මා ලේක්හවුසියේ සේවය කරද්දී මට ශ්‍රී ලංකාවේ විශිෂ්ට ගීත රචකයන් කීප දෙනකු ම ඇසුරු කරන්න ලැබුණා. අජන්තා රණසිංහ, තිලකරත්න කුරුවිට බණ්ඩාර, ධර්මසිරි ගමගේ, සමන්චන්ද්‍රනාත් වීරසිංහ යන ඒ සිව් දෙනා අතරින් මා අවසාන වරට හඳුනා ගත් මිත්‍රයා සමන්චන්ද්‍රනාත් වීරසිංහයි. ඔහු ඒ වන විට 'ලංකාදීප' පුවත්පතේ සේවය කර ජ්‍යෙෂ්ඨයෙකු ලෙස ලේක්හවුසියට ආවත් අපේ ආධුනික පත්‍ර කලාවේදීන් ඇසුරු කළේ සම වයසේ මිතුරු මිතුරියන් ලෙසයි. නිතරම ඔහුගේ මුවඟ පැවති සිනහව සංවාදයකට ඇරයුම් කරන්නක් බඳුයි. මට වඩා වසර තුනක් බාල වුවද ඔහු මා හා සුහද වූයේ ආත්ම ගණනාවක් තිස්සේ පැවති බැඳීමක් ඇති අයකු ලෙසයි.
'සිළුමිණේ' සේවය කළ ඔහු දිනපතා මා බලන්නට 'නවයුගය'ට ඇවිත් මා සමග කතාබහේ යෙදෙන්න අමතක කළේ නැහැ. ඔහුගෙන් මා ඉගෙන ගත් දේ බොහෝයි. මොරටුුව වේල්ස් කුමාර විදුහලේ ඉගෙන ගත් ඔහුට ඒ පළාත ගැන කියන්න බොහෝ දේ තිබුණා. පුද්ගලයන් ගැන රසකතා තිබුණා. සාහිත්‍ය සංගම් ගැන සාහිත්‍යය වෙනුවෙන් කරපු සටන් ගැන කීවා..ඒ හැම දෙයක් දිහාම ඔහු බැලුවේ අමුතුම කෝණයකින්.
"මෙහේ නම් ලේඛකයන්ගේ පුත්තු හුඟක් ඉන්නව. ඔයත් එහෙමද 'ලංකාදීපය'ට ගියේ ?" මං දවසක් නිකමට වගේ ඇහුවා.
"පිස්සුද? මම උප්පැන්න සහතිකකාරයෙක් නෙෙවයි. මගේ තාත්තා නිසා මං මේ රස්සාව තෝර ගත්තෙ නෑ. තාත්තා කිසිදාක මාව ලියන්න කියලා උනන්දු කළෙත් නෑ. මං පුංවි කාලේ ඉඳලම පත්තරවලට කවිි කෙටිකතා ලියලා යැව්වා. ඒවා පත්තරවල පළ වුණා. වැඩිපුර ම ලිව්වෙ කෙටිකතා. තරඟවලින් මගේ කෙටිකතා වලට සම්මානත් හම්බ වෙලා තියෙනවා." \
"එතකොට විමල් වීරසිංහ මහත්තයා (ඔයාගේ තාත්තා) වැඩ කරපු 'ලංකාදිපෙ'ට ආවේ කොහොමද?"
"ඒ හුඟක් පස්සේ. මං පිරිවෙනේ ඉස්කෝලෙට ගිය කාලේ මහානාම දිසානායක මහත්තයා අපේ තාත්තා අතේ පණිවිඩයක් එවලා තිබ්බා, 'කොල්ලට කියපන් බලන්න, සයිරස් ලියපු 'කාලයේ සටහන' ලියන්න' කියලා. ඒ ඊට කලින් මං ලියපු දේවල් ගැන පැහැදිලා වෙන්න ඇති. මං මුලින් ම ලංකාදීපයට ලිව්වේ පියා හා පුතා කියලා කවි පන්තියක්. ඊට පස්සේ මං ලියූ නාට්‍යයක් 'රසවාහිනි' සඟරාවෙ පළ වුණා. ඒ කාලේ රසවාහිනි කර්තෘ වුණේ පී. ආර්. වික්‍රමසිංහයි. මහනාම දිසානායක මහත්තයා මැදිහත් වෙලයි, ඒ නාට්‍යය පළ කළේ. ඒ අනුව තමයි, එතුමා මට තාත්තා අතේ පණිවිඩයක් එව්වේ. හදිසියේ මියගිය ප්‍රවීණ ලේඛක සයිරස් ඩබ්ලිව්. සුරේන්ද්‍ර මහත්තයා ලියපු කොලම ලියන්න කියල. මම එකක් ලියලා යැව්වා. ඊට පස්සේ පාසල් යන ගමන් මට ඒක දිගට ම ලියන්න සිද්ධ වුණා." ඔහු දිගට ම කියා ගෙන ගියා.
