සතුන්ගේ ලෝකයේ ඇත්තට ම අපට හමු නොවන සතුන් වර්ග දෙකක් ඉන්නවා. එක් වර්ගයක් වන්නේ අතීතයේ සැබෑ ලෝකයේ සිට දැනට අතුරුදන්වූ සතුන්ය. ඔවුන් වඳ වී ගිය සතුන් ලෙසත් හැඳින්වෙනවා. අනික් වර්ගය වන්නේ කල්පිත සතුන්ය. විස්මිත සතුන් විශේෂයක් වන ඔවුන් මැවුණේ මිනිස් සිතෙහිය. ඔවුන් හඳුන්වන්නේ කල්පිත සතුන් හැටියටයි.
අජානීය අශ්වයා - තම ස්වාමියාගේ සිතැඟි දැන ගෙන වහා ක්‍රියාත්මක වන උසස් ගණයේ අශ්වයෙකි; යුද්ධයක දී නොපසුබස්නා වීර්යය ඇති, ස්වාමියාගේ ජය තහවුරු කරන විශේෂ, ජවයක් ඇති අශ්වයෙකි. බෞද්ධ සාහිත්‍යයේ ‘අජානීය’ වදන රහතන් වහන්සේලා විශේෂ කොට ද භාවිත වෙයි. ග්‍රීක ප්‍රවාද සාහිත්‍යයේ දී මේ අශ්වයා පෙගසස් (Pegasus) කියා හැඳින්වෙයි. ඒ අශ්වයා දක්වා ඇත්තේ පියාපත් ඇති සතකු හැටියටයි. පෙනුමෙන් නිතරම සුදු පැහැතියි. ඇතීනා දෙව්දුව මේ පියාඹන අශ්වයා හීලෑ කොට පර්සියස්ට දුන් බව එක් කතාවක සඳහන් වෙයි. පර්සියස් ඇන්ඩ්‍රොමීඩා ගලවා ගැනීමට ගියේ මේ අසු පිටයි. බෙලරෝපන් වීරයා එළු හිසක්, සිංහ හිසක් හා සර්ප වලිගයක් ඇති කයිමීරා නම් බිහිසුණු සත්වයා මෙල්ල කරන්නට ගියේ ද මේ අසු පිටයි.
අයිරාවණ ඇතා - ඓරාවණ, එරවණ යන නම්වලින් හැඳින්වෙන මේ ඇතා තව්තිසා දෙව්ලොවට අයත් සතෙක්. තව්තිසා දෙව්ලොවට අධිපති ශක්‍රදේවේන්ද්‍රයා ගමන් බිමන් යන්නේ මේ ඇතා පිටයි. මේ ඇත ඒ දෙව්ලොව ජීවත්වන්නකු නොවෙයි. සක් දෙවිඳුට අවශ්‍ය විට පහළ වන්නෙකි. උඩරට වන්නම් 18ට අයත් ‘ගජගා වන්නම’ නිර්මාණය කර ඇත්තේ මේ ඇතා ප්‍රස්තුත කර ගෙනයි. “දෙව් පුර ඇතෙකි; කුඹු දහසයෙකි” යනුවෙන් ආරම්භ වන ඒ වන්නමෙන් ගැයෙන්නේ උගේ ගමන් විලාසයයි. ලෝක ප්‍රකට මහනුවර දළඳා පෙරහර නරඹද්දී අපට මේ වන්නමේ තාලය ඇසෙයි. අයිරාවණ ඇතා හඳුන්වන නම් ගණනාවක් තියෙනවා. ඉඳුගජ, ඉඳුරුගජ, ඉඳුසිඳුරු, සුරවරණ, සුර වාරණ, මේ සිඳුරු ඉන් කීපයක්.
කඟවේනා - ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙහි එන අලංකාර සතෙකි. යුරෝපීය සාහිත්‍යයෙහි ඌට විශේෂ තැනක් හිමි වෙයි. පෙනුමෙන් අශ්වයකුට සමානයි. සුදු පැහැති සිරුරක් ඇති මේ සතාගේ නළලතින් ඉදිරියට විහිදෙන තනි අඟක් තිබේ. අගින් තියුණු සර්පිලාකාර හැඩයක් ඇති මේ අඟ නිසයි, ඌට ඒ නම ලැබී ඇත්තේ. ඉංග්‍රීසියෙන් යුනිකෝන් (unicorn) කියා හැඳින්වෙන මේ සතාට සිංහලෙන් නම් රැසක්ම තියෙනවා. ඒවා නම් කග, කගමුව, කගවිසණ, කගවිසණ, කගවෙසණ, කගවෙහෙණ, කගවේණ, ගිරිපා, ගිරිසතුරු ආදියයි.
