‘ගාමිණී’ යන නම මතක් කළ සැණෙන් අපේ මතකයට එන්නේ ගාමිණී ෆොන්සේකායි. ඔහු සිංහල සිනමාවට පිවිසියේ 1956 දීයි; ඒ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘රේඛාව’ චිත්‍රපටයෙනි; මුලින් ම ප්‍රධාන චරිතයක් නිරූපණය කළේ ‘දෛවයෝගය’ (1959) චිත්‍රපටයේයි. ගාමිණී සිනමාවට එක් වන්නට වසර තුනකට කලින්, එනම් 1953 දී තවත් ගාමිණී නමක් සිංහල සිනමාවට එක් වූයේ සිනමාලෝලයන් අමන්දානන්දයට පත් කරමිනි. ඒ ‘ගාමිණී’ නම් සිනමා හලයි. කොළඹ ඩී. ආර්. විජයවර්ධන මාවතත් ටී. බී. ජයා (ඩාලි පාරත්) මාවතත් එක්වන මංසන්ධියේ පිහිටි, සිංහල චිත්‍රපටවලට සීමා වූ මේ සිනමා හල අද එතැනට ඒ නම පමණක් ඉතිරි කොට අප හැර ගොසිනි. එය කිසිදා නුදුටු අය පවා එතැන හඳුන්වන්නේ ගාමිණී හෝල් කියායි.
හරියට ම මීට වසර 38කට පෙර ඇති වූ ‘කළු ජූලියේ’ ශාපයට ලක්වෙමින්, 1983 ජූලි මස 25 වැනි දින උදේ එතැනින් ගිය අප දුටුවේ ගින්නෙන් දා ගිය බිත්ති කිහිපයක් පමණකි. ජූලි 24 වැනි දින ඇසළ පොහෝ දිනය වූ නිසා එහි දර්ශන පැවැත් වූයේ නැත. ඒ වන විට එහි ප්‍රදර්ශනය කරමින් තිබුණේ තවත් ගාමිණී කෙනකු තැනූ චිත්‍රපටයක්. ඒ ගාමිණී හේවාවිතාරණගේ ‘මැණික් මාලිගා’යි.
මෙසේ ගාමිණි සිනමාහල ගිනි තැබුවේ මක්නිසාද? සිංහල චිත්‍රපට පමණක් ප්‍රදර්ශනය කළ, සිනමාස් සමාගමේ ප්‍රධාන සිනමාහල වූ ගාමිණී සිනමාහල මෙසේ දවා හළු කරනු ලැබුවේත් අපේ මුල් සිංහල කතානාද චිත්‍රපටය වූ ‘කඩවුණු පොරොන්දුව’ හා පුරා තිරයට ගෙනා කොටහේනේ කිංස්ලි සිනමා හලට ඒ ඉරණම ම අත්කර දුන්නේත් ඒ සිනමාහල් දෙක ම එක හා සමාන මුහුණුවරක් ගත් නිසා යයි කතාවක්ද ඇත. නැතිනම් කිංස්ලි සිනමාහල පසුව දෙමළ චිත්‍රපට සඳහා ම වෙන්වූ නිසා ද?
1983 ජූලි 23 වැනිදා එල්.ටී.ටී. සංවිධානය යාපනයේ දී සැඟවී සිට පහර දී 13 දෙනකුගෙන් යුත් ලාංකික භට පිරිසක් මරා දැමීම නිසා දකුණේ කලබල ඇති විය. ඒ භටයන‍්ගේ සිරුරු මිහිදන් කරන්නට කොළඹ කනත්තට ගෙනා පසු ඊට ගරු බුහුමන් දක්වන්නට ආ මහා ජන ප්‍රවාහය ප්‍රකෝප වී දෙමළ ප්‍රජාව හා ඔවුන්ට අයත් ව්‍යාපාර විනාශ කිරීමට පටන් ගත්තෙන් රජයට එය එක්වරම පාලනය කර නොහැකි විය. සිංහලයන් සඳහා සිංහල චිත්‍රපට පමණක් පෙන්වූ ගාමිණි සිනමාහල ගිනි තැබුවේ ද සිංහලයින්ගේ ඒ කෝපයේ ප්‍රතිඵලයක් හැටියටයි. සතියක් පුරා පැවති ඒ ව්‍යසනය ‘කළු ජූලිය’ කියා හැඳින්වෙයි.