මා ලේක්හවුස් ආයතනයෙන් විශ්‍රාම ගෙන යද්දී සමන් ඔහුගේ මෝටර් රථයෙන් මා සමග මගේ ගමට යන්න ආවා. ඔහුට මගේ ගම බලන්න ඕනෑකමක් තිබුණා. "මට හොඳ ගෙයක් හම්බ වුණොත් මං මේ ගමේ පදිංචි වෙනවා." ඔහු ගමේ වෙල්යාය මැදින් යන ගමන් කීවා. ඒත් හිතට අල්ලන එකක් හමු වුණේ නෑ. ඒ වතාවේ අපි වෙන් වුණා. ඊට පස්සේ මගේ මවගේ අවමඟුලේ දී ඔහු හමු වුණා. නැවත සාහිත්‍ය හා ගීත රචනා විනිශ්චය මණඩලයක සාමාජිකයන් ලෙස හමු වුණා.
ඊට පස්සෙ මා විදෙස් ගත වුණු නිසා අප එකිනෙකා හමු වුණේ නැහැ. දුරකථනයෙන් තමයි, ඉඳහිටවත් කතාබස් කළේ. එතෙර සිට දුරකථනයෙන් මා ඔහුට කතා කළ අවස්ථාවේ දී ඔහුගේ අලුත් නිර්මාණ ගැන මට විස්තර කිව්වා. "මං අන්තිමට චිත්‍රපටයකට ගී ලිව්වේ 'කැළෑහඳ' නව නිෂ්පාදනයට. දයාරත්න රටගෙදර තමයි අධ්‍යක්ෂණය කරන්නෙ. පරණ 'කැළෑහඳේ' මොහිදීන් බෙග් ගැයූ 'මායා... මායා' ගීයටයි, රුක්මනී දේවි ගැයූ 'මැවිලා පෙනේවි රූපේ' ගීතයටයි, අලුත් වචන දාලා ගී දෙකක් ලියන්න. ඒ ගී දෙක ගැයුවෙ මොහිදීන් බෙග් පුතා ඉල්ලියාසුයි, අමිලා නදීශානියි" ඔහු ටෙලිෆෝනයෙන් කීවා. "මං ආශාවෙන් ඉන්නේ ඒවා අහන්න" මං එදා කිව්වා. ඒත් මට ඒ ගී රස විඳින්න තාම අවස්ථාව ලැබුණේ නැහැ.
ඔහුගේ නිර්මාණයක් ගුවන්විදුලියෙන් ඇසෙන හැම වෙලාවකම ඔහු මගේ මතකයට එනවා. ඒ නිසා ඔහුගේ අපූරු ගීත නිර්මාණ තුළින් අන්තර්ජාලය ඔස්සේ ලොව පුරා රසිකයන්ට ඔහුව ඇසුරු කරන්න ඉදිරියේ දිත් හැකි වෙනවා සිකුරුයි. මා ඔහුගේ 1500ක් ගී අතරින් වඩාත් ජනප්‍රිය ගීත රචනා කීපයක් සිහිපත් කරන්න කල්පනා කළා, ඔවුන්ට ඒ සඳහා මඟ පෙන්වීමක් හැටියට, මේ සටහනෙන්.
ඔහු චිත්‍රපටවලට ලියූ ගීත අතර මං කැමති ගී ගණනාවක් ම තියෙනවා. එයින් 'ආත්මා' චිත්‍රපටයට ලතා එක්ක ග්‍රේෂන් ගැයූ 'හිම රේණු වැටෙනා සීතලේ' ගීතයේ පදමාලවත් සරත් දසනායකගේ සංගීතයත් කිසිදාක අමතක කරන්න බැහැ.
නෙත ගාව රඳවා ආදරේ
සුදු සේල සුළඟේ පා කළේ
ඔබ නේද මාගේ බිසෝ
රන් තෝඩු සැලෙනා රාවයේ
සිත ගාව බැන්දූ මාලිගේ
රතු රෝස යහනා සෑදුවේ
මට නේද මගෙ මල්සරෝ'
සමන්චන්ද්‍රනාත් 'ඡායා' චිත්‍රපටයට එච්. ආර්. ජෝතිපාල වෙනුවෙන් ලියූ මේ ගීතයත් ඒ චිත්‍රපටයට වඩා අපේ හිතේ ඇඳී තියෙනවා.
