මීට වසර 10කට පෙර අප ‘ලොව වෙනස් කළ විස්මිත සොයා ගැනීම්’ යටතේ 2011 නොවැම්බර් 12 වැනිදා ‘මල්කැකුළු ‘ ඔස්සේ ‘ඇන්ටිකිතෙරා යාන්ත්‍රණය’(Antikythera Mechanism) කියා නම් කළ විස්මිත උපකරණයක් ගැන සටහනක් තැබුවා ඔබට මතක ඇති. අද මේ අපූරු උපකරණයේ ඩිජිටල් අනුරුවක් තනන්නට විද්‍යාඥයන් සමත් වී තියෙනවා.
එදා අප මේ විස්මිත උපකරණය ගැන මෙසේ කීවා. “වසර 2100කට පෙර පරිගණකයක් නිපදවා තිබුණා යැයි කීවොත් එය ඔබගේ මවිතයට හේතුවනු නොඅනුමානයි. එය එකල ලොව පැවති විස්මිතම නිර්මාණය වූවාට නිසැකය. මහමුහුදේ අවතැන්ව, මුහුදු පත්ලේ තිබී, මීට වසර සියයකට පෙරාතුව සොයා ගන්නා ලද මේ අපූර්ව නිර්මාණය තවත් වසර සියයක් පුරා අබිරහසක් ව පැවතියේය. එහි යම් කිසිවක් රහස් කේත මගින් ලියා තිබුණු අතර එය විකේතණය කිරීම පසුගිය වසර සියය පුරා ම කිසිවකුටත් නොහැකි වී තිබුණේය.” ඔබ කැමති නම් ඒ ලිපිය මෙතැනින් කියවන්න පුලුවන්.
මේ ඇන්ටිකිතෙරා යාන්ත්‍රණය මීට වසර 2000කට ඉස්සර පුරාණ ග්‍රීකයන් විසින් කළ නිමැවුමක්. හිරු ඇතුළු ග්‍රහලෝක හා ඈත අහසේ වරින් වර දක්නට ලැබෙන විස්මිත දෑ දැක ගන්න අවශ්‍ය කාල වකවානු ගණනය කිරීමට හදපු නිර්මාණයක්.1901 දී ග්‍රීසියට නුදුරින් මුහුදේ ඇන්ටිකිතෙරා දූපත අසල මුහුදේ මුහුදුබත් වූ නැවකින් ගොඩගත් නිසා මේ විස්මිත උපකරණය ‘ඇන්ටිකිතෙරා’ කියා නම් කරනු ලැබුවා.
වසර 100ක් තිස්සේ විද්‍යාඥයන් උත්සාහ කළා, ඇන්ටිකිතෙරා යාන්ත්‍රණය තේරුම් ගන්න. මීට අවුරුදු 10කට ඉස්සර මා මේ ගැන කියන කොටත් ලොවපුරා විද්‍යාඥයන් මේ ගැන හෙදරවු කර ගන්න වෙහෙසෙමින් තමයි, හිටියේ. මෙය 1901 දී හමුවන විටත් මෙහි මුහුණත කොටස විනාශ වී ගෙස් තිබුණ නිසා තමයි, මෙ ගැන සෙවීම අපහසු වී තිබුණේ.
දැන් ලන්ඩන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් කෙසේ හෝ සමත්වෙලා තියෙනවා, ලෝකයේ පැරණිතම පරිගණකය යැයි සැලකෛන මේ විස්මිත උපකරණයෙහි ඩිජිටල් අනුරුවක් තනන්න.
මෙහි එක්ස්රේ පිළිබිඹු එකතුවත් පුරාණ ග්‍රීක ගණිත විශ්ලේෂණ ක්‍රමත් යොදා ගෙන ඔවුන් සමත් වී තියෙනවා, එහි ඉතිරිව ඇති බාහිර ලක්ෂණ හා ලෝකඩ තහඩුවෙහි කොටා ඇති අකුරු හා රූපවල ශේෂයන් යොදා ගෙන එහි මුහුණතෙහි ඇති රටාව අලුතින් මවා ගන්නට.
