අද ලෝක වන ජීවී දිනයයි! මේ වසරේ තේමාව ‘වනාන්තර හා ජීවන පරිසරය: මිනිසා හා ග්‍රහයා තිරසාරව සුරකිමු!’ (Forests and Livelihoods: Sustaining People and Planet) මෙහිදී අවධානය යොමුවන්නේ වනාන්තරවලට, ඒවායේ ජීවත්වන සත්ව හා ශාක විශේෂවලට, පරිසර පද්ධතිවලට, ලොව පුරා මිනිස් වර්ගයා ජීවත්කරවන සේවා සපයන පරිසර පද්ධතිවලට, වනාන්තරාසන්නව ජීවත් වන, අනාදිමත් කාලයක් තිස්සේ වනාන්තර සමග ගැටගැහුණු ස්වදේශික හා දේශික ප්‍රජාවගේ ජීවිත අයත් වන පෘථිවි ග්‍රහයාට අයත් සමස්තයට ම ය. එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්කවලට අනුව ජනතාව තුළ ඇති දිළිඳුකම තුරන් කිරීම, පරිසරය රැක ගන්නා අතරම, ජීවිත රැක ගැනීමට ප්‍රමාණවත් සම්පත් පරිසරයෙන් ලබා ගැනීම සහතික කිරීම ද අවධාරණය කර තියෙනවා.
සෑම වසරකම මාර්තු 03 දා ‘ලෝක වනජීවී දිනය’ නම් කෙරුණේ ලෝකයේ තර්ජනයට ලක්වූ ජීවි විශේෂයන්ගේ අන්තර් ජාතික වෙළඳාම් පිළිබඳ සම්මුතිය වන CITES සම්මුතියට වසර 40ක් සැපිරීම නිමිත්තෙන් 2013 මාර්තු 03 දින බැංකොක් නුවරදී පැවති පාර්ශ්වකරුවන්ගේ 16 වන සම්මේලනයේදී ගෙන ආ යෝජනාවක් අනුවයි. ඒ අනුව එම වසරේ දෙසැම්බර් මාසයේදී ජිනිවාහිදී පැවැති එක්සත් ජාතීන්ගේ 68 වන මහා සභාවේදී වනජීවීන් පිළිබඳව ලෝක අවධානය යොමු කිරීම සඳහා සෑම වසරකම මාර්තු 3 වන දා ‘ලෝක වනජීවී දිනය’ ලෙස නම් කෙරුණා. එතැන් පටන්, 2014 වසරේ සිට එක්සත් ජාතීන්ගේ වාර්ෂික දින දර්ශනයේ එය සටහන් වෙනවා. වනජීවීන් පිළිබඳව ලෝක අවධානය යොමු කර වන සහ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වන විශේෂිතම දිනය බවට පත්ව තියෙනවා. එදා පටන් වසරක් පාසා විවිධ තේමාවන් යටතේ මේ දිනය තුළ ලෝකයාගේ අවධානය යොමු කරනවා.
මෙවර තේමාව වූ ‘වනාන්තර හා ජීවන පරිසරය’ යටතේ වනාන්තර ගතව හා ආශ්‍රිතව වෙසෙන මිනිසා ඇතුළු හා ශාක හා සත්ව ප්‍රජාවන් කෙරෙහි අවධානය යොමු කෙරෙනවා. මේ වන විට ලොව පුරා වනාන්තර තුළ හා වනාන්තර ආශ්‍රිතව දිවිරැක ගන්නා මිනිස් ප්‍රජාව මිලියන 200ත් 350ක් අතර ප්‍රමාණයක් වන බව කියැවෙනවා. ඔවුන් විවිධ පරිසර පද්ධති තුළින් සේවා සපයා ගනිමින් ඔවුන්ගේ ආහාර, බලශක්තිය, ශාක ඔසු වැනි මූලික අවශ්‍යතා සපුරා ගනිමින්, රැකෙන බව අප විසින් පිළිගත යුතු වෙනවා.
මිනිසුන් සහ වනාන්තර අතර ඇති සහජීවනය, වනාන්තරයේ වාසය කරන වනජීවී විශේෂ සහ ඉන් සැපයෙන පරිසර පද්ධති සේවාවන් අතර, ඒ පරිසරවල වෙසෙන ස්වදේශිකයන්ට විශේෂ අවධානයක් යොමු කෙරෙනවා. ලෝකයේ භූමි ප්‍රමාණයෙන් දළ වශයෙන් 28% ක් දැනට කළමනාකරණය කෙරෙන්නේ මේ වනාශ්‍රිත ප්‍රජාවන් අතිනුයි. පෘථිවියේ වඩාත්ම පාරිසරික වශයෙන් නො වෙනස් වන වනාන්තර ද ඇතුළුව, මෙම අවකාශයන් ඔවුන්ගේ ආර්ථික හා පෞද්ගලික යහපැවැත්මට පමණක් නොව ඔවුන්ගේ සංස්කෘතික අනන්‍යතාවන්ට ද මූලික වෙනවා.
