HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අද ජන්ම ශතකය සමරන සන්නිවේදනයේ සාන්තුවරයා

ආචාර්ය එඩ්වින් ආරියදාසයන්ගේ ජන්ම ශත සංවත්සරය අදට යෙදී තියෙනවා. ජන සන්නිවේදනය ජනතාව අතර සාමය, සංහිඳියාව ඇති කිරීමට පමණක් යොදා ගත යුතු යැයි හැමවිටම විශ්වාස කළ එතුමා කිසිම විටෙක ජනතාවගේ හැඟීම් අවුස්සන ලේඛනයක්, දේශනයක් කළේ නැහැ. එතුමා අපටත් හැමවිට ම කීවේ පාඨකයා ආකර්ෂණය කර ගැනීමටවත් හැඟීම් ඇවිස්සීම කරන්නට එපා! කියලයි. ඒ නිසා අප ඔහුට ‘සන්නිවේදනයේ සාන්තුවරයා’යි කීවෙමු. එතුමා අපෙන් වියෝ වී වසර දෙකකට ආසන්න වුවද අදටත් එතුමාගේ අදහස් අපට යමක් ලියන්නට වාඩි වුණු හැමවිට ම සිහිපත් වෙනවා. මේ සටහන ලියන්නේ එතුමාගේ ජන්ම ශත සංවත්සරය සිහිපත් කරනු පිණිසයි. 

ආචාර්ය එඩ්වින් ආරියදාස

එතුමා උපන්නේ 1922 දෙසැම්බර් 3 වැනිදා ගාල්ලේ උණවටුනේදීයි. එතුමාගේ පියා වී. කේ. ඒබ්‍රහම් අප්පුහාමි ගොවියකු වූ අතර මව සිසිලියානා හාමිනේ ගෘහණියක් වුවා. ඔහුටඅයියලා තිදෙනකු හා අක්කලා දෙදෙනක සිටිය අතර ඔහු පවුලේ බාලයා වුණා. ඔහුට උපතින් උරුම වූ නම වී. කේ. එඩ්වින් අප්පුහාමි යි. ඔහුගේ දයාවතී අක්කා විසින් ‘අප්පුහාමි’ නම ඉවත්කොට ඒ වෙනුවට ‘ආරියදාස’ යන නම අදේශ කරනු ලැබුවා. එතැන් ඔහු ‘විජේතුංග කරුණාරත්න එඩ්වින් ආරියදාස’ වුණා. මට හමුවන විට ඔහු භාවිතයට ගත්තේ ‘එඩ්වින් ආරියදාස’ යන නමයි. 

උනවටුන බෞද්ධ මිශ්‍ර පාසලෙන් හා ගාල්ලේ මහින්ද විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලබා කොළඹ ලංකා විශ්ව විද්‍යාලයට ගිය ඒ මහතා උපාධිය සපුරා ගැනීමෙන් පසු කෙටි කලක් මහින්ද විද්‍යාලයේ ඉගැන්නුවා. පසුව කොළඹ ජනරල් රක්ෂණ සමාගමේ ලේකම්වරයා ලෙස ක්‍රියා කළා. එතුමා ලේක්හවුසියට බැඳුණේ 1949 මාර්තු තුන්වැනිදායි. වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පියා ලේක්හවුස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂවරයාව සිටියදීයි. එතුමා ම පෞද්ගලිකව ඔහු කැටුව ගොස් කර්තෘ මණ්ඩලයට හඳුන්වා දුන් බව ආරියදාස මට කියා තිබුණා.

 ‘ඇවිදින විශ්ව කෝෂය’, ‘පඬිතුමා’ ලෙසින් ගරුබුහුමන් ලැබූ ඔහු අප අතර ජීවත්වූ වයෝවෘද්ධතම පත්‍රකලාවේදියා වූ කලාකීර්ති එඩ්වින් ආරියදාස මහතා එතුමාගේ යුග මෙහෙවර අවසන් කොට 2021 ජනවාරි 22 වැනිදා අභාවප්‍රාප්ත වුණා. ඒ අනුව එතුමා මිය යන විට 98 වසර පසු කරමින් සිටියා. 

