මෙසේ බෞද්ධ පුරාවස්තු හමුවී ඇත්තේ ඉන්දියාවේ විශාලතම අභය භූමියක් වූ ව්‍යාඝ්‍රයන් සඳහා වෙන්වූ රක්ෂිතයකයි. මෙය පිහිටා ඇත්තේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ බන්ධාව්ගාත් ව්‍යාඝ්‍ර රක්ෂිතයේයි. එම රක්ෂිතය තුළ මාස ගණනාවක් තිස්සේ කෙරුණු කැණීම්වලින් පසු වසර 1500ක් පැරණි බෞද්ධ පුරා හා කෞතුක වස්තු රැසක් හමුවී තියෙනවා.
ඉන්දියාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් බන්ධාව්ගාත් ව්‍යාඝ්‍ර රක්ෂිතය තුළ වර්ග කිලෝමීටර් 170ක් පුරා කළ මේ කැණීම්වලින් මේ දක්වා පන්සල් 26ක්, ලෙන් 26ක්, ආරාම දෙකක්, බාර ඔප්පු කිරීමට තැනූ ස්තූප දෙකක්, ශිලාලේඛන 24ක්, මූර්ති 46ක්, ජලය සැපයීමට කළ ව්‍යුහයන් 19ක් හමු වූ බවට වාර්තා කර තියෙනවා. ඒ හැරෙන්නට තැන තැන විසිරුණු කෞතුක නටබුන් රැසක් ද හමු වූ බව කියැවෙනවා. ඔවුන්ට කලින් මේ ප්‍රදේශයේ පුරාවිද්‍යා ගවේෂණ කටයුතු කිරීම සිදු කළේ 1938 දියි. ඉන්පසු යළිත් පුරාවිද්‍යාඥයන්ගේ ගවේෂණයට මේ ස්ථානය ලක් වූයේ මෑතදීයි.
ඔවුන්ගේ පුරාවිද්‍යා ගවේෂණ වාර්තාවට අනුව ඔවුන්ගේ මේ සොයා ගැනීම් අයත් වන්නේ භීම්සේන රජතුමා, පෝතස්ශ්‍රී සහ භට්ටදේව යන මහාරාජාවරුන්ගේ පාලන කාලවලටයි. ඒ සමහර ස්ථානවල ඇති ශිලාලේඛනයන්හී තිබි කෞෂම්බි, මතුරා, පාවත (පාර්වත), වේජාභාරද්ද, සපථනායිරිකා යන ස්ථාන නාම ඔවුනට දැනටමත් කියවීමට හැකි වී තියෙනවා. දැනට විශ්වාස කෙරෙන හැටියට ඉහත කී රජවරුන් මේ ප්‍රදේශ පාලනය කර ඇත්තේ දෙවන හා පස්වන සියවස් අතර කාලවලයි. ඒ අනුව මේ නටබුන් වසර 1500ක් පැරණි විය වියයුතු යැයි සැලකෙනවා.
එසේ ම සේ ප්‍රදේශයේ තිබී පැරණි කාසි වගයක් ද හමු වී තියෙනවා. ඒවා මෝගල් අධිරාජ්‍ය යුගයට හා ජෝන්පූර් සුල්තාන් රාජ්‍යයේ පැවති ෂාකි රජ සමයට අයත් යැයි සැලකෙනවා.
මෙහි ගවේෂණ කටයුතු බාර පුරාවිද්‍යා අධිකාරි එස්.කේ. බජ්පාල් මාධ්‍ය හමුවක දී සිය අදහස් දක්වමින් මෙසේ කියනවා. “මට නම් මෙහි දැකිය හැකි විශේෂත්වය වන්නේ හින්දු පාලනයක් පැවති සමයේ ඉදි කරන ලද බෞද්ධ පුරාවස්තු හමු වීමයි. ඒ කාලයේ ආගමික සංහිඳියාවක් පැවති බවට මෙය හොඳ නිදසුනක්. ඒත් තාම අපි තහවුරු කර ගෙන නැහැ හරියටම කවුද මේ බෞද්ධ ඉදිකිරීම් කළේ කියා.”
පුරාවිද්‍යා ගවේෂකයන් මේ ශිලාලේඛනවල මතුරා (මදුරා) හා කෞෂම්බි (කොසඹෑ) වැනි ඉතා දුර බැහැර පිහිටි පුරාණ නගරවල නම් සඳහන්ව තිබීම ගැන මවිත වෙනවා. ඒ නගර අයත් වන්නේ වර්තමාන උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයටයි. මේ පිළිබඳව අදහස් දක්වමින් නවදිල්ලියේ පුරාවිද්‍යා මූලස්ථානයේ ප්‍රකාශකයෙක් කියා ඇත්තේ, “පුරාවිද්‍යා කැණීම් කළ බන්ධාව්ගාර්වල සිට බොහෝ ඈත පිහිටි මේ නගර ගැන මේ සෙල්ලිපිවල සඳහන් කර ඇත්තේ එකල ඒ නගර සමඟ වෙළඳ ගනුදෙනු පැවති නිසා විය යුතුයි.” කියායි.
“මෙහි මුලින් ම ගවේෂණ කටයුතු කළේ 1938 දී එන්.පී. චක්‍රවර්ති කියන පුරාවිද්‍යාඥයායි. ඉදිකිරීම් කිහිපයක නටබුන් ගවේෂණය කළ ඔහු ඒ පිළිබඳ සටහන් තබා තිබුණා. ඒවා සැලකිල්ලට ගෙන ඉන්දියාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ කටයුත්තට අතගැසුවේ මේ පළමුවන වතාවට.” යයි බජ්පාල් කියනවා.
“අපි මාස කීපයක් තිස්සේ ගැඹුරින් ගවේෂණයක් සිදු කළා. ව්‍යුහයක් රාශියක විස්තර වාර්තා ගත කරන්න අපට හැකි වුණා. ඒවාට පුරාණ ලෙන්, පන්සල්, බෞද්ධ නටබුන්, මූර්ති, පොකුණු, දිය තටාක, බිතුසිතුවම් ආදිය ගැන තොරතුරු අපි ලේඛන ගත කළා. ඒ හැරෙන්නට ඉතා පැරණි අක්ෂර ලෙස සැලකෙන බ්‍රාහ්මී හා දේවනාගරී ආදියෙන් ලියූ ශිලා ලේඛන අපට මෙහි දී හමු වුණා” ඔහු වැඩිදුරටත් කියනවා.
0 Comments