HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අපේ මහා රංගනවේදිණිය අයිරාංගනී 95 විය සපුරයි!

 

අයිරාංගනී සේරසිංහ අපේ නළුනිළි පරපුරේ ‘සිළුමිණ’යි. වසර දසක හතක් තිස්සේ රංගනයෙන් රිදී තිරය, පුංචි තිරය හා වේදිකාව බැබළවූ ඇය 95 වසරට පා තැබුවා. පසුගියදා ඇය හදිසියේම සිහිසුන්ව ඇද වැටීම නිසා රෝහල් ගත කළ ද දැන් සුවය ලබා නිවසට පැමිණ සිටිනවා. උපාධියක් අතැතිව රංගනයට පිවිසි ප්‍රථම රංගනවේදිනිය ඇයයි. ඇය දසක ගණනාවක් තිස්සේ රංගනයට එක් වූ දහස් ගණනක් රංගනවේදීන්ට ඇය නිහඬ ගුරුවරියක් වුවා. ඇගේ රංගන රීතිය අනුගමනය කරන නළු නිළියන් දහස් ගණනක් සෑම ක්ෂේත්‍රයකම අපට දැක ගන්න පුලුවන්.
අයිරාංගනී උපන්නේ 1927 ජූනි 9 වැනිදා රුවන්වැල්ලේ මුදුන්ගොමුව ගම්මානයේ මීදෙනිය වලව්වේයි. ඇගේ පියා ජෝශප් හර්ක්‍යුලස් මීදෙනිය, රත්නපුරේ රටේ මහත්තයායි. මව රත්නපුර මන්ත්‍රීවරයකු සිටි නන්ද එල්ලාවලගේ පියාගේ සොහොයුරියක වූ වයලට් එල්ලාවලයි. ඇගේ පියාගේ පියා වූ මීදෙනිය අදිකාරම් එවකට පැවති රාජ්‍ය මන්ත්‍රණ සභාවට රුවන්වැල්ල ආසනයෙන් නිතරඟයෙන් පත් වුණා. අයිරාංගනී සමඟ ඒ පවුලට තවත් සහෝදර සහෝදරියන් තුන් දෙනකු ඉන්නවා. ඒ ඉන්ද්‍රාණි, කමනී හා මහින්දයි. එයින් කමනී මහාචාර්ය තිස්ස විතාරණගේ බිරිඳයි. අද 95 විය පසු කරමින් සිටින ඇය තවමත් රංගනය අත් හැර නැහැ. ඇය කුඩා දැරියක ලෙස රංගනයට මුලින් ම පිවිසියේ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේදියි. ඒ වන විට ඇගේ වයස අවුරුදු හයකි. ඒ ‘වෝටර් බේබීස්’ නාට්‍යයෙනි. ඇයට ඊළඟට කොළඹ බිෂොප් විද්‍යාලයට යාමට සිදුවුණා. ඇයට කිරිගණිතයා ගුරුන්නාන්සේගෙන් උඩරට නැටුම් ඉගෙන ගන්නට ලැබුණේ එහිදියි. ඉන්පසු උසස් පෙළ හදාරන්නට මහනුවර උසස් බාලිකා විදුහලට යන්නට ඇයට සිදු වුණා. එහිදී ඇයට විදුහලේ ආචාර්යවරියක් නිෂ්පාදනය කළ ‘පිග්මැලියන්’ නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපාන්නට අවස්ථාව ලැබුණා. එය ලෝක ප්‍රකට ලේඛක බර්නාඩ් ෂෝගේ නාට්‍යයක්. (පසු කලෙක ඒ නාට්‍යය ඇසුරෙන් නිපදවූ ‘මයි ෆෙයාර් ලේඩි’ නම් ඉංග්‍රීසි චිත්‍රපටයේ ඒ චරිතය නිරූපණය කළේ ඕඩ්රි හෙප්බර්න් නම් නිළියයි.) 

