HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ශ්‍රී ලංකාවේ දිය ඇලි අතර ඉහළම ආකර්ෂණය වූ දියලුම

දියලුම දිය ඇල්ල ගැන මීමන ප්‍රේමතිලකයන් තැබූ සෞන්දර්යාත්මක සටහනක් ඊයේ අප ඔබ හමුවේ තැබුවා. අද ඉදිරිපත් කරන්නේ තාක්ෂණික සටහනයි. අපේ රටේ ලස්සන ම දිය ඇල්ල ලෙස දුටුවන් පවසන දියලුම ඇල්ල ගැන අන්තර් ජාලය පීරා බැලුවොත් ඔබට වැරදි තොරතුරු කීපයක් ම දකින්න ලැබෙනවා.

ඉන් එකක් නම් එය ලංකාවේ උස ම දියඇලි අතර දෙවැනි ස්ථානය ගන්නා බවයි. විකීපීඩියා විශ්වකෝෂයේ මෙන්ම අනෙක් බොහෝ තැන්වලද ඉංග්‍රීසියෙන් පළ වී ඇත්තේ එසේ ය. එය සාවද්‍යයි. මේ පිළිබඳව කරුණු සොයා බලා, ශ්‍රී ලංකාවේ දිය ඇලි ගැන පර්යේෂණාත්මක ග්‍රන්ථයක් පළ කර ඇති එහි කතුවර ධර්මන් වික්‍රමරත්න සඳහන් කර ඇත්තේ දියලුම ඇල්ල උසින් තුන්වැනි තැන ගන්නා බවයි. ඒ අනුව හපුතලේ බඹරකන්ද ඇල්ල (මීටර 241) පළමුවන තැනටත්, වලපනේ කුරුඳුඔය ඇල්ල (මීටර 189) දෙවැනි තැනටත් වැටෙනවා. ශ්‍රී ලංකා මිනුම් දෙපාර්තමේන්තුව එහි උස දක්වා ඇත්තේ මීටර 171 ලෙසයි. මිනුම් දෙපාර්තමේන්තුව මෙතෙක් උස නිශ්චය කර දක්වා ඇති දිය ඇලි පහෙන් එකක් ලෙස මෙය හැඳින්විය හැකියි.

ශ්‍රී ලංකාවේ බදුල්ල දිස්ත්‍රික්කයේ ක‍ොස්ලන්ද-වල්ලවාය මාර්ගයේ, කොස්ලන්දේ සිට කිලෝමීටර 6ක් දුරින් පිහිටා ඇති දියලුම දිය ඇල්ල සොබාදහමේ ඉතාමත් ආකර්ෂණීය දසුනක් මවන්නක්. මෙය දිය ඇලි අතර විස්මයක් ලෙස හැඳින්වෙයි. පූනාගල ඔයෙන් පෝෂණය වන මේ දිය ඇල්ල මේ ආශ්‍රිත කුඩා දිය ඇලි කීපයකට පසුව එන අවසාන දිය ඇල්ල මෙයයි. මේ ජල දහර කුඩා ඔය හා එක්ව පසුව කිරිඳි ගඟට මුසුව අවසානයේදී තිස්සමහාරාමය ආසන්නයෙන් මහා සාගරයට එක් වෙනවා.

දියලුමට මේ නම ලැබී ඇත්තේ දියහලුම හෙවත් වේගයෙන් ගලා හැලෙන ජල කඳ යන අරුතෙනැයි කියවෙනවා. ඉංග්‍රීසි පාලන සමයේ ප්‍රථම ලාංකික මිනින්දෝරුවරයා ලෙස පත් වෙමින් සිය සේවය අරඹා ලංකාව පුරා මැනීම් කළ ඔහු සිය අත්දැකීම් අලලා ලංකාවේ වන ජීවිතය හා ජන ජීවිතය ගැනත්, භූමි ලක්ෂණ හා රටේ පිහිටීම ගැනත්, සංවර්ධන කටයුතු ගැනත් විවිධ පොත්පත් රාශියක් ලියා තියෙනවා. පසුව මිනුම්පති වූ, ආර්. එල්. බ්‍රෝහියර් නම් විද්වතා පවසා ඇත්තේ ඔහු මේ ‍රටේ දුටු සුන්දරම දිය ඇල්ල දියලුම බවයි.
දියලුම දිය ඇල්ල

මේ දිය ඇල්ලේ එක් පසෙකින් ඇත්තේ පතන් වනාන්තරයක්. ඒ පතන් බිම්වල ඉතා දුර්ලභ උරග විශේෂ කීපයක් ම ජීවත් වෙනවා. මෙහි ඉහළ කොටසේ වල් අලින්, දිවියන් හා වෙනත් සතුන් ද ඇති බව සඳහන් වෙනවා.