කයිමීරා - ග්‍රීක ප්‍රවාද සාහිත්‍යයේ දී හමුවන බිහිසුණු සත්වයෙකි. කටින් ගින්දර හා විස දුම් පිඹින දෙමුහුන් සතකු වූ කයිමීරා සිංහයකුගේ හිසක්, එළුවකුගේ කඳක් හා වලිගයට සර්පයකු ඇතුළත් වූ අමුතුම මාදිලියේ සතෙකි; සතුන් තුන්දෙනෙකුගේ එකතුවකි. හෝමර්ගේ ‘ඉලියඩ්’ මහා කාව්‍යයේ ද කයිමීරා ගැන සඳහන් වෙයි. ලයිසියාවේ රජු බෙලරෝපන් නම් වීරයා මරන්නට සිතා රටේ ගවයන් වනසමින් මහා විපතක් කළ කයිමීරා මරන ලෙස ඔහුට පවරයි. බෙලරෝපන් පෙගසස් අශ්වයා පිටින් ගොස් කයිමීරා සමඟ සටන් කොට ඔහු මරා දමයි.
කින්නරයා - කින්නර යනු අඩක් මිනිස් සිරුරක් ඇති, සිරුරේ පහළ කොටස කුරුල්ලකුගේ බඳු සතෙකි. ‘කොයි විදියේ නරයෙක් ද?’ යන අරුත් ඇතිව, ‘කිම් නර’ යන්න ‘කින්නර’ වූයේ යැයි මහාචාර්ය ජේ. බී. දිසානායක සූරීන් එසේ නිරුක්ති දක්වයි. ජාතක පොතෙහි එන ‘චන්න කින්නර ජාතකය’ මෙවැනි කින්නර යුවළකගේ ප්‍රේමයක් ගැන කියැවෙන්නක්. එහි බෝසතුන් ඉපිද වාසය කළේ ‘චන්ද’ නම් පර්වතයෙහියි. ඒ නිසා බෝසතුන් ‘චන්ද කින්නර’ කියා හඳුන්වනු ලැබුවා. හෙළ බසින් එය ‘සඳ කිඳුරු’ කියා වහරට එක් වී තියෙනවා. කිනරු, කිම්පුරුෂයා ආදී නම්වලින් ද මේ කල්පිත සත්වයා හැඳින්වෙනවා. කින්නර යන්නෙන් හැඳින්වෙන තවත් කල්පිත සතකු ඉන්නවා. ඒ සතාට ඇත්තේ අශ්ව මුහුණක් සහ මිනිස් කයක්. ඒ හැරෙන්නට පැදුරු, කලාල වියන පැරණි කුලයක් ද ඒ නමින් හැඳින්වෙනවා. මේ වදන පැරණි තූර්ය භාණ්ඩයකට ද, හෙණ්ඩුවට ද පර්යාය පදයක් ලෙසත් යොදනවා.
ගජසිංහ - නාසිංහ කියාද හැඳින්වෙන මේ සතා ද දෙමුහුන් එකෙකි. ඌට ඔළු දෙකක් තියෙනවා. එකක් ඇතකුගේ වන අතර අනෙක සිංහයකුගේ වෙයි. ගජ සිංහ නම සෑදී ඇත්තේ ඒ අනුවයි. උඩරට සිත්තරුන් හා කැටයම්කරුවන් අතර ජනප්‍රිය කල්පිත සතෙකි. දළඳා මාලිගයෙහි ද ඇම්බැක්කේ දේවාලයෙහි ද ගජසිංහ කැටයම් දැක ගත හැකියි. ඇත් හිසක් හා සිංහ කයක් ඇති සතකුත් මේ නමින් හැඳින්වෙනවා.
ගරුඬා - දැවැන්ත පක්ෂියෙකි. විෂ්ණු දෙවියන්ගේ වාහනය සේ සැලකේ. නාගයන්ගේ හතුරෙකි. මේ සතුන් දෙදෙනා සටන් වැද සිටින අයුරු දැක්වෙන චිත්‍ර, සිතුවම් ආදිය බහුලය. සිංහලෙන් ගුරුළා කියන්නේත්, ගුරුළු රාජයා හෙවත් ගුරුළිඳු කියා වහරන්නේත් මේ කල්පිත සත්වයාටය. මේ නමින් කල්පිත සත්වයා හැරුණු විට සැබැවින් ම වෙසෙන විශාල පත්තෑයෙක් සිටියි.