උසස් පෙළ සමත් වූ ඇයට 1947 දී විශ්වවිද්‍යාලයට යන්නට වරම් ලැබුණා. එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ උගතකු වූ ඇගේ පියා, මීදෙනිය රටේ මහත්තයා, ඇය විශ්ව විද්‍යාලයට යනවා කැමති වුණේ නැහැ. “ඒ විෂමතාවෙන් පිරුණු ගුහාවට ඔයා යනවට මම කැමති නෑ” ඔහු කීවා. එහෙත් පසුව එවකට විශ්ව විද්‍යාලයේ උගෙනුම ලබමින් සිටි ඥාති පුත්‍රයකු ඔහුගේ ඒ අදහස වෙනස් කිරීමට සමත් වූ නිසා අයිරාංගනීට විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට හැකි වුණා. ඇය විශ්ව විද්‍යාලයේ පළමු වසර නිම කරද්දී පියා අභාවයට පත් වුණා.
අයිරාංගනී සරසවි සිසුවියක කාලයේ දී..

ලංකා විශ්ව විද්‍යාලයට ඇතුළත්වීම ඇගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වුණා. එකල ඇගේ සමකාලීන ශිෂ්‍යයන් වූයේ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක, ස්ටැන්ලි තිලකරත්න, රොනී ද මැල්, ඩී.බී.අයි.පී.එස්. සිරිවර්ධන, තිස්ස විජේරත්න, නිශ්ශංක විජේරත්න වැනි අයයි. 
අයිරාංගනී ගුරුවරියක ලෙස.

විශ්ව විද්‍යාලයේ නාට්‍යවල රඟපානවාට ඇයට පවුලෙන් විරෝධයක් එල්ල වුණේ නැහැ. ඒ නිසා විශ්ව විද්‍යාල නාට්‍ය සංගමය නිෂ්පාදනය කළ සෑම ඉංග්‍රීසි නාට්‍යයකම පාහේ ඇය රඟපෑවා. ඇයට රංගනය පිළිබඳ විධිමත්ව ඉගෙන ගන්නට හැකි වූයේ එහිදියි. මහාචාර්ය ඊ. එෆ්. සී. ලුඩොවයික්ගෙන් තමයි, අයට රංගන කුසලතාව ඔප් නංවා ගැනීමට ලැබුණේ. ඒ මහාචාර්යවරයාගේ උපදෙස් මත, ඇය නැටුම් පුහුණුවන්නට චිත්‍රසේන ළඟටත් ගියා. 

උපාධියෙන් පසු ඇය විශ්ව විද්‍යාල සමකාලිකයකු සමඟ විවාපත් වුණා. ඒ පසුව එම විශ්ව විද්‍යාලයේ ම මහාචාර්යවරයකු වූ දන්ත වෛද්‍ය විශේෂඥ එස්. බී. දිසානායක සමගයි. ඒත් විවාහය වැඩි කලක් පැවතුණේ නැහැ. ඒ නිසා ඔහුගෙන් නීතියෙන් වෙන් වූ ඇය නාට්‍ය කලාව හදාරන්නට ලන්ඩන් යන්නට තීරණය කළා. ඒ සඳහා ඇයට මහාචාර්ය ලුඩොවයික් මග පෙන්නුවා. ඒ අනුව ඇය ලන්ඩනයේ බ්‍රිස්ටල්හී ඕල්ඩ්වික් නාට්‍ය පාසලට ඇතුළත් වුණා. එහි වසරක කාලයක් නාට්‍ය හැදෑරූ ඇය ඉන්පසු ලන්ඩන් රංග කලා හා කථන පාසලේ තවත් වසර දෙකක පුහුණුවක් ලැබුවා. 
‘රේඛාව’ චිත්‍රපටයේ ජවනිකාවක සෝමපාල ධර්මප්‍රිය හා අයිරාංගනී.

ඒ පුහුණුවෙන් පසු ලංකාවට පැමිණි අයිරාංගනී සේරසිංහ කෙටි කලක් මියුසියස් බාලිකා විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව සහ ඉතිහාසය යන විෂයයන් සඳහා ගුරුවරියක ලෙසත් සේවය කළා. ටයිම්ස් ඉංග්‍රීසි පුවත්පතේ කාන්තා සංස්කාරිකාවක් ලෙසත් ඒ වගේ ම ගුවන්විදුලියේ මාධ්‍යවේදිනියක ලෙසත් සේවය කළා. පසුව වෝකර්ස් ට්‍රැවල්ස් සමග එක්වූ ඇය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධන කටයුත්තක යෙදුණා. 