දශක තුනකට වැඩි කාලයක් සිංහල සිනමාවේ දියුණුවට උර දුන් ඒ ගාමිණී සිනමාහල බිහිකළ අපූරු මිනිසා ගැන ද යමක් කිවයුතුය. ඔහු උතුරුකරයේ සිට ඇවිත් අගනුවර සිංහල, දෙමළ, මුස්ලිම් හා බර්ගර් ප්‍රජාව අතර නමක් දිනා ඔහු කනගසබේ ගුණරත්නම් හෙවත් කේ. ගුණරත්නම්ය. ඔහුගේ කතාව දුක දිනා ජයගත් එකකි; එහෙත් අවසානය ශෝකාන්තයකි.
ලංකාවේ දකුණු කොනෙන් මෙන් ම උතුරු කොනෙන් ද තම අනාගතය සොයා, කොළඹ බලා ආ තරුණයන්ගේ කතා බොහොමයක් සිත් ගන්නාසුලුය; දිරිය වඩවනසුලුය. එකල අපේ අගනුවර වූ කොළඹට ඇවිත් ලංකාවත් දිනා ලොවත් දිනූ අය අතරින් 1922 දී ගාල්ලේ අක්මීමන සිට කොළඹ ආ මැලිබන් මුදලාලිගේත්, 1934 යාපනේ අතියාඩිවල සිට කොළඹ ආ සිනමාස් මුදලාලිගේත්, 1933 දී මාතර සුල්තානාගොඩ සිට කොළඹ ආ නවලෝක මුදලාලිගේත් ආරම්භක කතා බොහෝ දුරට එක හා සමානය. ඔවුන් තිදෙනාම සමාජයේ ඉහළ ම තලයට පත් ව සමාජයේ නොමඳ ගෞරව ලැබූහ; එසේ ම සමාජයට විශාල සේවයක් කළහ. එයින් මැලිබන් මුදලාලිත් නවලෝක මුදලාලිත් සතුටින් පිරි අවසානයක් දුටුවත් සිනමාස් මුදලාලිට, එනම් සිනමාස් සමාගමේ අධිපති කේ. ගුණරත්නම්ට, ඒ වාසනාව ලැබුණේ නැත. ඔහු 87-89 ජේවීපී කැරැල්ල සමයේ සාහසිකයකු අතින් ඝාතනය කරනු ලැබීය. ඒ 1989 අගෝස්තු 27 වැනි දා දිවා ආහාරය සඳහා නිවසට යමින් සිටියදීය.
උතුරුකරයේ සිට සිය අනාගතය සොයා කොළඹ පැමිණි ගුණරත්නම් නම් දමිළ තරුණයා, මුලින්ම කොටහේනේ කුඩා ඩිස්පැන්සරියක සේවයට බැඳුණේය. ඔහුට එහි ඇති හැම වැඩක් ම කරන්නට සිදුවිය. ඒ අතරතුර ඔහුට කිංස්ලි සිනමාහලේ සේවයට අවස්ථාව සැලසුණි. එහි දී වින්ඩ්සර් ටෝකිස් නම් චිත්‍රපට බෙදා හැරීමේ සමාගමට එක් වූ ඔහුට පැවරුණේ චිත්‍රපට ප්‍රවර්ධනය කටයුතුයි. එකල ප්‍රදර්ශන මණ්ඩල තිබුණේ නැත. ඉන්දියාවෙන් චිත්‍රපට ගෙන්වා දේශීය සිනමාහල්වලට ඒවා යොමු කිරීම ඔහුට බාර විය. ඒ අතර කොළඹ සිටි දැවැන්ත චිත්‍රපට ව්‍යාපාරික චිත්තම්පලම් ඒ. ගාඩිනර්, ඒ වින්ඩ්සර් ටෝකීස් මිල දී ගත්තේය. එය ඔහු සිලෝන් තියර්ටර්ස් ලෙසින් නම් කළේය. ගුණරත්නම් එහි වැඩ කළේ තවත් මාස 3ක් පමණය. 1941 දී ඉන් ඉවත් ව අයිස්ක්‍රීම් ව්‍යාපාරයක් පටන් ගත්තේය.
ඒත් චිත්‍රපටවලට ඇති ආසාව ඔහු අත් නොහළේය. ඒ නිසා ඔහු වෙලින්ටන් ටෝකීස් නම් අලුත් සමාගමකට හවුල් විය. ඉන්දියාවේ චිත්‍රාගාර හා චිත්‍රපට බෙදා හරින සමාගම්වල රස්තියාදු වෙමින් ගුණරත්නම් චිත්‍රපට තේරුවේය. ඒ සඳහා තමාත් ගිය බව මට වරක් එඩී ජයමාන්න මා සමග කියා තිබුණි. ඉන්දියාවෙන් චිත්‍රපට ගෙන්වීම කළ ඔහු එයින් විශාල ව්‍යපාරිකයකු විය. පසුව ගුණරත්නම් වෙලින්ටන් ටෝකීස් සමාගමේ සභාපති විය. ඔහු යාපනයේ වෙලින්ටන් සිනමාහල ඉදි කළේ ඒ කාලයේය. 1950 දී ඔහු සිනමාස් සමාගම පිහිටුවා කිංස්ලි, කැපිටල්, ලිඩෝ, සැෆයර් ඇතුළු කොළඹ සිනමාහල් ද මීගමුව, යාපනය ඇතුළු රටේ විවිධ පෙදෙස් රැසක තවත් සිනමාහල් ද හිමි කර ගත්තේය.
