මීට අවුරුදු පනහකට විතර ඉස්සර සිළුමිණ පත්‍තරේ වැඩ කරපු දවස්වල මට කොළඹ, මරදානේ පංචිකාවත්තේ නිවාස පේළි තියෙන වත්තකට යන්න සිද්ධ වුණා. දැන් වගේ ජංගම දුරකතන නැති ඒ කාලේ කලින් දන්වන්න ක්‍රමයක් තිබුණෙ නැති නිසා, කෝච්චියෙන් වැඩට යන ගමන් මරදානෙන් බැහැලා, ගියේ නැඟී එන කෙටිකතාකාරියක් හම්බ වෙන්නයි. උදේ වැඩි හින්දා ඒ පේළි ගෙවල් බොහොමයක් වහලයි තිබුණේ, හරියට ගෙවල්වල කවුරුත් නෑ වගෙයි. වත්තෙ අංකයයි, නිවාස අංකයයි හොයා ගෙන ගිහින් ඒ ගෙදර දොරට තට්ටු කළා. ප්‍රතිචාරයක් නැති හින්දා කීප වතාවක් තට්ටු කරන්න ඕනෑ වුණා. එකපාරට ගේ ඇතුළෙන් ලොකු කලබලයක් ඇහුණා. පුටු පෙරළන සද්දත් එක්ක කසුකුසුවකුත්, පාලනය කර ගත්තු හිනා හඬකුත් ඇහුණ නිසා මුලින් ඇති වෙච්ච බය ඇරිලා ගියා.
ටික වෙලාවකින් දොර ඇරුණා. කරුණාවන්ත පෙනුමක් ඇති තරුණ යුවතියක් ලජ්ජාශීලී හිනාවක් පාමින් මගෙන් ආ කාරණය ඇහුවා. මං සියලු විස්තර කිව්වාට පස්සේ ඇය, මට ඇතුළට ඇවිත් වාඩි වෙන්න කීවා. ඇයගේ කුළුඳුල් කෙටිකතා පොත අගනුවර අලුතින් ආරම්භ කළ ප්‍රකාශන සමාගමක මංගල කෘතිය ලෙස දොරට වැඩීම ගැන ඇය සමග සම්මුඛ සාකච්ඡාවක් කරන්නයි, මං එදා ගියේ.
කතාව අතර, මං වටපිට බැලුව කලින් ඇතුළෙන් ඇහුණු කලබලය මොකක්ද කියලා තේරුම් ගන්න. මට හිතා ගන්න බැරිවුණු හින්දා මං කතාබහ අවසන් කොට නැගිටින ගමන්, ඒ වන විට ඇය වඩාත් සුහදව සිටි නිසා, කලින් ඇතුළෙන් ඇහුණු කලබලය ගැන මා ඇහුවා.
‘මේ ගෙවල්වල ඉඩකඩ අඩුයි නේ. ඒ නිසා මේවා රෑට මේ ඉහළ තියෙන කොකුවල එල්ලලයි, අපි නිඳා ගන්නෙ. ඔයා හදිස්සියෙම ආපු හින්දා අපට මේ කලබලෙන් ඒවා බිමට දාන්න සිද්ධ වුණා.’යයි ඇය සිනාසෙමින් කියද්දී උඩ බැළූ මට එවේලේ තමයි වහලේ එල්ලුණු යකඩ කොකු ටික පෙනුණේ.
මේ රසවත් අතීත සිද්ධිය මට මතක්වුණේ ඇමෙරිකාවේ නිව්යෝක් නගරයේ අලුතෙන් හැදෙන ස්මාට් නිවාසවල සිවිලිමේ එල්ලලා තියෙන ඇඳන් අල්මාරි බිමට බානව දැක්කාමයි. අනාගතයේ එන ස්මාට් නිවාසවල ඇති ස්මාට් ගෘහභාණ්ඩ ගැනයි මේ කතාව.
