ලෝක පුදුම එකක් ලෙස සැලකුණු ඉතාලියේ පීසා කුලුන ලෝකයේ අවධානය දිනා ගත්තේ ඇලවුණු ලක්ෂණය නිසයි. දැන් ඒක ඉස්සර තරම් ඇල වෙලා නැහැ. නවතම අධ්‍යයනයක් අනුව සොයාගෙන තියෙන්නේ වසර 20කට පස්සේ දැන් තවත් මිමී 40ක් (අඟල් 1.6ක් විතර) කෙළින් වෙලා ඇති බවයි. ඒ කුලුන පිහිටා ඇති බිමෙහි එක් පසෙක ඇති බුරුල් පස නිසා තමයි, මේ ඇල වීම සිද්ධ වෙලා තියෙන්නෙ.
වසර සිය ගණනක් ඇල වෙලා තිබුණ මේ කුලුන අනාරක්ෂිතයි, තවත් ඇල වී ගෙන යනවයි කියලා 1990 දී තමයි, ඉතාලි රජයට තේරුම් ගියේ. ඊට පස්සේ ඒක ආරක්ෂා කිරීමේ ව්‍යාපෘතියක් දියත් කළා. වසර 11ක් තිස්සේ ක්‍රියාත්මක වූ ඒ වැඩපිළිවෙළ යටතේ එහි ඇල වීම 2001 වසරේ වන විට මිමී 381කින් (අඟල් 15කින්) අඩු කර ගන්න ඔවුන්ට හැකි වුණා. දැන් වසර 20කට පසු කළ අධ්‍යයනයකින් ඔවුන් සොයා ගෙන තියෙනව, ඒ කුලුන තවත් මිමී 40.64ක් (අඟල් 1.6ක්) ඉබේම කෙළින් වෙලා ඇති බව.
මේ අධ්‍යයනය කර ඇත්තේ ඔපෙරා ප්‍රිමාසොයිලේ ඩෙල්ලා පිසානා (OPA) ආයතනයේ අරමුදල් වලිනුයි. මෙහි ඇල වීම නතර වුණා, විතරක් නොව දැන් එය වසරකට මිලිමීටර භාගයකින් (අඟල් 0.02කින්) විතර කෙළින් වෙන්න පටන් අරන් කියලයි, ඉතාලියේ පීසා විශ්ව විද්‍යාලයේ ජ්‍යොතාක්ෂණික මහාචාර්ය නන්සියන්ටේ ස්ක්වෙග්ලියා (Nunziante Squeglia) කියන්නේ, “අපි බලාපොරොත්තු වුණාටත් වඩා ඒක සාර්ථක වුණා. බෙල් කුලුනේ ඇල වීම දැන් නතර වෙලා.” කියලයි.
එහි ප්‍රකාශකයකු කීවේ, “අවුරුදු 850ක් වයසැති මේ රෝගීයා, මීටර 5ක් ඇල වෙලා, මීටර තුනක් ගිලා බැහැලයි තිබුණේ. ඒ තත්වය වෙනස් වෙලා අපේ මේ පීසාහි ඇල වුණු කුලුන දැන් හොඳ සෞඛ්‍යයෙන් පසු වෙනවා” කියලයි.
මධ්‍යකාලීන යුගයට අයත් මේ ඝණ්ටාර කුලුන සමුද්‍රාසන්නව පිහිටි පීසා ජනරජයේ සමෘද්ධිය හා ප්‍රෞඪත්වය කියාපාන්නක්. ක්‍රි.ව. 1280 දී සිට මේ දක්වා ඒ කලාපයේ සිදු වූ ප්‍රබල භූකම්පන හතරකට කිසිම හානියක් නොලැබ නොසැලී සිටින්නට ඊට හැකිවීම විස්මය ජනකයි.
2018 වසරේදී පැවැත්වූ අධ්‍යයනයකින් හෙළි වුණේ, ඒක ඇල වුණේත්, ඒ වගේ ම දරුණු භූකම්පන වලට ඔරොත්තු දුන්නේත් එහි වූ බුරුල් පස නිසා ම බවයි. මීටර 57ක් (අඩි 186ක්) උස් වූ ඒ කුලුන ඉදි කිරීම් ආරම්භ වුණේ 1173 දීයි: අඩක් පමණ නිම කරද්දී ගිලා බැසීමට පටන් ගත්තා; ඒ වගේ ම ඇල වෙන්නටත් පටන් ගත්තා.
එය ඉදි කරන ලද්දේ මීටර තුනක් ගැඹුරු පාදමක් මතයි. ඒ බිමෙහි පස බුරුල් අස්ථායී එකක්. එහි දකුණු පස පස වඩාත් මෘදුයි. ඒ නිසා තමයි, එහි අන්වර්ථ නාමයට මුල් වූ ඒ ඇල වීම ඇති වුණේ. ඉතින් එය ඉදි කළ අය අට වැනි තට්ටුවෙන් පසු එහි ඉදි කිරීම්වල වෙනසක් කළා. ඒ අනුව පසුව ඉදි කළ තට්ටුවල උස එක පැත්තකින් අඩු කරලා තියෙනවා. ඒ නිසා ඇල වෙන අතර තට්ටුවල චක්‍ර වීමකුත් සිදු වෙලා තියෙනවා.
