වීආදසිටි (WeAreTheCity) වෙබ් අඩවිය මගින් සංවිධානය කළ ‘නැග එන තරු’(Rising Stars Awards) නමින් විවිධ අංශවල ලොව පුරා දක්ෂයන් 10කට පිරිනැමෙන අන්තර්ජාතික සම්මාන උළෙල සඳහා ‘විද්‍යාව හා තාක්ෂණය’ යන අංශයෙන් ඡන්දයෙන් තෝරා ගනු ලැබූවේ එංගලන්තයේ රෝල්ස් රොයිස් සමාගමේ අභ්‍යවකාශ විද්‍යා ඉංජිනේරුවරියක්. ඒ සම්මානය සඳහා නම් කෙරුණු එකම දකුණු ආසියානුවා ඇයයි. ඇය නමින් නිපුණි කරුණාරත්නයි. තාමත් 28 හැවිරිදි වියේ පසුවන ඇය ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන ඒමට මේ වන විට විශාල කාර්යභාරයක් ඉටු කරල තියෙනවා. මේ සම්මාන උළෙලට ඇයට සහභාගිවීමට ඇයට හැකිවුණේ නැහැ. ඇය අම්මා බලන්නට ශ්‍රී ලංකාවට ඇවිත් සිටිය නිසා.
නිපුණි උපන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ රද්දොළුගම, ගනේපොළදීයි. මූලික අධ්‍යාපනය ලබා ගත්තේ කොළඹ මියුසියස් විද්‍යාලයෙන්. ඇගේ තාත්තා වගේම අයියත් වෘත්තීය ඉංජිනේරුවන්. ඒ නිසා ඇගේ මවට ඕනෑ වුණා, ඇය වෛද්‍යවරියක් කරන්න. ඒත් ඇය ඒකට කැමැත්තක් දැක්වුවෙ නැහැ. ඇය මියුසියස් විදුහලේ ඉගෙන ගනිද්දී පිහිනීමෙන් හා ටෙනිස් ක්‍රීඩාවෙන් දස්කම් දැක්වුවා. ජාතික මට්ටමෙන් තරඟවලට පවා සහභාගි වුණා. “ඒ ක්‍රීඩාවෙන් ලද ආභාසය මට පසු කාලයේ බොහෝ ප්‍රයෝජනවත් වුණා, මගේ ආත්ම විශ්වාසය වැඩි කර ගන්න. එංගලන්තයේ සුදු ජාතිකයන් එක්ක වැඩ කරන කොට මුලදි ඒ අය මගේ යටතේ වැඩ කරන්න කැමති වුණේ නැහැ. ඒ, මා ඒ අයට වඩා වයසින් හුඟක් බාලවීම නිසයි. ඒ අය අතර ආචාර්ය උපාධි දෙකක් ඇති වයස අවුරුදු පනහ පනස්පහ වයස්වල ඉංජිනේරුවන් හිටියා. දැනුත් ඉන්නවා. ලංකාවේදි ක්‍රීඩාවලින් මං ගොඩනඟාගත් ආත්ම විශ්වාසය හා පෞරුෂය ඒ අවස්ථාවේ දී මට ලොකු ශක්තියක් වුණා.” ඇය ඒ අතීතය සිහිපත් කළා.
මියුසියස් විදුහලේ ඉඳිද්දිම ලන්ඩන් ඕලෙවල් කළ ඇය ඉන්පසු විදෙස් අධ්‍යාපනයට යොමුවුණා. ඇය ඩුබායිහී හැරියට්-වොට් (Heriot-Watt) විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ඇරඹුවා. එය ස්කොට්ලන්තයට අනුබද්ධ විද්‍යායතනයක්. ඇය එහිදී දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් ලන්ඩනයේ බෲනෙල් (brunel) විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට වරම් ලබනවා. ඒත් ඒ වන ඇයට වයස අවුරුදු 16ක් වූ නිසා උසස් අධ්‍යාපනයට විශේෂ අවසරයක් ලබා ගන්න සිදුවුණා. ඇය එහිදී හැදෑරුවේ අභ්‍යවකාශ ඉංජිනේරු විද්‍යාවයි. ඒ ගැන ඇය කියන්නේ මෙහෙමයි.
