සෞරග්‍රහ මණ්ඩලයේ හිරුට ළඟින්ම පිහිටි ග්‍රහලෝකය බුධයි. එය පිහිටා ඇත්තේ හිරුගේ සිට කිලෝමීටර් මිලියන 50 ක් දුරිනි. සෞරග්‍රහ මණ්ඩලයේ පාෂාණ ග්‍රහයන් සිවු දෙනෙකි. එම ග්‍රහයන් වන්නේ (හිරුගේ සිට පිළිවෙළින්) බුධ, සිකුරු, පෘථිවිය සහ අඟහරුයි. හිරුට ආසන්නයේ පිහිටා ඇති බැවින් මෙම ග්‍රහයන් හතර දෙනා අභ්‍යන්තර ග්‍රහයන් ලෙස හැඳින්වෙයි. සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහයන් අතරින්, අඩුවෙන්ම ගවේෂණයට ලක් වුණු ග්‍රහයා බුධයි. ඊට හේතුව, බුද හිරුට ළංව පිහිටීමයි.
බුධගේ දිවා කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 350 කට වැඩියි. (පෘථිවියේ වාර්තා වී ඇති වැඩිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 57.7 කි.) රාත්‍රියේදී බුධගේ උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 170 තෙක් අඩුවෙයි. ඒ, උෂ්ණත්වය රඳවා ගැනීමට ඝනකම් වායුගෝලයක් බුදට නොමැති නිසයි. බුධගේ තුනී වායු ගෝලයේ හීලියම් අඩංගු වෙයි. එය ද ඉතා සුළු ප්‍රමාණයකි. කිලෝ මීටර් 6.4 ක් දුරකට යමින් හීලියම් එක්රැස් කළොත්, එය ප්‍රමාණවත් වන්නේ කුඩා බැලූනයක් පිරවීමට විතරයි.
හිරුට ළංව පිහිටන බැවින්, ගවේෂණ යානා බුධගේ කක්ෂයට ඇතුළු කිරීම අසීරු කටයුත්තකි. එසේ වුවත් ඇමෙරිකාවේ නාසා ආයතනය උත්සාහය අත් හැරියේ නැත. 2004 වසරේ බුධ ගවේෂණයට නාසා ආයතනය අභ්‍යවකාශ යානයක් යැවීය. මෙම යානය ‘මැසෙන්ජර්’ය. බුධ ගැන මෙතෙක් දැන නොසිටි රහස් අනාවරණය කර දීමට ඒ ‘මැසෙන්ජර්’ සමත් විය.
රොබෝ ගවේෂණ යානයක් බුධට ළං කිරීම පහසු කටයුත්තක් නොවෙයි. වේගය පාලනය කර ගනිමින් කෙළින්ම බුධට ළං වීම කළ නොහැකියි. නාසා විද්‍යාඥයන්, පෙර සැලසුම් කළ පරිදි, ‘මැසෙන්ජර්’ යානය, බුධ ග්‍රහයා බලා යැව්වේ ග්‍රහලෝකයකින් ග්‍රහලෝකයකට මාරු වෙමින්, එම ග්‍රහලෝකවල ගුරුත්වාකර්ෂණය යොදා ගනිමින් යානයේ වේගය අඩාල කර ගනිමිනි.
ඒ අනුව ‘මැසෙන්ජර්’ පෘථිවිය වටේ එක් වරක් ද ඉන්පසු සිකුරු වටේ දෙවරක් ද ගමන් කරමින් බුද බලා ගියේය. බුධට ළං වෙද්දී ‘මැසෙන්ජර් යානයට වේගය අවශ්‍ය ප්‍රමාණයට අඩු කර ගැනීමට නොහැකි විය. මේ බව නාසා විද්‍යාඥයන් කල්තියා වටහා ගෙන තිබුණි.
බුධ කක්ෂයට පිවිසීමට පෙර, ‘මැසෙන්ජර්’ යානයට තෙවරක් බුධ පසු කර යෑමට සිදුවිය. ඒ සෑම අවස්ථාවකදීම වේගය කෙමෙන් අඩු කෙරුණි. 2004 වසරේ පෘථිවියෙන් නික්මුණු ‘මැසෙන්ජර්, වසර 7 ක වෙහෙසකර ගමනකින් පසු අවසානයේ බුධගේ කක්ෂයට පිවිස මෙහෙයුම් ආරම්භ කළේය. ‘මැසෙන්ජර්’ගේ මෙහෙයුම බුධ මතුපිට සිතියම් ගත කිරීමය.