මහාචාර්ය ලුඩොවයික්ගේ නාට්‍යවලට රංගනයෙන් දායක වුණා. ඒ කාලයේ ම විශ්ව විද්‍යාලයේ සේවය කළ ඔස්ට්‍රියානු නාට්‍ය අධ්‍යක්ෂවරයකු වූ නිව්මන් ජුබාල් ගේ නාට්‍යවලටත් රංගනයෙන් එක් වුණා. ඒ කාලයේ මේ නාට්‍ය වේදිකා ගත කළේ විශ්ව විද්‍යාලයේ කිං ජෝර්ජ් ශාලාවෙදියි. 

1953 දෙසැම්බර් 12 වැනිදා ලයනල් වෙන්ඩ්ට් කලා කේන්ද්‍රයේ රංග ශාලාව විවෘත කරන්නට ජුබාල් නව නාට්‍යයක් නිෂ්පාදනය කළා. එයට පාදක කර ගත්තේ මැක්සිම් ගෝර්කිගේ ‘ද ලෝවර් ඩෙප්ත්ස්’ (The Lower Depths) නාට්‍යයයි. අයිරාංගනී එහි නස්ට්‍යා ලෙසින් රඟපෑවා. මුලින් ඉංග්‍රීසි නාට්‍යවල රඟපෑ ඇයට ඊට අනතුරුව සිංහල නාට්‍යවල රඟපාන්න ඇරයුම් ආවා. ඒ අනුව ඇය හෙන්රි ජයසේනගේ ‘අපට පුතේ මඟක් නැතේ’ නාට්‍යයේ රඟපෑවා. ධම්ම ජාගොඩ ‘අ ස්ට්‍රීට්කා නේම්ඩ් ඩිසයර්’ නම් ඇමරිකන් නාට්‍යය ඇසුරෙන් කළ සිංහල අනුවර්තනය වූ ‘වෙස් මුහුණු’ නාට්‍යයේත්, ඔහු ගේ ම ‘පෝරිසාදයා’ නාට්‍යයේත් රඟපැවා. 

එංගලන්තයේ නාට්‍ය හා රංග කලාව හදාරන කාලේ දී හඳුනාගත් ලෙස්ටර් ජේම්ස් පීරිස් ලංකාවට ඇවිත් රජයේ චිත්‍රපට අංශයේ අධ්‍යක්ෂවරයකු ලෙස වැඩ බාර ගත් පසු ඔහු ඇය සොයා ආවේ ඔහුගේ අලුත්ම වාර්තා චිත්‍රපටයට සම්බන්ධ කර ගන්නටයි. අයිරාංගනී සිනෙකැමරාවක් ඉදිරියේ රංගනයක් ඉදිරිපත් කළ පළමු වතාව එය වුණා. එය ඇයට අලුත් දැකීමක් වුණා. මහමග ආරක්ෂාව ගැන ජනතාව දැනුවත් කරන්නට තැනූ ඒ වාර්තා චිත්‍රපටයේ ඇය රඟපෑවේ රියැදුරු කතක් ලෙසයි. ඉංග්‍රීසි සිංහල දෙ බසින් ම තැනූ එහි නම ‘රැකෙනු නැත තැවෙනු’ (Be safe or be sorry!) එහි සිංහල නම දුන්නේ එය සංස්කරණය කළ ටයිටස් තොටවත්තයි. 
ජෝ හා අයිරාංගනී ‘පවන රළු විය’ චිත්‍රපටයේ.

ඉන්පසු 1955 දී ලෙස්ටර් ජේම්ස් පීරිස්, කැමරාශිල්පී වීලී බ්ලේක් හා ටයිටස් තොටවත්ත සමග රජයේ චිත්‍රපට අංශයෙන් ඉවත්ව ‘රේඛාව’ නමින් වෘත්තාන්ත සිංහල චිත්‍රපටයක් තනන්නට පටන් ගත්තා. එහි අයිරාංගනී රඟපෑවේ සේනගේ මව වූ කතිරිනාගේ චරිතයයි. ‘රේඛාව’ චිත්‍රපටයෙන් පසු ඇය ලෙස්ටර්ගේ ‘සන්දේශය’ (1960), ‘දෙලොවක් අතර’(1966), ‘රන්සළු’ (1967), ‘ගෝඩ් කිං’(1974), ‘අවරගිර’(1990), ‘වෑකන්ද වලව්ව’ වැනි චිත්‍රපටවලට රංගනයෙන් දායක වූණා. ‘ගම්පෙරළිය’ චිත්‍රපටයේ මාතර හාමිනේ ලෙස ද ඇය තෝරාගත් නමුත් ඇගේ සිරුරේ හැඩය එම චරිතය සඳහා නොගැලපුණු නිසා ලෙස්ටර් ඒ අදහස වෙනස් කර ඊට ශාන්ති ලේඛාව තෝරා ගත්තා. ‘රේඛාව’ චිත්‍රපටයෙන් ඇරඹි අයිරාංගනීගේ සිනමා දිවිය තුළ මේ වන විට ඇය රංගනයෙන් ඔප් නංවා ඇති චිත්‍රපට ගණන 37ක්. 

