මගේ පාසල් වියේ හොඳම හරිය ගෙවුණේ මහනුවර දෙයියන්නේවෙල (වර්තමාන රාජසිංහ) විදුහලේ ගුරු නිවාසයේ සිටි කාලයේයි. මහනුවර දුම්රිපොළ, මහරෝහල, මහනුවර තැපැල් හල ආදියට මයිම්ව තිබූ මේ ප්‍රදේශය හැඳින්වුණේ, දෙයියන්නේවෙල කියායි. ගුරු නිවාසය ආසන්නයේ තිබුණේ මහනුවර නගර සභාව විසින් තනා ජනතාවට කුලියට දී තිබුණු ආදර්ශ පේළි නිවාස (model tenements) සහිත ‘ගම’යි. එහි විසූ බොහෝ දෙනා මැද පන්තියටත්, දිළිඳු පන්තියටත් අතර මැද පන්තියක වැසියන් වුණා. සමහරුන් රෝහලේ, දුම්රිපොළේ, තැපැල් හලේ හා ඒ අවට රැකියා කළ අයයි. ඔවුන් ගැන කතා බොහොමයි. ඒ වගේ ම ගුරු නිවාසයේ සිට ධර්මරාජ විදුහලට ගිය මට යන්නට සිදු වූයේ නගරය මැදින්. අතර මැද කෙටි දුරක් සත පහක් ගෙවා බසයෙන් යා හැකි වුණත් මං වැඩිපුර ම කළේ නගරය මැදින් යමින් කිරිමුහුද (වැව) වටේ යමින් දළදා මාලිගාව අසලින් බූවැලිකඩට ගොස් එතැනින් ධර්මරාජ කන්ද නැඟීමයි. ඒ ගැන බොහෝ කතා තියෙනවා. ඒවා වරින් වර කියන්නට මං කල්පනා කළා. අද මුලින් ම කියන්න යන්නේ ‘දෙයියන්නේවෙල’ නම හැදුන කථාවයි.
මේ ප්‍රවාදය අයත් වන්නේ සෙංකඩගල නුවර රජකම් කළ රාජාධිරාජසිංහ රජතුමාගේ කාලයටයි. එතුමා දක්ෂ කවියෙකු ලෙස ප්‍රකටව සිටියා. රජ වෙස් හැර සාමාන්‍ය වැසියකු මෙන් සැරසී රටතොට සැරිසරන්නට ද එතුමා පුරුදුව සිටියා. එවන් ගමනක වූ සිදුවීමක් තමයි, මේ ප්‍රවාදයට පාදක වන්නේ.
මේ ප්‍රදේශයේ ඒ රජ සමයේ තිබුණේ වෙල්යායක්. එවකට පැවති බෝගම්බර වැවේ ජලයෙන් පෝෂිත වූ මේ කුඹුරු යාය රජුට අයත් එකක්. ඒ අවට ජීවත් වූ ගැමියන් ඒ වෙල්යාය බෙදා ගෙන වගා කළා. ඒ එක් ගොවි දියණියක් වෙල්යායේ ඇටවූ පැලක පැල් රකිමින් සිටියා.
තනිව ම ප්‍රදේශයේ රහසිගත සංචාරයක යෙදුණු රජු මේ තරුණිය පැල් රකිනවා දැක්කා. තරුණියගේ රූප ශෝභාවෙන් මන්මත් වුණු රජු ඇගේ ළපටි වයසත්, සිවුමැලි ගතියත්, දුටු රජුගේ කවි සිතුවිලි අවදි වුණා. ඇය ගැන කවියක් නොකියාම බැරි තැන රජතුමා ඇයට නොපෙනෙනසේ රුක් ගොමුවකට මුවා වී ඈ අමතා මේ කවිය කිව්වා.
