සල්පිටි කෝරළයේ පිළියන්දල නගරයට සමීප වෑවල ගමේ උපන් පුංචි මිනිහෙක් කොළඹ ආවේ තමන්ටම කියා අනාගතයක් හදා ගන්නයි. ඔහු වෑවල රජයේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා තිබුණා. ඒ ඉංග්‍රීසින් මෙරට පාලනය කළ සමය වූ නිසා ඔහුට මුලින් ම අවශ්‍ය වුණේ ඉංග්‍රීසි ඉගෙන ගන්නයි. ඒ අනුව ඔහු ඉංග්‍රීසි ඉගෙනුම පිණිස කොළඹ වෙස්ලි විදුහලට ඇතුළත් වුණා. ඒත් පාසල් ගාස්තු අධික වූ නිසා ඒ කටයුත්ත ඉදිරියට කර ගෙන යාමට ඔහුට හැකි වුණේ නැහැ. ඒ නිසා ඔහු ඒක අත්හැර දමා වෙදමහත්තයකු ළඟට වෙදකම ඉගෙන ගන්නට ගියා. වෙද මහත්තයාගේ නියෝගය උඩ එහිදී ඔහුට පාලි සංස්කෘත ඉගෙනීමට සිදු වුණා. ඒ සඳහා ඔහුට බොහෝ සේ වෙහෙස වෙන්නට සිදුවුණා.
ඔය අතර දවසක අගනුවර කඩයක් දමා ගෙන සිටි ඔහුගේ අයියා මල්ලී කොළඹ ආ බව දැන ගෙන මල්ලීගේ දුක සැප සොයා බලන්න ඔහු සොයා ආවා. ඒ එන කොට මල්ලී ඉතා අමාරුවෙන් සංස්කෘත පාඩම් කරනු දක්නට ලැබුණා.
"මල්ලියේ ඔහොම වද විඳින්න කාරි නෑ. මා එක්ක වරෙන් උඹට වෙළදාම ඉගෙන ගන්න පුළුවන්." ඔහු මල්ලීට කීවා. ඒත් මල්ලී ඒකට කැමති වුණේ නැහැ. වෙළදාම ගැන ඔහුට පැහැදීමක් තිබුණේ නෑ. ඔහුට අවශ්‍ය වුණේ යහපත් රස්සාවක් කරන්නටයි.
"මට ඉගෙන රස්සාවක් කරන්න ඉස්සෙල්ලා ඉගෙන ගන්න හිතයි මාව පුළුවන් නම් දියගල බෝයිස් ඉන්ඩස්ට්‍රියල් හෝම් එකට දමන්න. මං කැමතියි මුද්‍රණ ශිල්පය ඉගෙන ගන්න." ඔහු අයියාගෙන් ඉල්ලා සිටියා. අයියා මුදල් ගෙවා ඒ සඳහා යැව්වා.
ඉන් ලද පුහුණුවෙන් පසු ඔහු පළමු රැකියාව ලෙස තෝරා ගත්තේ එච්. ඇස්. පෙරේරා කර්තෘ ලෙසින් ඇරැඹුණු ‘දිනමිණ’ පත්‍රයේ අකුරු ඇමිණීමයි. ඒත් හදිසියේ අසනීප වීම නිසා ඒ රස්සාව දිගට ම කරන්න බැරි වුණා, ඒ නිසා ඔහු ඒ් රස්සාව අතහැර ආපසු ගෙදර ගියා.
ඉන්පසු ඔහු යළිත් කොළඹ ආවේ රජයේ මුද්‍රණාලයට බැඳෙන්නයි. එහෙත් එවකට එහි ඉංග්‍රීසි ජාතික ප්‍රධානියා විදේශ ගතව සිටි නිසා ඒ රැකියාව හරි ගියේ නෑ. ඒ නිසා ඔහු අලුත්කඩේ ‘ඉන්ඩිපෙන්ඩන්ට්’ ඉංග්‍රීසි පුවත්පත මුද්‍රණ කළ ආයතනයට බැඳුණා. ඒත් අකුරු අමුණන්නෙකු විදියටයි.
ඒත් ඔහු අකුරු ඇමිණීමෙන් නතර වුණේ නැහැ. ටිකෙන් ටික ඔහු මුද්‍රණ අංශයේ හැම කාර්යයක් පිළිබඳවම ලත් දැනුම හා කුසලතාව නිසාත්, ක්ෂේත්‍රයේ ඇසුරු කළ අයගේ ප්‍රසාදය හා විශ්වාසය දිනා ගත්තා. ඒ නිසා ඔහු ගැන මුද්‍රණාලවල සේවකයන් අතර නිතර කතා බහ ඇති වුණා.
වේල්ල වීදියේ විජේවික්‍රමගේ ජෝන් අප්පුහාමි ඔහු සොයා ආවේ ඒ අනුවයි. ඔහුට අයත් ‘වික්ටර් ප්‍රෙස්’ එකේ කළමනාකාර තනතුර භාර ගන්නා ලෙස ඔහු මේ තරුණයාගෙන් ඉල්ලා සිටියා. ඒ වන විට මුද්‍රණ අංශයේ හැම වැඩක් ගැන ම හොඳින් දැන සිටි ඔහු ඒ නව රැකියාව ඉතා සතුටින් බාර ගත්තා.
ඔහු එහි හැම වැඩක්ම කළා. වැඩ සොයා ගෙන ගියා. කළ වැඩ අනුග්‍රාහකයන්ට ගෙනිහින් දුන්නා. ඒ නිසාම ඔහුට වැඩි වැඩියෙන් ඇණවුම් ලැබුණා.
