ‘ගොම්ෆෝතේරස්’ය කියලයි විද්‍යාඥයන් කියන්නේ. මේ කැණීම් කරමින් අස්ථි සොයා ගත් පුරා විද්‍යාඥ කණ්ඩායමට නායකත්වය දුන් ෆ්ලොරිඩා ස්වාභාවික ඉතිහාස කෞතුකාගාරයේ මහාචාර්ය ජොනතන් බ්ලොච් හමුවුණු සොයා ගැනීම ගැන මෙසේ කියනවා:
“අපට මීට පෙර මෙම කැණීම් භූමියෙන් ‘ගොම්ෆෝතේරස්’ පොසිල අස්ථි හමුවී තිබෙනවා. ඒත් තනි තනිව. ඒත් එක තැනකදී ගොම්ෆෝතේරස් සතුන් බොහොමකගේ පොසිල අස්ථි හමුවීම සුවිශේෂයි. නූතන අලි ඇතුන්ගේ ඇත් සොහොන් ගැන අපට අසන්න දකින්න ලැබී තිබෙනවා. ඒ හා සමානව අතීතයේ, මයෝසීන යුගයේ ගොම්ෆෝතේරස් සත්වයන්ගේ ද ඇත් සොහොනක් තිබෙන්නට ඇති. මේ අපට හමුවුණේ එවැන්නක්.”
අලි ඇතුන්ගේ සාමාන්‍ය ආයු කාලය මනුෂ්‍යයකුගේ ආයු කාලයට සමානයි. ගැබ් කාලය තමයි මිනිසාට වඩා දෙගුණයක් වන්නේ. හීලෑ අලි ඇතුන් සාමාන්‍යයෙන් අවුරුදු 65-75 අතර කාලයක් මෙන්ම, වනාන්තරයේ සිටින අලි ඇත්තු අවුරුදු 70-80 අතර කාලයක් ජීවත් වන බව පර්යේෂණ මගින් තහවුරු වී තියෙනවා. අලි ඇතුන්ගේ වයස නිර්ණය කරන්නේ දත්වල වර්ධනය අනුවයි. ඇතකුගේ නම් සැලකිල්ලට ගැනෙන්නේ දළ දෙකේ වර්ධනය සහ පරිධියයි. ආසියානු අලින්ගේ වයස නිර්ණය කිරීමට වයස සමඟ සිරුරේ ඇතිවන ගෝමර උදවු වෙනවා. ගෝමර මෙන් දකින්න ලැබෙන්නේ මේවායි. වයසට යද්දී අලි ඇතුන්ගේ මුහුණ ගිලා බැහැපු ස්වභාවයක් පෙන්වනවා. කන් පෙතිවල පෘෂ්ටිමත් භාවය නැතිවෙනවා. ඇස්වල දීප්තිය අඩුවෙනවා. ඇතුන්ගේ දළය තුළ ඇති ගජමුතු ගැලවී සෙලවීමට පටන් ගන්නා බැවින්, එම ගජමුතු පෙරළෙන හඬ ඇසෙනවා. වයසට ගිය පසු අලි ඇත්තු රළු ශාක ආහාරවලින් ඈත් වෙනවා.
ඇත් සොහොනක් යනු අලි ඇතුන් වයසට ගොස් මියයෑමට ළං වූ විට උන් පැමිණෙන ස්ථානයක් යැයි ප්‍රවාදයක් තියෙනවා. ආසියාවේ මෙන්ම අප්‍රිකාවේ ද අලි ඇතුන්ගේ ඇත් සොහොන් ගැන වාර්තා වෙනවා. ගොම්ෆෝතේරස් ඇතකු ගැන සඳහනක් වාල්මිකීගේ රාමායනයේ සුන්දර කාණ්ඩය නම් පස්වන පොතේ හනුමන්තාගේ වික්‍රම යටතේ එනවා. එහි දැක්වෙන පරිදි රාමාගේ සීතා සොයා ගිය සේනාවේ නායක හනුමන්තා රාවණගේ ලංකාපුරයට ඇතුළු වෙද්දී එහි ආරක්ෂාව සඳහා විශේෂයෙන් පුහුණු කරන ලද දළ හතරක් තිබූ ඇතුන් රඳවා සිටි බව දැක තියෙනවා. හනුමන්තාට ඔවුන් සමග සටන් කරන්නටත් සිදුවුණා. අරාබි නිසොල්ලාසයේ සින්ඩ්බෑඩ් නම් නැවියාට ද ඇත් සොහොනක් හමුවෙනවා. එය සාහිත්‍යයේ ඇත් සොහොනක් ගැන කියවෙන තවත් අවස්ථාවක් ලෙස සැලකිය හැකියි.