මේ අනාගත කතාවෙත්, ඇඳන්, පුටු, අල්මාරි, කබඩ් විතරක් නෙමෙයි, පරිගණකයෙන් වැඩ කරන මේස කට්ටලත් ඔබට අවශ්‍ය විටෙක අහසෙන් (සිවිලිමෙන්) බිමට බා ගන්න පුලුවන්. එවේලේ ඔබට අවශ්‍ය නැති දේ ඉහළට යවන්නත් පුලුවන්. මේ සියල්ල දුරස්ථ පාලකයක් මගින් හෝ ඔබේ ස්මාට් ෆෝනය මගින් එසැණ ඉටු කර ගන්න පුලුවන්.
ඇමෙරිකාවේ සැන්ෆ්‍රැන්සිස්කෝහී බම්බල්බී ස්පේසස් (Bumblebee Spaces) සමාගම තමයි, මේ හුරුබුහුටි නිවාස පද්ධති නිර්මාණය කරලා තියෙන්නෙ. ඔවුන් දැනටමත් නිව්යෝක් නගරයේ හාලෙම්වල ‘ද ස්මයිල්’ නම් නව නිවාස සංකීර්ණයක තියෙන නිවාස එ්කක ගණනාවකට මේ නව ක්‍රමයට සකසා දී තියෙනවා.
කුඩා ඉඩකඩක් ඇතුළේ වැඩි අවකාශයක් ලැබෙන පරිදියි, මේ නිවාස ඒකක ඇතුළත කටයුතු සංවිධානය කරලා තියෙන්නේ. කුඩා ඉඩක් ඇතුළේ හිරවෙලා ඉන්න අයට ඒ කරදරයෙන් ගැලවිලා සුවපහසුව ජීවත්වෙන්න මේ නව නිර්මාණවලින් පුලුවන්. මේ ක්‍රමයට ඒ වේලේ පාවිච්චියට ගන්න ඒවා තියෙද්දී අනිත් සියල්ල ඉහට උඩින් ගබඩා කර තබාගෙන අවශ්‍ය විටෙක පමණක් පහළට ගන්න පුලුවන්.
ඒ අනුව මේ අනාගත නිවාස අභ්‍යන්තර සැලසුම අනුව කාමරයක තිබිය යුතු ගෘහභාණ්ඩ ඇතුළු සියලුම දේවල් එක්කෝ සිවිලිමට යටින්, ඒ කියන්නේ ඉහට උඩින්, නැත්නම් බිත්ති ඇතුළේ තැන්පත් වෙන විධියටයි සකස් කෙරෙන්නේ. අවශ්‍ය කටයුත්තට, අවශ්‍ය වෙලාවට, පුංචි අත් පාලකයක් මගින් ඔබට එය අවශ්‍ය තැනට එසැණින් ගෙන්නා ගන්න පුලුවන්. අවශ්‍ය නැති විගස ඒවා ආපු තැනටම ආපහු යවන්නත් පුලුවන්. දැනටමත් බම්බල්බී ස්පේසස් සමාගම ඇමරිකාවේ නිව්යෝක් නගරයේ නිවාස ගණනාවකටම මේවා සවිකර තියෙනවා.
කොහොම වුනත් මේ පහසුකම නම් අඩු මිලට ගන්න බැහැ. එක කාමරයකට අවශ්‍ය එක ඇඳක් හා ගබඩා ඒකක දෙකක් සඳහා ඇමරිකන් ඩොලර් 18,750ක් (රුපියල් 37,86,552ක්) ඒ සමාගම අය කරනවා. ඔබේ කාමරයට අවශ්‍ය එක ඇඳක් හා ගබඩා ඒකක 6ක් නම් ඇමරිකන් ඩොලර් 29,000ක් (රුපියල් 58,56,533 ක්) ගෙවන්න ඔබට සිද්ධ වෙනවා. ඇඬෙන ගානක් නේද? ඒත් ලෝකයේ මිල අධික නගරවල, ඉඩ අඩු කාමරවල, සුව පහසුව ඉන්න නම් අධික මිලක් ගෙවන්න ඕනෑ. ඒත් මේ කතාව ආරම්භයේ දී අපේ කොළඹ නගරයේ දුප්පත් නිවැසියන්ට නම් මේ වගේ ඉඩ අඩු කාමරවල සුවපහසුව ඉන්න වැය වුණේ සිවිලිමේ එල්ලන යකඩ කොකුවලට යන වියදම විතරයි.
