ඒ, 1972 දෙසැම්බර් මාසයේ දිනයකි. හඳෙහි සිට ආපසු ගෙදර යෑමට සැරසුණු නාසා ගගනගාමී යූජීන් සර්නන්, සඳ මත තමා තැබූ පා සලකුණ අසලින් දූවිලි මත දියණියගේ නම ලියුවේය. ඒ දූවිලි පිරුණු ඝන දූවිලි තට්ටුව සීරීමෙනි. එසේ කළේ එය සදාකල් පවතීවා යන පැතුමත් සමඟයි. තමා මෙසේ සඳ මත සටහන් කළ දියණියගේ නම කිසිදාක නොමැකෙන බවත්, එම නම මකන්න කෙනකු එහි නො එන බවත්, ඔහු හොඳින් දැන සිටියේය. එසේ නම සටහන් කිරීම, ඔහුට ලොකු සතුටක් මෙන්ම දුකක් ද ගෙනාවේය. දුක ඇති වීමට හේතුව, ඒ ඔහු එක් ව සිටියේ නාසා ආයතනයේ අවසන් චන්ද්‍ර මෙහෙයුමට වීමය.
ඇමෙරිකන් නාවික හමුදා කපිතාන්වරයකු ද යුජින් සර්නන්, ‘ඇපලෝ 17’ චන්ද්‍ර මෙහෙයුම යටතේ, සඳට ගිය අවසාන චන්ද්‍ර ගගනගාමීන් තිදෙනාගෙන් කෙනෙකි. සර්නන් සඳ මතුපිට ලියූ ඔහුගේ දියණියගේ නම පමණක් නොව, සර්නන්ට පෙර, 1969 දී මුලින්ම, හඳ මතට පා තැබූ නීල් ආම්ස්ට්‍රෝංගේ පටන් 1972 දෙසැම්බර් දක්වා සඳට ගොඩ බට සඳගාමීන් 12 දෙනකුගේ පිය සටහන් ද තවමත් නොනැසී එහි ඇති බව නිසැකය. ඊට හේතුව එ්වා ඛාදනය වීමට ප්‍රමාණවත් සුළඟක් සඳ මතුපිට නොමැති බැවිනි.
යූජීන් සර්නන්, සඳට ගිය අවසන් සඳගාමියා තමා යයි සිතා එදා දුක් වූයේය. ඒ එදා නාසා ආයතනය සඳ මෙහෙයුම් සම්පූර්ණයෙන් ම අවසන් කළ නිසයි. ඒත් දැන් වසර 50කට පසු ඇමරිකාව යළිත් සඳට යාමට සූදානම් වෙයි. ඒ අනුව නාසා ආයතනය දෙවන වරට අරඹන හඳ ගමන ‘ආටිමීස්’ (Artemis) වැඩපිළිවෙළ ලෙසට නම් කර ඇත. (‘ආටිමීස්’ හඳට අධිපති දෙවඟන ලෙසත්, සොබා දහමට, වන දිවියට, පතිවතට අධිපති දෙවඟන ලෙසත් රෝම පුරාවෘත්තවල දැක්වේ.)
ඇමෙරිකාවේ නාසා ආයතනය, යළිත් වරක් සඳගාමීන් යැවීමට සූදානම් වන ‘ආර්ටිමීස්’ මෙහෙයුම පසුගියදා එනම්, අගෝස්තු 29 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබුණත් කාර්මික දෝෂයක් නිසා එය වැළකී ගියේය. ඒ ඉන්ධන ටැංකියක හයිඩ්‍රජන් කාන්දුවක් නිසාය. යළිත් දියත් කිරිමට දිනයක් නම් කළ ද එය ද සැප්තැම්බර් 3 වැනිදා තෙක් කල් ගියේය. ‘ආර්ටිමීස්’ මෙහෙයුම් මාලාවේ පළමු වැන්න වූ මෙයට සැබෑ ගගනගාමීන් කිසිවකු සම්බන්ධ වන්නේ නැත.