ඔහු ගාමිණි සිනමාහල මිලදී ගන්නා විට එහි තිබුණේ නැෂනල් තියටර් නම් නාට්‍ය ශාලාවයි. එය 1952 වසර දක්වාම වේදිකා නාට්‍ය රඟදැක්වූ ශාලාවකි. ඒ භූමිය දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් එකක් වුවත් ශාලාවේ හිමිකරු වූයේ පී. ද එස්. කුලරත්න මහතාටය. “එඩී ජයමාන්න, රුක්මණි දේවිය සමග රහසේ විවහ වී රැකවරණය පතා පැමිණියේ කුලරත්න මහතාගේ නැෂනල් තියටර් වෙතට”යයි සරසවිය කර්තෘවරයකු වූ අරුණ ගුණරත්න වරක් ලියූ ලිපියක සඳහන් විය. එපමණක් නොව ඒ නැෂනල් රඟහල ගුණරත්නම්ට හිමිකර දී සිනමාහලක් බවට පත්කිරීමේ කාර්යය පසුපස සුප්‍රකට නාට්‍යකරුවකු හා සිනමාකරුවකු වූ සිරිසේන විමලවීරයන් ද සිටි බව ද එහි දී ඔහු සඳහන් කළේය. එයට ගාමීණී යන නම දුන්නේ ද විමලවීරයි.
විමලවීර සහ ගුණරත්නම් කලක් මිතුරුව සිටිය ද පසුව සතුරු වූ බව ද කියැවෙයි. කේ. ගුණරත්නම් සිනමාස් සමාගම වෙනුවෙන් ‘සුජාතා’ චිත්‍රපටය තනද්දි එහි ගීත සියල්ල ලීවේ සිරිසේන විමලවීරය. එහෙත් විමලවීර ‘ලේ මිසරාබ්ල’ ඇසුරෙන් ‘සිරකරුවා’ තනන්න පටන් ගත් අතර ඒ බව දැනගත් ගුණරත්නම් ඒ කතාව ඇතුළත‍් ‘දුප්පතාගේ දුක’ චිත්‍රපටය තනා විමලවීරගේ ආදායම් අඩු කරනු පිණිස තරඟයට ප්‍රදර්ශනය කළේය. එසේ ම විමලවීර මහත් අගහිඟකම් මැද ඉදි කළ ‘නවජීවන’ චිත්‍රාගාරය ණයට හිලව් කර ගෙන වසා දැමීය. ඒ වෙනුවට ඔහු විජය නමින් චිත්‍රාගාරයක් ඉදි කළේය.
ගාමිණී හෝල් මෙරට ආරම්භ කළ ප්‍රථම නිශ්චිත සිනමා ශාලා ප්‍රදර්ශක ජාලයට නායකත්වය දුන්නේය. එය සිනමාස් සමාගමේ ප්‍රධාන සිනමාහල විය. ගාමිණී හෝල් ප්‍රමුඛ සිනමා මණ්ඩලය ‘සුජාතා’වෙන් පටන් ගෙන ප්‍රදර්ශනය කළ චිත්‍රපට සියල්ල ම පාහේ අතිශය ජනප්‍රිය විය. “ගාමිණී සිනමා හලේ තවත් දෛවෝපගත කාරණයක් නම් ගාමිණි ෆොන්සේකා රඟපෑ චිත්‍රපට වැඩි හරියක් තිර ගත කර ලද්දේ ද ගාමිණි සිනමාහලේ වීමය. සිනමාහලට ‘ගාමිණි’ නම තබන විට ගාමිණි නම් නළුවකු අපේ සිනමාවේ නොවීය.” යයි අරුණ ගුණරත්නගේ ලිපියෙහි සඳහන් කරයි.