මේ දිය ඇල්ල නිර්මාණය පිළිබඳ ජනප්‍රවාදයක් ද ගැමියන් අතර තියෙනවා. ඒ අනුව පෙර දවස එක් රජ කෙනෙක් හීන කුල තරුණියක කෙරෙහි ආලයෙන් වෙළී ගොස් ඇය විවාහ කර ගැනීමට යාමේදී වැසියන් ඊට එරෙහි වී තියෙනවා. වැසියන්ගේ විරෝධය නිසා රාජධානිය අත හැර දමා ඔහු සිය ආදරවන්තිය සමඟ උඩරටට පැමිණියා. ඇය වැල්පටක ආධාරයෙන් මෙහි ගලෙන් උඩට නැඟීමට තැත් කරද්දී වැල්පට ගල් අතර හිර වී ගලෙන් පහළට වැටී ඇය මරුමුවට පත් වුණා. ශෝකයට පත් රජතුමා හෙළූ කඳුළුවලින් එක්තරා දෙවියකු මේ දිය ඇල්ල මැවූ බව ඒ ජනප්‍රවාදයෙහි සඳහන් වෙනවා.

මේ දිය ඇල්ල තරණය කිරීම අභියෝගයක් ලෙස බාර ගත් තරුණයකු වූ දමින්ද තාබ්‍රෙව් ඒ තරණය අතරතුරදී අනතුරට ලක්වී මරුමුවට පත් වුණා. අනතුරුව 2005 ජූලි 24 වැනිදා මිනිත්තු 22ක කාලයක් තුළ සාර්ථකව දියලුම තරණය කිරීමට සමත් වූයේ කැප්පෙටිපොළ නිමල් ධර්මරත්නයි. ඔහු ඒ වික්‍රමය කළේ 31 හැවිරිදි වියේදියි.

මේ දිය ඇල්ල තරණය කිරීම පිළිබඳ වසර 110ක් පැරණි අනුවේදනීය කතාවක් ද තියෙනවා. ඒ වසර 1910 දී පමණ සිදුවූවක්. මේ දියලුම ඇල්ල නැරඹීමට පැමිණි එක් විදේශික සංචාරක යුවළක් පැමිණ තියෙනවා. හැරිස් හා ආශ්නා නම් ඒ දෙදෙනාට තරඟයට දියලුම ඇල්ල තරණය කිරීමට ආශාවක් ඇති වුණා. විශාල පිරිසක් බලා සිටියදී තමයි, ඔවුන් ඒ තරඟයෙහි යෙදුණේ. කඹ දෙකක ආධාරයෙන් තරණයෙහි යෙදුණු ඒ දෙදෙනාගේ වඩා කඩිසර වූ ආශ්නා හැරිස්ට කලින් දිය ඇල්ල මුදුනට නැඟ සලකුණක් තබා ජයග්‍රහී ලීලාවෙන් ආපසු ඒ කඹයෙන් ම බසින්නට වුණා.

හැරිස් ඒ වන සිටියේ දිය ඇල්ල මුදුනට මඳක් පහළින්. රැස්ව සිටි නරඹන්නන් ඇයට ප්‍රතිචාර දක්වමින් දිරිමත් කළා. ඉන් තමාට ඇති වූ ලැජ්ජාව හැරිස්ට දරා ගැනීමට නොහැකි වුණා. ඇති වූ ක්ෂණික කෝපය නිසා ඇය තම ආදරවන්තිය කියාවත් නොසලකමින්, තමාගේ ‍ඉණේ තිබූ පිහිය ගෙන, ඇය බසිමින් සිටි කඹය එක්වරම කපා දැම්මා. ඇගේ විලාපයේ දෝංකාරය දියලුම ඇල්ල පිහිට කඳු පව්ව පුරා රැව්පිළිරැව් දුන්නා. ඒ සමග ම හැරිස්ගේ විලාපයේ දෝකාරය ද ඊට මුසු වුණා. ‍ඒ දෙදෙනාගේ ම සිරුරු හඳුනාගත නොහැකි තරමට දියලුම පාමුල විසිරී ගියා. දිය ඇල්ලෙන් ගලා ගිය සුදු පුළුන් රොදක් බඳු දිය දහරාව එක්වරම ලේ දහරාවක් බවට පත් වුණා. ඒ පළාත්වාසීන් අදත් මේ කතාව සිහිපත් කරමින් කම්පා වෙනවා.

Post a Comment

1 Comments

  1. වටිනා තොරතුරු රැසක් දන ගත්තා ....

    ReplyDelete