HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

රසදිය හා බුධට Mercury (මර්කරි) නම ලැබුණු හැටි

පුරාතන මිනිසුන් දැන සිටියේ ලෝහ වර්ග 7ක් ගැන පමණය. ඒවා නම් රන් (Gold), රිදී (Silver), තඹ (Copper), යකඩ (Iron), ටින් (Tin), ඊයම් (Lead) හා රසදිය (Mercury) ය. ඒ අතරින් රසදිය අනිත් හැම ලෝහයකටම වඩා වෙනස්ය. ඒ ලෝහ අතර ඇති එකම දියරය (ද්‍රවය) රසදිය ය. ඒ විතරක් නොවෙයි, රසදිය කෙතරම්දැයි කීවොත් එය බරින් දෙවැනි වන්නේ රන්වලට විතරය. 

මර්කරි හෙවත් බුධ ග්‍රහයා

ග්‍රීකයන් මේ ලෝහය හැඳින්වූයේ ‘හයිඩ්‍රගයිරොස් (hydrargyros) කියායි. ඒ වදන හැදුණේ hydor (ජලය) gyros (රිදී) යන වදන් දෙක එකතු වීමෙනි. ඒ නම තාමත් අපේ භාවිතයේ තියෙනවා. මර්කරිවල රසායනික සංකේතය Hg ය. 

රසදිය රිදී ලෝහයට වඩා වෙනස්ය. රිදී ලෝහය එකතැන නොසැලී සිටියි. රසදිය චලනය වෙයි; වේගෙන් ගලා යයි‍; කෑලි කෑලිවලට කැඩුණොත් පුංචි බිංදු දහස් ගණනක් වී ‍එහේ මෙහේ විසිර යයි. ඉංග්‍රීසියෙන් එයට ක්වික්සිල්වර් (quicksilver) කියන්නේ ඒ නිසාය. 

මධ්‍යකාලීන යුගයේ ගුප්ත රසායනවේදීහූ එකල පැවති විශ්වාසය අනුව ලෝහ හතක් හා ග්‍රහ ලෝක හතක් තිබීම සුවිශේෂ දෙයක් සේ සලකා එකල පැවති හතේ සංකල්පය අනුව (සත්සමුදුර, සත්රුවන්, ආදිය ඇතුළත්) මෙහිදීත් හතක් පැවතීම නිසා, ග්‍රහලෝක හත හා ලෝහ වර්ග හත එකට ගළපන්නට තැත් කළහ. ඒ අනුව වටිනාම ලෝහය වූ රන් සඳහා (ලතින් බසින් හිරුට කියන) Sol යන වදනත්, ඊළඟට වටිනාම ලෝහය වූ රිදී සඳහා (ලතින් බසින් චන්ද්‍රයාට කියන) Luna යන වදනත් ගැළපූහ. ඒ වගේම තඹ සඳහා වීනස් හෙවත් සිකුරුත්, අවි ආයුධ තනන යකඩ සඳහා අඟහරුත් ගැළපූහ. 

රසදිය (මර්කරි) යෙදූ උෂ්ණත්ව මාපකයක්

එයින් පසුව බරින් යුත් උදාසීන ලෝහය වූ ඊයම් සෙනසුරුත්, ටින් ලෝහය බ්‍රහස්පතී සමගත් ගැළපූහ. ඉතිරි වූ ලෝහය වූ ‘හයිඩ්‍රගයිරොස් (hydrargyros) ලෝහය වූ සක්‍රිය, සජීවී රසදිය බුධ හෙවත් මර්කරිත් සමග ගැළපූහ. බුධ ග්‍රහයා අභ්‍යවකාශය හරහා වේගයෙන් ම හිරු වටා යන ග්‍රහයාය. ඒ අනුව දියර ලෝහයත් ඒ හා ගැළපූ ග්‍රහයාත් එකම නමකින් එනම් මර්කරි කියන ඉංග්‍රීසි වදනින් හැඳින්වෙයි. මර්කරි යනුවෙන් හැඳින්වෙන්නේ පියාපත් සහිත සපත්තු පලඳින දේවදූතයායි. සිංහලයේ දී මේ සඳහා රසදිය හා බුධ කියා නම් දෙකක් භාවිත වෙයි. 

- පර්සි ජයමාන්න 


Post a Comment

0 Comments