බුධගේ කක්ෂයක සිට, ‘මැසෙන්ජර්’ එහි මතුපිට ඡායාරූප ගත්තේය. ඒ, අභ්‍යවකාශ යානයේ වූ ප්‍රබල කැමරාවේ ආධාරයෙනි. ‘මැසෙන්ජර්’ නාසා විද්‍යාඥයන්ට එවූ පළමු ඡායාරූපය විස්මිත එකකි. නාසා විද්‍යාඥයන් දකින්නට බලාපොරොත්තු වූ විදියේ එකකි. ඉන්පසු ‘මැසෙන්ජර්’ එක් රැස් කළ දත්ත සහ ඡායාරූප රේඩියෝ තරංග ඔස්සේ නාසා විද්‍යාඥයන් වෙත එවීය. බුධ නිර්මාණය වූ ආකාරය පිළිබඳ තොරතුරු එකිනෙක හෙළි වීමට පටන් ගත්තේ ඒ අනුවය.
සෞරග්‍රහ මණ්ඩලයේ වැඩිම ආවාට ඇති ග්‍රහයා බුධය. එහි මතුපිට දකින්න ලැබෙන ආවාට අනුව ඒ බව පැහැදිලිය. බුධ අතීතයේ තවත් ග්‍රහ වස්තූන් සමඟ හැල හැප්පීම්වලට ලක්වුණු බව පැහැදිලියි. බුධ මතුපිට ආවාට ඇති බවට තොරතුරු පළමුවෙන් අනාවරණය කළේ ඇමෙරිකා නාසා ආයතනයේ ‘මැරීනර් 10’ යානයයි. ඒ, 1974 වසරේදී බුධ පසු කර ඒ අසලින් යද්දීයි. ඒ ආවාට ‘බාක්’, ‘වොග්නර්’, ‘බිතෝවන්’, ‘ටෝල්ස්ටෝයි’ සහ ‘ශේක්ස්පියර්’ ආදී නම්වලින් හැඳින්වෙයි.
සෞරග්‍රහ මණ්ඩලයේ සෙසු ග්‍රහයන් මෙන් නොව, බුධගේ අසාමාන්‍ය දේ බොහෝ වෙයි. බුධගේ කක්ෂය ද අසාමාන්‍ය එකකි. බුධ ග්‍රහයා තම අක්ෂය වටා වරක් භ්‍රමණය වන විට හිරු වටා කක්ෂයක දෙවරක් සම්පූර්ණ කරයි. තවත් විධියකින් කීවොත් බුධ ග්‍රහයා මත සිටින්නකුට එහි එක් දිනක් තුළ බුධගේ දෙවසරක් ගත කළ හැකිය.
‘මැසෙන්ජර්’ රොබෝ යානයෙන් අනාවරණය වූ වැදගත් කරුණක් වන්නේ බුධගේ අසාමාන්‍ය විශාලත්වයකින් යුක්ත හරයයි. අනෙක් ග්‍රහයන් සමඟ සන්සන්දනය කර බලද්දී බුදගේ හරය ප්‍රමාණයෙන් විශාලයි. එපමණක් නොව බුධගේ හරය යෝධ ලෝහ ගෝලයකි. එය වටා ඇත්තේ තුනී පාෂාණ ස්තරයක් පමණි. බුධගේ මූලද්‍රව්‍ය දකින්න ලැබෙන්නේ මෙම ලෝහ ගෝලයේ පමණි. අනෙක් ග්‍රහලෝක සමඟ සැසඳීමේදී මෙය ද අසාමාන්‍ය තත්ත්වයකි.
බුධ මේ අයුරින් නිර්මාණය වූයේ කෙසේදැයි යන්න විද්‍යාඥයන්ගේ මවිතයට හේතු විය. ඒත් වැදගත්ම ප්‍රශ්නය වූයේ එය එසේ වූයේ මක් නිසාද යන්නයි. නාසා විද්‍යාඥයන්ගේ පැහැදිලි කිරීම වූයේ බුධගේ මෙම අසාමාන්‍ය ලක්ෂණ තේරුම් ගැනීමට නම්, බුධගේ රසායන සංයුතිය අවබෝධ කරගත යුතු වීමයි. බුධගේ රසායන සංයුතිය අවබෝධ කර ගැනීමට හැකිවූයේ ‘මැසෙන්ජර්’ යානය නිසයි. බුධගේ කක්ෂයට පිවිසි සැණින්, ‘මැසෙන්ජර්’ එහි මතුපිට රසායනික දත්ත රැස් කර ගැනීම ආරම්භ කළ අතර ලැබුණු දත්ත වලින් විද්‍යාඥයෝ මවිතයට පත්වූහ.