සන්නිවේදකයන් වන අප එතුමාගෙන් ලද දැනුම් සම්භාරය මෙතෙකැයි කිව නොහැකියි. අපට මග පෙන්වන්නට අද වගේ සන්නිවේදන පාඨමාලා නොතිබුණු අපේ තරුණ කාලේ අපට පරමාදර්ශය වූයේ එතුමායි. සන්නිවේදන පාඨමාලා වැහි වැහලා ඇති අදටත් අපේ නව පරපුර වෙනුවෙන් පවා ඒ පරමාදර්ශ තත්වය එසේ ම නොවෙනස් ව එතුමා මිය යනතුරු ම පැවතුණා. ඕනෑම විෂයයක් ගැන දැන ගන්න තමා ළඟට එන, ලොකු කුඩා ඕනෑම කෙනකුට පසුව එන්නැයි නොකියා එවේලේ ම ඔහුට පිහිටවීම ඔහුගේ සිරිතයි. යම්හෙයකින් ඔහු බරපතල කාරියක යෙදී සිටියේ නම්, අමුත්තාට ඇහුම්කන් දී අනතුරුව ඔහු මා වෙත යොමු කිරීම එකල ඔහුගේ සිරිත විය. 

කලාකීර්ති ආචාර්ය එඞ්වින් ආරියදාස සූරීන්ගේ ජීවිතයේ විවිධ අවස්ථා.

‘සාහිත්‍යරත්න, රෝහණප්‍රදීප, කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස - ජාතියේ සන්නිවේදන ගුරු’ වශයෙන් එතුමා අපේ ජාතියේ නොමඳ ගෞරවයට පාත්‍ර වුණා. සන්නිවේදනය අපේ එදිනෙදා දිවියට පාවිච්චි කරන්නක් බවට පත් කළේ එතුමායි. මීට අඩ සියවසකට පෙර ඊරියගොල්ල මහතා අධ්‍යාපන ඇමතිව සිටිය දී 1969 දී ආරම්භ කළ දෙහිවල කණිෂ්ඨ විශ්ව විද්‍යාලයේ මුල්වරට ජන සන්නිවේදනය විෂයයක් ලෙස ඉගැන්වීම ආරම්භ කළේ එතුමාගේ මග පෙන්වීම යටතේයි. ඒ කාලේ මේ විෂයය හඳුන්වන්නට එතුමා දී තිබුණු නම ‘ජන විඥාපනය’ (Mass Communication) යි. මෙරට සන්නිවේදන විෂයය විධිමත්ව උගත් මුල් ම සන්නිවේදක වෘත්තිකයන් පිරිස බිහිවුණේ එතැනින්. ඉන් පසුව 1973 කැලණිය විශ්ව විද්‍යාලය විසින් ප්‍රථම වරට ජන සන්නිවේදන උපාධි පාඨමාලාව ආරම්භ කළ අවස්ථාවේදීත් ඊට එතුමාගේ සහය ඉහළින් ම ලැබුණු බව මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් ඒ දවස්වල ම මා සමග කීවා මට මතකයි. 

ඒ විතරක් නෙවෙයි, සන්නිවේදනයේ නියැළි වෘත්තිකයන් වෙනුවෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ ඇරඹුණු ජන සන්නිවේදන ඩිප්ලෝමා පාඨමාලාවට ද එතුමාගේ සහාය ඒ අයුරින් ම ලැබුණු බව මහාචාර්ය ජේ. බී. දිසානායක සූරීන් මෙන් ම ඒ පාඨමාලාවට සක්‍රියව දායක වූ ජ්‍යෙෂ්ඨ කර්තෘවරයකු වූ දිවංගත ඩී. එෆ්. කාරියකරවන සූරීන් ද ප්‍රශංසා මුඛයෙන් මා සමග කීවා මතකයි. එපමණක් නොව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ලේඛකත්ව ඩිප්ලෝමාවත්, ඒ වාගේ ම විවෘත විශ්ව විද්‍යාලයේ සන්නිවේදන පාඨමාලා ආරම්භ කරද්දීත් එතුමාගේ සහය ඒ සඳහා නොඅඩුව ලැබුණා. 