අති ප්‍රබල රොකට්ටුව, ‘ස්පේස් ලොන්ච් සිස්ටම්ස්’ (SLS)
සඳ තරණයට සහ ඉන් ඔබ්බට සිදුවන අඟහරු ගවේෂණයට පවා යොදා ගැනීමට බලාපොරොත්තු වන නාසා ඉංජිනේරුවන් නිපදවූ ‘ස්පේස් ලොන්ච් සිස්ටම්ස්’ (Space Launch System - SLS) නම් වූ අති ප්‍රබල රොකට් පද්ධතිය, සඳ බලා ගෙන යන ‘ඔරියන්’ යානය ගගනගාමීන්ට ආරක්ෂිතදැයි අත්හදා බැලීම මේ ගමනෙහි ප්‍රධාන අරමුණයි. මෙම රොකටය, ‘ඔරියන්’ යානය අභ්‍යවකාශයට ගෙන ගිය පසු, ඉන් වෙන් වන යානය සඳ බලා ගමන් අරඹයි. සැලසුම් කර ඇත්තේ ඔරියන් යානය සඳ වටේ ගොස්, සඳුගේ අඳුරු පැත්ත පසු කර, වටයක් කැරැකී ආපසු පෘථිවිය බලා ඒමටයි. පෘථිවි වායුගෝලයට ඇතුළු වන එය මූදට පතිත වන අවස්ථාවේදී එහි ආරක්ෂාවට යෝධ පැරෂූට් ක්‍රියාත්මක වෙයි.
මෙම අඩසියවස් සමරු සඳ ගමන සඳහා යොදා ගන්නට බලාපොරොත්තු වන SLS රොකට් පද්ධතියට අයත් මේ රොකට්ටුව වසර 50 කට පමණ පසු, නාසා ගගනගාමීන් යළි සඳට ගෙන යෑමටත්, ඉන්පසුව ගගනගාමීන් අඟහරු වෙත ගෙන යෑමටත් යොදා ගැනීමට අපේක්ෂිතයි. එදා මෙදා තෙක් නිපදවූ ලොව ප්‍රබලතම රොකට්ටුව මෙයයි. ‘ආර්ටිමීස්-1’ මෙහෙයුම සාර්ථකව අවසන් වූ පසු, ‘ආර්ටිමීස්-2’ මෙහෙයුම ආරම්භ වනු ඇත. එහිදී ගගනගාමීන් තිදෙනකු එම යානයේ ආධාරයෙන් සඳ වටේ කැරැකී ආපසු පෘථිවියට පැමිණෙනු ඇත.
මෙම ගගනගාමීන් කිසිවකු සඳට පය තබන්නේ නැත. ගගනගාමීන් සඳට පය තබනු ඇත්තේ 2024 වසරෙන් පසුව, ‘ආර්ටිමීස්-3’ මෙහෙයුම යටතේය. සඳට පය තබන පළමු කාන්තාව ලෙස තෝරා ගන්නා ගගනගාමිනියක ද සඳට යෑමට නියමිතය. ඊට අමතරව, ‘ආර්ටිමීස්’ මෙහෙයුම් හරහා, සුදු ජාතිකයකු නොවන ගගනගාමියකු ද පළමු වරට සඳට පය තබනු ඇතැයි නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
කලින් මිනිසා හඳ ගෙන ගිය සැටර්න්-5 රොකට්ටුව
පළමු වරට මිනිසා සඳ තරණය කළේ 1969 දීය. ඒ, නාසා ආයතනයේ ඇපලෝ වැඩ පිළිවෙළට අයත් වූ ‘ඇපලෝ 11’ යානයෙනි. 1960 දශකයේ සිට 1970 දශකය තෙක් ක්‍රියාත්මක වූ ‘ඇපලෝ’ වැඩ පිළිවෙළ මගින් ගගනගාමීන් පමණක් නොව, ඔවුන්ගේ උපකරණ, යන්ත්‍ර සූත්‍ර, චන්ද්‍ර යානා සඳට යවනු ලැබීය. සඳ පෘථිවියට අයත් එකම ස්වභාවික චන්ද්රිකාව ලෙස ද හැඳින්වෙයි. ‘ඇපලෝ’ සඳ ගමන් සඳහා යොදා ගත්තේ ‘සැටර්න් 5’ (Saturn V) රොකට්ටුවය. ‘සැටර්න් 5’ අධි බලැති රොකට්ටුවක් වූ අතර ඒ සඳහා අධික වියදමක් දරන්නට සිදු විය. ‘ආර්ටිමීස්’ සඳ ගමන් සඳහා යොදා ගන්නා SLS රොකට්ටුව, ‘සැටර්න් 5’ රොකට්ටුවට වඩා ප්‍රබල වුවත් සාපේක්ෂව වියදම් අඩු එකකි. එය උසින් ද ‘සැටර්න් 5’ රොකට්ටුවට වඩා මීටර් 20කි ින් අඩුය. මේ නව රොකට්ටුව මුදුනේ ඔරියන් යානය සවි කළ පසු රොකට්ටුවේ මුළු උස මීටර් 98 ක් වෙයි. බර කිලෝ ග්රෑම් මිලියන 2.6 කි.