යුග නුවන් කොනේ රැහැන් ලිහා
නොයන් මා දමා
හද පැතුම් පුරේ නිරන්තරේ
මැවෙයි ඔබේ ඡායා'
සමන් චන්ද්‍රනාත් පාසලේ දී විද්‍යාව ඉගෙන ගත් අයෙක්. ඔහු ඒ විද්‍යාව යොදාගෙන තවත් අපූරු ගීයක් ලිව්වා. ගීතයේ ස්වර රචනය කරල ගායනා කළෙත් විද්‍යා උපාධියක් තියෙන සංගීත විශාරදයෙක්. ඒ දයාරත්න රණතුංගයි. ගීතය දැනටමත් ඔබට මතක්වූවා නිසැකයි. ඔව් මෙන්න බලන්න ගණිත විද්‍යාවේ ජ්‍යාමිතියේ හැඩතල යොදාගෙන ක¸ළ ඒ අපූරු ගීය.
ඔබත් මාත් ඇයත් තිදෙන
ඔබ එක මුල්ලක සිටියා
ඇය තව මුල්ලක සිටියා
නෙත් සතරක පහස ලබා
මම මේ මුල්ලේ සිටියා'
කීර්ති පැස්කුවල්ටයි, ධම්මිකා වල්පොළටයි සමන් ලියූ මේ ගීයත් අපට අමතක කරන්න බැරි එකක්.
නුඹදෝ රැහේ කෝකිලා
මගෙ පාඩුවේ – යන්ට යනවා ඔහේ
අනේ සාමි හැන්දෑ වෙලා’
ඔහු මාලනී බුලත්සිංහල වෙනුවෙන් 'හෙට උපදින පුතුට' කියා අමුතු ආකාරයේ දේශාභිමානී ගීතයක් ලිව්වා. එය මාලිනී බුලත්සිංහල ගැයූ ගී අතරින් වඩාත් ජනප්‍රිය එක යනු මගේ හැඟීමයි.
දිවැස් හෙලන පුතුනේ
බලාගන්න පුත - බලාගන්න පුත
ලස්සන ලක් දෙරණේ '
හෙට උපදින පුතුටයි
කම්හල් නව නිපැයුම් නිමවන්නේ
ඒ සුරතල් පුතුටයි’
"71-72 කාලේ ගුවන්විදුලියේ වැඩ සටහනක් තිබුණා, 'රන්කෙතයි - කම්මලයි' කියලා. සංවර්ධනය ගැන ප්‍රවර්ධනය කරන්න පටන් ගත්තු ඒ වැඩ සටහනට ලියලා යවන ගීත ඊට සම්බන්ධ වෙලා හිටපු සංගීතඥයන්ට තෝරා ගන්න දෙනවා. ඒ වැඩ සටහනට ආපු ප්‍රේමසිරි කේමදාස 'සොඳුර මට සමුදෙන්න' පදමාලාව තෝරා ගත්තා. ඔහුගේ තනුවකින් ඔපවත් කළ ඒ ගීය, සුප්‍රකට වයලීන් වාදකයකු වූ ඩී. ඩී. ගුණසේන ජනප්‍රිය ගායකයෙකු කළා." සමන් මා සමග වරක් අතීතය මෙනෙහි කරමින් කීවා මට මතකයි. මෙන්න සමන්ගේ ඒ ගීයේ පදමාලාව.
ඈත ගමේ සරු පස පෙරළන්නට
මා යනවා අද උදෑසනේ
සවන වැකෙනා කුරුළු ගීතය
ඔබේ මුදු පිය වදන් වාගේ
නිවාලනු මැන මගේ සරතැස
සොඳුර මට සමුදෙන්න සමුදෙන්න
අස්වනු පීදී කරලින් බරවී
මුළු රට ඉතිරෙයි ජය පානේ
ඉරහඳ පායන වසන්තයේ
අපි බොමු මංගල මධුපානේ
සොඳුර මට සමුදෙන්න සමුදෙන්න'
අමරදේවයන් චන්ද්‍රිකා සිරිවර්ධන සමග ගැයූ 'කැන්දන් යන්නේ කවදද මා' යන ගීතයත් ඒ වැඩ සටහනට ලියූ එකක්. ඒක තෝරා ගත්තේ ෂෙල්ටන් ප්‍රේමරත්නයි.