‘ඔබට මේ ක්‍රමය නිවසේ හැම කාමරයකටම යොදා ගන්න අවශ්‍ය වන්නේ නැහැ. නිතර පාවිච්චි නොවන, ඒ වගේම නිශ්චිත කටයුත්තකට පමණක් යොදා ගන්නා කාමර එහෙමම තිබියදී, විවිධ කටයුතුවලට යොදා ගන්නා පොදු කාමරවලට විතරක් යොදා ගැනීමෙන් වියදම අවම කර ගන්න ඔබට පුලුවන්.’ යයි බම්බල්බී ස්පේසස්හී නිර්මාතෘ හා ප්‍රධාන විධායක සංකර්ෂාන් මූර්ති කියනවා.
‘අපේ ආයතනයේ දර්ශනය වන්නේ ඔබට දැරිය හැකි මුදලකට, අලංකාර වූත්, කාර්යක්ෂම වූත්, අවකාශයක් ඔබේ නිවස තුළ නිර්මාණය කර දීමයි.’ ඔහු වැඩිදුරටත් කියනවා.
බම්බල්බී ස්පේසස් සමාගම දැනටමත් නිව් යෝක් නගරයේ නැගෙනහිර හාලෙම් ප්‍රදේශයහි ඇති ‘ද ස්මයිල්’ නිවාස සංකීර්ණයක ඒකක පහකට මේවා දැනටමත් සවි කරලා තියෙනවා. එහි ‘රෙසිඩන්ඩ් 405’ නමින් හැඳින්වෙන වර්ග අඩි 470ක කාමරයකට මේ පහසුකම් සවිකර ඇත්තේ ආදර්ශයක් හැටියටයි. ඒක තමයි මේ අය සිය ප්‍රචාරණ කටයුත්තට යොදා ගත් වීඩියෝව තැනීමට භාවිත කළේ.
එම සමාගම කියන විධියට ‘රෙසිඩන්ඩ් 405’ ආදර්ශය වැනි ඒකකයක් අවශ්‍ය නම් කුලියට ගන්නත් පුලුවන්. එතකොට මාසයකට වැය වන්නේ ඇමරිකන් ඩොලර් 2,662ක් (රුපියල් 5,37,589 ක්) විතරයි.
මේ සමඟ නිවාස සඳහා භාවිත කරන අලුත් ම තාක්ෂණයත් යොදාගෙන තියෙනවා. නිවැසියාට සිය කටහඬින් හෝ අත් පාලකයක් මගින් මේ කටයුතු ඉටු කර ගන්න පුලුවන්. ඔබ ඔවුන්ගේ ප්‍රචාරක වීඩියෝව දුටුවා නම්, එහි කටහඬක් ඇහෙනවා, ‘හේයි සිරී, ඇඳ පාත් කරන්න’ කියනවා. ඒ එක්කම ඉබේම ඇඳ පහළට එනවා. හදිස්සියෙවත් කවුරුන් හරි ඇඳ යටින් ගියොත් ඉබේම ඇඳ පහළට ඒම නවතිනවා. ඇඳුම් ඇඟලුම් දමාපු පෙට්ටි පහළට ඇවිත් අතරමඟ නවතින්නේ ඔබට හිට ගෙනම අවශ්‍ය දෑ තෝරා ගන්නට පහසු වෙන්නයි. ඒ වගේම තව පුදුම දෙයක් තියෙනවා. ඔබ ඇඳෙහි නිදා සිටී නම් කිසි විටෙකත් ඇඳ ඉහළට යන්නේ නැහැ.
මෙ පද්ධතියේ ඇති තවත් අපූරු මෙවලමක් තමයි, මෙය සම්බන්ධ වූ කැමරාව. ඒ මගින් ඔබ අසුරන ඇඳුම් ඇඟළුම් ඇතුළු දේවල් හරියටම ඇත්තේ කොතැන ද කියලා කැමරාව මගින් ගන්නා ඡායාරූප ඔබේ ස්මාට් ෆෝනයට ගෙන්වා ගෙන බලා ඒ ඇසුරුම් පෙට්ටිය විතරක් පහළට ගෙන්වා ගන්න ඔබට පුලුවන්.