දුක්දෙන වල්සතුන් පන්නා හරින ළඳේ
රැක්මෙන වෙෙල් ඉඳ වෙලබත් බුදින ළඳේ
දුක්දෙනු සරිද ඔබ සියුමැලි ගතට ළඳේ
සිත්ගන්නාසුලු ගැඹුරු කටහඬකින් ඇසුණු කවිය තරුණියගේ සිතට කවි සිතිවිලි ඇතුළු කරන්නට සමත් වුණා. තරුණිය විමසිල්ලෙන් වටපිට බැලුව මුත් කවිය කී තරුණයා පෙනෙන්ට සිටියේ නැහැ. ඒත් ඔහුගේ කටහඬට මෝහනය වූ ඇයට ඊට පිළිතුරු නොදී සිටි නොහැකි වුණා. ඇයත් හිටිවන කවියට ශූරියක වූ නිසා ඇය යළිත් වටපිට බලමින් මෙසේ ඊට පිළිතුරු කවිය මියුරු හඬින් කීවා.
දුක්දෙන වල්සතුන් පන්නා හරින්නේ
රැක්මෙන දෙවියනේ වෙලබත් බුදින්නේ
දුක්පත් කම නිසයි මා පැල් රකින්නේ
තරුණියට නොපෙනෙනසේ සැඟවී සිටිමින්, මෙතෙක් වේලා ඇගේ රූප ශෝභාව විඳිමින් සිටි රජතුමාට තවත් කවියක් කියන්නට සිතුණා. ඒ නිසා ඇගේ රුව වර්ණනා කරමින් මේ කවිය කිව්වා.
පැලක මහිම බල බටකොළ සොයාලා
මලක මහිම බල අතු අග පිපිලා
ලියක මහිම බල ගෝමර ඉසීලා
තරුණිය බුද්ධිමත් එකියක වූ නිසා ඒ කවියෙන් කියැවුණු වර්ණනාව තුළින් ඈ දුටුවේ අනිත්‍යයයි. ඒ අනුව එහි අනිත්‍ය ස්වරූපය පෙන්නා දෙන අදහසින් එ් කවියම පද පෙරළා අනිත්‍යය මෙනෙහි කරවන අදහසින් මෙසේ කීවා.
පැල හොඳ මොකද පොද වැස්සට තෙමේ නම්
මල හොඳ මොකද අතුඅග පරවි යා නම්
ලිය හොඳ මොකද ඉසි ගෝමර මැකේ නම්
අනිත්‍යය මෙනෙහි කරමින් කවි පද වෙනස් කරමින් ඇය කවි කී විලාසය ගැනත් ඇගේ බුද්ධිය ගැනත් පැහැදුණු රජතුමා ඇගේ සිත පහන් කර අටියෙන් ඇයට යහපත් පැතුම් පතමින් මේ නවිය කීවා.
දුක් දෙන සතුන් පන්නා වෙහෙසෙන්ට එපා
ලැම මැද ඉසුන ගෝමර වැනසෙන්ට එපා
දුක්පත්කමින් මින් මතු දුක් විඳිනු එපා
ඒ කවිය කියමින් තමන් සැඟවුණු තැනින් එළියට ආ රජු තමන් ඇයට හොඳින් පෙනෙනසේ සිට ගත්තා. මෙතෙක් වේලා සැඟවී සිටිමින් කවි කී තැනැත්තා, එසේ මෙසේ අයකු නොවන බවත්, ඔහු තමා සිතූ ආකාරයේ තරුණයකු නොවන බවත්, තරුණියට අවබෝධ වුණා. සාමාන්‍ය තරුණයකු සේ වෙස්වළාගෙන සිටියත්, රජුගේ තේජාන්විත භාවයෙන් ගල් ගැසුණු ඇයට, තමා ඔහු කොහේදී හෝ දැක තිබෙන බවක් සිහි වුණා. අතීත මතකාවර්ජනයෙන් පසු ඇයට සිහිපත් වූයේ ඇසළ පෙරහැරේ සියලු අබරණවලින් සමලංකෘතව, තේජාන්විතව ගමන් කළ මේ රුවයි. ඒ අනිකෙකුගේ නොව තුන්සිංහලයට අධිපති රාජාධිරාජසිංහ රජතුමාගේ බව ඇයට පසක් වුණා. ඒ සමගම බියෙන් ගැහෙන්නට වූ පැලෙන් බැස පලා යන්නට හැදුවා.
තමා ඇඳින ගෙන බියට පත්ව පලා යන්නට හදන මේ තරුණිය ගැන රජතුමාට අනුකම්පාවක් ඇති වුණා. එතුමා ඇය සනසන අදහසින් තවත් කවියක් කීවා.