ඔහුගේ ප්‍රධාන සිනමාහලට ‘ගාමිණී’ කියා නම් කළ ගුණරත්නම් සිංහල චිත්‍රපට තනන්නට නවීන චිත්‍රාගාරයක් තනා ඊට සිංහලේ මුල්ම රජුගේ නම තැබුවේය. ඔහු ‘කලා’ නමින් සිංහලෙන් සිනමා සඟරාවක් ද පළ කළේය. ටී. බී. ඉලංගරත්නගේ ‘විලම්බීත’ නම් නවකතාව පළ කරමින් ඔහු ප්‍රකාශකයකු බවටද පත් විය. සිංහල චිත්‍රපටයකට ප්‍රථම වරට දේශානුරාගී ගීතයක් එක් කළේ ද ගුණරත්නම්ය. ‘මනරංජන දර්ශනීය ලංකා’ (සුජාතා-1952) නම් වූ ඒ ගීය රචනා කළේ අපේ ජාතික ගීයේ නිර්මාතෘ ආනන්ද සමරකෝන්මය.
ලෙස්ටර් ජේම්ස් පීරිස් ‘රේඛාව’ තනා පාඩු වීමෙන් පසු චිත්‍රපට කිරීමට පසුබාමින් සිටියදී ‘සංදේශය’ නිපදවන්නට ඉදිරිපත් වූයේ ගුණරත්නම්ය. රාජ්කපූර් රුසියාවේ පැවති අන්තර්ජාතික චිත්‍රපට උළෙලක දී ‘රේඛාව’ දැක පැහැදී ඉන්දියාවේ දී ගුණරත්නම් හමුවූ අවස්ථාවේ දී කළ ඉල්ලීමක් නිසාය. ඔහු ටයිටස් තොවත්තට ‘චණ්ඩියා’ කරන්න අවස්ථාව දුන්නේය. අපේ මුල්ම වර්ණ චිත්‍රපටය වූ ‘රන්මුතු දූව’ නිපදවන්නට අඩකට වඩා වියදම් දැරුවේ ඔහුය.
සිංහල සිනමාවේ දියුණුවට මේ ආකාරයේ අසීමිත මෙහෙයක් කළ ඔහුට සිංහලයින්ගෙන් කෘතගුණ සැලකීමක් නොවීය. 83 කළු ජූලියේ දී කෝපයට පත් පිරිස් ඔහුගේ සිනමාහල් පමණක් නොව විජය චිත්‍රාගාරයද සහමුලින්ම ගිනිබත් කළහ. සිංහල චිත්‍රපට රැසක පිටපත් එහි සංරක්ෂණය කර තිබූ අතර ඒ අමන ක්‍රියාව නිසා සිංහල සිනමා ඉතිහාසයෙන් විශාල කොටසක්ද අපට අහිමි විය. සිංහල සිනමා කර්මාන්තය සඳහා ඔහු ඉදිකළ අධිරාජ්‍යය ඔහුගේ ඇස් ඉදිරිපිට ම විනාශ කර දමනු ලැබීය. ඝාතක පිරිස්වලින් බේරෙනු පිණිස ඔහුට පළා යන්නට සිදු විය. එයින් ඔහුට සිදුවූ ව්‍යාපාරික අලාභය අතිමහත්ය; මානසික පීඩාවද එසේමය; එහෙත් ඔහු සැළුණේ නැත; රට හැර ගියේ ද නැත.
ඉන් වසර හයකට පසු ඔහුට යළිත් වරක් මතු වූ භීෂණයකට මුහුණ දෙන්නට සිදුවිය. ඒ 1987-1989 කාලය තුළ ජේවීපී කැරැල්ලටය. 1989 අගෝස්තු 27 වැනි දා දිවා ආහාරය සඳහා නිවසට යමින් සිටියදී ඔහුගේ කාරයේ මග හරස් කොට මෝටර් සයිකලයකින් පැමිණ දෙදෙනකු විසින් ඔහුට වෙඩි තබා ඝාතනය කරනු ලැබීය.
ගුණරත්නම් නිෂ්පාදනය කළ ‘සන්දේශය’ (1960) චිත්‍රපටයේ වීඩියෝ පහතින් නරඹන්න!
ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘සන්දේශය’ (1960) චිත්‍රපටයේ ‘රෑන අඹේ’ නම් මේ ගීය අරිසෙන් අහුබුදුගේ රචනයකි. තනුව සුනිල් ශාන්තගේය. සංගීතය මුත්තුසාමිගේය. ගයන්නේ ලතා වල්පොළය.
ගුණරත්නම් නිෂ්පාදනය කළ ‘සුජාතා’ චිත්‍රපටයේ ආ දේශානුරාගී ගීතයට සවන් දෙන්න!
ආනන්ද සමරකෝන් ලියූ මේ ගීතය ගයන්නේ ජමුනා රාණි නම් ඉන්දියානු ගායිකාවකයි. මෙය ටී. සෝමසේකරන් අධ්‍යක්ෂණය කළ ‘සුජාතා’ චිත්‍රපටයට ඇතුළත් වුවකි. සංගීතය දක්ෂිණ මූර්තිගේය.
0 Comments