මෙහි ඩිජිටල් තොරතුරුවලින් පැහැදිලි වුණා එහි මැද ඇත්තේ පෘථිවිය බව. ඒ වටේට චන්ද්‍රයාගේ කලාවන් යොදා තිබුණා. ඒ සමගම සූර්යයාත්, රාශි දොළහත්, බුද, සිකුරු, අඟහරු, බ්‍රහස්පතී හා සෙනසුරු සඳහා වළලුත් යොදා තිබුණා.
ඒ පර්ෂයේෂක පිරිසේ ප්‍රධානියා වූ ලන්ඩන් විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ මහාචාර්ය ටෝනි ෆ්‍රීත් (Tony Freeth) ඒ පිළිබඳ මෙසේ විස්තර කළා. ‘මේකට ගැළපෙන අනුරුවක් තනන්න ගත් උත්සාහන් අතරින් අපේ අනුරුව තමයි, වඩාත් හොඳින් එහි ඇති බාහිර ලක්ෂණවලට ගැළපෙන්නේ. ඒ යේ ඒ වගේ ම එහි යාන්ත්‍රණයේ ඇතුළේ කොටා ඇති විද්‍යාත්මක තොරතුරුවලටත් වඩාත් ගැළපෙන්නේ’
‘සූර්යයාත්, චන්ද්‍රයාත්, අනෙක් ග්‍රහ ලෝකත් මෙහි දක්වා ඇති අයුරු පුරාණ ග්‍රීකයන්ගේ විශිෂ්ටත්වය පිළිබිඹු කරනවා.’ ඔහු පවසනවා.
ඊජියන් මුහුදේ පිහිටි ග්‍රීක දූපතක් වූ ඇන්ටිකිතෙරා වෙරළාසන්න සාගර ප්‍රදේශයේ ස්පන්ජි එකතු කරන්න ගිය කිමිදුම්කරුවන්ට රෝමන් යුගයේ මුහුදු බත් වූ නැවක තිබිලයි 1901 දී මේ අපූරු උපකරණය හමුවී තියෙන්නේ.
‘ඇන්ටිකිතෙරා යාන්ත්‍රණය’ ලොව පුරා විද්‍යාඥයන් ආකර්ෂණය කළ විස්මිත උපකරණයක් වුණා. එය හැමෝගේම අවධානයට හා කතාබහට ලක්වුණා. ඒ හැම දෙනාම පුදුම වුණා. සියවසකට කලින් හමුවුණත් එය කුමක්දැයි තේරුම් ගැනීම ඔවුන්ට ලේසි වුණේ නැහැ.
එහි සටහන්ව ඇත්තේ ග්‍රහලෝකවල චලිතය හා විස්තර බවත් තේරුම් ගන්නට පුලුවන් වුනා. ඒ වගේම දැක ගන්න පුලුවන් වුණා, සූර්යයා ඇතුළු ග්‍රහලෝකවල ගමන්මඟත්, චන්ද්‍රයාගේ කලාවන් හා රාශි චක්‍ර පිහිටා ඇති ආකාරයත් පමණක් නොව ඔලිම්පික් ක්‍රීඩා වැනි ඒ කාලේ සිදුවූ වැදගත් සිදුවීම් පවා එහි ඇතුළත්ව තිබූ බව.
මෙහි ග්‍රහයන් පස් දෙනකු පමණක් වූයේ ඒ කාලයේ සෞරග්‍රහ මණ්ඩලයේ ඇතැයි හඳුනාගෙන තිබුණේ ඒ ග්‍රහලෝක පහ විතරක් වීම නිසයි. ග්‍රීකයන් පෘථිවිය විශ්වයේ කේන්ද්‍රය ලෙස යොදා තමයි, එය සකසා තිබුණේ. ඒ සියල්ල සලකා බලලයි මේ ඩිජිටල් අනුරුව තැනුවේ. පර්යේෂකයන් කියන්නේ ඒක කේන්ද්‍රයක් සහිතව බුද, සිකුරු, අඟහරු, බ්‍රහස්පතී හා සෙනසුරු එහි දක්වා තිබුණු බවයි.