වනාන්තර, වනාන්තර විශේෂ සහ ඒවා මත යැපෙන ජීවනෝපායයන්, දේශගුණික විපර්යාසයේ සිට ජෛව විවිධත්ව හානිය සහ COVID-19 වසංගතයේ සෞඛ්‍යය, සමාජ හා ආර්ථික බලපෑම් දක්වා බහු විධ ලෝක අර්බුද රැසකට දැන් අපට මුහුණ පෑමට සිදුවී තිබෙනවා.
2021 මාර්තු 3 වන දින ලෝක වනජීවී දිනයේ තේමාව වූ ‘වනාන්තර හා ජීවන පරිසරය: මිනිසා හා ග්‍රහයා තිරසාරව සුරකිමු!’ යන්න පෙරදැරි කර ගෙන වනාන්තරය පදනම් කරගත් ජීවනෝපායන් සැලැකිල්ලට ගනිමින්, වනාන්තර හා වනජීවී කළමනාකරණ ආකෘති සහ මානව යහපැවැත්මට මෙන්ම, වනාන්තර සංරක්ෂණය දිගු කාලීනව පවත්වා ගෙන යාම, වනාන්තරවල හා ඒ ආශ්‍රිතව වෙසෙන මිනිසුන්, සතුන් සහ ශාක හා ඒවා පවත්වා ගෙන යන පරිසර පද්ධති, මෙන්මඅවදානමට ලක් වී ඇති ස්වාභාවික පද්ධති සමඟ වඩාත් තිරසර සබඳතාවක් ඇති කර ගනිමින් සමස්ත ලෝකය තිරසාරව රැක ගැනීමට මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරෙනවා.
ශ්‍රී ලංකාව ගැන සලකන විට, මෙවර ලෝක වනජීවී දිනයේ තේමාවට අනුව මිනිසාත්, පරිසරයත්, සතුනුත් සමබරව රැක ගැනීමට නම් විශේෂ අවධානයක් යොමුවිය යුතු ගැටලු කීපයක් ම තියෙනවා. අලි මිනිස් ගැටලුව, අපේ රටට පමණක් ආවේණික වූ වඳ වී යාමේ ගැට්ටේ ඉන්නා ශ්‍රී ලංකා කොටියා රැක ගැනීම, දුර්ලභ ශාක වර්ග හොර රහසේ රට පැටවීම, සංවර්ධනයේ මුවාවෙන් කරන වන සංහාරය, පරිසරය සුරැකීමට ස්ථාපිත කර ඇති ආයතනවල අක්‍රමිකතා හා දූෂණ ආදිය ඉන් කීපයක්. මේ පරිසර විනාශයන් වැඩි හරියක් සිදු වන්නේ ඒ පිළිබඳ නිවැරදි දැක්මක් හා දැනුමක් ජනතාව අතර නොමැති වීම නිසයි.
මේවා ගැන පුළුල් සමාජ කතිතාවක් සිදු විය යුතුව තියෙනවා. ජනතාවගේ පරිසර සාක්ෂරතාව නංවාලීමට විශේෂ පියවර ගණනාවක් ම විවිධ මට්ටම්වලින් ගත යුතු වෙනවා. පාසල් අධ්‍යාපනයත් පරිසර සාක්ෂරතාවට වැඩි බරක් තබා පාඨමාලා සැකසීම අවශ්‍ය වෙනවා. සමාජයේ වැඩිදෙනකුට පරිසරයේ වැදගත්කම ගැන හොඳ අවබෝධයක් ඇත්නම් වරදක් බව දැනගෙනත් තම පුද්ගලික වාසිය පරිසරය වනසන, ඒවාට උඩගෙඩි දෙන අයට වුවත් එසේ කරන්න පොදු ජනයා ඉඩ තියන්නේ නැහැ. ඒ බව පසුගියදා සිදු වූ දාරළුවේ කෲඩියා සිලනිකා ශාකය බේරා ගැනීම වැනි සිදුවීම්වලින් ඔප්පු වෙනවා.
ලෝක වනජීවී දිනය නම් කර ඇත්තේ අඩුතරමින් එදිනවත් මේ පිළිබඳව කතිකාවතක් ජනතාව තුළ සන්නිවේදකයන් මගින් සිදුවේයැයි සිතා වුවත් ඒ පිළිබඳව ප්‍රමාණවත් කතිකාවතක් සිදු වූ බවක් අපට නම් පෙනුණේ නැහැ.
- පර්සි ජයමාන්න
0 Comments