‘සැටර්න් 5’ මෙන් නොව, SLS රොකට්ටුව, පෘථිවි ගුරුත්ව බලයෙන් මිදී, උඩු ගුවනට විදිනු ලබන්නේ කිලෝ ග්රෑම් මිලියන 4 ක තෙරපුමක් ඇති කරමිනි. ‘සැටර්න් 5’ රොකට්ටුව ඇති කළ තෙරපුම කිලෝ ග්රෑම් මිලියන 3.4 ක පමණි. කිලෝ ග්රෑම් 27,000 ක බරක් සඳට ගෙන යෑම SLS මගින් සිදු කෙරේ. නාසා තාක්ෂණ ශිල්පීන් පැහැදිලි කරන්නේ අනාගතයේ නිර්මාණය වන යෑම SLS රොකට් පද්ධති තව තවත් ප්‍රබල වනු ඇති බවය. අනාගතයේ නිර්මාණය වන SLS රොකට්ට්ව මීටර් 111 ක් උසින් යුක්ත වනු ඇති බව ද පැවැසෙයි. කිලෝ ග්රෑම් 46,000 ක බරක් රැගෙන යෑමට එම රොකට් නිර්මාණය කරනු ඇත. මේවා නිර්මාණය කෙරෙන්නේ සඳට යෑමට පමණක් නොව, අඟහරු ග්‍රහයාට සහ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ වෙනත් ඕනෑම තැනකට යෑමටය.
‘ආර්ටිමීස්’ චන්ද්‍ර මෙහෙයුම් සඳහා යොදා ගන්නා SLS රොකට්වල සවි කරනු ලබන්නේ RS-25 රොකට් ඇන්ජින්ය. මෙවැනි ඇන්ජින් 4 ක් රොකට් පද්ධතියට සම්බන්ධ කෙරේ. නාසා ආයතනයේ ෂටල වැඩසටහන් ක්‍රියාත්මක වෙද්දී ඒවා සඳහා ද RS-25 රොකට් ඇන්ජින් භාවිතයට ගැනුණි. එකිනෙකට වෙනස් SLS රොකට් සඳහා සම්බන්ධ කළ හැකි ආකාරයේ විවිධ RS-25 රොකට් ඇන්ජින් 16 ක් නාසා ආයතනය සතුව ඇත. මෙම එන්ජින් නිරන්තරයෙන්ම නව තාක්ෂණය යොදා ගනිමින් යාවත්කාලීන කෙරේ. ඒ වඩාත් හොඳින් ඒවා ක්‍රියාකාරී විය යුතු බැවිනි. RS-25 රොකට් ඇන්ජින් සඳහා භාවිතයට ගැනෙන්නේ සිසිල් කළ දියර නයිට්රජන් සහ දියර ඔක්සිජන් ලීටර් මිලියන 3.3 කි. ගුරුත්ව බලයෙන් මිදී උඩු ගුවනට විදීමට බූස්ටර් රොකට්ටු දෙකක් SLS රොකට්යකට සවි කෙරේ. මේවා මීටර් 54 ක් උසය. කිලෝ ග්රෑම් මිලියන 1.6 ක තෙරපුමක් ඇති කිරීමට මෙම බූස්ටර්වලට පුළුවනි. ලොව මෙතෙක් නිපදවා ඇති ප්‍රබලතම බූස්ටර් ලෙස මේවා සැලකේ.
