අක්බාර් අධිරාජයාගේ රාජ සභාවට දුර රටක ඉඳලා පඬිවරයෙක් ආවා. එයා කිව්වේ එයා මහා ලොකු පඬිවරයෙක් කියලා. “එහෙම කොහොමද කියන්නේ? අධිරාජයා ඇහුවා.
“මං අහන ප්‍රශ්නවලට කාටවත් උත්තර දෙන්න බැහැ. රජතුමනි, ඔබතුමා ළඟ ඉන්න ලොකු පඬිතුමාව ඉදිරිපත් කරන්න. මං කැමතියි එයාට මගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. එතකොට ඔබතුමාටම බලා ගන්න පුලුවන් එතුමාගේ නුවණෙ තරම.” ආගන්තුක පඬිවරයා කිව්වා.
බිර්බාල් මේ කතාව අහගෙන ඒ වෙලාවෙ රාජ සභාවෙ හිටිය. රජතුමා කතා කරන්නත් ඉස්සරින් බිර්බාල් ඉදිරිපත් වුණා.
“කියනවා බලන්න ඔහෙගේ ප්‍රශ්නය!” බිර්බාල් කිව්වා.
“ඉස්සෙල්ල මට කියන්න ඔහෙ කැමති ලේසි ප්‍රශ්න සීයකට උත්තර දෙන්නද? නැත්නම් එකම එක අමාරු ප්‍රශ්නෙකට උත්තර දෙන්න ද?” පඬිවරයා උජාරුවෙන් ඇහුවා.
අක්බාර් අධිරාජයාට තේරුණා, මේ හාදයා හදන්නේ බිර්බාල්ව අමාරුවෙ දාන්න කියලා. ඒ නිසා එතුමා කතා කළා, “බිර්බාල්, ඔය කතාවට පැටලෙන්න එපා! මං කිව්වෙ නෑනෙ බිර්බාල්ට උත්තර දෙන්න කියලා. මේ සභාවෙ තවත් පඬිවරු ඉන්නවනෙ. එයා ප්‍රශ්නෙ අහපුවාවෙ. එතකොට ඒ ඕනෑ කෙනෙකුට උත්තර දෙන්න පුලුවන් නෙ.”
“ඕනෙ ස්වාමීනි, එයාට මගෙන් ම තමයි, ප්‍රශ්න අහන්න ඕනැවෙලා තියෙන්නෙ. අහපුවාවෙ මං ඕනැ එකකට උත්තර දෙනවා.” යැයි කියපු බිර්බාල් ආගන්තුක පඬිවරයා දිහා හැරිලා මෙහෙම කිව්වා; “අහනව බලන්න ඔහෙගෙ ඔය එකම එක අමාරු ප්‍රශ්නෙ”
පඬිවරයා මුළු සභාවට ම ඇහෙන්න උස් ගාම්බීර හඬින් ප්‍රශ්නය ඇහුවා. “කියනවා බලන්න, ඉස්සෙල්ලා ආවෙ කුකුල් පැටියද බිත්තරේද?”
“කුකුල් පැටියා” බිර්බාල් එකවරම උත්තර දුන්නා.
“කොහොමද ඔහෙ ඒක දන්නෙ?” පඬිවරයා එකපාරටම ඇහුවා.
“මුලදි අපි පොරොන්දු වුන විධියට එකම එක අමාරු ප්‍රශ්නෙට මං උත්තර දුන්නා නේ. දෙවැනි එකට උත්තර දෙන්න මං බැඳිලා නෑ." බිර්බාල් ගත් කටට ම කිව්වා.
- පර්සි ජයමාන්න
0 Comments