හර්තාල් ඉන්දියාවෙන් ලෝකයට ආ වචනයක්. සංස්කෘත භාෂාවෙන් බිඳී ආ මේ වදන හැදුණේ 'හත්ථ' (සාප්පු) හා 'තාල' (වැසීම) වදන් එක්වීමෙන්. මහත්මා ගාන්ධිතුමා ඉන්දියාවේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පාලනයට එරෙහිව ජාතික විරෝධතා ව්‍යාපාරයක් ලෙස 1919 අප්‍රේල් 6 වැනිදා ප්‍රථම හර්තාලය ආරම්භ කළා. කඩ සාප්පු වසා දමා කළු කොඩි ඔසවා සාමාකාමී ලෙස විරෝධය දැක්වීමක් තමා එදා සිදුවුණේ. හර්තාලය මගින් විරෝධය පමණක් නොව ශෝකයත් පළ කරනවා.
ශ්‍රී ලංකාවේ ප්‍රථම හර්තාලය සිදු කළේ මීට වර 69කට පෙර 1953 අගෝස්තු 12 වැනිදායි. අද වාගේ ම එදාත් ජන පීඩනයට එරෙහිවයි, එදා සහල්වලට රජයෙන් ලබා දී තිබුණු සහනාධාරය ඉවත් කිරීම නිසා ශත 25 දුන් හාල් සේරුව ශත 70ක් වීමත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවලට බදු පැනවීම නිසාත් අසීමිතව මිල ඉහළ යාමත් නිසා ජනතාවට සිදු වූ පීඩනය මත මේ හර්තාලය සංවිධානය කළේ මෙරට වාමාංශික වෘත්තීය සමිති ව්‍යාපාරයයි. එම හර්තාලයෙන් ඇති වූ විරෝධය හේතුවෙන් ඒ අවස්ථාවේ ආණ්ඩුවේ ප්‍රධානියා වූ අගමැති ඩඩ්ලි සේනානායක මහතාට ඉල්ලා අස්වීමට සිදු වුණා.
ඒ කතාව පටන් ගත්තේ මෙහෙමයි. 1952 මාර්තු 22 වැනිදා නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ ඩී. ඇස්. සේනානායක මහතා අසු පිටින් වැඩී මියයාම නිසා ඔහුගේ පුත් ඩඩ්ලි සේනානායක මහතාට අගමැති පදවිය හිමි වුණා. ඩී. ඇස්ගෙන් පසු අගමැති වීමේ අභිලාෂය ඇතිව සිටි එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වූ ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා ඉන් ඉවත් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා ගත්තා. ඒ අවුරුද්දේ මැයි මාසයේ පැවැත්වුණු මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ලොකු ජයක් වාර්තා කළා. එහි දී මැද පිළිවෙතක් අනුගමනය කළ නිසා බණ්ඩාරනායක මහතාට ආසන 9ක් ලබා ගැනීමට සමත් වුණේ වාමාංශික පක්ෂ ආසන සංඛ්‍යාව පහළ දමමිනුයි. ඒ අවස්ථාවේ එක්සත් ජාතික ආණ්ඩුව හොඳ තත්වයක පසුවුණා.
අපේ රටේ ආර්ථිකය රඳා පැවතුණේ මුළුමනින් ම බ්‍රිතාන්‍ය පාලකයන් මෙහි ස්ථාපිත කළ තේ, පොල්, රබර්, යන වැවිලි බෝග වගාවයි. ඒවා අපනයනයෙන් තමයි අපට විදේශ විනිමය ලැබුණේ. අද දෙකඩ වී තියෙන කොරියාව දෙරටක් බවට පත් කළ කොරියානු යුද්ධය ඇරැඹීමත් සමඟ අපේ රබර්වලට හොඳ ඉල්ලුමක් ලැබුණා. එදා තත්වය හොඳ වුවත්, වැඩි කලක් එසේ පැවතුණේ නැහැ. කොරියානු යුද්ධය අවසන් කාලය වන විට අපේ රබර්වලට තිබූ ඉල්ලුම පහත වැටුණු නිසා විදේශ විනිමය අර්බුදයක් ඇති වුණා.