මෙවර හඳට යන පරීක්ෂණ රොබොටික්කෝ
‘ආර්ටිමීස්-1’ අත්හදා බැලීමේ මෙහෙයුමට සැබෑ ගගනගාමීන් සම්බන්ධ නොවුවත්, සැබෑ ගගනගාමීන්ගේ ආරක්ෂාව ගැන අධ්‍යයනය කිරීමට සංවේදක සිය ගණනක් සවි කළ මිනිස් සිරුරු වැනි ‘ඩමි’ සහභාගී කරවා ගැනෙයි. මේ, ඩමි, ‘හෙල්ගා’, ‘සොහාර්’ සහ ‘කැප්පොස්’ යන නම්වලින් නම් කර තිබේ. මිනිස් සිරුරු කීවත්, ‘හෙල්ගා’, ‘සොහාර්’ යන ඒවාට අත් පා හෝ හිසක් හෝ නැත. මේවා විශේෂ ප්ලාස්ටික් වර්ගයකින් නිපදවා ඇත්තේ, මිනිස් සිරුරට සමාන ආකාරයකටය. ‘හෙල්ගා’, ‘සොහාර්’ කාන්තා සිරුරු අනුරූය. හෘදය, පෙනහළු, විවධ ඝනත්වයෙන් යුත් අස්ථි සහ සමේ මෘදු පටක ආදිය ද මෙම කෘත්‍රිම සිරුරුවල ඇත. සංවේදක සිය ගණනක් ඒවාට සම්බන්ධ කර ඇත. මේවා පුහුණු මෙහෙයුමට යොදා ගැනෙන්නේ, අභ්‍යවකාශ සවාරියකදී, මුහුණ පාන්නට වන විකිරණ කාන්තා සිරුරකට කෙසේ බලපාවිද යන්න අවබෝධ කර ගැනීමටය.
පුහුණු ගමනේදී ‘ඔරියන්’ යානයේ නියමු කුටියේ ප්‍රධාන අසුන් දෙකේ, ‘හෙල්ගා’ සහ ‘සොහාර්’ ආසන පටි පලඳවා අසුන් ගැන්වීම සිදු කර ඇත්තේ සැබෑ ගගනගාමීන් එහි අසුන් ගෙන සිටින අයුරිනි. ‘සොහාර්’ට විශේෂ ආරක්ෂිත ඇඳුමක් පලඳවනු ලබයි. එම ඇඳුම පොලි-එතලීන් වර්ගයකින් නිපදවා ඇති අතර, එය ‘සොහාර්’ අහිතකර ප්‍රෝටෝන විකිරණවලින් ආරක්ෂා කරනු ඇතැයි විශ්වාස කෙරේ. සඳට යන කාන්තාවන්ට ඉදිරියේ දී පලඳීමට සිදුවනු ඇත්තේ මෙම ඇඳුමය. සඳට ගොස් ආ පසු හෙල්ගා’ සහ ‘සොහාර්’ තුළ සවි කර ඇති සංවේදකවලින් ලබා ගන්නා දත්ත විශ්ලේෂණය කරනු ඇත. ඒ අනුව, විකිරණ බලපෑමේ තරම අවබෝධ කර ගැනීමට නාසා ආයතනය සමත් වනු ඇත.