මෙහි ඉදි කිරීම් 1319 තෙක් අවසන් වුණේ නැහැ. පීසා හා ජිනෝවා අතරත් ලුකා හා ෆ්ලොරන්ස් අතරත් ඇති වූ යුද්ධ නිසා. එසේ ඉදිකිරීම්වල වරින් වර සිදු වූ පමාවන් නිසා ඒ අතර ඉඩක් ලැබුණා, එහි බිමේ පසට ස්ථායී වන්නට.
1990 වසරට ආපසු ගියොත් අපට දැක ගන්න පුලුවන්, පීසා කුලුන අංශක 5.5ක් දකුණට ඇල වී තිබුණු බව. එය කඩා වැටෙතැයි බියෙන් මහ ජනතාවට එහි ඇතුළුවීම තහනම් කෙරුණා. ඉන්පසු මේ කුලුන කෙළින් කරන්න උපක්‍රම යෙදුවා. ඒ එකක්වත් හරිගියේ නැහැ. අවසානයේ ඔවුන් තීරණය කළා ඒ බිමෙහි පස් ඉවත් කිරීමේ ක්‍රමවේදයකට යන්න. ඒ අනුව කුලුනේ යටින් උතුරු පත්තෙන් පස් ලොරි දෙකක් පමණ ඉවත් කරන්න කටයුතු කළා. ඒක ඔවුන් කළේ කුලුන කෙළින් කරන්න වානේ කම්බි යෙදන්න පෙරාතුවයි.
ඒක සාර්ථක වන බව පෙනුණා. ඒත් ගැටලුවක් මතු වුණා. වැසි කාලයේ දී කුලුන වැඩියෙන් ඇල වෙන්න ගත්තා. ඒක හේතුව එහි බිමෙහි උතරෙහි යටින් වූ ජල තට්ටුව වැඩි වෙන්න පටන් ගත් නිසයි. ඒ නිසා ඔවුන් ඊළඟට කළේ උමඟක් කැණ ඒ ජල තට්ටුව ළිංවලට හැරවීමයි. ඒ නිසා ගොඩනැඟිල්ලේ පාදමෙහි ස්ථායිතාව රැක ගන්නට ඔවුන්ට හැකි වුණා.
2001 දී මේ ව්‍යාපෘතිය සම්පූර්ණ කෙරුණා. ඒ වන විට ඇල වීම තිබුණේ අංශක 0.5කටයි. තවත් විදියකින් කීවොත් සෙ.මී 38ක් (අඟල් 15ක) ඇලවීමක් තිබුණේ. එදා පටන් කුලුන ඉබේ ම තවදුරටත් කෙළින් වෙන්න පටන් ගත්තා.
දැන් 2005 දී කළ පරීක්ෂාවකින් පසු විශේෂඥයන් කීවේ මීළඟ වසර 300 තුළ කිසිම අනතුරක් කුලුනට සිදු නොවන බවයි. ඒ වගේ ම ඔවුන් කීවා, පවත්නා උසස් තාක්ෂණික පහසුකම් නිසා මේ කුලුන අනාගතයේ දී සම්පූර්ණයෙන් කෙළින් වන බවයි. ඒ නිසා තවදුරටත් එයට ඇලවුණු කුලුන කියා කියන්න බැරි වේවි.
2013 දී යළිත් වතාවක් පරීක්ෂාවක් කළා. 2001 වසරෙන් පසු තවත් සෙ.මී 2.5කින් (අඟලකින්) කුලුන කෙළින් වී ඇති බව තහවුරු වුණා. ඒ වසරේදිම සයිආක් (CyArk) කියලා සමාගමක් මේ පීසා කුලුන ඇතුළු තවත් කැපී පෙනෙන සිහිවටන 500ක් ත්‍රිමානව නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක් පටන් ගත්තා. ඒ ආකෘති සඳහා ඔවුන් යොදා ගත්තේ ඩිජිටල් තාක්ෂණයයි. ලේසර පරිලෝකන ක්‍රමය යොදා ගෙන මේ ගොඩනැඟිලි පිටපත් කර ඉතාමත් නිවැරදිව ඒ ආකෘති තනන්න ඔවුන් සමත් වුණා.
2018 දී කුලුනේ තවත් පරීක්ෂාවක් කළා. තවත් සෙ.මී. 4කින් (අඟල් 1.6කින්) එය කෙළින් වී ඇති බව ඒ පරීක්ෂණයේ දී තහවුරු වුණා.
දැන් ඉතාලියේ පීසාහී ඇලවුණු කුලුනට තවදුරටත් ඒ නම යොදන්න බැහැ. දැන් එහි ඇලවුණු කෑල්ල ගැලවිලා ඉවරයි. මේ ලෝක මහිමය බලන්න වසරකට නරඹන්නන් මිලියනයකට වඩා ඇදී එනවා.
- පර්සි ජයමාන්න
0 Comments