අනාගත නිවසට තුළට නව නිර්මාණය පහත වීඩියෝවෙන් නරඹන්න
කොවිඩ් 19 නිසා අනාගතයට එන නිවාසවල හැඩතල වෙනස් වෙනවා!
බ්‍රිතාන්‍යයේ සිටින ප්‍රකට වාස්තු විද්‍යාඥයකු වන පියර්ස් ටේලර් (Piers Taylor) මේ වෙනස් වීම් ගැන, සඳහන් කරමින්, අනාගත නිවෙස්වල ඇති විය හැකි වෙනස්කම් ගැන අදහස් පළ කළේ මෙහෙමයි. ‘අතීතයේ සිට ම ලෝකයේ ඇති වන විපර්යාසවලට අනුව මිනිසා ජීවත්වන නිවාසවල වෙනස්කම් සිදු වුණා. ඒවා තේරුම් ගැනීමෙන් තමයි, ඉදිරි දහක දෙක තුළ විය හැකි වෙනස්කම් මොනවාදැයි තීරණය කළ හැක්කේ.’
‘අතීතයේ දී 1066 දී පමණ අපේ නිවෙස්වලට එක් වූ එක් උපාංගයක් තමා චිමිනිය. එය නිවසේ ආකෘතිය මුළුමනින්ම වෙනස් කළා. සිවිලිම පහතට ගෙන ගියා. චිමිනය ඉහළට ගෙන ගියා. චමිනිය ආවේ සීත කාලයේ විසිත්ත කාමරයේ උණුසුම් කරන්න අලුතින් එක් වූ උදුන වෙනුවෙන්, ඉන් නැඟෙන දුම නිවසෙන් පිට කරන්නයි. ඒ නිසා සිවිලිම පාත් කළා ම කාමරය ඇතුළෙ දුම රැඳෙන එක සිදු වුණේ නැහැ.’
‘1700 ගණන්වල දී නිවෙස්වල කුඩා කාමර තනනු ලැබුවා, ඒ හැම එකකටම උදුනක් බැගින් තිබුණා. මීට අවුරුදු 100කට විතර ඉස්සර තව වෙනසක් ඇති වුණා. ඒ බිත්තිවලින් වෙන් නොකළ පුළුල් අවකාශයක් සහිත (open plan living) නිවෙස් තැනුනා. නිදසුනක් වශයෙන් කුස්සිය, කෑම කන තැන, විසිත්ත කාමරය, පොරොත්තු කාමරය යන සියල්ල ම විවෘත අවකාශයක් තුළ භාවිත කිරීම දැක්විය හැකියි. ඒ නිවෙස් තුළ ඒ පොදු අවකාශයට පිටින් පුද්ගලයන්ට වෙනම කාමර තනා ගත්තා. පසුගිය වසරවල ආ කොවිඩ් වසංගතය නිසා ඒ පුද්ගල කාමර ක්‍රමය, බද්ධ නාන කාමර වැසිකිළි සහිතව පවත්වාගෙන යාම දිගටම කරන්න සිදු වෙනවා.’
‘මේ කොවිඩ් වසංගතය හේතුවෙන් ගෙදර ඉඳන් වැඩ කිරීමට පටන් ගැනීම නිසා තාවකාලික වැඩපළක් (work space) නිවස තුළම හදා ගැනීමට සිදුවුණා. බොහෝ රැකියාවල දී සේවකයා වැඩට වාර්තා නොකර ගෙදර සිට වැඩ කිරීමෙන් පාඩුවක් නැතිව ඒවා සාර්ථකව කර ගත හැකි බව තේරුම් ගැනීම නිසා ඉදිරියේ දී මෙයත් වෙනම කොටසක් ලෙස නිවසට එක්වීමට ඉඩ තියෙනවා.’ යයි ටේලර් වැඩිදුරටත් කියනවා.
0 Comments