ලෙස්ටර් හැරෙන්නට ඇය වෙනත් චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණවලටත් රංගනයෙන් එක් වුණා. දයානන්ද ගුණවර්ධන ගේ ‘’බක්මහ දීගේ(1969)’, ටයිටස් තොටවත්තගේ ‘තෙවත’ (1970), අමරනාත් ජයතිලකගේ ‘ප්‍රියංගා’(1970), ගාමිණී ෆොන්සේකාගේ ‘සාගරයක් මැද’(1981), එච් ඩී. ප්‍රේමරත්නගේ ‘දෙවැනි ගමන’(1982), වසන්ත ඔබේසේකරගේ ‘දඩයම’(1981), චන්ද්‍රන් රත්නම්ගේ ‘ආදර කතාව’(1985) සහ ‘පොරොන්දුව’(2001), සුමිත්‍රා පීරිස්ගේ ‘ලොකු දුව’(1996), සුනිල් ආරියත්න ගේ ‘සුදු සෙවණැලි’(2002), රන්ජිත් කුරුප්පුගේ ‘පවන රළු විය’(2005), ‘සුළඟ අප රැගෙන යාවි ’(2019) ඒ අතරින් කීපයක්. ඊට අමතරව ඇය විදේශ විත්‍රපටවලද රඟපෑවා.. සුප්‍රකට ඇමරිකන් චිත්‍රපට අධ්‍යක්ෂ ස්ටීවන් ස්පීල්බර්ග්ගේ ‘ඉන්ඩියානා ජෝන්ස් ඇන්ඩ් ද ටෙම්පල් ඔෆ් ඩූම්’(1984), දීපා මේතාගේ ‘වෝටර්’(2005), ඉන් කීපයක්. 

ඇය පුංචි තිරයට එක්වෙමින් යශෝරාවය නැංවූයේ පරාක්‍රම නිරිඇල්ලගේ ‘යශෝරාවය’ (1980-) ටෙලි මාලා නාටකයෙන්. එහි ‘සුදු හාමිනේ’ ලෙසින් ඇය අති ප්‍රබල රංගනයක යෙදුණා. ජීවිතයේ දුක් ගැහැට විඳින  දරුවන් වෙනුවෙන් කැප වූ දිරිය මවකගේ චරිතය ඇය සියුම් රංගනයෙන් ඉස්මතු කළ ආකාරය අමතක නොවනසුලුයි එහිදී ඇගේ සැමියාගේ චරිතය රඟපෑ දක්ෂ චරිතාංග නළුවකු ව ඩබ්ලිව්. සුරේන්ද්‍රගේ නිර්මාණ ප්‍රතිභාව ද ඇගේ රංගනය ඔප්නැංවීමට හේතු වන්නට ඇති. එතැන් සිට පුංචි තිරයට ඇය නැතිවම බැරි රංගන ශිල්පිණියක පත් පත් වුණා. යශෝරාවයෙන් පසු ඇය රංගනයෙන් පණ පෙව්වේ නාලන් මෙන්ඩිස්ගේ ‘දූදරුවෝ’ (1990-95) මාලා ටෙලි නාටකයේ ඩල්සි ආච්චිගේ චරිතයටයි. එදා ලෙස්ටර් ‘ගම්පෙරළිය’ නවකතාව සිනමාවට නඟද්දී මාතර හාමිනේ ගේ චරිතයට ඇගේ හැඩරුව නුසුදුසු යැයි තීරණය කළත් තරුණ බර්ට්‍ර්ම් නිහාල් ‘ගම්පෙරළිය’(1988-) මාලා නාටකයක් ලෙස රූපවාහිනියට නඟද්දී ඇයට මාතර හාමිනේගේ චරිතය ලබා දුන් අතර ඇය ආකර්ෂණීය ලෙස රඟපෑ බැව් කිවයුතුයි. 