‘කැප්පොස්’ යනු පිරිමි ඩමියකි. මෙම ඩමිය මීට පෙර අභ්‍යවකාශ නැවැතුම්පොළේ පර්යේෂණ සඳහා ද භාවිතයට ගැනුණි. ‘කැප්පොස්’ ඩමියට එම නම යොදා ඇත්තේ නාසා ඉන්ජිනේරු අරූකෝ කැම්පස් සිහි ගන්වමිනි. සඳ ගමනකට එක් වී අකරතැබ්බකට මුහුණ දුන් ‘ඇපලෝ 13’ යානය සහ එහි ගගනගාමීන් තිදෙනා නිරුපද්‍රිතව ආපසු ගෙන ඒමට උදවු කළේ අරූකෝ කැම්පස් ය. ‘කැප්පොස්’ ඩමිය අසුන් ගන්වා ඇත්තේ ‘ඔරියන්’ යානයේ අණ දෙන නිලධාරියාගේ අසුනේය.
සුවිශේෂී තවත් දේවල් රැසක් ද ‘ආර්ටිමීස්-1’ මෙහෙයුමට එක් කර ගැනෙන අතර, ඒවා සියල්ල ‘ඔරියන්’ යානයේ තැන්පත් කර තිබේ. ඒවා අතරින් සුවිශේෂී දේවල් කීපයක් ගැන පමණක් මෙහි සඳහන් කෙරේ. ඇමෙරිකාවට ආවේණික සිකමෝර් ගසක බීජයක්, මළ මුහුදෙන් ලබා ගත් පුංචි ගල් කැටයක්, රටවල් රැසක පාසල් දරු දැරියන් සහ පුරවැසියන් සඳ ගමන වෙනුවෙන් ලියැවුණු ගී, පද්‍ය, චිත්‍ර ආදිය අඩංගු පෙන් ඩ්‍රයිව් උපාංගයක් සහ ලෙගෝ මිනිසුන් කණ්ඩායමක් ද සිටිති. ඒ නාසා ආයතනය සහ ලෙගෝ සමාගම අත්වැල් බැඳ ගැනීමේ ප්‍රතිඵලයකි. එහි අරමුණ කුඩා කාලයේ පටන් ලෙගෝ කැබලි සමඟ සෙල්ලම් කරන පොඩිත්තන් අභ්‍යවකාශය වෙත උනන්දු කරවීමය.
ඇමෙරිකානුවන් අතරේ පමණක් නොව, ලොව පුරා ඉංග්‍රීසි පුවත්පත්වල දකින්න ලැබෙන අතිශය ජනප්‍රිය තීරු චිත්‍රකතාවක් වන චාල්ස් එම්. ෂොල්ස්ගේ ‘පීනට්ස්’හී එන ‘ස්නූපි’ බලු සුරතලා ද මේ ‘ආර්ටිමීස්-1’ මෙහෙයුමට එක් වී සිටියි. මෙසේ සඳ බලා යන්නේ පුළුන් පිරවූ ‘ස්නූපි’ කෙනෙකි. ‘ස්නූපි’ ශුන්‍ය ගුරුත්වයේ පාවීමට ඉඩ හැර එමගින් ස්නූපිට තුවාල සිදුවන්නේ ද නැතිනම් ආරක්ෂිතව ගමන නිමා කිරීමට හැකිවේවිද ආදිය සොයා බැලෙයි.
බ්‍රිතාන්‍ය කාටූන් කතාවක් වූ ‘ෂොන් ද ෂීප්’ ගැන නොදන්න කෙනෙකු නොමැත. ඒ සජිවිකරණ කාටූන් කතා මාලාවේ එන සජීවීකරණ පුංචි බැටලුවාගේ අනුරුවකුත් මේ ගමනට එක් කර ඇත. ඒ, යුරෝපා අභ්‍යවකාශ ආයතනය නියෝජනය කරමිනි. ‘ෂොන් ද ෂීප්’ සැරැසී සිටින්නේ යුරෝපා අභ්‍යවකාශ ගගන ඇඳුමකිනි.
- ලුසිත ජයමාන්න
‘ලයිව් සයන්ස්’ ඇසුරිනි
0 Comments