දිය කිඳුරිය - ඉංග්‍රීසියෙන් මර්මේඩ් (mermaid) කියා හැඳින්වෙන මේ කල්පිත සත්වයා මුහුදු ආශ්‍රිතව ප්‍රවාද සාහිත්‍යයට එක් වූ බොහෝ සුරංගනා කතාවලට පාදක වූ චරිතයකි. ස්ත්‍රී උඩුකයක් හා මාළුවකුගේ යට කයක් ඇති මේ අපූරු සත්වයා පිළිබඳ කතාන්තර යුරෝපය, ආසියාව හා අප්‍රිකාව මහාද්වීපවල රටවලින් අසන්නට ලැබෙයි. මෙහි පිරිමි සතා හැඳින්වෙන්නේ ‘මර්මෑන් (merman) හෙවත් දිය කිඳුරා කියායි. බටහිර කල්පිතයට අනුව මේ සතුන් හැඩකාර ය; මිහිරි හඬින් ගී ගයන්නට දක්ෂ ය. අතීත යුගයේ මේ සතුන් බොහෝ දුරට කින්නරුන්ට සමානය. ඔවුන් නිර්මාණය වුණේ ග්‍රීක ප්‍රවාදවල එන සයිරන් (siren) නම් සතුන් අනුවය. ඔවුන්ට තිබුණේ මිනිස් උඩුකයක් හා කුරුල්ලකුගේ යටි කයකි. සාගර ආශ්‍රිත කතාවල දී ඒ වෙනුවට මාළුවකුගේ යටි කයක් එක් විය. මේ දිය කිඳුරියගේ කතා අතරින් ලොව වඩාත් ප්‍රචලිත කතාව හෑන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ ‘ද ලිට්ල් මර්මේඩ්’ (1836) නම් පුංචි දිය කිඳුරියකගේ සුරංගනා කතාවයි. ඒ කතාව තරම් ඔපෙරාවලට, සිත්තම්වලට, පොත්වලට, කොමික්වලට, සජීවීකරණ නිර්මාණවලට, සිනමාවට ලක් වුණු වෙනත් නිර්මාණයක් ඇත්තේ ම නැහැ.
නරසිංහ - විෂ්ණු අවතාරවලින් සිව්වැනි එකයි. නරසිම්හ කියා ද හැඳින්වෙන, මේ කල්පිත සත්වයාට ඇත්තේ ඇස් තුනක් ඇති සිංහ හිසක් හා මිනිස් කයකි.
භේරුණ්ඩ පක්ෂියා - හිස් දෙකක් ඇති ගිජුලිහිණියකුට හෝ රාජාලියකුට සමාන දැවැන්ත සතෙකි. තුන් කෝරලේ කොඩියට යොදා ගෙන ඇත්තේ මේ සත්වයාය. පංච තන්ත්‍රයේ මෙවැනි සතකු ගැන කතාවක් ද තිබේ.
මකරා - ලොව පුරා ඉතාමත් ජනප්‍රිය ප්‍රවාද ගත සත්වයෙකි. ලෝකයේ බොහෝ සංස්කෘතීන් තුළ මකරුන් පිළිබඳ විවිධ කතා ඇත. රටින් රටට මකරාගේ හැඩ රුව විවිධ අයුරින් වෙනස් වෙයි. සිත්තරුන්ගේ හා මූර්ති හා කැටයම් ශිල්පීන් අතර ඉතා ජනප්‍රිය කල්පිත සතෙකි. ගමේ පන්සලේ බුදු ගෙයට ඇතුළු වන ප්‍රධාන දොරටුවෙහි මකර තොරණක් ඇත. එහි උළුවස්සෙහි ඉහළින් ඇත්තේ ද එකිනෙකා දෙස බලා සිටින මකරුන් දෙදෙනෙකි. ඇතැම් විට පන්සලට ඇතුළු වන දොරටුවෙහි ද මකර තොරණක් යෙදූ මහ වාහල්කඩක් ද ඇත. මකරා හමුවන අනෙක් තැනක් නම් ඔබේ ලග්නය දැක්වෙන රාශි චක්‍රයයි. එහි රාශි 12න් එකක් සංකෙත්වත් කරන්නේ මකරා ය. මධ්‍යතන යුගයේ දී ලෝකයේ බොහෝ සංස්කෘතීන් තුළ මකරා හැඳින්වූයේ බිහිසුණු සත්වයකු ලෙසයි. පියාපත් හා අං ඇති, දිග සිරුරක් හා සර්පයකුගේ බඳු වලිගයක් ඇති, මුවින් හා නැහැයෙන් ගිනි දලු පිට කළ හැකි සතකු ලෙසයි, දක්වා ඇත්තේ. මෙයින් වඩාත් සිත් ගන්නා මකරා ඇත්තේ චීන සංස්කෘතියේ ය. ඉතා අලංකාර සතකු ලෙස හැඳින්විය හැකි චීන මකරා, උත්සව සරසන, පෙරහර විචිත්‍රවත් කරන අපූරු සතෙකි. සැරසිල්ලක් ලෙස නිමවන මේ මකරා පණ ගන්වන්නේ ඒ තුළ රිංගා නටමින් යන මිනිසුන් කීප දෙනෙකි. අතීත චීන අධිරාජයන්ගේ ධජ පතාකවලට ද මකර රුව යොදා ගැනිණ. ඔවුන්ගේ බලපරාක්‍රමය එයින් නිරූපණය කෙරිණ. අනංගයාගේ කොඩියෙහි ද මකර රුවක් ඇත. හෙළ බසින් මුවර, මුවරා, යනු මකරාය. අනංගයාට පර්යාය නාම වූ ‘මකර ධ්වජ’, ‘මුවර දද’ යන වදන් තැනී ඇත්තේ ඒ අනුවය. (කල්පිත සතුන් ලොව පුරා තවත් රැසක් ඇතත් මා තෝරා ගත්තේ ඉන් කීප දෙනකු පමණය.)
- පර්සි ජයමාන්න
0 Comments