උද්භිද විද්‍යාඥයෙක් ඉපැරණි ගසක් යට දේශනයක් පවත්වමින් සිටියා. එහිදී ඔහු තමා පසුබිමේ ඇති රූස්ස ගස පෙන්වමින් මෙසේ කීවා. ‘තමුන්නාන්සේලා දන්නවාද මේ ගස අවුරුදු හාරදාහක් පැරණියි!’
ඒ දේශනය අසන්නට ආ පිරිස අතර සිටි නස්රුදින් සෙනඟ අතරින් ඉදිරියට ආවා. ඇවිත් සුපුරුදු පරිදි ඒ කතාවට හොට දැම්මා.
‘නෑ! නෑ! ඒක වැරදියි. හරියට ම කියනවා නං මේ ගහේ වයස අවුරුදු හාර දාස් දෙකයි.’ නස්රුදින් කීවා.
‘ඕ! මොකක්ද ඒ කතාවෙ තේරුම? කොහොමද ඔහෙ හරියට ම එහෙම කියන්නේ, හාරදාස් දෙකයි කියලා’ දේශකයා පෙරඵා නස්රුදින්ගෙන් ප්‍රශ්න කළා.
‘ඒක මෙහෙමයි, ඔබතුමා හරියට ම මීට අවුරුදු දෙකකට ඉස්සෙල්ලා මේ ගහ යටදි මේ විදියට ම කතාවක් කරලා කිව්වා මේ ගහට අවුරුදු හාරදහසක් වයසයි කියලා. ඒක හරි නම් දැන් මේ ගහට අද වෙනකොට වයස අවුරුදු හාරදහස් දෙකක් වෙන්න ඕනෑ නේද?’ නස්රුදින් ඇහුවා.
(පර්සි ජයමාන්නගේ ‘නස්රුදින්ගේ අපූරු කතා’ කෘතියෙනි)
0 Comments