භාරත රත්න, පද්ම විභූෂණ සහ පද්ම භූෂණවලින් පසු, පද්ම ශ්‍රී යනු ඉන්දියානු සිවිල් වැසියකුට පිරිනැමෙන සිවුවැනි වදගත්ම ගෞරව සම්මානයයි. ඉන්දීය රජය විසින් සෑම වසරකම මෙම සම්මාන විවිධ ක්ෂේතර අලලා ප‍්‍රදානය කිරීම සිදුකෙරෙනවා. සම්මාන පරදානය කෙරෙන්නේ ඉන්දීය ජනපතිවරයා අතින්. එය සිදුවන්නේ ඉන්දීය ජනරජ දිනයට සමගාමීවයි.
පසුගිය ඉන්දීය ජනරජ දින දා, ඔඩිෂා ප‍්‍රාන්තයේ කවියකු පද්ම ශී‍්‍ර සම්මානයෙන් පිදුම් ලැබුවේ ඔහු සාහිත්‍යයට කරන මෙහෙවර ඇගැයීමට ලක් කරමිනුයි. මේ කවියා 66 හැවිරිදි හල්දාර් නාග්. එදා මෙදා තෙක් තමා නිර්මාණය කළ කව් සියල්ල ම කටපාඩමින් දන්නවා. ඔහුගේ කවි එරට විද්වතුන් රැසක් ඔවුන්ගේ ආචාර්ය උපාධි නිබන්ධනවලට පාදක කර ගෙන තියෙනවා. දැනටමත් ඔවුන්ගේ ආචාර්ය උපාධි නිබන්ධන සඳහා පස් දෙනෙක් පර්යේෂණ කරමින් ඉන්නවා. සම්බල්පූර් විශ්ව විද්‍යාලය හල්දාර් නාග්ගේ පද්‍ය නිර්මාණ එක් කර පොතක් වශයෙන් ද පළ කර තියෙනවා. ‘හල්දාර් ග‍්‍රන්ථබාලී’ නමින් හැඳින්වෙන එම පද්‍ය එකතුව මේ වනවිට විශ්ව විද්‍යාලයේ විෂය නිර්දේශයට ද එක් වී අවසන්.
සාහිත්‍ය ක්ෂේතරයේ කැපී පෙනෙන චරිතයක් වුවත්, විද්වතුන්ගේ පැසසුමට සහ ගෞරවයට පාතරවුවත්, හල්දාර් නාග් පාසල් ගොස් ඇත්තේ තුනේ පන්තියට පමණයි. සරල ගැමියකු ලෙස චාම් ජීවිතයක් ගත කරන ඔහු ජීවිතය ආරම්භ කර ඇත්තේ කැවිලි කඩයක පිඟන් සෝදන්නකු ලෙසින්. මීට අවුරුදු ගණනාවකට පෙර, පළමුවෙන්ම ඔහු පද්‍ය නිර්මාණ කර ඇත්තේ සිතෙන්. ඒ ඔහු ලිවීමටවත් නොදැන සිටි නිසයි. ඔහු එම නිර්මාණ කර ඇත්තේ කිසිදු පොතක් පතක් පරිශීලනය නොකරයි.
නාග් උපත ලබා ඇත්තේ 1950 වසරේදි, බර්ගාර් දිස්තිරක්කයේ සම්බල්පූර් නුවර සිට කිලෝ මීටර් 76 ක් පමණ දුරින් පිහිටි ඝෙන්ස් නම් කුඩා ගමක ඉතා දිළිඳු පවුලකටයි. නාග්ට වයස අවුරුදු 10 දී පියා මියගියා. ඒ නාග් පාසලේ තුන් වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියදීයි. පියාගේ වියෝවත් සමඟ නාග්ගේ පාසල් ගමන ද නැවතුණා. ඉන්පසු නාග් පිඟන් සෝදන රස්සාවට ගියා. ඒ ජීවත් වෙන්නට කරමයක් නොමැති වුණු නිසයි. ඉන් වසර දෙකකට පසු ඔහුට යළිත් පාසල් යෑමට අවස්ථාවක් ලැබුණා. ඒ, අධ්‍යාපනය සම්පූර්ණ කිරීමට නොවෙයි, පාසලක කෝකියකු ලෙස රැකියාව කිරීමටයි. වසර 16 ක් ඔහු කෝකියකු ලෙස ඒ රැකියාව කළා. ඒ අතර කවි ලිව්වා.
ඒ වන විට ප‍්‍රදේශයේ තවත් පාසල් කිහිපයක්ම බිහිවුණා. ඔහු රැකියාව මාරු කරන්න කල්පනා කළා. ‘මම බැංකු ණයක් ගත්තා. පාසල් උපකරණ කඩයක් දාන්න. මං ඉල්ලා ගත්තේ රුපියල් 1,000 ක්. පාසල් දරුවන්ට පෑන් පැන්සල්, පොත් පත් විකුණලා මං ජීවත් වුණා.’ යැයි පද්ම ශ්‍රී සම්මානය හිමි කර ගැනීමෙන් පසු ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ පුවත්පතට අදහස් දක්වමින් නාග් පවසා තියෙනවා.
