නස්රුදින් දවසක් දා බිරිඳත් එක මුහුදු වෙරළට ගියා. එයා මූදු රැල්ල පා ගන්න ආසයි කියා රැල්ල එන දිසාවට දුව ගෙන ගියා. නස්රුදින් රැල්ල පා ගන්න කැමති වුණේ නැහැ.
‘ඔයා යන්න! මං මෙහෙම ඉන්නම්’ කී නස්රුදින් වෙරළේ කොනේ තිබුණු බංකුවක වාඩිවෙලා ඈත මුහුද දිහා බලා ගෙන හිටියා. මිනිහා දන්නෙම නැතුව කල්පනාවට වැටුණා.
ටික වෙලාවකට පසු එක පාරට ම කල්පනාවෙන් මිදුණු නස්රුදින් ‘බිරිඳ කෝ’ කියලා විපරම් කළා. බිරිඳ පේන්න හිටියෙ නෑ. වැල්ලෙ රැල බිඳෙන හරියෙ මිනිස්සු වගයක් පොර කනවා දැක්කා.
බිරිඳ එතැන ඇති කියල එතැනට දුවගෙන ගියා.
සෙනග අතරින් පීරාගෙන ගිහින් බලපුවම බිරිඳව තමයි, ඔවුන් වට කර ගෙන හිටියෙ. බිරිඳ බිම දිගා වෙලා හිටියා. තවත් අයෙක් පාත්වෙලා ඇයගේ ඇගේ මුහුණ ළංවෙලා හිටියා.නස්රුදින් දැක්කා.
‘මොකද මේ වෙලා තියෙන්නෙ? මේ මගේ නෝනා!’ නස්රුදින් කිව්වා.
‘එයා රැල්ලට ගහගෙන ගියා. අපි බේරා ගෙන ආවා. වතුර පෙවිලා ඒ හින්ද කෘත්‍රිම ශ්වසනය දෙන්නයි හදන්නෙ.’ ඒ පාත්වෙලා හිටි කෙනා හිස ඔසවා කිව්වා.
‘ඇයි කෘත්‍රිම එක දෙන්න ඇත්ත ම එක මං ඒකට සල්ලි දෙන්නම්!’
(ළඟදී ම පළ වන පර්සි ජයමාන්නගේ නස්රුදින් අලුත් ම කෘතියෙන්)
0 Comments