මීට වසර හැත්තෑවකට පෙර 1945 දී පුංචි කළු සිංහලයෙක් මහා පෙරළියක් කළේය. අද අප සමාජය සාක්ෂරතාවේ දියුණු රටවල මට්ටමට සිටින්නේ එදා සිදු වූ ඒ මහා පෙරළිය නිසාය. මහා පෙරළියක් වුනත් එය අපේ මතකයේවත් නැත. ඒ අපේ ජාතියේ හැටිය. ඒ මහා පෙරළිය නිදහස් අධ්‍යාපන පනත සම්මත කර ගැනීමය. එයින් නොනැවතී ඒ සඳහා ක්‍රියාත්මක වෙමින් සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් යන සියලු ළමයින්ට නොමිලයේ අධ්‍යාපනය ලබා දීමය. ඒ බවවත් අපට මතක නැත. ඉතින් ඒ පෙරළිය කළ පුංචි කළු සිංහලයා කවුරුන්දැයි අපේ මතකයේ රැඳෙන්නට විදියක් නැත. පුංචි වුනත් ඔහුගේ නම දිගය. ඔහු නමින් ක්‍රිස්ටෝපර් විලියම් විජේකෝන් කන්නන්ගර ය. කෙටියෙන් කීවොත් සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගරය. ඔහු මිය ගියේ 1969 සැප්තැම්බර් 23 වැනිදා ය. මේ වන විට ඔහු අප හැර ගොස් වසර 53කි. ඔහුගේ ජීවිතයේ මුල් භාගය විසිතුරුය. එය අහන්න ආසා හිතෙන තරම් ජයග්‍රහණවලින් පිරී තිබුණේය. එහෙත් අවසාන භාගය දුක්මුසු ය: ශෝචනීයය. එහෙත් එය අද මා කියන්නේ නැත. අද මා කියන්නට යන්නේ ඔහුගේ ජීවිතයේ අසිරිමත් කොටස ගැනය; අසන්නන් දිරිමත් කරන කොටස ගැනය. නම දිග වැඩි නිසා අපි ඔහුට විලියම් කියමු.
විලියම් උපන්නේ 1884 ඔක්තෝබර් 13 වැනි දින අම්බලන්ගොඩ රන්දොඹේ දීය. ඔහුගේ පියා ජෝන් දානියෙල් විජේකෝන් කන්නන්ගරය. මව හික්කඩුවේ වී බදු වලව්වේ එමලී විජේසිංහය. බලපිටිය උසාවියේ දෙපිට (නියෝජ්‍ය) පිස්කල් වරයා වූ ඔහුගේ පියා කවියෙකි; ගත් කතුවරයෙකි. පවුලේ තුන්වැනි දරුවා වූ විලියම්ට සහෝදර සහෝදරියන් පස් දෙනෙකි. විලියම් කුඩා කාලයේ මව මිය ගියාය. පියා දෙවැනි විවාහයක් කර ගත් අතර එයින් දරුවන් තුන් දෙනෙක් පවුලට එක් වූහ. ඒ අතර පියාගේ රැකියාව අහිමි විය. දරුවන් 8 දෙනකුගෙන් යුත් පවුලක ගෙන යාම පියාට අසීරු කරුණක් විය. එහෙත් කුඩා විලියම් පියාට හැමවිටම බරක් නොවීමට ඉටා ගත්තේය. තමාට මුහුණපාන්නට වූ කරදර ගණනකට නොගත් ඔහු අධ්‍යාපනයට හොඳින් සිත යෙදවීය.
මූලික අධ්‍යාපනය සඳහා ඔහු ඇතුළත් කර තිබුණේ අම්බලන්ගොඩ වෙස්ලි විද්‍යාලයටය. විනීත කීකරු දරුවකු වූ විලියම් ඉගෙන ගන්නට සූරයකු විය. ඔහු හැමවිටම පන්තියේ පළමු වැනියා විය. හැම විෂයයකටම එකසේ දක්ෂ ඔහු විදුහලේ හොඳම ශිෂ්‍යයාද විය. 1897 දී වෙස්ලි විදුහලේ වාර්ෂික ත්‍යාගප්‍රදානෝත්සවයට ප්‍රධාන අමුත්තා ලෙස පැමිණියේ රිච්මන්ඩ් විදුහල්පති ජේ. එච්. ඩැරල් දේවගැති තුමාය. ත්‍යාග ප්‍රදානය කරද්දී එක ශිෂ්‍යයකු වේදිකාවට එමින් යමින් තෑගි රැසක් ගන්නවා දුටු එතුමාගේ අවධානය ඒ සිසුවා කෙරෙහි යොමු විය.