“අභ්‍යවකාශ ඉංජිනේරු විද්‍යාව හුඟක් අමාරු විෂයයක්. මේ පාඨමාලාව හදාරන්න මුල් අවුරුද්දේ මා ඇතුළු සිසුසිසුවියන් 280ක් තෝරාගෙන තිබුණා. ඒ පිරිස අතරින් මුල් වසරේ දක්ෂතම ශිෂ්‍යයාව වූයේ මමයි. දෙවන වසරේ දී ශිෂ්‍ය පිරිස 60ක් දක්වා අඩු වුණා. ඒ හැට දෙනා අතර තවත් ගැහැනු ළමයි දෙතුන් දෙනක් හිටියා. ගැහැනු ළමයෙක් මේ වගේ විෂයයක් තෝරා ගන්නව කියන්නේ ලොකු අභියෝගයක්. මං ඒ අභියෝගය සාර්ථකව ජයගත්තා. මගේ අම්මා මං වෙනුවෙන් ලංකාවෙ ඉඳන් බෝධිපූජා තිබ්බා. බාරහාර වුණා. මං විශ්වාස කරනව, මගේ ගමන ඒවා ලොකු ශක්තියක් වුණා. තුන් වැනි අවුරුද්ද අවසානයෙදි මම විශ්ව විද්‍යාලයෙන් පිට වුණේ අභ්‍යවකාශ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධිය ලබපු එකම සිසුවිය හැටියටයි. එතකොට මගේ වයස අවුරුදු 19යි.
“ඒ වන විට මම කරන්න යන රැකියාව ගැන හිතල තිබුණා. මගේ ආසාව තිබුණෙ නාසා ආයතනයට හෝ රොල්ස් රොයිස් (Rolls-Royce) ආයතනයට බැඳෙන්නයි. මගේ උපාධියට අනුව යායුතු හොඳම ආයතන දෙක ඒවායි. එතැනදි මට අවස්ථාව ලැබුණා, ලෝකප්‍රකට රොල්ස් රොයිස් සමාගම සමග එක්වෙන්න. රෝල්ස් රොයිස් මෝටර් රථ නිසා ලෝ ප්‍රකට මේ සමාගම ගුවන්යානා එන්ජින් තැනීම පිළිබඳව ද ලෝකයේ ප්‍රමුඛම ආයතනයක්.
“මං රෝල්ස් රොයිස් සමාගමට ඉල්ලුම් පත්‍රයක් දානව කිව්වම එංගලන්තෙ ඉන්න මගේ යාළුවො මට හිනා වුණා, පිරිමි ඉංජිනේරුවන්ටවත් යන්න අමාරු තැනකට ඔයාට යන්න පුලුවන්ද කියලා. ඒත් සම්මුඛ පරීක්ෂණ කීපයකට පස්සෙ ඒ සමාගම මාව තෝරා ගත්තා, අභ්‍යවකාශ ඉංජිනේරුවරියක් හැටියට. ඒ මං ඉල්ලුම් පත්‍රයක් දමාපු අවුරුද්දේ ඉංජිනේරු අංශයේ පුරප්පාඩු 60ක් විතර තිබුණා. ඊට අමතරව අනෙක් අංශවලත් එක්ක රැකියා අවස්ථා 120ක් විතර තිබුණා. ඉල්ලුම් කරන්න මුළු ලෝකයටම විවෘත නිසා මේ සඳහා ඉල්ලුම් පත්‍ර ලක්ෂ තුනක් විතර ලැබී තිබුණා. මම ඒ සඳහා ඉල්ලුම් කළේ ඉංජිනේරු අංශයෙන්. මේ සමාගම ඇයදුම්කරුවන්ගේ අධ්‍යාපන සුදුසුකම් වගේම පෞරුෂය ගැනත් සොයා බලලයි ආයතනයට තෝරා ගත්තේ.
“රැකියාවට ගොස් වසර දෙකක් යද්දී මට තවත් වගකීමක් පැවරුණා. ඒ, රෝල්ස් රොයිස් සමාගම විසින් ලොව පුරා ඉදි කරන ගුවන්යානා අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානවලට උපදෙස් හා යාන්ත්‍රික සැලසුම්කරණය අංශය භාරව ඊට නායකත්වය සැපයීමයි. ඒ අනුව ලෝකයේ ලොකුම ගුවන්යානා අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක් වූ ඇමරිකාවේ ඇට්ලැන්ටාහී ඩෙල්ටා ටෙක් සෙන්ටර් (Delta Tech) හදන්න නායකත්වය දෙන්නට මට හැකි වුණා. ඒ වගේම තවත් බොහොමයක් රටවල ඉදිකෙරන එවැනි මධ්‍යස්ථානවලටත් මගේ මැදිහත්වීම සිදු වෙනවා.