විකලා දමන සිහරදෙකුත් නොවේ නම්
විදලා දමන වැදි රජෙකුත් නොවේ නම්
දුවලා වෙහෙස නොගනින් ළඳෙ බයේ නම්
ඒ ඇසූ තරුණිය මඳක් නැවතී, බිය මඳක් දුරුකර ගෙන, අවසානයේ තමන් රජතුමන් හඳුනා ගත් බව අඟවන්නට මේ කවිය කිව්වා.
ඇදලා ඇටෙව් දුන්නෙන් අගට ඊයන්
බළලුන් දුටුවාම බය නැද්ද මීයන්
දුටුවම බය නැද්ද රාසිංහ දෙයියන්
ඒ කවියත් සමඟ ඇය තුරුවදුලෙහි සැඟවී ගියා.
පසුදා උදේ රාජ පුරුෂයන් ආවා. ඒ පෙර සැඳෑ කල රජු සමග තරඟෙට කවි කී යුවතිය සොයා ගෙනයි. ඔවුන් රජුගේ කුඹුරු යායේ වැඩ කළ ගොවියන්ට අයත් ගෙයක් ගෙයක් පාසා ගිහින් විපරම් කළා. රජු ඒ සිද්ධිය නිසා උදහස් වී ඇතැයි සිතා ගොවීන් බියට පත් වුණා. රජු කී ලකුණු අනුව යුවතියක් හඳුනා ගන්නට රාජ පුරුෂයන් සමත් වුණා. ඇගෙන් ඒ ගැන ප්‍රශ්න කළ විට ඇය බියෙන් ගෙට වැදී සැඟවුණා. පසුව දෙමාපියන්ගෙන් ඒ ඇය බව සැක හැර දැනගත් පසු රාජ පුරුෂයන්, ඇය කැඳවා ගෙන යන්නට රාජ නියෝගයක් ඇති බව කීවා.
රජ බැහැදැකීම හැර කළ හැකි වෙනත් දෙයක් නොවූ නිසා ඇය බියෙන් ගැහෙමින් මවත් කැටුව රජ වාසල බලා රාජපුරුෂයන් සමග ගමන් කළා.
ඒ යුවතිය දුටු රජතුමා ඇයට ප්‍රශංසා කළා. ඇගේ කවීත්වයට ගරු කිරීමක් ලෙස, ඒ රාජකීය කුඹුරු යාය ඇයට සන්නසක් මගින් පවරා දුන්නා. රජතුමා පෙරදා තමන් ‘දුක්පත්කමින් මින් මතු දුක් විඳිනු එපා’ යැයි කවියෙන් කළ පැතුම ඉටු කර දුන්නේ එහෙමයි. එදා පටන් ඒ වෙල් යාය හැඳින්වුනේ ‘දෙයියන්නෙවෙල’ කියායි. අද ඒ වෙල් යාය නැතත් ඒ ප්‍රදේශය ඒ නමින්ම හැඳින්වෙනවා.
එදා රජු මේ කුඹුරු යාය මවුපියන්ට දී, ඇය සිය යකඩ දෝලියක් කර ගත් (සිය බිසෝ තනතුරකට පත් කර ගත්) බවත් මේ පැරණි කතාව කියන සමහරුන් කියනවා.
ඉන් බොහෝ කලකට පසු මේ කතාව මා සමග කීවේ අපේ ප්‍රකට කවියකු හා දේශපාලනඥයකු වූ, පසුව බණ්ඩාරනායක රජයේ උප ඇමතිවරයකු වූ ටී. බී. තෙන්නකෝන් මහතායි. තමා ඒ ප්‍රදේශය ජීවත්වීමට තෝරා ගත්තේ මේ ප්‍රවාදයට අයත් කවි රසය නිසා යැයි එදා ඒ කවි මිහිරි හඬින් ගායනය කරමින් එතුමා කීවා මට අද වගේ මතකයි.
1 Comments
දෙය්යන්නේවෙල නම ලැබුන හැටි රසවත් කතා පුවත හරිම සතුටින් කියෙව්වා. මෙවැනි පැරණි රස කතා මල්කැකුලු වෙතින් ඉදිරියටත් අප වෙත ලබා දෙන්න.
ReplyDelete