ඇය මේ වන විට ටෙලි නාට්‍ය මහත් රැසකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. ‘නෑදෑයෝ’, ‘අම්මයි තාත්තයි’, ‘සත්පුර වැසියෝ’, ‘මුතු කිරිල්ලී’, ‘අමන්දා’, ‘තාත්තා’, ‘විහඟ ගීතය’, ‘පාරාදීසය’, ‘නොනිමි යාත්‍රා’, ‘මගේ කවිය මට දෙන්න’, ‘වැටෙන් එහා’, ‘සුදු හංසයෝ’ ආදිය ඉන් කීපයක්. 

රේඛාවේ කතිරිනා, බක්මහ දීගේ ලමාතැනී, යශෝරාවයේ සුදු හාමිනේ, දූදරුවෝහි ඩල්සි ආච්චි ආදි වශයෙන් මේ සියලු විවිධ චරිත එකම රූපකායක කැටි වූ ඇති ආකාරය විස්මයජනකයි. සිංහල හා ඉංග්‍රීසි වේදිකාව, සිනමාව සහ රූපවාහිනිය යන කලා මාධ්‍ය තුනම ජයගත්, තවමත් රංගනයේ යෙදෙන ඇය අප අතර සිටින වයෝවෘද්ධතම එමෙන්ම දක්ෂතම චරිතාංග නිළියයි. 

ඉංග්‍රීසි නාට්‍යවල රඟපාද්දී ඇයට මෙරට සිටි දක්ෂ වේදිකා නළුවකු වූ වින්ස්ටන් සේරසිංහ මුණ ගැහුණා. ඒ මිතුරුදම විවාහයකට පෙරළුණා. 1999දි වින්ස්ටන් සේරසිංහ මිය යනතුරුම ඇයට ආදරණීය සැමියකු වුණා. ඒ විවාහයෙන් ඔවුන්ට රවි හා රංජිත් කියා පුතුන් දෙදෙනකු ලැබුණා. එයින් රවි අකාලයේ මිය යෑම නිසා අයිරාංගනීට විශාල වේදනාවක් ගෙන දුන් කරුණක් වුණා. 
‘යශෝරාවය’ මාලා නාටකයේ අයිරාගනී හා ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍ර

“එයාට වයස අවුරුදු 31යි. විවාහ ගිවිසගෙනයි, සිටියේ. එයා නිවස ඉදිරිපිට මහපාරේදීම අනතුරකට ලක්වුණා. බලාපොරොත්තු රැසක් ඉදිරියෙන් තියාගෙන ඉඳිද්දීම එයා අපව දාලා ගියා.” අයිරාංගනී කියන්නේ අතීතය සුසුමක පා කර හරිමින්. උපතින් කිතුනු දහම ඇදහු ඇය එයින් පසු වඩ වඩාත් බුදුදහමට සමීප වුණා පමණක් නොව අන්තිමේදී බුදුදහම වැළඳ ගත්තා. ඒ පෙරළිය සිදු වුණේ අහම්බෙන් මිතුරික ගෙනත් දුන් කිරින්දේ ධම්මානන්ද නාහිමියන් විසින් ඉංග්‍රීසියෙන් ලියූ ‘බුදු දහම හා ජීවිතය’ නම් පොත් පිංචකින්. 
අයිරාංගනී හා වින්ස්ටන් සේරසිංහ යුවළ.

සැමියාගේ අභාවයෙන් පසුව ඇය ජීවත්වන්නේ පිටකෝට්ටේ පදිංචි පොඩි පුතා වූ රංජිත්ගේ නිවසෙහියි. ඇය සිය මුනුබුරන් දෙදෙනාගේ ආදර හුරතල් ලබමින් එහි හිඳ පොතපත කියවමින් විවේකීව ඉන්නවා. අපි ඇයට තුනුරුවන් බෙලෙන් නිරෝගී ජීවිතයක් පතමු. 

- පර්සි ජයමාන්න 

Post a Comment

0 Comments