අතීත සිතුමිණි 5 - ක්‍රිස්තු පූර්ව 250,000 පමණ
වසර 250,000කට තරම් ඈත කාලයකදී පාෂාණ තියුණු කර හැඩ තල ඇති කර ගැනීමේ තාක්ෂණයක් ආදි කල්පික මානවයා හඳුනා ගෙන තිබුණු බව පුරාවිද්‍යාඥයන් විසින් සොයා ගෙන තියෙනවා. මේ මෙවලම් තනන තාක්ෂණ හඳුන්වා ඇත්තේ ලෙව්ලොවා (Levallois) තාක්ෂණය කියලයි. ඒ ක්‍රමය පිළිබඳ නව අදහස මේ නමින් අද අපි හැඳින්නුවත් ඊට මුල් වූ නියැන්ඩර්තාල් මානවයා ඒ වගක් දැන ගෙන හිටියේ නෑ. අද විද්‍යාඥයන් මේ නමින් හඳුන්වන්නේ නියැන්ඩර්තාල් මානවයාගේ ඒ පැරණිම ගල් මෙවලම් හමු වූ ප්‍රංශයේ පැරිස් අගනුවර ආසන්නව පිහිටි ලොව්ලොවා නම් ස්ථානය අනුව යමින්. මේ නම තබනු ලැබුවේ 19 වන සියවසේදියි.
නියැන්ඩර්තාල් මානවයා තමා දන්නා තාක්ෂණ වැඩි දියුණු කළේ නව අදහස් නැවත නැවතත් ඊට එක්කරමින්. දැන් ලෙව්ලොවා තාක්ෂණය කියා හඳුන්වා ඇත්තේ ඒ දියුණු තත්වයයි. මේ ක්‍රමය ඒ ආදි මානවයාට ඉතාමත් ප්‍රශස්ත මෙවලම් තනා ගන්නට උපකාර වුණා. ලෙව්ලොවා තාක්ෂණය ආරම්භ වන්නේ නියැන්ඩර්තාල් මානවයා අතට සුදුසු පාෂාණ කෝරා ලත් අවස්ථාවේ පටන්. එසේ තෝරා ගත් පාෂාණ කැබැල්ල තවත් ගලක් මත තවත් ගලකින් එහි දාරයට කෝණාකාර පර දීමෙන් දාරයේ පතුරු ගැලවීමෙන් දාරය තියුණු කර ගන්නවා.
මෙසේ දාරය කැපෙන තරම් තියුණු කර ගත් පසු ගල් පතුර පිහියක් ලෙස හෝ එසේත් නැතිනම් හෙල්ලයක හිසට සවි කර ප්‍රක්ෂිප්තයක් හෙවත් දමා ගසන අවියක් ලෙස භාවිත කරන්න පුලුවන්. එයින් පහසුවෙන් ම ලොකු සතකු දඩයම් කර ගන්නට හෝ සතුරකුට මරණීය තුවාල සිදු කරන්න පුලුවන් වුණා.
ඒ කාලයේ නියැඩර්තාල් මානවයා භූගෝලීය වශයෙන් අප්‍රිකාවේ සිය උතුරු යුරෝපය තෙක් විසිර සිටිය අතර ඒ හැමදෙනාම වාගේ මේ තාක්ෂණය දැන සිටි බව දැන් හෙළි වී තියෙනවා. භූගෝලීය සාධක නිසා ඔවුන්ට මේ තාක්ෂණය වැඩි දියුණු කිරීමට මඟ පෑදුණා විය හැකියි.
විශාල සතෙකු දඩයම් කර ගැනීමෙන් දඩයම සඳහා අඩු කාලයක් ගතකොට වැඩි පිරිසකට ආහාර සපයා ගත හැකිවුණා විතරක් නොවෙයි, වැඩි පිරිසක් එක කණ්ඩායමකට එක් රැස් වුණා. තැනින් තැන දඩයම් සොයා නොගොස් එක තැනක ආරක්ෂා සහිතව දින ගණනාවක් රැඳී සිටීමට ද ඔවුන් හුරුවුණා. ඒ සමගම ඔවුන්ට තවත් සිතන්නට ඉඩකඩ සැලසුණා. ඊතල සිරසට සුදුසු පාෂාණ තනා සවි කිරීමට ඒ මානවයා සමත් වුණා. නියැඩර්තාල් මානවයා අනික් ආදී මානවයන්ට වඩා දරුණු ප්‍රචණ්ඩකාරී යැයි ඇතැම් පුරාවිද්‍යාඥයන් මිථ්‍යා මතයක් පළ කළේ ඔහු ලොකු සතුන් දඩයම් කිරීමට සමත් වීම නිසා විය හැකියි. ඇත්තෙන්ම ඔහුට ඒ හැකියාව ලැබුණේ තියුණු අවි තනන ‘ලෙව්ලොවා තාක්ෂණය’ සොයා ගත් නිසයි.
- පර්සි ජයමාන්න
0 Comments