මුදල් ඇමති ජේ. ආර්. ජයවර්ධන මහතා 1953 අයවැය ඉදිරිපත් කරද්දී සහල් සහනාධාරය කපා සිනිවලට ඉහළ බද්දක් පැනෙව්වා. ඒ අතර අපේ සහල් නිෂ්පාදනය ද අඩාල වූයෙන් පිටරටින් සහල් ගෙන්වීමට අපට සිදු වුණා. ඊට විදේශ විනිමය හිඟ වූයෙන් එවකට වෙළඳ ඇමති වූ ආර්. ජී.සේනානායක මහතා චීනය සමග රබර්-සහල් හුවමාරු ගිවිසුමකට එළඹුණා. පළමුවතාවට කොමියුනිස්ට් රටක් වූ චීනය සමග එළඹුණු ඒ ගිවිසුම ගැන බටහිරට ගැති මෙරට දේශපාලනඥයන් මෙන් ම ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ද විරුද්ධ වුණා.
1952 දී ශ්‍රී ලංකාවේ රුපියල් මිලියන 1209ක් වූ විදේශ වත්කම් ප්‍රමාණය 1953 දී අඩකින් අඩු වුණා. ඒ නිසා ලෝක බැංකු ආධාර සොයා ගිය විට සහනාධාර කප්පාදු කරන්නට උපදෙස් දුන් බවත් ඒ අනුව ක්‍රියා කරන්නට තමාට සිදුවූ බවත් මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තුවේ දී කීවා. එතෙක් ලබා දුන් සහල් සහනාධාරය කපා දැමීමත් සමග සත 25ට දුන් හාල් සේරුව රුපියල් 70ක් දක්වා ඉහළ ගියා. ඒ සමගම පාසල් ළමුනට දුන් දිවා ආහාරය අත් හිටෙව්වා. තැපැල් ගාස්තු සහ දුම්රිය ගාස්තු වැඩි කළා. මේවා විශාල ජනපීඩනයක් ඇති කළා.
මේ අයවැය ගැන කළයුතු ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීමට ජූලි 20 වැනිදා වෘත්තිය සංගම් එක්ව රැස්වීමක් පැවැත්තුවා. ලංකා කම්කරු සම්මේලනය, ලංකා කම්කරු සංගමය, ලංකා වෙළෙඳ සේවක සංගමය තමයි, ඊට එක් වුණේ. එහි දී එක් දින මහා වැඩ වර්ජනයක් කිරීම සඳහා තීරණයක් ගනු ලැබුවා.
සහල් මිල වැඩි කළ ජූලි 21 දා ම වරාය කම්කරුවන් සංකේත වැඩ වර්ජනයක් කළා. නිදහස් අධ්‍යාපනයේ පියා වන කන්නන්ගර මන්ත්‍රීවරයාගේ ආසනය වූ බලපිටියේ රන්දොඹේ ජනයා මහ පාරවල වැතිර ගමනාගමනයට බාධා කළා. ජූලි 23 වැනිදා ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, ඇතුළු දේශපාලන පක්ෂ නායකයන් ගණනාවක් සහභාගි වූ මහා ජනරැලියක් පාර්ලිමේන්තුව අසල ගාලුමුවදොර පිටියේ පැවැත් වුවා. (අද දෛවයේ සරදමකට මෙන් ඒ ගොඩනැඟිල්ල ජනාධිපති කාර්යාලය බවට පත් වී තියෙනවා. අද අරගලය නමින් ආ දෙවැනි හර්තාලයට සටන් බිම වී තියෙනවා.) එදා රැලියෙන් පසු ඇතැම් පිරිස් පාර්ලිමේන්තුව දෙසට යාමට උත්සාහ කරද්දී පොලිසිය උද්ඝෝෂකයන්ට පහර දී විසුරුවා හැරියා.
ඒ කාලයේ වමේ පක්ෂ තුනක් ක්‍රියාත්මක වූ අතර හර්තාලය පැවැත්වුණේ මෙම පක්ෂ තුනේම එකමුතුවෙනුයි. ඒවායේ නියෝජනය කරමින් ලසසපය වෙනුවෙන් ලෙස්ලි ගුණවර්ධන, විප්ලවකාරී ලංකා සම සමාජ පක්ෂය වෙනුවෙන් පිලිප් ගුණවර්ධන, කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ මහත්වරුන් මේ තීරණය ගත් රැස්වීමට සහභාගි වුණා. මෙම පක්ෂ තුනේ වෘත්තීය සමිති සම්මේලන සභාපතිවරුන් වූ එන්.එම්. පෙරේරා (ලසසප), පීටර් කේනමන් (කො.ප.), සී. හික්කඩුවගේ (වි.ල.ස.ස.ප) ද ලංකා කම්කරු සංගමයේ ඒ.ඊ. ගුණසිංහ සහ ලංකා වෙළෙඳ සේවක සංගමය (CMU) වෙනුවෙන් බාලා තම්පෝ ද ඊට එක්වී සිටියා. අගෝස්තු 12 වනදා හර්තාලය පවත්වන දිනය නම් කර ඒ වෙනුවෙන් එක්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින ලියවිල්ලක් පළ කරනු ලැබුවා.