“පුතා, මේ තරම් තෑගි ගොන්නක් ගෙනියන්න ඔබට කරත්තයක් ඕනැවෙයි නේද?” කියා ප්‍රශංසා කර අසල සිටි වෙස්ලි විදුහල්පතිතුමන් අමතා, “මේ දරුවව අපේ ෆවුන්ඩේෂන් ශිෂ්‍යත්වයට ඉදිරිපත් කරන්න” යැයි කියා තිබේ. ඒ ශිෂ්‍යත්වය දකුණු පළාතේ දීප්තිමත්ම ශිෂ්‍යයා තෝරා රිච්මන්ඩ් විදුහලෙන් වාර්ෂිකව පිරිනැමෙන්නකි. ඒ දිනා ගන්නා ශිෂ්‍යයාට නොමිලේ අධ්‍යාපනය, කෑම්බීම් ඇතුළු සියලු නේවාසිකාගාර පහසුකම් ලැබෙන්නකි.
ඒ අනුව කුඩා විලියම් ශිෂ්‍යත්ව පරීක්ෂණයට ඉදිරිපත් කෙරුණෙන් එහිදී ද පළමුවැනියා විය. මේ ශිෂ්‍යත්වය ලැබීම ඔහුට ලොකු අස්වැසිල්ලක් විය. ඔහු රිච්මන්ඩ් විදුහලේ නේවාසිකව ඉගෙන ගන්නට ගියේය. එහි දී අවශ්‍ය පාඩම් පොත් මිල දී ගැනීම ප්‍රශ්නයක් වුනත් ඔහු එය පිරිමසා ගත්තේ තමාට ත්‍යාගප්‍රදානෝත්සවවල දී ලත් පොත්පත් හා මුදල් ත්‍යාග ප්‍රයෝජනයට ගනිමිනි. ඒ විදුහලේ දීත් ඔහු එකසේ දස්කම් පෑවේය. ජ්‍යාමිතිය, වීජ ගණිතය ඇතුළු ගණිත විෂයයන් ඔහුගේ ප්‍රියතම වූ අතර අනෙක් විෂයයන් වූයේ ලතින් හා ඉංග්‍රීසි ය. ඒ හැම එකකටම සම්මාන ලැබූ විලියම් විදුහලේ සිසුන් සඳහා වාර්ෂිකව පවත්වනු ලැබූ බයිබල් දැනුම පිළිබඳ තෑග්ග ද වසර කීපයක්ම පිට පිට දිනා ගත්තේය.
1901 දී කේම්බ්‍රිජ් සීනියර් විභාගයෙන් ගණිත අංශයෙන් ප්‍රමුඛයා ලෙස සමත් වූයේ ලංකාවෙන් පමණක් නොව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අයත් රටවලින් ඉදිරිපත් වූ සියලුම ශිෂ්‍යයන් පරදවමිනි. ඒ වන විට ඔහු දාහත් හැවිරිදි වියේ පසු විය. වර්ෂයේ දක්ෂතම ශිෂ්‍යයාට පිරිනැමුණු ත්‍යාගය ද, දිනපතාම පාසලට පැමිණීමේ ත්‍යාගය ද ඔහුට ලැබුණි.