“මේ අතර අපේ සමාගම, තීරණය කරනවා, කෘත්‍රිම බුද්ධිය (Atificial Intelligence) සහිත එන්ජින් නිපදවන්නට. ඒ වගකීම මා ඇතුළු ඉංජිනේරු කණ්ඩායමකට පවරනවා. අප දැන් කරගෙන යන්නේ. ඒ කටයුත්තයි, මගේ කණ්ඩායමට ලෝකයේ විවිධ රටවලින් ආ ඉංජිනේරුවන් 90ක් අයත් වෙනවා. අපි එංගලන්තයේ සිටයි, මේ පර්යේෂණය සිදු කරමින් ඉන්නේ. වසර කීපයක් ඇතුළත මේ කටයුත්ත සාර්ථකව නිම කරන්න අපට හැකි වේවි.
“එවැනි කෘත්‍රිම බුද්ධිය සහිත එන්ජිමක් තැනුවොත්, පියසැරියක් අතරතුරදී යානය කාර්මික දෝෂයකට ලක් වුණොත්, ඒ කාර්මික දෝෂය කුමක්ද? එය හටගෙන ඇත්තේ යානයේ කුමන තැනකද? ඒ තත්වය යටතේ යානයට කොපමණ වේලාවක් ගුවනේ රැඳී සිටිය හැකිද? ඊළඟට ගත යුතු පියවර කුමක්ද? යනාදී වශයෙන් තොරතුරු සපයන්න එහි ඇති කෘත්‍රිම බුද්ධියට පුලුවන්. එය ගුවන් යානා තාක්ෂණයේ ලොකු ඉදිරි පිම්මක් වේවි.” ඇය එය පැහැදිලි කළා.
ඇගේ අපේක්ෂාව තමන් සතු දැනුම හා හැකියාවන් තම රාජකාරි කරන රෝල්ස් රොයිස් සමාගමේ දියුණුවට පමණක් නොව සමස්ත ලෝකයේ ම යහපත පිණිස යෙදවීමටයි. ඒ අනුව ඇය නවෝත්පාදනයන්, නව සොයා ගැනීම් හා පර්යේෂණ සඳහා තමාගේම ආයතනයක් එංගලන්තයේ පිහිටුවා ගෙන තියෙනවා. ඒ යටතේ දැනටමත් පර්යේෂණ ව්‍යාපෘති හතරක් ක්‍රියාත්මක වන අතර ඉන් එකකට මුදල් යොදවන්නේ බ්‍රිතාන්‍ය රජයයි.
නිපුණිගේ ඊළඟ අපේක්ෂාව ඇය උපන් රට වන ශ්‍රී ලංකාවට සිය දැනුම ලබා දීමටයි. ඒ අනුව ඇය තම ආයතනයේ ශාඛාවක් මෙරට ස්ථාපිත කර ඉංජිනේරු උපාධිධාරී තරුණ තරුණියන්ට ගෝලීය වශයෙන් ඉදිරියට යාමට අවශ්‍ය පරිසරයක් නිර්මාණ කර දීමටත්, අන්තර්ජාතික ව්‍යාපෘති කීහිපයක් මෙහි දී ආරම්භ කිරීමටත් ඇය බලාපොරොත්තු වෙනවා.
ශ්‍රී ලාංකික තරුණියක් ලෙස ඇය තමා මෙතෙක් ආ ගමන් මග පිළිබඳව නිහතමානීව ආඩම්බර වන බවත් ලොව කොතැන ගියත් ශ්‍රී ලංකා නාමය ඉහළට ඔසවා තැබීම තම අපේක්ෂාව බවත් ඇය කියයි.
අපේ රටේ තරුණ පරපුරට මහඟු ආදර්ශයක් හා දිරියක් සපයන ඇගේ දිවිය සෑම අතකින්ම සාර්ථක වී අභ්‍යවකාශ ඉංජිනේරු විද්‍යා තක්ෂණය ඔස්සේ ලෝකයට මහා මෙහෙයක් කරන්නට ලැබේවා! යන්න ‘මල්කැකුළු’ අපේ පැතුමයි.
- පර්සි ජයමාන්න
0 Comments