හිරුට ඉතා ළංව පිහිටි ග්‍රහලොවක මෙවැනි රසායනික සංයුතියක් දකින්න ලැබීම සැබැවින්ම ප්‍රහේලිකාවක් විය. සල්ෆර් සියයට 1.4 ක්, පොටෑසියම් සියයට 0.03 සිට 0.24 ක් ආදී වශයෙන් බුධ මතුපිට ඇති බව තහවුරු විය. ඉතා අඩු උෂ්ණත්වයකදී පවා මේවා වාෂ්ප වෙයි. ඒත් හිරුට ළංව හිරුගේ තාපයට නිරතුරුව ලක්වන බුධගේ හරයේ මේ අයුරින් රසායනික සංයුතියක් ඇති වූයේ කෙසේද?
බුධ සම්බන්ධයෙන් මෙතෙක් දැන සිටි කරුණු කාරණා නිවැරදි නොවන බව විද්‍යාඥයන්ට අවබෝධ වූයේ ඒ අනුවය. ‘මැජසන්ජර්’ යානය බුධ ග්‍රහයා සම්බන්ධයෙන් අනාවරණය කළ දේ, සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳ අප මෙතෙක් දැන සිට සියල්ල වෙනස් කිරීමට පවා හේතු විය.
වසර මිලියන ගණනක් ඈත අතීතයේ දී නිර්මාණය වී තවත් මිලියන ගණනක් ගතවෙද්දී තරුණ බුධ ග්‍රහයා එය නිර්මාණය වූ අවස්ථාවේදී ඇතිවූවාක් මෙන් අධික තාපයකින් යුක්ත විය. සෙමින් සෙමින් පිටකටුව නැතිනම් කබොල්ල නිර්මාණය වූ අතර, එය වාෂ්පශීලී වටිනා මූල ද්‍රව්‍යවලින් සමන්විත විය. මේ වන විට බුධ හිරු අසල පිහිටියේ නම්, පිටකටුව සවිමත් වන අතරතුරේ හිරුගේ තාපයට වටිනා මූල ද්‍රව්‍ය වාෂ්ප වීමට ඉඩ තිබුණි. ඒත් හිරුට ආසන්නයේ පිහිටියත් එය එසේ නොවීය. මූල ද්‍රව්‍ය බුධ මතුපිට ඉතිරිවූයේ කෙසේද?
විද්‍යාඥයන් මේ සම්බන්ධයෙන් හරි අපූරු අදහසක් ඉදිරිපත් කර ඇත. මිලියන ගණනක් අතීතයේ, ඇතැම් විට සෞරග්‍රහ මණ්ඩලෙයේ ග්‍රහලෝක නිර්මාණය වූ මුල් කාලයේ, ඒවා තිබෙන්න ඇත්තේ අද ග්‍රහලෝක පිහිටා ඇති පිළිවෙළට නොවේය යන්න එම අදහසයි. විද්‍යාඥයන්ගේ පැහැදිලි කිරීම් අනුව, මුලින් නිර්මාණය වූ ස්ථානයේ සිට අද වන විට ග්‍රහලෝක වෙනත් වෙනත් ස්ථානවලට යොමු වී ඇත. බුධ නිර්මාණය වන්න ඇත්තේ සිකුරු, පෘථිවිය සහ අඟහරු ග්‍රහයන්ට සමීපව යැයි විශ්වාස කෙරේ. බුධ ග්‍රහයා, පෘථිවිය අසල ස්ථානයක නිර්මාණය වූයේ නම්, හිරුගේ සිට ඇති දුර ප්‍රමාණය අනුව, බුධ මතුපිට ද ජීවය බිහි වන්නට ඉඩ තිබෙන්නට ඇත. එසේ වූවා නම් බුධගේ දෛවය වෙනස් වනු ඇත. ඒත් එය එසේ වූයේ නැත.