මීට වසර දශක පහකට පෙර එතුමා මා සමඟ කී කතාවක් මෙහි දී මට සිහිපත් වෙනවා. එදා අප දෙදෙනා සිරිත් පරිදි අප අයත් වූ පුවත්පත්වල දවසේ වැඩ අවසන් කොට ගෙදර යන ගමන් කොටුවේ පැගෝඩා හෝටලයේ දී පෝව්චියක් පුරා තේ රස විඳින අතරතුරදියි, මේ කතා බහ ඇති වුණේ. ඒ දවස්වල අපේ සහෘද පත්‍රකලාවේදීන් කීපදෙනෙකු සය මසක පුහුණු පාඨමාලාවක් සඳහා එංගලන්තයට ගොස් සිටියා. ‘ඒ පුහුණුව අපට මෙහෙ දෙන්න බැරිද?’ මා එතුමාගෙන් ඇසුවා. ‘බැරිකමක් නැහැ. අපට ඒ සඳහා ඕනැ තරම් දක්ෂ, පලපුරුදු පත්‍රකලාවේදීන් මෙහේ ඉන්නවා. පන්ති කාමරයක නැතත්, දැන් ඔහෙත් වැඩ කරන ගමන් ඔවුන්ගෙන් ඉගෙන ගන්නව නොවැ. ඒත් අනාගතයෙදි මේ තත්වය තවත් වැඩි වෙලා පත්‍රකලාවේදීන්ට ලොකු ඉල්ලූමක් ඇති වේවි. මේ සඳහා වෘත්තීය පාඨමාලා ඇති කරන්නත් අපට සිද්ධ වේවි. ඒ විතරක් නෙවෙයි අනාගතයේ දී මෙය අපේ පාසල්වල විෂයයක් බවටත් පත් වේවි.’ වසර පනහකටත් පෙර එදා එතුමා කීවේ අනාගත වක්තෘවරයකු ලෙසයි. 

දිනමිණ කර්තෘ මණ්ඩලයේ සේවය කරන අතර ලේක්හවුසියේ අනෙක් පුවත්පත් කතුවරුන්ගේ ඉල්ලීම මත ඒ හැම පුවත්පතකට ම එතුමා විශේෂාංග ලිපි සැපයුවා. එතුමා ලේක්හවුසියෙන් විශ්‍රාම ගත්තේ ‘නවයුගය’ කර්තෘ හැටියටයි. සිය නමින් මෙන් ම ‘ජනක’ කියන අන්වර්ත නාමයෙන් ද එතුමා ඒවාට සැපයූ ලිපි දස දහස් ගණනක්. පුවත්පත් කලාව, කාලීන ලෝක පුවත්, ගුවන්විදුලිය, සිනමාව, රූපවාහිනිය, සාහිත්‍යය, විද්‍යාව, බුදුදහම ආදී කුමන ක්ෂේත්‍රයක වුවත් දෙන ලද ඕනෑම මාතෘකාවකට අනුව සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් එසැණ ලිපියක් ලියාදීමට හෝ දේශනයක් පැවැත්වීමට එතුමන්ට පුළුවන්. එසේ ම එය අවස්ථාවට උචිත පරිදි පාඨකයන්ට වැටෙහෙන ආකාරයට ඊට සුදුසු සරල නිරවුල් බස්වහරකින් කරන්නත් එතුමාට හැකියාව තියෙනවා. එවැනි හැකියාවක් ඇති තවත් අයකු මට නම් නම් කළ නොහැකියි. 

භාෂා හා වාග් විශාරදයකු ලෙසත් ආරියදාස මහතාගේ සේවය අපට, රටට, ලැබුණා. අපට නුහුරු අලුත් විෂයයක් හඳුන්වා දෙන හැම විට ම එතුමා අලුත් සිංහල වචනත් ඒ සමග අපට හඳුන්වා දුන්නා. පුවත්පත් කලාවේදීන් වශයෙන් බොහෝ විට අපට කාලයත් සමග සටන් කරන්නට සිදු වූ නිසා ඉංග්‍රීසි වදනකට සුදුසු නව සිංහල වදනක් තනා ගන්නට භාෂා විශාරදයන් හමුවීමට ඉඩක් තිබුණේ නැහැ. ඒ ගැටලු එසැණින් විසඳා ගැනීමට අපට හැම විට ම උදවු කළේත් එවැනි වදන් තනා ගැනීමට අපව හුරු කළේත් එතුමායි. 