සුනිල් එදිරිසිංහ ගුවන්විදුලියේ සරල ගී පරීක්ෂණයෙන් සමත් වී ගැයු මුල්ම ගුවන්විදුලි ගීත රචනය කළේත් සමන්චන්ද්‍රනාත් වීරසිංහයි. එහි තනුව පී.වී නන්දසිරිගෙයි. මේ ඒ ගීතයයි.
සත්සර නංවන සුමිහිරි රාවය
සුමිහිරි රාවය
කෙතක ගොයම් නෙළනා ළඳුනේ
දෙතොළට ගීයට මුසුකළ මැනවි
මුසු කළ මැනවි’
නීලා වික්‍රමසිංහ ගයන 'අම්මයි මමයි', 'චූටි නංගියේ', 'ප්‍රේම අසපුව', මාලිනී බුලත්සිංහල ගයන 'පෙර සංසාරේ', 'පියාණනි', චන්ද්‍රිකා සිරිවර්ධන හා සුනිල් සිරිවර්ධන ගයන 'රණ්ඩු වෙවී යාළු වෙවී', 'මමයි අප්සරාවී' , ගුණදාස කපුගේ ගයන 'මාවතේ ගීතය', 'නාඹර ගොයමට', ජගත් වික්‍රමසිංහ ගයන 'හිම පාරාදීසයේ' කීර්ති පැස්කුවල් ගයන 'කඳුළ ඉතින් සමා වෙයන්', නෙරන්ජලා සරෝජිනී ගයන 'ලොව නිසසල වී' අතුල අධිකාරි හා සමිතාගේ 'ඔබ ලැබෙනා තුරා', පුන්සිරි සොයිසා ගයන, 'සෙව්වන්දියකට පෙම් බැන්දා', 'ගංගා දියවැල් ගලා', ‘බිඳුවක් ඉවසා‘,සුජාතා අත්තනායක ගයන ‘හතර වටින් කළුකරගෙන‘, රූකාන්ත ගුණතිලක හා චන්ද්‍රලේඛා ගයන ‘සඳලේඛා‘, ආර්. ඒ චන්ද්‍රසේනගේ 'දේව වස්සතු කාලේන' ඇතුළු ඔහු ලියූ ගීත 1500 කට ආසන්නයි.
ගුණදාස කපුගේ සිට රුක්මන් අසිත දක්වා ද ෂෙල්ටන් ප්‍රේමරත්න, ප්‍රේමසිරි කේමදාස, ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු, ආර්.ඒ. චන්ද්‍රසේන, දයාරත්න රණතුංග, සරත් දසනායක, සරත් ද අල්විස් හා ස්ටැන්ලි පීරිස් ආදී වශයෙන් දිවයිනේ ප්‍රකට සංගීතඥයන් හැම දෙනෙකුට ම වාගේ ගී පද ලියා දුන්නා.
මේ ගීත 79ක් පමණ එක්කොට ඔහු පළ ගේය පද සංග්‍රහයට රාජ්‍ය සාහිත්‍ය සම්මානයක් ද හිමි වුණා, මට මතකයි.
සමන්ගේ අභාවයෙන් ශෝකවන ඔහුගේ භාර්යාව වූ දයාලතාටත් ටිකිරි කුමාරි, නදී කුමාරි දියණියන් දෙදෙනාටත් චාමීකර පුතුටත් 'මල්කැකුළු' ශෝකය පිරිනමමු.
- පර්සි ජයමාන්න
3 Comments
සමන් චන්ද්‍රනාත් කලා කරුවා ගැන අප නොදත් බොහෝ දෑ අඩංගු කළ එම ලිපිය බෙහෙවින් වැදගත් ලෙස මට හැගෙනවා. 70 දශකයේ අප ඇසූ දේශානුරාගී ගීත බොහොමයක වචන පවා තවම මතකයේ පවතින මුත් ඉන් සමහරක් ලිව්වේ මෙතුමන් බව දැන සිටියේ නැහැ...සොඳුර මට සමු දෙන්න ..ඩි. ඩී. ගුනසේනගයන ගීතය සතියකට පමණ පෙර මානැවත ශ්‍රවණය කළා...ලිපිය සමගහිත අතීතයට රැගෙන ගිය බව ද සදහන් කල යුතුයි.. එතුමන්ට නිවන් සුව පතමි.
ReplyDeleteඔබේ අදහස් දැක්වීමට තුති! ඔහු හැමවිටම වෙනස් කෝනයකින් බැලූ රචකයෙක්.
Deleteහරිම ආදරණීය සහ සොදුරු සටහනක්.
ReplyDelete