මිනිසා විසි කරමින් පාවිච්චි කළ හැකි තියුණු (throwing spears) ආයුධ භාවිතය වසර ලක්ෂ හතරකට පමණ පෙර ප්‍රාග් ඓතිහාසික යුගයට දිව යන බව පසුගිය කාලයේ පුරාවිද්‍යාඥයන් විසින් කළ සොයා ගැනීමකින් සනාථ වී තියෙනවා. ඒවා හමුවන්නේ ජර්මනියේ හෙල්මිස්ටඩ් දිස්ත්‍රික්කයේ ශෝචින්නන් (Schöningen) ප්‍රදේශයේ ගල් අඟුරු ආකරයකින්. හෝමෝ හීඩල්බර්ජෙන්සස් (Homo heidelbergensis) මානවයා භාවිත කළේ යැයි සිතිය හැකි හෙල්ල විශේෂයක ආකෘති තුනක් සොයා ගෙන තියෙනවා. පේලියෝලිතික යුගයට අයත් මේ හෙල්ලවල් තුනෙන් දිගම එක අඩි 7යි අඟල් 7ක් වුණා. ඒ හැම එකක ම මුල වැඩි ඝනකමකින් යුතු වුණා. හරියට වර්තමානයේ ක්‍රීඩාවේදී අප හෙල්ල විසි කිරීමට යොදා ගත් තාක්ෂණයට සමාන වූ තාක්ෂණයක් ඒ කාලයේදීත් යොදා ගත් බව පෙනෙනවා. මේවා සමග දඩයම් කළ සත්ව අස්ථි 16,000ක් පමණ ද ගොඩ ගනු ලැබුවා.
වසර 380,000ත් 400,000ත් අතර කාලයේ දී යුරෝපයේ ප්‍රාග් ඓතිහාසික යුගයේ දී විසූ හෝමෝ නියැන්ඩර්තාල් මානවයන් හෙල්ල මුලට උල් කර තියුණු කළ ගල් කැබලි අමුණා තියුණු ප්‍රක්ෂිප්තයන් (sharp projectiles) ලෙස භාවිත කරලා තියෙනවා. ඊට ප්‍රථම ආදි මානවයා බොහෝ තැන්වල පාව්ච්චි කළේ මොට්ට ආයුධයි. තියුණු ප්‍රක්ෂිප්තයන් භාවිතය සතුරාට මාරක තත්වයක් ඇති කළා පමණක් නොව ඒවා වඩා දුරකට එල්ල කළ හැකි වුණා. ඒවා මගින් වඩා හොඳින් දඩයම් කළ හැකි වුණා. ඒ වගේ ම ආරක්ෂාව සලසා ගැනීමටත් ඒවා උදවු වුණා.
එපමණක් නොව ඒවා මගින් මිනිසාගේ තාක්ෂණික දැනුම ද වැඩි දියුණු වුණා. හෙල්ල මුලට සවි කරන උල් කොටස තියුණු කිරීමේ තාක්ෂණය ඊළඟට ආවා. ඒ සඳහා ගල් කැබලි වෙනුවට ලෝහ මුණත් යොදා ගන්නට කැණීම්වලින් යකඩ සොයා ගැනීමත් සමග ඒවා තනා ගැනීමේ තාක්ෂණයත් ආදි මිනිසා ඒ මුල් යුගයේ ම වාගේ හඳුනා ගත්තා.
දකුණු අප්‍රිකාවේ ආදි මානවයා ක්‍රිස්තු පූර්ව 64,000කට පෙර ඊතල හිසට කියුණු ලෙස උල් කළ ගල්කැබිලිති සවි කර ගෙන භාවිතයට ගත් බව පුරා විද්‍යාඥයන් විසින් සොයා ගෙන තියෙනවා.
සෙනෙගාලයේ චිම්පන්සීන් අතු කඩාගෙන ඒ රිටි තියුණු ලෙස උල් කර ගෙන දඩයම් සඳහා යොදා ගත් බව සත්ව විද්‍යාඥයන් විසින් මෑත දී නිරීක්ෂණය කරනු ලැබුවා. මේ හෙළිවීමත් සමග ආදි මානවයන් ලී දඬු උල්කර ගෙන ආයුධ තනා ගත් බව තහවුරු වුණා.
මෙවැනි දමා ගසන ආයුධ වැඩි පුර භාවිත කළේත් ඒවා නිපදවනු ලැබූවේත් ස්ත්‍රීන් විසින් යැයි නිගමනය කර තියෙනවා. ඒ බව සෙනෙගාලයේ චිම්පන්සි ගැහැනු සතුන් නිරීක්ෂණයෙන් සනාථ වුණා. ඒ නිසා ම පුරා මානව විද්‍යාඥයන් නිගමනය කරනවා, ආදි මානවයන්ගේ ස්ත්‍රීන් ද මේ ආකාරයෙන් ම ආයුධ තැනීම කරන්නට ඇතැයි කියා.
තියුණු ලෙස උල් කර දමා ගසන ආයුධ පහළ වූ දා සිට මිනිසාගේ ජීවන රටාව, සංස්කෘතිය වෙනස් වෙන්න පටන් ගත්තා. මිනිසාගේ දියුණුව වේගවත් වුණා. සරල බව, භාවිතයෙහි පහසුව, වැඩි දියුණු කෙරුණා. මේ ප්‍රක්ෂිප්ත ආයුධ වැඩි දියුණු වෙත් ම ඉලක්කය ගැනීමේ හැකියාවත් වර්ධනය වුණා. මේ දමා ගසන ආයුධ විවිධ හැඩ තල ගනිමින්, මානවයාත් සමග මිනිස් ඉතිහාසය පුරා වැඩි දියුණු වෙමින් පැවතුණා. ඒවා වෙනුවට විකල්පයක් පහළ වනතුරු ලොවපුරා ම භාවිත කරනු ලැබුවා. විකල්පයක් වශයෙන් ගිනි අවි නිපදවන තෙක් ඒවා සාර්ථක ලෙස භාවිතයට ගැනුණා. අද තවමත් එය ක්‍රීඩාවේදී භාවිතයට ගන්නා ජවලීනය තුළින් සංකේතවත් වෙනවා.
- පර්සි ජයමාන්න
0 Comments