HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

විද්‍යාඥයන් මෙට්රික් ක්‍රමයට නම් දුන් හැටි

අද මෙට්රික් ක්‍රමය අපට හොඳට හුරුපුරුදු එකක්. ඒ කිරුම් මිනුම් භාවිත කරමින් වැඩ කිරීම අපට පහසුවක් වෙලා තියෙනවා. ඒ වුණාට අප රට බ්‍රිතාන්‍යයට යටත් විජිතයක් තිබිය දී මෙරට භාවිත වූයේ අධිරාජ්‍යවාදී හෙවත් ඉම්පීරියල් කිරුම් මිනුම් ක්‍රමයයි. අඟල්, අඩි, යාර වශයෙන් ඇති ඒ ක්‍රමය භාවිත කිරීමේ දීට වඩා මේ මෙට්රික් ක්‍රමය අපට අද පහසුව ඇත්තේ දහයේ සංඛ්‍යාවලින් ඒවා ගණන් කරන නිසයි. ඒත් අපේ පැවති ඒ ක්‍රමය වෙනස් කර නව මෙට්රික් ක්‍රමය හඳුන්වා දුන් අවස්ථාවේ දී ඊට විරුද්ධ වූ අයත් සිටියා. මෙට්රික් ක්‍රමයේ මුලින් ම හඳුන්වා දුන්නේ මීටරයයි. අද මා කියන්නට යන්නේ මීටරය හැදුණු හැටියි. 

මෙට්රික් ක්‍රමය හා අධිරාජ්‍යවාදී මිනුම් එකටම තවමත් මිනුම් පටිවල භාවිත වෙනවා.

1795 ප්‍රංශයේ විප්ලවයත් සමග ඔවුන්ට පැරණි වූ සියල්ල වෙනස් කිරීමට අවශ්‍ය වුණා. විශේෂයෙන් ම අතාර්ථික වූ, නිශ්ඵල වූ දෑ සියල්ල අමතක කර දැමීමට ඔවුන් පියවර ගත්තා. එසේ වෙනස් කළ ප්‍රධාන දෙයක් තමයි, කිරුම් මිනුම්. ඒ කාලේ ලෝකයේ කිරුම් මිනුම් සඳහා භාවිත කළේ ඉතා සංකීර්ණ ක්‍රමයක්. ඒ මදිවාට ඒවා රටින් රටට, තැනින් තැනට වෙනස් වුණා. ඒ නිසා කිරුම් මිනුම්වල විප්ලවකාරී වෙනසක් ඇති කිරීමට ඔවුන්ට අවශ්‍ය වුණා. මෙට්රික් ක්‍රමය මුලින් යෝජනා කළේ පියරි-සිමොං ලැප්ලේස් (Pierre-Simon Laplace) නම් ප්‍රංශ ජාතික භෞතික විද්‍යාඥයා ප්‍රමුඛ විද්‍යාඥයන් පිරිසක්. අද ලොව පුරා විද්‍යාඥයන් භාවිත කරන්නේ මෙම මෙට්රික් ක්‍රමයයි. 

ප්‍රංශයේ විප්ලවකාරී පාලකයන් මුලින් ම අත ගැසුවේ දිග, පළල, දුර ආදිය මැනීමටයි. ඒ සඳහා ඔවුන් පෘථිවිය යොදා ගෙන පොදු මිම්මක් ඇති කිරීමට තීරණය කළා. ඔවුන් පෘථිවියේ සමකයේ සිට උත්තර ධ්‍රැවයට ඇති දුරෙන් දස මිලියනයකින් එක් පංගුවක් ලෙස මිම්මක් සකසා ගත්තා. එයට ‘මීට’ (metre) කියා කීවා. එහෙත් අවාසානවකට පසුව කළ මිනුම්වලින් එය නිවැරදි නොවන බව පෙනී ගියා. ඒ නිසා අද ඒ එකකය ගණන් ගන්නේ ප්‍රංශයේ පැරිස් නගරයේ සිට කිලෝමීටර 9.9ක් දුරින් පිහිටි සර්ව්‍ර (Servres) හි තැන්පත් කර ඇති ප්ලැටිනම් ඉරිඩියම් දණ්‍ඩෙහි දිග ලෙසයි. නියම ‘මීටරය’ වශයෙන් සැලකෙන්නේ ඒ දණ්ඩයි. ඉංග්‍රීසියෙන් meter යන වදන බිඳී ආවේ ‘මිම්ම’ යන අරුත ඇති metrum යන ලතින් වදනින්. මීටරයෙන් ඇරඹුණු මිනුම් පද්ධතිය හැඳින්වෙන්නේ මෙට්රික් ක්‍රමය (metric system) කියලයි. අද මෙය ලොව පුරා විද්‍යාඥයන් එකම අයුරින් ගණනය කිරීම්වලදී භාවිත කරනවා. 

මෙට්රික් ක්‍රමය දහයේ ඒකකවලින් සෑදුනක්. දිග වැඩි කර දැක්වීමට ග්‍රීක බසින් එන වදන් පෙර ඈඳියක් ලෙසත්, භාග දැක්වීමට ලතින් වදන් පෙර ඈඳියක් ලෙසත් යොදා ගත්තා. ඒ අනුව මීටර දහය, ඩෙකාමීටරය(dekameter) කියාත්, මීටර සීය, හෙක්ටොමීටරය(hectometer) කියාත්, මීටරදහස, කිලෝමීටරය (kilometer) කියාත්, මීටරදසදහස, මයිරියා මීටරය(myriameter) කියාත් හැඳින්නුවා. ඒ වදන් තැනීමට පෙර ඈඳි ලෙස යොදා ගත්තේ, ග්‍රීක බසින් ‘ඩෙකා’ (deca) දහය, හෙක්ටන් (hekaton) සියය, කිලියෝයි (chilioi) දහස හා මයිරියෝයි (myrioi) දස දහස යන වදන් තමයි. 