ආසියානු සහ අප්‍රිකානු අලි ඇතුන් දෙවර්ගයේ ම ඇත් සොහොන් හමුවී ඇත්තේ වතුර වැඩිපුර ඇති උස තෘණ වර්ගවලින් පිරුණු ස්ථානයකයි. වයෝවෘද්ධ වී දුර්වල වෙද්දී, අලි ඇත්තු තෘණ වර්ග ආහාරයට ගැනීමට වැඩියෙන් යොමු වෙනවා. එවැනි උස තෘණ ඇති ස්ථානයක් ඔවුන්ගේ අවසන් සුසුම් හෙළන ස්ථානය ලෙස තෝරා ගන්නේ යැයි විශ්වාසයක් තියෙනවා. ඇත් සොහොන නිර්මාණය වන්නට ඇත්තේ ඒ අනුවයි.
එහෙත් අලි ඇතුන් ගැන ලෝ පතල විශේෂඥයකු වූ ඩෙස්මන්ඩ් මොරිස් කියන්නේ එය විචිත්‍ර ප්‍රවාදයක් පමණක් බවයි. අලි ඇතුන් වයස් ගත වූ විට කෙළින් ම සිටි ඉරියව්වෙන් ම මැරී වැටෙනවා. ඔවුහු කිසි විටෙකත් සොහොනක් සොයා යන්නේ නැහැ. ලොව පුරා ඇත් සොහොන් පරීක්ෂා කර ඇති ඔහු කියන්නේ ඒ අස්ථි අතර විවිධ වයස්වල අලි ඇතුන්ගේ අස්ථි තිබූ බවයි. ඔහුගේ නිගමනය වන්නේ දළ ලබා ගැනීමට මිනිසා කළ සංහාරවල ප්‍රතිඵල නිසා ඇත් සොහොන් ඇති වූ බවයි. ඇත් සොහොන හා සම්බන්ධ වන්නේ වනාන්තරවල ජීවත්වන අලි ඇතුන්. සමනල කන්දේ ධර්මරාජ ගල කිට්ටුවෙන් මහ වනාන්තරය ඇතුළට යද්දී ඇත් සොහොනක් තිබුණු බවට වාර්තා පළ වී තියෙනවා. ඒ අනුව අලි ඇතුන්ට, ඇත් සොහොන යනු පූජනීය ස්ථානයක් යැයි විශ්වාස කෙරෙනවා. මරණ මංචකයේ සිටින ඇතැම් අලි ඇතුන් සිටගෙන සිටිනවා නම්, රංචුවේ සෙසු අලි ඇත්තු පැමිණ, හේත්තු වී, ඒ සතා වට කර ගන්නේ වැටෙන්න නොදී ආධාරකයක් වෙමිනුයි. ඔවුන් එම අලියාගෙන් හෝ ඇතාගෙන් ඉවත් වන්නේ අවසන් සුසුම් හෙළීමෙන් පසුවයි. මියගිය පසු අලි ඇතුන්ගේ සිරුරු ආහාරයට ගන්නේ කසළ භක්ෂකයන්. ඉතිරි වන මස් ද දියවී යනවා. මියගිය සතාගේ දළ තියෙනව නම්, ඒවා එක්කෝ පුපුරා කැඩී බිඳී යනවා.