ඔවුන් මෙහි වැඩ පටන්ගත්තේ ලන්ඩන් කෞතුකාගාරයේ යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ ප්‍රධානියා වූ මයිකල් රයිට් (Michael Wright) සමගයි. ඔහු තමයි, ග්‍රහ චලිතය ඇතුළත්වන ලෙස මෙහි මුල්ම ක්‍රියාත්මක කළ හැකි පද්ධතියක් තැනුවේ. ඒත් එය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ හැකි වුණේ නැහැ. පසුව ඔහු විශ්‍රාම ගත්තා. ඒත් පර්යේෂකයන් මේ කාර්යය නැවැත්තුවේ නැහැ. ඔහු නැවැත්වූ තැන සිට දිගටම වැඩ කළා.
කෙසේ වෙතත් ඒ වන විට ඒ මුල් යාන්ත්‍රණයෙන් තුනෙන් එකක් පමණයි, ශේෂව තිබුණේ. එය ද කොටස් 82කට වෙන් ව තිබීම නිසා ඒවායේ එකිනෙකට ඇති සම්බන්ධය එහි ඇති රහස් කේතයන් විකේතනය කර තේරුම් ගන්නා තුරු කාර්යය සම්පූර්ණ කළ හැකි වුණේ නැහැ.
එහි විශාලම කොටස Fragment A ලෙස හැඳින්වෙනවා. එහි දැක්වෙන්නේ චලනයන්හි දිසාව ආදිය පෙන්වන බෙයාරිම, කුලුනු හා බ්ලොක් එකක් තමයි. ඊළඟට Fragment D කොටසට ඩිස්කයක් හා දැති 63ක් සහිත ගියරයක් හා තැටියක් ඇතුළත් වෙනවා.
2005 දී කරන ලද පරීක්ෂණවලදී එහි ඇතුළත එක්ස්රේ කිරීමෙන් ලබා ගන්නා ලද දත්තවලින් එහි සැඟවී ඇති සංකේත හා අක්ෂර දහස් ගණනක් සොයා ගෙන තිබුණා.
පසුපස කවරයෙහි කැටයම් කර ඇති විශ්වය පිළිබඳ රූ සටහනක්, එහි දී ග්‍රහයන්ගේ ගමන් වළලුවලින් දක්වා ඇති අතර ග්‍රහයන් පබළුවලින් සලකුණු කර ඇති බවත් දැක්වෙනවා. මේක තමයි, ලන්ඩන් විශ්ව විද්‍යාල පර්යේෂණ කණ්ඩායමට මේ උපකරණ යළි නිර්මාණය කිරීම සඳහා උදවු වුණේ.
මුල් කවරයේ ඉතා වැදගත් අංක දෙකක් තිබුණා. 462 හා 442 වශයෙන්. එයින් දැක්වුණේ සිකුරු හා සෙනසුරු චක්‍රවල කාල වර්ෂයි. ඒ අංකවලින් තමයි මොවුන් මේකට පොක් පාදා ගත්තේ. පෘථිවියේ සිට බලන අතැම් විටෙක මේ ග්‍රහයන්ගේ මේ චක්‍ර තරුවලට සාපේක්ෂව අවගමනයක් සිදු වෙනවා වාගේ පෙනෙනවා. මේ විචල්‍ය චක්‍ර දිගු කාලයක් තිස්සේ අධ්‍යයනය කිරීමෙන් තමයි, ඒවා පවතින ස්ථාන පිළිබඳව නිශ්චිතව කිව හැක්කේ.