දවසක් ඔහු උදේ වැඩට ආවේ 10ට විතරයි. එ් එසේ වැඩ සොයා ගිය ගමනකින් පසුවයි. ඒ බව නො දැන හදිසියේ එහි ගොඩ වූ මුද්‍රණාලයේ හිමිකරු ජෝන් අප්පුහාමි ඔහුට පමාවීම ගැන දොස් කීවා. ඔහු අවංක අයකු වූ නිසා නිදහසට කරුණු නො කියා වහාම ඉල්ලා අස්වීම බාර දී එවේලේ ම ගෙදර ගියා.
සතියක් ගත වුණා. ජට තමා කළ වරද අවබෝධ වුණා. ඔහු ඒ තරුණයා සොයා වෑවල ගමට ගියා. තමා කළ වරදට සමාව ඉල්ලුවා. යළිත් පුරුදු පරිදි වැඩට එන ලෙස ජෝන් අප්පුහාමි ඉල්ලා සිටියා. එත් තරුණයා ඒකට කැමති වුණේ නැහැ. අන්තිමේ දී තම මුද්‍රණාලය මිල දී ගන්නා ලෙස ඔහු තරුණයාගෙන් ඉල්ලා සිටියා.
"මං ළඟ සල්ලි නෑ. ඒ හින්දා ඒක කෙරෙන්නෙත් නෑ."යි තරුණයා කීවා.
ජෝන් අප්පුහාමි එයින් නැවතුණේ නැහැ. ඔහු තවත් ඇවිටිලි කළා.
ඔහු අවසාන වශයෙන් ඉල්ලුවේ සේ හෝ ප්‍රෙස් එක බාර ගෙන කර ගෙන යන ලෙසත් එයින් ලැබෙන ආදායමෙන්, වික ටික ගෙවා එය අයිතිකර ගන්නා ලෙසයි. සල්ලි කිසිවක් නැතුව මුද්‍රණාලයම බාර ගන්නා ලෙස කීවා ම තරුණයා ඒකට අකමැති වුණේ නැහැ.
එදා ජෝන් අප්පුහාමිගේ වෑවල ගමන තමාගේ ම මුද්‍රණාලයක් ගැන සිහින මැවූ ඒ තරුණයාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වුණා. අතින් සතයක්වත් වැය නො කර ඔහු හිමිකරුගේ ඇවිටිල්ල මත 1913 පෙබරවාරි 1 වැනිදා මුද්‍රණාලය බද්දට ගත්තා. එය මෙරට මුද්‍රණ හා ග්‍රන්ථ ප්‍රකාශන ක්ෂේත්‍රයේ පෙරළි රැසක ආරම්භය ද වුණා. ඒ තරුණයා අන්කිසිවකු නොව මලගලගේ දොන් ගුණසේනයි. අද 109 වැනි වසර සමරන ඇම්. ඩී. ගුණසේන සමාගමේ නිර්මාතෘවරයායි.
යටත්විජිත සමයේ විසූ බොහෝ තරුණයන් මෙන් ඔහු තුළත් ජාතිමාමකත්වය දැල්වෙමින් තිබුණා. ඒ නිසා ඔහු පොත් ප්‍රකාශනයට හා අළෙවියට අත ගැසුවේ ආර්ථික ප්‍රතිලාභයටත් වඩා දෙසට රැසට බසට කරන සේවයක් හැටියටයි. ඔහු බෞද්ධ පොතපත මුද්‍රණයට වැඩි කාලයක් කැප කළා. දිවයින පුරා පොත් හල් පිහිටෙව්වා. පිටකොටුවේ ඕල්කොට් මාවතේ පිහිටි ප්‍රධාන පොත්හල විශාල කොට ඉදිකිරීමට සැලසුම් කළා. ඒත් 1963 දී එය විවෘත කරනු දකින්නට ඔහුට හැකි වුණේ නැහැ. ඔහු 1959 දී මිය ගියා. ඇම්. ඩී. ගුණසේන නමින් ‘හෙළදිව මහා පොත්හල’ ලෙස හැඳින්වුණු තෙමහල් මැඳුරයි.
ඇම්. ඩී. ගුණසේන ප්‍රකාශනයක් ලෙස දොරට වැඩි මුල්ම ප්‍රකාශනය වූයේ වී. ඩි. ද ලැනරෝල්ගේ ‘ළමා කව් මල්දම’යි. එදා මෙදා තෙක් ගත වූ වසර 109ක් තිස්සේ මෙරට කිසිම පොත් ප්‍රකාශකයෙක් පළ නො කළ පොත් සංඛ්‍යාවක් ලක් ජනතාවට අතට පත් කර තියෙනවා. එහි ගුරුළුගෝමී ලාංඡනයෙන් අපට ගුණසේන පොතක් හඳුනා ගන්න පුලුවන්.
හොඳ බෞද්ධයකු වූ ඔහු මීට වසර 109කට පෙර එදා තෝරා ගත්තේ ලෝකයේ උතුම්ම රස්සාව වූ පොත් පළ කිරීමයි. එයින් අපේ ජාතියේ නැණ නුවණ පෑදූ ඇම්. ඩී. ගුණසේන නිර්මාතෘවරයාණන්ට අපේ උත්තමාචාරය! ඔබ දැල් වූ දොළොස් මහේ පහන අද තුන්වැනි පරම්පරාවටත් ආලෝකය පතුරවමින් කරනා මේ ජාතික මෙහෙවර සදා කල් පවතීවා!
- පර්සි ජයමාන්න
.
0 Comments