මෙට්රික් ක්‍රමය මුලින් යෝජනා කළේ පියරි-සිමොං ලැප්ලේස් 
නම් ප්‍රංශ ජාතික භෞතික විද්‍යාඥයා ප්‍රමුඛ විද්‍යාඥයන් පිරිසක්.

භාග හෙවත් පංගු දැක්වීමේ දී, මීටරයකින් දහයෙන් පංගුව, ඩෙසිමීටරය (decimeter) කියාත්, සියයෙන් පංගුව, සෙන්ටිමිටරය(centimeter) කියාත්, දහසෙන් පංගුව මිලිමිටරය (millimeter)කියාත් තනා ගත්තා. ඒ සඳහා යොදා ගත්තේ ලතින් වදන් වූ ඩෙසෙම් (decem) දහය, සෙන්ටම් (centum) සියය හා මිලි (mille) දහස ආදි වශයෙනුයි. 

ග්‍රීකයන්ට දස දහසට වඩා විශාල සංඛ්‍යාවක් දැක්වීමට වදනක් ඔවුන්ගේ භාෂාවේ තිබුණේ නැහැ. රෝමන්වරුන්ට ඔවුන්ගේ ලතින් භාෂාවේ එක් දහසකට වඩා ලොකු සංඛ්‍යාවක් දැක්වීමට වදනක් තිබුණේ නැහැ. ඒ නිසා ඒ බසේ ඇති වෙනත් වදන් යොදා ගෙන ඊට එහාට ගණන් කිරීමට සිදු වුණා. නිදසුන් වශයෙන්, මෙගා මීටරය (mega meter) යන්න මීටර මිලියනයක් දැක්වීමට යොදා ගත් වදනයි. එය ග්‍රීක මෙගාස් (megas) යන වදනෙන් බිඳී ආවක්. එහි අරුත ‘විශාල’ යන්නයි. ඒ අතර මීටරයකින් මිලියනයකින් පංගුව මයික්‍රොමීටරය (micrometer) කියා නම් කෙරුණා. එය මයික්‍රෝස් (mikros) යන ග්‍රීක වදනෙන් ගත්තක්. එහි අරුත ‘කුඩා’ යන්නයි. 

1958 දී තවත් පෙර ඈඳි කීපයක් අන්ත්ර්ජාතිකව යොදා ගනු ලැබුවා. ග්‍රීක බසෙහි ඇති ‘යෝධ’ යන අරුත් දෙන ගිගාස් (gigas) යන වදනෙන් ගත් giga- පෙර ඈඳිය යොදා ගත්තේ බිලියනය (billion) හැඳින්වීමටයි. පරිගණකයේ දී ගිගා බයිට කියන්නේ බයිට බිලියනයක් යන්නයි. ග්‍රීක බසින් ‘රකුසා’ යන අරුත් දෙන ‘ටෙරාස්’ යන්නෙන් තනා ගත් (teras) ‘ටෙර‍ා’ (tera) යන පෙර ඈඳියෙන් දැක්වෙන්නේ ‘ත්‍රිලියනය’යි. ග්‍රීක බසින් ‘කුරු’ යන අරුත් දෙන ‘නැනෝස්’ (nanos) යන වදනින් තනා ගත් ‘නැනෝ’ (nano) යන පෙර ඈඳිය යොදා නැනෝමීටරය (nanometer) කීවාම එයින් අදහස්‍ කෙරෙන්නේ බිලියනයෙන් එක් පංගුවක් යන්නයි.  ඒ ආකාරයෙන් ම ‘පිකෝ’ (pico) යන පෙර ඈඳිය එක්කර පිකෝමීටරයක් (picometer) කී විට එය මීටරයකින් ත්‍රිලියනයකින් එක් පංගුවක් යන්නයි. 

මීටරය වෙනුවට ලීටරය (liter) මූලික ඒකකය ලෙස ගෙන මේ ඉහත ක්‍රමය දියර මිමි දැක්වීමට යොදා ගන්න පුලුවන්. ලීටරයක් යනු එක ඝන ඩෙසිමීටරයක පරිමාවක දියර ප්‍රමාණයකටයි. කිලෝග්රෑමයක් යනු පිරිසිදු ජලය ලීටරයක බර ලෙසයි, ඔවුන් විග්‍රහ කරන්නේ. ඒ වුණාට ඒවා ඒ යුගයේ ඉතා නිවැරදිව කිරුම් මිනුම් කළ හැකි ක්‍රම දැනගෙන තිබුණේ නැහැ. ඒත් දැන් විද්‍යාත්මක දැනුම භාවිත කොට මනින විට ඒවා ආසන්නව ඇති බවයි, හෙළිවන්නේ. 

- පර්සි ජයමාන්න 


Post a Comment

1 Comments

  1. ඔබගේ පෝස්ටුවට අපගේ සින්ඩියේ "බ්ලොග් සඟරා" යටතේ ඉඩක් වෙන් කොට ඇති බව සතුටින් දැනුම් දෙන්නෙමු! අපගේ සින්ඩියට ඉහල ප්‍රථිචාරයක් හා ප්‍රචාරයක් ලබා දීමට මැළි නොවන්න!

    ReplyDelete