ඔහුගේ දස්කම් ඉගෙනීමට පමණක් සීමා වුයේ නැත. ක්‍රීඩාව අතින් ද ඔහු දස්කම් දැක්වීය. ක්‍රිකට් හා පාපන්දු තෝරා ගත් ඔහු පාසල් ක්‍රිකට් පිලේ නායකයා ද විය. 1905 දී 21 සම්පූර්ණ වූ පසු ඔහුට ඔහු ඉගෙනගත් රිච්මන්ඩ් විදුහලේ ම ආචාර්ය පදවියක් හිමි විය. පසුව මොරටුව වේල්ස් කුමාර විදුහලේත් කොළඹ වෙස්ලි විදුහලේත්, මෙතොදිස්ත විදුහලෙත් ආචාර්යවරයකු වශයෙන් සේවය කළේය. ඒ අතර ඔහු නීති විභාගයෙන් ද සමත් වූ ඔහු ගුරුවෘත්තිය අතහැර 1915 දී ගාල්ලේ නීතිඥයකු ලෙස සේවය කරන්නට විය. එකල රටේ පැවති තත්වය අනුව ඔහු අහිංසක දුප්පතුන්ගේ නඩු කටයුතු වෙනුවෙන් නොමිලයේ උසාවියේ පෙනී සිටියේය. වැඩිකල් නොයා ඔහු සමාජ අසාධාරණයට එරෙහිව සටන් කරන්නකු ලෙස ප්‍රසිද්ධ විය.
උපතින් කතෝලිකයකු වූ ඔහු බෞද්ධ පොතපත කියවීමෙන් පැහැදී 1917 දී බුදුන් සරණ ගියේය. බෞද්ධයකු වූ පසු ඔහුගේ ජීවිතය වෙනස් විය. බෞද්ධාගමික කටයුතුවලට වැඩියෙන් සහභාගි විය. 1917 ඔහු ගාල්ලේ ජාතික සංගමය පිහිටු වීමට පුරෝගාමී විය. ඔහු ඊළඟට ඒ ඔස්සේ දේශපාලනයට පිවිසියේය. 1922 දී මහනුවර වාසල මුදලි ජේ. සී. වීරසූරියගේ දියණියක වූ ඊඩිත් සමඟ විවාහ විය. ඇය එවකට සිටි ප්‍රසිද්ධ නීතිවේදියකු වූ එන්. ඊ. වීරසූරියගේ සොහොයුරියකි.
දකුණු පාළාත් නියෝජිතයා හැටියට 1924 දී ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවට ඇතුළත් වූ ඔහු 1931 දී ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය යටතේ ගාල්ලේ මන්ත්‍රීවරයා ලෙස තේරී පත් විය. එහිදී ඔහු අධ්‍යාපන ඇමති පදවිය ලැබුණි. එහිදී ඔහුට අධ්‍යාපන ක්ෂේත්‍රය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට හැකි විය. 1936 දී ඔහු මතුගම මන්ත්‍රීවරයා ලෙස තේරී පත්වුණු අතර ඔහුට පෙර කළ සේවාව සලකා යළිත් අධ්‍යාපන අමාත්‍ය ධූරය පිරිනමනු ලැබීය. 1942 දී ලංකා විශ්ව විද්‍යාලය ආරම්භ කිරීමට කටයුතු යෙදුවේය.
1945 අගෝස්තු 24 වැනිදා නිදහස් අධ්‍යාපනය රටේ නීතියක් බවට පත් කිරීමට පියවර ගත්තේය. 1947 දී ‘නිදහස් අධ්‍යාපන පනත’ නීති ගත කළේය. ලාංකික ජන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය ඇරඹුණේ එතැනිනි. සියලුම ළමයින්ට විශ්ව විද්‍යාලයට පිවිසෙන තෙක් සම්පූර්ණයෙන් ම නොමිලයේ ඉගෙනීමට අවස්ථා ඉන් සැලසිණි. එයින් ඉංග්‍රීසි හා ස්වභාෂා සම තත්වයෙහිලා සලකනු ලැබීය. ආගම අනිවාර්ය විෂයයක් බවට පත් කිරීම, රාජකීය විද්‍යාලය අනුව යමින් රටපුරා වැඩි අධ්‍යාපන හා නේවාසික පහසුකම් සහිත මධ්‍ය විද්‍යාල ක්‍රමය බිහි කිරීම, ශිෂ්‍යත්වලාභීන්ට ඒවාට ඇතුළු වීමට ඉඩ පහසුකම් ඇති කිරීම එතුමාගෙන් සැලසුණු ලොකු ම මෙහෙය විය.