තමන්ට ආවේණික කොසලි බසින් නාග් පෑනක් භාවිතා කර සිය පළමු පද්‍ය ලියුවේ 1990 වසරේදියි. එහි මාතෘකාව ‘ඩෝඩෝ බාර්ගාච්’ (පැරැණි නුග ගස) යන්නයි. ඒ කව් පෙළ ප‍්‍රාදේශීය සඟරාවක පළ වුණා. ඉන්පසු නාග් තවත් පද්‍ය හතරක් ලියා එම සඟරාවට යැව්වා. ඒ හැම එකක්ම පළ වුණා. එදා පටන් විද්වතුන්ගේත් විචාරකයන්ගේත් නොමඳ පැසසුමට නාග් ලක් වන්නට පටන් ගත්තා. තරුණ තරුණියෝ ඔහුගේ පද්‍යවලට ඇලූම් කළේ ඒවා තුළින් ඔවුන්ගේ ජීවිත විනිවිඳ දැකීම නිසා යැයි ද පැවැසෙනවා.
‘හිතුවේ නැහැ මගේ කවි මෙතරම් ජනපි‍්‍රය වේවි කියා. ඒවා ජනපිරය වෙද්දී මම තව තවත් ලියන්න පටන් ගත්තා. මම අසල්වැසි ගම්මානවල සංචාරය කළා, මගේ කවි ගායනා කරමින්. මා කවුරුන්දැයි දැනගත් බොහෝ දෙනා මට පරශංසා කළා.’ නාග් වැඩිදුරටත් කියනවා. ඔහු ‘ලොක් කබී රත්න’ යන සම්මානයෙන් පිදුම් ලැබූවේ ඉන්පසුවයි. සාමාජීය ගැටලූ, පීඩාවට පත් ජනතාවගේ කඳුළු, සොබා දහම, ආදරය, මිත්‍යා කතාන්දර ආදී එදිනෙදා ජීවිතයට සම්බන්ධ වුණු සියලූම කරුණු කාරණා නාග්ගේ පද්‍යවලට තේමා වුණා.
කොසලි බසින් නාග් ලියූ කවි කොසලි බස පෝෂණය කිරීමට සමත් වුණා. සාහිත්‍යමය වටිනාකමක් ඊට එක් වුණා. කොසලි බස සම්බල්පූරි කොසලි යනුවෙන් ද හැඳින්වෙනවා. මෙය ඔඩියා බසින් බිඳී ආ උප භාෂාවක් ලෙස සැලකෙනවා. ඔඩියා ඉන්දු ආර්ය බසක්. නැගෙනහිර ඉන්දියාවේ බොහෝ දෙනා කතා කරන්නේ මෙම ඔඩියා භාෂාවයි. ඔඩියා බස කතා කරන බහුතරයක් ජීවත් වන්නේ ඔඩියා ප‍්‍රාන්තයේයි. ඊට අමතරව, බටහිර බෙංගාලයේ, ජර්කාන්ද්, චතිස්ගාර් සහ ආන්ද්‍රා පරදේශ් වැසියන් ද මෙම බස කතා කරනවා. ඉන්දියාවේ නිල භාෂා අතරට මෙම ඔඩියා බස ද ඇතුළත් වෙනවා. ඉන්දියාවේ සම්භාව්‍ය භාෂා අතර සය වැනි ස්ථානය අයත්වන්නේ ද ඔඩියා බසටයි.
සරල ගැමි ජීවිතයක් ගෙන යන නාග් ඉනදියාවේ ඔඩියා සාහිත්‍යයට කර ඇති මෙහෙවර සුළුපටු එකක් නොවෙයි. විවාහකයකු වන නාග් දියණියකගේ පියෙක්. ඔහු අඳින්නේ සුදු පැහැති දෝතියයි. ඔහු පාවහන් පලඳින්නේ නැහැ. ඔහු මාර්තු 28 වැනිදා නවදිල්ලි අගනුවරට පැමිණ, ඉන්දීය ජනාධිපති ප‍්රණාබ් මුඛර්ජීගේ අතින් පද්ම ශී‍්‍ර සම්මානය ලබා ගත්තා.
‘තරුණ මහලූ ඕනෑම කෙනෙක් තුළ කවියෙක් ඉන්නවා. ඒත් කවි ලියන්න පටන් ගන්නේ කවියේ හැඩතල හඳුනා ගන්නා අතළොස්සක් දෙනා පමණයි’ යැයි නාග් පවසනවා.
දැනටමත් බිරතාන්‍යයේ බීබීසීය නාග් ගැන කෙටි වාර්තා චිත‍්‍රපටයක් තනා තියෙනවා. ඔඩියා ප‍්‍රාන්ත රජය ළඟදී පිහිටුවීමට යන අධ්‍යයන පර්යේෂණායතනය හල්දාර් නාග් නමින් නම් කරන බව පරකාශ කර තියෙනවා.
1 Comments
මෙවැනි විශ්මිත මිනිසුන් ඉතා දුලබයි.
ReplyDelete