ඇන්ටිකිතෙරා පර්යේෂක කණ්ඩායමේ සාමාජිකයකු වූ ආචාර්ය උපාධි අපේක්ෂක ඒරිස් ඩැකනාලිස් (Aris Dacanalis) ඒ ගැන මෙහෙම කියනවා. ‘සම්භාව්‍ය ජ්‍යොතිෂය ආරම්භ වූයේ ක්‍රි. පූ. පළමුවන සහස්‍රකයේදී බැබිලෝනියාවෙන්. එහෙත් ඒ ජ්‍යොතිෂයේ දක්වා නැහැ ග්‍රීකයන් තරම් නිවැරදිව මේ 462 හා 442 ආදී වශයෙන්. ඒවා තනිකරම ග්‍රීකයන්ගේ හැකියාවන්.’
පුරාණ ග්‍රීක දාර්ශනිකයකු වූ පෑමෙනඩීස් (Parmenides)ගේ ගණනය කිරීමේ ක්‍රම වේදයන් යොදා ගෙන මේ පර්යේෂණ කණ්ඩායම මේ සෙනසුරු හා සිකුරු ග්‍රහයන්ගේ චක්‍රවල කාල වර්ෂ නිර්ණය කළා පමණක් නොව ඒ ක්‍රම වේදයට අනුව විනාශ වී ගොස් තිබුණු අනෙක් ග්‍රහයන්ගේ ගණනය කිරීම් ද සියල්ල නැවත මතුකර ගත්තා.
පහත හඳහන් වීඩියෝවෙන් ඒ ‘ඇන්ටිකිතෙරා යාන්ත්‍රණය’ හැටි නරඹන්න
මහාචාර්ය ෆ්‍රීත් කියන්නේ, ‘කණ්ඩායමට හැකි වුණා, මේ සඳහා නව යාන්ත්‍රණයක් බිහි කරන්න. දැන් ඒකට අලුතින්ම එක්වී ඇති නව තාරකා විද්‍යාත්මක කරුණු ගළපා ගැනීමයි කළයුත්තේ. ඒ වගේ ම පැරණි ගියර පද්ධතිය අඩු කර සකසා ගත යුතු වෙනවා.’ කියායි.
මේ පර්යේෂණයේ පාර්ශ්වකරුවකු වූ ලන්ඩන් විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ මහාචාර්ය ඇඩම් වොයිජික් (Adam Wojcik) කියන්නේ, ‘දැන් කණ්ඩායමට අවබෝධයක් තියෙනවා මේ යාන්ත්‍රණය නිර්මාණය වී ඇති ආකාරය ගැන. ඊළඟ පියවර වන්නේ පුරාණ තාක්ෂණය සමග මෙය පෑහේදැයි පරීක්ෂා කර බලා ඔවුන්ගේ තර්කය ඔප්පු කිරීමයි.’ කියායි.
ඇන්ටිකිතෙරා යාන්ත්‍රණය පුරාණයේ යොදා ගත්තේ කුමකට ද?
ලෝකඩවලින් තැනූ ගියර හා තැටි සහිත මේ දිරා ගිය ඉපැරණි මෙවලම තාරකා විද්‍යාත්මක උපකරණයක් ලෙසයි සැලකෙන්නේ. ඒත් එහි ඇතුළත ඇත්තේ කුමක් ද යන්න අබිරහසක්ව පැවතුනා.
වසර 10කටත් වැඩිකාලයක් තිස්සේ අන්තර්ජාතික විද්‍යත්මක පර්යේෂණ කණ්ඩායමක් ඉමහත් වෙහෙසක් ගෙන කළ පර්යේෂණයකින් පසු මීට වසර 2100ක් පැරණි මේ මෙවලමෙහි අක්ෂර හා ඉලක්කම් 3,500ක් විතර සොයා ගනු ලැබුවා. විශ්වය පිළිබඳ දැනුම ගෙනෙන මෙහි ඇත්තේ ඒ එහි වූ සටහන්වලින් කාලක් විතරයි.
ඔවුන් කියන්නේ මෙය විශ්වය පිළිබඳව දාර්ශනිකයකුගේ මාර්ගෝපදේශක මෙවලමක් කියලයි. සමහරවිට මෙය ලොව ඉපැරණිම යාන්ත්‍රික පරිගණකය විය හැකියි.
- පර්සි ජයමාන්න
0 Comments