අලි ඇත්තු මියයෑමට හේතුවන කාරණා බොහොමයි. ආහාර නොදිරවීම එයින් එකකි. කොතරම් සෞඛ්‍ය සම්පන්නව හිටියත්, දත් ගැලවී ගොස් ආහාර අනුභවය අපහසු වුවහොත්, තෘණ වර්ග කොළ වර්ග ආදිය හපා කෑම අසීරු වෙනවා. ආහාර නිසි ලෙස නොලැබීමෙන් මන්දපෝෂණයට ලක් වෙනවා. අලි ඇතුන් ද රෝගී වෙනවා. හෘදනාල අවහිර වීම් ඒ අතරින් කැපී පෙනෙනවා. කොලෙස්ටෙරෝල් තැන්පත් වී හෘදයේ ක්‍රියාකාරීත්වය අඩපණ වෙනවා. ආතරයිටිස්, ක්ෂය රෝගය, ජලභීතිකාව, පිටගැස්ම, නිව්මෝනියාව, ආමාශ ප්‍රදාහය, මුඛය සහ පාද ඉදිමීම ආදී රෝග අලි ඇතුන්ට පොදුයි. අපට පැපොල (චිකන් පොක්ස්) ආසාදනය වන ආකාරයට, අලි ඇතුන්ට ද එලිෆන්ට් පොක්ස් ආසාදනය වෙනවා. ඔවුන්ගේ ආහාර මාර්ගයේ ලේ උරා බොන පණුවන්ද බෝ වෙනවා. එවැනි තත්ත්වයක් මාරක විය හැකියි. පසුගිය ‘කොවිඩ් 19’ සමයේ සත්වෝද්‍යානවල අලි ඇතුන් කොරෝනා ආසාදිතයන් වූ බව ද වාර්තා වුණා. ගැහැනු සතුන් වෙනුවෙන් පිරිමි අලි ඇතුන් සටන් කරද්දී, තුවාල ලැබීමෙන් ද ජීවිත අහිමි වන අවස්ථා ද තියෙනවා.
අලියකු හෝ ඇතකු කැලයේ සිටිද්දී, දිනකට කිලෝ මීටර් 30 හෝ 40 අතර දුරක් ඇවිදියි. හීලෑ අලි ඇතුන්ට වඩා වන අලි ඇතුන් හෘදනාල ආශ්‍රිත රෝගවලට ගොදුරු වීම අඩු යැයි සත්ව විද්‍යාඥයන් පැහැදිලි කරනවා.
ප්ලීස්ටෝසීන යුගයේ හිම තට්ටු මිදීමත් සමග ලෝකය පුරාම දැවැන්ත සතුන් විශාල වඳ වී යාමකට ලක්වුණා. එය සිදු වූයේ වසර මිලියන 2.6කට තරම් කාලයකට පෙරයි. දැවැන්ත සතුන්ට ආහාර හිඟවීම ඔවුන්ගේ වඳ වී යාමට ප්‍රධාන හේතුව වුණා. අන්තිමට ඉතුරුව සිටි ගොම්ෆෝතේරස් (gomphotheres) ඇත් විශේෂය මිහිපිටට සමුදුන්නේ මේ කාලයේදියි.
අලි ඇතුන්ගේ ආදීම දැවැන්තයන් ලෝකය පුරා තණබිම්වල හා වනාන්තරවල සැරිසරන්නට පටන් ගත්තේ මීට වසර මිලියන 56-34 අතර කාලයේදියි. පෙනුමින් වර්තමාන අලි ඇතුන්ට සමාන මේ පැරණි ගොම්ෆෝතේරස් ඇතුන්ට යෝධ දළ හතරක් තිබුණා. ඒ වැඩිපුර දළ විහිදුණේ යටි ඇන්දෙන්. ඌ සටන් කාමී සතකු වුණේ ඒ දළ හතර නිසයි. මේ සතුන් මැමත් ඇතුන්ට වඩා ප්‍රමාණයෙන් කුඩායි. වර්තමාන අප්‍රිකානු අලියා තරම් වෙන්නට ඇතැයි සැලකෙනවා.
ගොම්ෆෝතේරස් ඇතුන් යුරෝ-අප්‍රිකානු කලාපයේත් ඇමෙරිකාවේත් වනාන්තරවල දක්නට ලැබුණා. ඔවුන් අතුරින් යුරෝ අප්‍රිකානු කලාපයේ සතුන් වඳ වී ගියේ එලිෆන්ටිඩේ හා ස්ටෙගෝඩන් සතුන් වැඩියෙන් ව්‍යාප්තවීමට පටන් ගත් පසුවයි. වර්තමාන අලි ඇතුන් බිහිවුණේ ඒ සතුන්ගෙනුයි. මේ එලිෆන්ටිඩේ සතුන් ශාක භක්ෂණයේ දී ගොම්ෆෝතේරස් ඇතුන්ට වඩා ඉදිරියෙන් සිටියා. ප්ලියෝසීන හා ප්ලීස්ටෝසීන යුගවල දී ඔවුන් වැඩියෙන් ව්‍යාප්ත වීම නිසයි.
0 Comments