බුධ අද අපට දකින්න ලැබෙන කර්කශ ග්‍රහලොව බවට පත්වූයේ කෙසේද? ඇත්තම කීවොත්, විද්‍යාඥයන් ඇත්තම කතාව නිවැරදිව දන්නේ නැත. නමුත් ඔවුහු නිරීක්ෂණ අනුව අනුමාන කිරීම් කරති. එම අනුමානයන්ගෙන් අපට සෑහීමකට පත්විය හැකි ආකාරයේ පිළිතුරක් ලැබේ. බුධ සම්බන්ධයෙන්, මැසෙන්ජර් අනාවරණය කළ ප්‍රධාන කරුණු දෙක නම්, එහි මතුපිට වාෂ්පශීලී මූල ද්‍රව්‍ය ඝනීභවනය වී ඇති බව සහ බුධගේ හරය අසාමාන්‍ය ආකාරයෙන් විශාල වී ඇති බවය.
මෙම කරුණු දෙක අනුව, විද්‍යාඥයන් දැන් අලුත් අදහසක් ඉදිරිපත් කර තිබේ. බුධ උපත ලබන්නට ඇත්තේ, අදට වඩා, හිරුගේ සිට කිලෝමීටර් මිලියන 160 ක් පමණ දුරින් විය හැකිය. ඒ කලාපයේම අලුතින් උපත ලැබූ තරුණ පෘථිවියත් පිහිටා තිබෙන්නට ඇත. අලුතින් උපන් ග්‍රහයින්, ඔවුන්ට නියමිත තැනක් සොයමින් සිටින්නට ඇත. ඒ කලබලය මැද, විශාල අභ්‍යවකාශ වස්තුවක්, බුධ ග්‍රහයාගේ හැපී බුධ, හිරු දෙසට තල්ලු කළා විය හැකිය. වාෂ්පශීලී මූලද්‍රව්‍ය වාෂ්ප නොවන්න ඇත්තේ, හිරු දෙසට තල්ලු වෙද්දී ඒවා හොඳින් ඝනීභවනය වී තිබුණු නිසා විය හැකිය.
මේ විශාල වස්තුව, ඇතැම්විට එය තවත් විශාල ග්‍රහලොවක් වන්නට ඇත. එය බුධගේ හැපී, බුධගේ මතුපිට සූරාගෙන යන්නට ඇත. බුධගේ මතුපිට පොත්ත (පාෂාණ ස්තරය) සූරාගෙන යන්නට ඇත. මතුපිට පොත්තෙන් වැඩි ප්‍රමාණයක් විනාශ වී ගියේය. ඉතිරි වූයේ ලෝහමය හරය සහ මතුපිට පොත්තෙන් සුළු ප්‍රමාණයක් පමණි. අනෙක් ග්‍රහයන් සමඟ සසඳා බලද්දී බුධගේ හරය අසාමාන්‍ය ලෙස විශාල බවක් පෙන්නුම් කරන්නේ, එය නිර්මාණය වූයේ මතුපිට පොත්තෙන් වැඩි ප්‍රමාණයක් විනාශ වූ බැවිනි. එම විශාල ග්‍රහ වස්තුවේ හැපෙද්දී, බුධ හිරු අසලට තල්ලු වූයේ අද අපට දකින්න ලැබෙන අසාමාන්‍ය ආකාරයේ ඉලිප්සීය කක්ෂයකට එය යොමු කරමිණි.
‘මැසෙන්ජර්’ බුධ ගවේෂණය සඳහා යෑමට පෙර විද්‍යාඥයන් මේ ගැන දැන සිටියේ බොහොම සරල කරුණු කාරණා කීපයක් පමණි. ඒත් පසුව වැටහුණේ බුධ සංකීර්ණ ඉතිහාසයක් ඇති අමුතුම ග්‍රහලොවක් බවයි. වසර හතරක් තිස්සේ කළ ගවේෂණය අවසන් වූයේ ‘මැසෙන්ජර්’ යානයේ ඉන්ධන අවසන් වීමත් සමඟයි. යානය, කර්කශ බුද මතුපිටට කඩා වැදී මෙහෙයුම් අවසන් කළේ හිරුට ළං වුණු නිසා ජීවය පිළිබඳ බලාපොරොත්තු අහිමි වුණු බුද ග්‍රහයාගේ මතුපිට ඇති ආවාට අතරට තවත් ආවාටයක් එක් කරමිනි.
- ලුසිත ජයමාන්න
බීබීසී ප්ලැනට්ස් ඇසුරිනි
0 Comments