එම ලියැවිල්ලෙන් ඔවුන් තවදුරටත් ඉල්ලා සිටියේ තම තමන්ගේ ආයතන වසා තැබීමෙන්, පාසැල් සහ රැකියා ස්ථානවලට නොපැමිණීමෙන්, කළු කොඩි එසවීමෙන් සහ විරෝධතා රැස්වීම් පැවැත්වීමෙන් මෙම විරෝධතාවට සාමාකාමීව දායක වන ලෙසයි.
මේ අතර ආණ්ඩුව හර්තාලයට සහභාගී වන රජයේ සේවකයන් නෙරපන බවට අනතුරු ඇඟවීමක් කළා. ආපනශාලා හා වෙළෙඳසැල් වසා තබන අයගේ බලපත් අහෝසි කරන බවට ආහාර කොමසාරිස් ද ප්‍රකාශයක් නිකුත් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හර්තාලය අනුමත කළත් ඊට නිල වශයෙන් ක්‍රියාත්මක සහයක් ලබා දීමෙන් වැළකී සිටියා.
අගෝස්තු 11 වනදා මධ්‍යම රාත්‍රියේ සිටම දුම්රිය දෙපාර්තමේන්තුවේ “රනින්ග් ශෙඩ්” කියා හැඳින්වුණු එන්ජින් අංගනයෙන් තමයි, වැඩ වර්ජනයක් ඇරඹුණේ. උදේ වන විට සෞඛ්‍ය සේවය හැරුණු විට සියලුම අංශවල සේවකයන් වැඩ වර්ජනය එක් වුණා. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ජනජීවිතය මුලුමනින්ම ඇණහිටියා. ඒ අතර ප්‍රදේශ ගණනාවක පෙළපාලි සහ රැස්වීම් පැවැත්වුණා. කොළඹ මහනගර සභා ගොඩනැගිල්ලේ සහ මොරටුව නගර සභා ගොඩනැගිල්ලේ පවා කළු කොඩි ඔසවන්නට විරෝධතාකරුවන් සමත් වුණා.
රජය හදිසි නීතිය ප්‍රකාශ කර පෙළපාලි සහ රැස්වීම් තහනම් කළා. මේ අතර අගමැති තුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය රැස්වූයේ කොළඹ වරායෙන් පිටත නවතා තිබූ බ්‍රිතාන්‍ය නැවකයි. එය HMS නිව්ෆවුන්ඩ්ලන්ඩ් කියා සඳහන් වෙනවා. අගෝස්තු 12 සහ 13 දිනවල ජනතා පෙළපාලිවලට පොලිසිය වෙඩි තිබ්බා. ඒ වෙඩි ප්‍රහාරවලින් 11 දෙනකු මිය ගිය බව සඳහන් වෙනවා.
හර්තාලය නිසා ජනතා විරෝධයට ලක් වූ ඩඩ්ලි සේනානායක මහතාට අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදු වුණා. ඔක්තෝබර් 12 වනදා සර් ජෝන් කොතලාවල මහතා නව අගමැති ලෙස පත් වුණා. ජේ.ආර්. ජයවර්ධන මහතාට මුදල් ඇමතිකම අහිමි වුණා. ඔහුට කෘෂිකර්ම ඇමතිකම ලැබුණා. ඒ අතර හාල් සේරුවේ මිල ද ශත 55 තෙක් පහළ දමනු ලැබුවා.
මෙය ලංකාවේ සිදු වූ මුල්ම හර්තාලයයි. සටන් මර්දනය කිරීමට යෙදූ පොලිස් සහ හමුදා සමඟ ඇතිවූ ගැටුම් තුළින් කිහිප දෙනෙක් මිය ගියහ. ආණ්ඩුව එදින හවසම රටපුරා හදිසි නීතිය පැන වූ අතර කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඇදිරි නීතිය ද පැනෙව්වා. කොමියුනිස්ට් පුවත්පත වූ 'මව්බිම' සහ සමසමාජ පක්ෂයේ පුවත්පත වූ 'සමසමාජය' පුවත්පත මුද්‍රණය කළ මුද්‍රණාලවලට සීල්තබා පුවත්පත් පාලනයක් ඇති කෙරුණා. හර්තාලයට සහභාගිවීමේ ‘වරදට’ ප්‍රාදේශීය නායකයින් සහ ක්‍රියාකාරීන් 499 දෙනෙකුට නඩු පවරනු ලැබුවා.
- පර්සි ජයමාන්න
0 Comments