ඊට අමතරව පාසල් පරීක්ෂවරුන්ට සිංහල භාෂාව අනිවාර්ය කිරීම, පාසල් දරුවන්ට නොමිලයේ දිවා ආහාර වේලක් ලබා දීම, අධ්‍යාපන පාඨමාලාවට පරිසරය හැදෑරීම, බෞද්ධ අධ්‍යාපනය, කෘෂිකර්මය හා ගෙවතු වගාව එක්කිරීමත් එතුමාගේ සේවාවන් ලෙස දැක්විය හැකිය. එතුමා මේ වෙනස්කම් බොහොමයක් කළේ මන්ත්‍රී මණ්ඩලයේ ප්‍රධාන පෙළේ සාමාජිකයන්ගේ විරෝධය මැද වීම විශේෂය. ‘සැමට අධ්‍යාපනය දීම ගහක ගෙඩියක් කඩා ගන්න කොල්ලකු සොයා ගන්න බැරිවෙන කාලයක් උදා කරන එකක්’ ලෙස ඒ මන්ත්‍රීන් හැඳින්වීය. එතුමා එදා හඳුන්වා දුන් පහසුකම් අඩු කළා මිස වැඩි කරන්නට කිසිම රජයක් මේ වන තෙක් සමත් වූයේ නැත. ඔබ කැමති නම් අද තත්වය, මීට අවුරුදු 75කට පෙර පැවති තත්වය හා සැසඳීමෙන් ඔබට එතුමා කළ මෙහෙය කෙතරම් දැයි සිතා ගත හැකිය.
එතුමා කාර්ය බහුල ඇමති කෙනෙකු වුනත් මැතිසබය පවත්වන සෑම දිනකම නොවරදවාම පැමිණ සම්පූර්ණ කාලය එහි රැඳී සිටීම එතුමාගේ සිරිත විය. එදා මතුගම ජනතාව ඔහු රටට කළ ඒ මහ මෙහෙය අගය කළේ නැත. 1947 පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඔහුව පරාජය කර ගෙදර යැවීය. ඒ අපේ ඡන්දදායකයන් හැටිය. 1952 දී යළිත් අගලවත්ත ආසනයෙන් පාර්ලිමේන්තුවට ආ එතුමාට නැවත අධ්‍යාපන ඇමතිකම දුන්නේ නැත. ඒ අපේ නායකයන්ගේ හැටිය. ඔවුන් දුන්නේ පළාත් පාලන හා නිවාස ඇමතිකමය. එතුමා එය බාර ගත්තේය. ඒ එතුමාගේ හැටිය. 1956 දී දේශපාලනයෙන් ඉවත් විය. එතුමා ගේ අභාවය සිහිපත් කර පවුලේ උදවිය පළ කරන කුඩා දැන්වීමක් හැර අද මාධ්‍යවල සිහිපත් කිරීමේ විශේෂාංගයක්වත් පළ වන්නේ නැත. ඒ අපේ මාධ්‍යවල හැටිය.
එතුමා කළ මෙහෙය වෙනුවෙන් ලංකා විශ්ව විද්‍යාලය එක් ආචාර්ය උපාධියකින් විදුදය සරසවිය තවත් ආචාර්ය උපාධියකින් පිදුම් කළ මුත් ඒවායින් එතුමාගේ ජීවිතයේ අවසාන භාගයේ ඛේදජනක තත්වය තුරන්කරලීමට නොහැකිවිය. එතුමාගේ ජීවිතයේ මුල් කොටසේ වූ විසිතුරු බව විඳගත් ඔබ ඔහුගේ ජීවිතයේ අවසාන භාගය ගෙවුණු හැටි දැන ගැනීම අත්‍යවශ්‍යය; එක් අතකින් එය දැන සිටීම ඔබේ යුතුකමකි. ඒ සඳහා පහත සඳහන් යොමුව භාවිත කරන්න. https://www.blogger.com/blog/post/edit/2647493662865092414/3711046935585025075
- පර්සි ජයමාන්න
කැප්ෂන්
2 Comments
ආසාවෙන් කියෙව්වා. නිතර අහන්න නොලැබෙන දුලබ තොරතුරු ඔබේ සටහන් තුලින් එකතු කර ගන්නවා.
ReplyDeleteතුති 🙏🏼
ReplyDelete