වරක් පුස්තකාලවේදය හැදැරූ විද්‍යාර්ථින් පිරිසක් වෙනුවෙන් පැවති සමුළුවක දී නාලක ගුණවර්ධන සහෘදයා ගෙන හැර පෑ උදාහරණයක් මෙහිදී මට සිහිපත් වෙනවා. ‘ඉස්සර කාලයේ අපට අද වාගේ ඉන්ටර්නෙට් එකෙන් දැනුම ලබා ගන්න පිහිටවෙන සෙවුම් යන්ත්‍ර තිබුණේ නැහැ. එකල අපේ පිහිටට ආ ”සෙවුම් යන්ත්‍ර” වුණේ එඩ්වින් ආරියදාස හා පර්සි ජයමාන්න වගේ අයයි.' 

ආචාර්ය එඞ්වින් ආරියදාස සූරීන් දසක හතකට වැඩිකාලයක් තිස්සේ මාධ්‍ය හා සන්නිවේදන ක්ෂේත්‍රවල පුරෝගාමී මෙහෙවරක් ඉටු කළා. අපේ රූපවාහිනි මාධ්‍ය ආරම්භයේ දී වගකිවයුතු පෘථුල ක්‍රියාදාමයකට දායකත්වය සැපයූ එතුමා මිය යන තුරුම ඒ කාර්යය පෙර සේ ම පවත්වා ගෙන ගියා. 

රූපවාහිනියේ ආගමනයත් සමග ආරියදාස මහතාගේ දැවැන්ත සෙවණැල්ල මුද්‍රිත මාධ්‍ය මතට පමණක් නොව විද්යුත් මාධ්‍ය මතටත් වැටුණා. එය මුලින් ගුවන් විදුලි මාධ්‍යයටත් පසුව රූපවාහිනී මාධ්‍යයටත් විහිදුණා. මෙරට රූපවාහිනිය ආරම්භයේ දී ම සන්නිවේදකයන් පුහුණුවටත් එතුමාගෙන් විශාල දායකත්වයක් ලැබුණා. 

ශ්‍රී ලංකාවේ රූපවාහිනිය ආරම්භ වීමට ප්‍රථම ඒ පිළිබඳ විධිමත් න්‍යායික හා ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙන්නට ශ්‍රී ලංකාවට ආ විශේෂඥයා වූයේ කැනේඩියානු ජාතික වෝනර් ට්‍රෝයර් මහතායි. ඔහුගේ ඇරයුම පරිදි ඒ කටයුත්තට ඔහුගේ සහයට ආරියදාස මහතාත් එක් වුණා මට මතකයි. මෙරට රූපවාහිනී ඉතිහාසයේ ප්‍රථම රූපවාහිනී සාකච්ඡාව සේ සැලකිය හැකි වැඩසටහනට ආරියදාස මහතා දායක වූයේත් ට්‍රෝයර් මහතාගේ මෙහෙයවීම මතයි. 1980 දී රොනල්ඞ් රේගන් මහතා ඇමෙරිකානු ජනාධිපති පදවියට පත් වූ අවස්ථාවේ නව ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති පිළිබඳව සාකච්ඡාවක් ඒ මංගල වැඩසටහනට ඇතුළත් වුණා. සාකච්ඡාව පැවතියේ ට්‍රෝයර් මහතා හා ආරියදාස මහතා අතරයි. ඒ වන විට මෙරට රූපවාහිනි චිත්‍රාගාර නො තිබූ නිසා ට්‍රෝයර් මහතා එදා ඒ වැඩසටහන පටිගත කළේ ගුවන්විදුලි සංස්ථාව ඉදිරිපිට විශේෂ තැනක් පසුතලයක් සේ සකස් කොට යොදා ගෙනයි. ඒ වන විට ජාතික රූපවාහිනිය ආරම්භ කර නො තිබූ නිසා එය විකාශය කෙරුණේ එවකට තිබූ එකම නාළිකාව වූ ස්වාධීන රූපවාහිනිය ඔස්සේයි. 

ඔබ නම් කරන ඕනෑම විෂයය ක්ෂේත්‍රයකින්, ඉංග්‍රීසි හා සිංහල දෙබසින් ම, ජනතාවට නොමසුරුව දැනුම බෙදා දුන් එතුමාගේ අභාවය සිදු වූයේ දශක අටක යුග මෙහෙවරක් නිමා කරමිනුයි. 

- පර්සි ජයමාන්න


Post a Comment

1 Comments