HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

සිරි ලංකාවේ කොන්කිරිත්තු රජතුමාගේ උපමා කතාව

ලේක්හවුසියේ සේවය කරද්දී මා ලද ලොකුම වාසනාව විවිධ නිර්මාණශීලි හැකියාවන් ඇති පිරිස් ඇසුරු කිරීමට ලැබීමයි. ඒ අතුරින් මගේ සිත්ගත් අමුතුම චරිතය අද ශ්‍රී ලංකාවේ නැහැ. සිංහලෙන් ලියන්නට උපන් හැකියාවක් ඇති, හෙළබසට, දෙසට, රැසට අසීමිත ලෙස ආදරය කළ අයෙක්. ඔහු අපේ රටේ සිටිය යුතු ම චරිතයක්. අපේ වදන් සවිය වැඩුණේත් ඔහු ඇසුරෙන්. 

මා ඒ කාලයේ උපමා කතා, ගැන විශාල උනන්දුවක් දැක්වූවා. ලෝකය පුරා විසිර ඇති උපමා කතා සොයා වරින් වර නවයුගය‍, සරසවිය, මිහිර ඇතුළු පුවත් පත් සඟරාවල පළ කළා. 1968 දී 'නස්රුදින්' සිංහල පාඨකයන්ට හඳුන්වා දුන්නේ ඒ අනුවයි. 'මල්කැකුළු' රසිකයන් වන ඔබට 'නස්රුදින්' හුරුපුරුදුයි. ඒවා විදේශ උපමා කතා. 

ඒත් අපේ රටේ එවැනි ස්වතන්ත්‍ර නිර්මාණ කළ හැකි වර්තමානයේ ජීවත්වන අපූරු ලේඛකයන් ඉන්නවා. ඒත් අතළොස්සයි. එයින් උඩින් ම ඉන්නේ ඔහුයි. 'සිළුමිණ' පත්‍රයේ දී ඔහු සිළුමිණට 'තිලකයක්' වුණා. පසුව 'නවයුගය'ට ආපසු මගේ 'මිතුරුවන' බවට පත් වුණා. අපේ රටෙන් සමුගෙන ඉතාලියට ගියාට පස්සේ ඔහුගේ නිර්මාණ අපට රස විඳින්නට ලැබුණේ මුහුණු පොතෙන් විතරයි. ඔහු තමා තිලක නවරත්න. ඔහුගේ මේ නිර්මාණය අදට ඉතා හොඳින් ගැළපෙන උපමා කතාවක්. 

මේ උපමා කතාව මුලින් ම පළ වුණේ ඔහු ශ්‍රී ලංකාවේ සිටියදී පළ කළ "අලි පෙරළිය" (1998) නම් උපමා කතා පොතෙයි. පසුව මෙය ඔහුගේ මුහුණු පොතේ පළ වුණා. ඒ 'තිලක නවමිණි' නමින්. 

සිරි ලංකාවේ කොන්කිරිත්තු රජතුමා 


ඒ කාලයේ වනයේ රජු තේරුවේත් අනෙක් සතුන් ගේ කැමැත්ත විමසා බලා ය.(ඡන්දය විමසා ය) වනයේ සිටි සතුන් ගෙන් බහුතරය කෝඳුරුවන්, කුහුඹුවන්, වේයන්, මදුරුවන් වැනි සත්තු. ඉතින් වන රජතුමන් තේරුණේ වැඩිමනක් මේ පුංචිම සතුන් ගේ කැමැත්ත ලබා ය. එහෙත් රජකම ලද පසු ව ඡන්දය දුන් එම කුඩා සතුන් පිළිබඳව රජු විසින් සොයා බැලුවේ වත් උදව් කෙළේ වත් නෑ. 

නගරයේ හැදී වැඩී කැලයට පැමිණි ගිරවකු සිටියා. ඒ ගිරවා කුඩා සතුන් සමඟ බොහෝ ම හිතවත්. 

මේ ගිරවා කුඩා සතුනට මෙ සේ කීවා: " ඔය රජ සතාට මීට පස්සේ කිසිවකු "රජා" කියන්න එපා. 'කොන්කිරිත්තුවා' කියන්න." කියා. 

ඉතින් එ තැන් සිට කැලේ පුංචි සතුන් සියලු දෙනා ම රජුට කීවේ "කොන්කිරිතුවා" කියා යි. 

මේ නම ගැන රජුට ද ආරංචි වුණා. එයින් රජු හොඳට ම කෝප වුණා. ගිරවාට එරෙහි ව නඩුවක් දැම්මා රජුට නිගා කෙරෙන නමක් පට බැන්දා ය කියා. 

නඩු විභාගයේ දී තම නිදහසට කරුණු ඉදිරිපත් කරමින් ගිරවා මෙ සේ කීවා."සුවිසල් මන්දිර ඉදිවන්නේ කොන්කිරිත් කණු මත යි. කොන්කිරිත් ඉතා ම සවිමත්. එහෙත් කොන්කිරිත් ඒ සවිය ලබා ගැනීම පිණිස දුබල උණ මුක්කු රැසක උදව්ව ලබා ගන්නවා. ඒ උදව්ව ඇති ව සවිමත් වී අර දුබල උණ කණු පෙරලා දමනවා. යළි මුක්කු සොයන්නේ වත් කළගුණ සලකන්නේ වත් නෑ. ඒ තමා කොන්කිරිත් සිරිත. ඒ වගේ ම කුඩා සතුන් ගේ ඡන්දය ලබා බලයට පත් රජුත් අනුගමනය කරන්නේ කොන්කිරිත් පිළිවෙත යි. රජු විසින් ඒ අකෘතඥ කොන්කිරිත් පිළිවෙත අත්හළොත් සතුන් විසින් යළිත් රජ නමින් අමතාවි." 

රජුට කොන්කිරිත් සිරිත අත්හරින ලෙස වන උසාවිය අවවාද කළා. 

ආප්ත වැකිය:  කොන්කිරිත් සිරිත රජකමට නො හොබී. 

 - තිලක නවමිණි

Post a Comment

0 Comments